English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සත්‍ය සොයා ගැනීමේ අසීරුව
(2019-06-15)

<< Go Back


සත්‍ය සොයා ගැනීමේ අසීරුව

අප පසුගිය සතියේ සමබිමෙන් සාකච්ඡා කළ පරිදිම කල්පවත්නා ජාතික සමගියක් ගොඩ නගා ගැනීමට නම් මේ මොහොතේ සංහිඳියා මූලධර්ම වෙත යෑම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ සඳහා හොඳම මාර්ගය සංහිඳියාව සඳහා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමය. එම මූලධර්මයන් පසෙකලා අපට සාකච්ඡා කළ හැකි හෝ ගොඩනඟා ගත හැකි සංහිඳියාවක් නොමැති බව පැහැදිලිය. මන්ද වසර 30කට වඩා පීඩා විඳි උතුරේත් දකුණේත් දහස් ගණනක් මිනිසුන්ගේ දුක් කම්කටොලු‍ ප්‍රශ්න මතින් ගොඩනැගුණු එම මූලධර්මයන් කියා පානුයේ පීඩාවට පත් ජනතාවට සත්‍ය දැනගැනීමත්, යුක්තිය ඉෂ්ට කර ගැනීමත්, සිදුවූ හානිය යම් ආකාරයකින් හෝ පූරණය කර ගැනීමත් තමන් අත් විඳි පීඩනයන් සිය දූ දරුවන්ට යළිත් අත් නොවන සමාජ වටපිටාවක් අත්කර දීමත් පිළිබඳ වන ඉල්ලීම්ය. පසුගිය වසර හතර පුරා ආණ්ඩුව මන්දගාමී ලෙසින් වුවද මෙම මුලධර්මයන් අනුව යමින් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපූරණය සඳහා කාර්යාලය පිහිටුවීමට කටයුතු කළේය. එහෙත් දශක ගණනාවක් වින්දිතභාවය සමඟ දිවි ගෙවූ මිනිසුන්ට තම සමීපතමයන්ට සිදුවූ දේ පිළිබඳ සත්‍ය දැනගැනීමටත් යුක්තිය ඉෂ්ට කර ගැනීමටත් ඇති අයිතිය ආමන්ත්‍රණය කිරීමට රජය මෙතෙක් සමත් නොවුනද ඒ වෙනුවෙන් යාන්ත්‍රණ පිහිටුවීමට මූලික පියවර ගෙන තිබෙනු දක්නට ලැබේ.

‘සත්‍යය සෙවීමේ කොමිසමක් ඇති කරනවා, නමුත් ඒ ඇති කරන්නේ දෙමළ ජනතාව, යුද්ධය කරපු හමුදාව, හමුදා පවුල්, දකුණේ ජනතාව මේ සියලු‍‍ දෙනාගේ අදහස් දැන ගෙන.’ යැයි කීවේ එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීරය. සැබෑවටම රජය ඒ සඳහා යම් ප්‍රයත්නයක් දැරූ අතර සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙවන් වටපිටාවක කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමින් සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ එයට ප්‍රතික්‍රියාවන් ලෙස සිදුවූ සිදුවීම්වලින් ලද කම්පනය සංහිඳියා මූලධර්මයන් අනුයමින් මෙම සංහිඳියා යාන්ත්‍රණ වහා වහා පිහිටුවීමත් ඒවායේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමත් පිළිබඳ ඵලදායී සාකච්ඡාවකට වඩාත් ආසන්නතම හේතුවක් වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම හෝ ඊටත් වැඩි හානියක් අසත්‍ය සහ බොරු ප්‍රචාරයන් මගින් රටට කළ හැකි බව අවිවාදිතය. අසත්‍ය සහ බොරු ප්‍රචාරයන්ට වැඩි ඉඩක් ලැබෙන්නේ සත්‍ය තොරතුරු හිඟ වූ විටය. සත්‍ය තොරතුරු සඳහා ක්‍රමවේදයක් සැකසීම ආණ්ඩුවේ වගකීම වන අතර එහෙත් එම ක්‍රමවේදය සකස් කරනු වෙනුවට ආණ්ඩු උත්සුක වන්නේ අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර වශයෙන් මර්ධන නිතීන් ගෙන ඒමටය. මේ දිනවල කතා බහට ලක්ව ඇති සයිබර් අපරාධ සහ වෛරී ප්‍රකාශන පිළිබද හඳුන්වා දීමට යන නව අණ පනත් මෙයට උදාහරණයකි.

