English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සාක්ෂි නැතිව වරදකරු කළ වෛද්‍ය සාෆි
(2019-06-15)

<< Go Back
Share |   




සාක්ෂි නැතිව වරදකරු කළ වෛද්‍ය සාෆි

වෛද්‍ය සාෆිගේ ප‍්‍රශ්නය දෙවැනි සතියටත් ඇදී ගොස් ඇත. ඒ ප‍්‍රශ්නය නැවතත් කලබල ගණනාවක් ඇති කිරීමට මග විවෘත කළේය. මාධ්‍යවලින් දැන් වර්ග සංහාරයක් ගැන දැවැන්ත ලිපි ලියයි.

එහෙත් මේ සටහන ලියැවෙන මොහොත වෙද්දීත් එක මවකගේවත් පැලෝපීය නාලය අවහිර කර ඇතැයි පරීක්ෂණයකින් ඔප්පු වී නැත. මේ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව අතුරු වාර්තාවක් නිකුත් කරමින් පරීක්ෂණය සඳහා පහසුකම් ඉල්ලා ඇත.

වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගත්තේ අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනාවකට අදාලවය. එහෙත් ඔහුව සීඅයිඤූුයට බාර දී තිබුණේ වඳ සැත්කම් කතාවක් නිසාය. දැන් සීඅයිඤූුයට ඔහු ගැන ගැන කරන්නට දෙයක් නැත. අල්ලස් හෝ දූෂණ පිළිබඳ සී.අයි.ඩි. ය විමර්ශනය කරන්නේ නැත. වඳ සැත්කම් ගැන සොයන්නට නම් පෙර කී මවුවරුන්ව පරීක්ෂා කළ යුතුය. දැන් වෛද්‍ය සාෆි අත්අඩංගුවේ ඉන්නේ කිසිම තහවුරු වූ කරුණක් නැතිවය. චෝදනා නැතිවම ඔහුව අත්අඩංගුවේ තබාගෙන ඉන්නේ ජාතිවාදී බෞද්ධ හිමිවරුන් පෙරටු කරගත් අන්තවාදී කල්ලි රට ගිනිතබනු ඇතැයි තිබෙන බිය නිසාය.

විශේෂඥ මතය

කෙසේ වෙතත් මේ මවුවරුන්ගේ පැලෝපීය නාලය පිළිබඳ පරීක්ෂා කිරීම අපහසු කටයුත්තක් නොවේ. ඉදිරියේදී ඒ කටයුතු සිදු කරනු ඇත. එයින් වරදකරුවෙකු වුවහොත් මිස සාෆි නීතිය ඉදිරියේ වරදකරුවකු නොවේ. එතෙක් අපට කල්පනා කරන්නට සිදුවෙන්නේ සාෆි ගැන ඇති චෝදනා පදනම් සහගත ඒවාද නැද්ද කියාය. අප මේවා ගැන විශේෂඥයන් නොවන නිසා සැලකිල්ලට ගත යුත්තේ විශේෂඥයන්ගේ මතයයි. ජුනි 04 වැනිදා ඬේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ලංකාවේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥයන් අතර ප‍්‍රවීනම වෛද්‍ය නිලධාරියෙකු හා කොළඹ විශ්වවිදද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රසව හා නාරිවේද අධ්‍යනාංශයේ ප‍්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායක කියන්නේ මේ චෝදනා ප‍්‍රායෝගික නොවන බවය.



දිවයින පුවත්පත පසුගිය සතියේ වාර්තා කර තිබුණේ පැලෝපීය නාලය අවහිර කර ඇතිද යන්න පිළිබඳව මෙරටදී පරීක්ෂණ සිදු කළ හැකිද කියායි. ඉහත කී වෛද්‍යවරයා පවසන්නේ එම පරීක්ෂණ මෙරට දී කළ හැකි බවය. හසල දැනුමින් යුතු ජ්‍යෙෂ්ඨ ප‍්‍රසවවේදීහු  ඕනෑ තරම් මේ රටේ සිටින බව ඔහු කියා තිබුණි.

සිසේරියන් සැත්කමක් කිරීම මවකගේ උදරය විවෘත කිරීමේදී පැලෝපීය නාලය ඇති කොටස දිස් නොවන බව එම මහාචාර්යවරයා පවසයි. ඒ නිසා පැලෝපීය නාලය අවහිර කරන්නට නම් උදරයේ විවර කරන කොටසෙන් අත දමා පැලෝපීය නාලය සොයාගැනීමට සිදුවෙන බවයි. එනිසා ඇතැම් බාහිර පුද්ගලයන් විවේචනය කරන ආකාරයට සිසේරියන් සැත්කම් දහස් ගණනක් ආවාට ගියාට කළ හැකි යැයි සිතිය නොහැකි බව මෙන්ම පැලෝපීය නාල දහස් ගණනකට හානි කිරීම නම් සරල කටයුත්තක් නොවන බව ඔහුගේ නිගමනය වෙයි.