මේ අතරවාරයේ රට තුළ උණුසුම් කතා බහක් ඇති කිරීමට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමත්ව තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව වගකිව යුතු සියලු‍ පාර්ශ්වයන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඍජුව ප්‍රශ්න කෙරෙන අතර එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මෙම ක්‍රියාවලිය වඩාත් විනිවිද කර තිබීමෙන් විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වන පාර්ශ්වයන්ගේ ප්‍රකාශ රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. ඒ හා සමඟ ජනාධිපතිවරයා පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීම වළක්වන බවට මාධ්‍ය වාර්තා පළ වුවද ඊට ප්‍රතිපක්ෂව කතානායකවරයාද නීති විශාරදයින්ද අදහස් දක්වා තිබේ. කතානායකවරයා සහ අගමැතිවරයා හමුවූ සිවිල් සංවිධාන නියෝජිතයින්ද ඉල්ලා සිටියේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය මත පිහිටා මෙම කාරක සභාව කිසිසේත් අඩපණ නොකරන ලෙසයි. මෙම තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය එක්තරා අතෙකින් පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්ව මියගිය, තුවාල ලැබූ සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ අයිතිවාසිකම් කඩවීමට එරෙහිව පෙනී සිටීමක්ද එම මිලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය මහජනතාවට හෙළිදරව්වීමක්ද වේ.

හොටෙල් රුවන්ඩා චිත්‍රපටයේ කතානායකවරයාද  an Ordinary Man කෘතියේ රචකයාද වූ පොල් රුසෙසබාගිනා සිය කෘතියේ එක් තැනක මෙසේ කියයි. ‘රුවන්ඩා වර්ග සංහාරයේ ගාමක බලවේගවලින් එකක් වන්නේ අපේ රටේ 1959 යටත් විජිතවාදීන්ට විරුද්ධව ඇරඹී විප්ලවයෙන් පසු දළුළා වැඩෙන්නට ඉඩ හැරුණු වැරදිකරුවන්ට දඬුවම් නොදීමේ සංස්කෘතිය බව මම දැඩිව විශ්වාස කරමී.’ මෙය ලංකාවටද එක සේ අදාළය. 83 කළු ජුලිය හෝ 1988-89 කැරැල්ල හෝ තිස් අවුරුද්දකට ආසන්න යුද්ධයෙන් අනතුරුව හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමේ ක්‍රමයක් මෙරට ඇති කිරීමට අප අසමත්ව සිටිමු. සියලු‍ කැරලි කෝලාහල අරගල තුළ දහස් ගණනක් මිය ගොස් එවැනිම ප්‍රමාණයක් ආබාධිතභාවයට පත්ව, සිය ආදරණියයන් අතුරුදන්ව දශක ගණනක් උතුරේත් දකුණේත් මිනිසුන් හැඬු කඳුළින් වියපත් වෙමින් සිටිති. අතීතයේ දිනෙක තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන සත්‍ය තම මරණයට පෙරාතුව දැන ගැනීමට ඇති නොනිත් ආශාව ඔවුන්ගේ වියපත් බවින් මඳකුඳු අඩුවී නැති බව වසර ගණනාවක් එවැනි මිනිසුන් සමඟ වැඩ කළ අප හොඳින්ම දන්නා සත්‍යයකි. එය අතීතයේ සිදුවූ සිදුවීම් යැයි බැහැර කිරීමට කිසිදු නීතිමය හෝ මානුෂික පදනමකින් නොහැකිය. විශේෂ කාරක සභාව මේ මෙහොතෙ සිදුකරමින් තිබෙනුයේ එක්තරා අයුරකින් ඓතිහාසිකව අප මඟ හරිමින් පැමිණියකට මුහුණ දීමය. මෙම ව්‍යුහය සෑම අතෙකින්ම සත්‍ය සෙවීමේ කොමිසමක ස්වරූපය උසුලන්නෙ යැයි කීම සාවද්‍ය නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට සාකච්ඡාවෙන් සහ සංවාදයෙන් ගැටුම් විසඳා නොගැනීමේ ප්‍රතිඵලය ප්‍රචණ්ඩත්වය බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. සත්‍ය නිරාවරණය වූ වහාම සමහර ගැටලු‍ විසක්‍ෂෙන බව සත්‍ය සොයා යෑම පිළිබඳ ලෝක ම්ට්ටමේ අත්දැකීමකි. සත්‍ය කොමිසමක් යනු උසාවියක් නොවන අතර එය කිසිවෙකුට දඬුවම් පමුණුවන්නක්ද නොවේ. එහි පිළිගත් නියාමය වන්නේ, වින්දිතයා සහ වරදකරුවා යන දෙදෙනාගේම සිත්සතන් තුළ තිබිය හැකි සැකසාංකා සහ අඩමාන දුරු කරලීම මගින්, අතීතයේ සිදු වූ අපරාධ අවංකව හඳුනාගෙන ඉදිරියට පිය නැගීමට සියලූ පාර්ශ්වවලට අවස්ථාව සැලසීමයි. වින්දිත ප්‍රජාවන්ට අවශ්‍ය වනුයේ සිය සිත් සතන් තුළ වසර ගණනක් මුළුල්ලේ එක්රැස් වුණ වේදනාවන් කටුකත්වයන් සිය දුක්බර අත්දැකීම් බෙදා ගැනීමටය. ගැටුමකින් පීඩාවට පත් සියලු‍ පාර්ශ්වයන්ට ඒ වේදනාවන් බෙදා හදා ගැනීමට අවස්ථාවක් සත්‍ය කොමිසමක් තුළින් හිමිවේ. එය හුදෙක් වින්දිතයින්ගේ පමණක් නොව වැරදිකරුවන්ගේ පාපොච්චාරණ සඳහාද ඉඩක් ඇති ව්‍යුහයකි.

දේශිය යාන්ත්‍රණයක් වන සංහිඳියා කාර්ය සාධක බලකාය සත්‍ය, යුක්තිය, සංහිඳියාව හා නැවත සිදුනොවීම සඳහා වන කොමිසමක් පිහිටුවීමට නිර්දේශ කර තිබෙනුයේද එම පදනම මත පිහිටාය.

■ සත්‍ය, යුක්තිය, සංහිඳියාව හා නැවත සිදුනොවීම සඳහා වන කොමිසමට ස්ථිර නිල කාලයක් තිබිය යුතු අතර එය අවසානයේදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. ඒ සමගම එම වාර්තාව මහජනතාව වෙත යොමු කෙරෙනු ඇත. යාන්ත්‍රණයේ නිල කාලය තීරණය කළ යුතු වන්නේ ඒ අභියස ඇති සිද්ධි ප්‍රමාණය මත පදනම්වය. එම කොමිසම පැහැදිලිව ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. ඒවාද පාර්ලිමේන්තුවට සහ ඒ හා සමගම මහජනතාව වෙතද නිකුත් කළ යුතුය.
■ මෙම සන්දර්භය තුළ සත්‍ය යනු වගකීම දැක්වීම වන නමුත් සාපරාධී වගකීම, එනම් මෙය සිදුකළ අය කවුරුන්ද යන්න තීරණය කිරීම වඩා ගැලපෙන්නේ අධිකරණ යාන්ත්‍රණයකට හෝ පවතින අධිකරණ පද්ධතියටයි. ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ මතය වන්නේ සත්‍ය, යුක්තිය, සංහිඳියාව හා නැවත සිදුනොවීම සඳහා වන කොමිසම්, සාපරාධී වගකීම තීරණය කිරීමට සුදුසු යාන්ත්‍රණයක් නොවන බවත් එනිසාම සමාව දීම පිණිස බලය නොපැවරිය යුතු බවත්ය.
■ සත්‍යය, යුක්තිය, සංහිඳියාව හා නැවත සිදුනොවීම සඳහා වන කොමිසම සත්‍ය සොයා ගැනීම සඳහා විමර්ශනයන් සිදුකර අභිචෝදක ආයතනයක් සමඟ එම තොරතුරු බෙදා ගත යුතු බවට ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි.
■ සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත සිදුනොවීම සඳහා වන කොමිසම නිශ්චිත තේමාවන් හා ගැටලු‍ හා/හෝ විමර්ශනය සඳහා වාර්තා කිරීම සඳහා මාතෘකා තේරිය යුතුය. එම තේරීම සඳහා නිසි අවධානය යොමු කළ යුතුය. යුද්ධයේ අවසන් කාලය, උතුරෙන් මුස්ලිම්වරුන් පිටමං කිරීම හා මලෙයිඅහා ප්‍රජාව පිළිබඳව ඉල්ලීම් ගණනාවක් ප්‍රවිචාරණයේදී ඉස්මතු කෙරිණි.
■ අක්‍රීය සවන් දෙන්නෙකුගෙන් ඔබ්බට ගොස් ක්‍රියාව මත පදනම් වූ කොමිසමක් බවට පත් වීම සඳහා වන මහජන ඉල්ලීම් හමුවේ සත්‍ය, සංහිඳියාව හා නැවත සිදුනොවීම සඳහා වන කොමිසම විසින් සත්‍යය සෙවීම සඳහා සක්‍රීය මාර්ගයන් සම්පාදනය කරන බවට හා එයට අදාළව නිශ්චිත සහ ක්‍රියාවට නැගිය හැකි නිර්දේශ ලබාදෙන බවටත් සහතික වි යුතුය.
■ මෙම කොමිසම් වාර්තාවල අඩංගු වන විස්තර ඉතිහාසය, සමකාලීන පාසල් විෂය මාලාවන් වෙත දැන්විය යුතු අතර මානව හිමිකම් උල්ලංඝනයේ වගකීම, වගවීම නිල වශයෙන් පිළිගැනීම හා ඓතිහාසිකව තහවුරු කර ගැනීම මෙන්ම ඒවායේ පුද්ගල හා සාමූහික ප්‍රතිඵල අවබෝද කර ගැනීම සංහිඳියාවට ඉවහල් වේ. සමස්ත ප්‍රජාවට විශේෂයෙන්ම ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන්ට එරෙහිව කරන ලද බරපතළ උල්ලංඝනය කිරීම සඳහා අදාළ කර ගත යුතුය. උදා: 1983 දෙමළ විරෝධී වධ බන්ධන, යාපනය රෝහල, අරන්තලාව, සතුරුකොණ්ඩාල්, කාත්තන්තුඩි, බිඳුණුවැව ඝාතනය කිරීම් යනාදිය පාසල් ඉතිහාස පොත්වල විස්තර කළ යුතු වේ.
■ මෙම කොමිසම රැස්වීමට පෙර දිවයින පුරා පැතිරුණු දැනුවත් කිරීමේ හා මහජන සම්බන්ධතා පැවැත්වීමේ වැඩසටහනක් සැලසුම් කළ යුතුය. කොමිසමේ සියලු‍ රැස්වීම් වාර හා සිද්ධි විමසීමේ වාරයන් පූර්ණ ලෙස හා ස්වාධීන ලෙස සජීවීව විකාශනය කළ යුතු අතර සමාජ මාධ්‍යයන් තුළ භාෂා ත්‍රිත්වයෙන්ම පළ කළ යුතුය. මෙම කොමිසමට අදාළය සන්නිවේදන ඒකකයක් ස්ථාපිත කළ යුතු අතර පාර්ශ්වකරුවන් හා පුළුල් වශයෙන් මහජනතාව සමඟ සන්නිවේදනය සිදුකිරීමේ අරමුණින් ප්‍රමාණවත් ලෙස මූල්‍ය ලබා දිය යුතුය.
■ කොමිසමේ සොයා ගැනීම් පුළුල් ලෙස ප්‍රචාරණය කළ යුතු අතර පහසුවෙන් ලබාගත හැකි විය යුතුයි. සාමාන්‍ය ජනතාව හා කොමිසම ඉදිරියේ පෙනී සිටින ජනතාව සමඟ කොමිසමේ සොයා ගැනීම් සරල භාෂාවකින් බෙදා ගත යුතුයි.
■ සහභාගී වන සියලු‍ දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හා සහභාගී වීමට ආරක්ෂාකාරී වටපිටාවක් සැකසීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුයි.

වරින් වර විවිධ දේශපාලනික අරගල කලකෝලාහල තුළ පීඩාවට පත්වූ දහස් ගණනක් මිනිසුන්ගේ සියලු‍ ප්‍රශ්න නිරාකරණය කිරීමට සත්‍ය කොමිසමකට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කාරණයකි. මෙහිදි අදටද ආදර්ශයට ගන්නා දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පවා සියලු‍දෙනා සතුටු කළ හෝ අතිශය සාර්ථක යාන්ත්‍රණයක්ද නොවීය. සත්‍ය කොමිසමක් යෝජනා කරන්නේ වැරදිකරුවන්ට දඬුවම් දීමක් හෝ පූර්ණ ලෙස ප්‍රශ්නයට පිළිතුරක් හෝ වහ වහා ඇතිවන සංහිඳියාවක් හෝ නොව ප්‍රතිසන්ධානයකට අවැසි එක් මාවතක් විවෘත කිරීමය. මෙරට සත්‍ය කොමිසම ස්ථාපිත කරමින් වින්දිතයින්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවංක අවධානයක්ද සහජීවනය වෙනුවෙන් අව්‍යාජ කැපවීමක්ද පෙන්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව පෙර අප පැවසූ පරිදිම සත්‍ය සෙවීමද සංහිඳියාවේ අවසාන සැතපුම නොව මාර්ගය වන හෙයිනි. 

සත්‍ය හෙළිදරව් කිරීම විශේෂ කාරක සභාවේ වගකීමයි

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිවිල් සමාජ සහ වෘත්තීය සමිති, පසුගිය 10 වැනිදාවේ කතානායක කරු ජයසූරිය සහ 11 වැනිදාවේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසුණි. එහිදි අදහස් දක්වමින් අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතා පරමාධිපත්‍යය හෝ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයවත් පාවා දීමට ඉඩ නොතබමින් විශේෂ කාරක සභාවේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට තමන් සහය දෙන බවයි. එසේම ජාතික සමඟිය වෙනුවෙන් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජයනි අබේසේකර විසින් 521 වැනි සමබිම කලාපයට ලියන ලද ලිපියකි. www.samabima.com



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.