ඬේලි මිරර් පුවත්පතට ඔහු වැඩිදුරත් ප‍්‍රකාශ කර තිබුණේ මෙම චෝදනා පිළිබඳව කරන විමර්ශනය සිදුකරන පරීක්ෂණ කණ්ඩායමේ සංයුතිය වැදගත් බවයි. එය අනිවාර්යයෙන්ම විෂයෙහි හසල දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ ප‍්‍රසවවේදීන්ගෙන් සමන්විත විය යුතු බව ඔහු පවසයි. හුදු රෝහලක පරිපාලනයකට පමණක් මේ පරීක්ෂණ කළ නොහැකි බව ඔහු කියයි. මේ වෙද්දී කුරුණැගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා උත්සාහ කරමින් ඉන්නේ මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණය කුරුණෑගල රෝහලේ සිදු කරන්නටය. එහෙත් ඉහත මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ එම පරීක්ෂණය ජාතික මට්ටමින් විය යුතු බවයි. සාමාන්‍ය රාජ්‍ය සේවා ප‍්‍රශ්නයක දී මූලිකව අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සම්ප‍්‍රදාය වුවද රටක් ගිනි ගෙන ඇති මෙවන් ප‍්‍රශ්නයකදී එය රටටම පිළිගතහැකි විශ්වසනීය හා සාධාරණ එකක් වීමේ වැදගත්කම ඔහු පෙන්වයි.
ඇත්තවශයෙන්ම මෙය මේ වෙද්දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සේවය කරන තතු දන්නා බොහෝ අයගේ මතයයි. වෛද්‍යවරුන් බහුතරය ඉන්නේ මේ මතයේය. එහෙත් මේ පිළිබඳව ඉදිරිපත් වී මහජනතාවගේ සැකය නිරාකරණය කළ හැකි, ඒ සඳහා අවශය පහසුකම් ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ගැන කුහක වත‍්‍රයක් රකිමින් නිහඬව සිටීම ලොකුම ප‍්‍රශ්නයක් පව අනිද්දා සමඟ නිර්නාමිකව අදහස් දැක්වූ වෛද්‍යවරුන් පවසයි.

මව්වරුන්ගේ පැමිණිලි

කෙසේ වෙතත් තමන්ව වඳ කර ඇතැයි මව්වරුන් සිය ගණන් පැමිණිලි කර ඇති බව දැන් ජාතිවාදීන් හැමතැනම කියමින් සිටියි. එහෙත් ඒ පැමිණිලිවල ස්වභාවය කුමක්ද, තමන්ගේ පැලෝපීය නාලය අවහිර ඇති බව පරීක්ෂණයකින් හෝ් වෙන කිසිදු අවස්ථාවකදී තහවුරු වූ බව පැමිණිලිවලදී කියා නැත. අඩු තරමේ එකඳු මවක්වත් එසේ කියා නැත.

කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන් හා කුරුණැගල රෝහල නියෝජනය කරන ආරංචිමාර්ගවලට අනුව කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කතාවක් ඇත. ඒ වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කමක් කළ මවක් නැවත ඉදිරිපත්වී පැමිණිලි කළොත් මුදල් ලබාගත හැකි බවය. ඉදිරියේදී එවැනි මවුවරුන්ට වන්දි ගෙවන බවද ප‍්‍රසිද්ධ වී ඇත. ඒ අනුව පැමිණිලි කරන්නට පැමිණි මවුවරුන් සිය ගණනකි.

ඒ අතර සිටින විශාල ප‍්‍රමාණයක් මවුවරුන් වෛද්‍ය සාෆිගෙන් සැත්කම් කරවාගෙන තවත් දරුවෙක් හදන්නට තරම් කාලයක් ගත නොවූ මවුවරුන් බව පරීක්ෂණවලට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. එවැනි මවුවරුන් ප‍්‍රසිද්ධියේ මාධ්‍යවලට අදහස් දැක්වීම් ද කර තිබුණි. සැත්කමෙන් පසුව ඇතිවූ සිරුරේ වේදනා ගැන එම පැමිණිලිවල වැඩිපුර සඳහන් වෙයි. ඒ සැත්කම් සිදු කළත් නොකළත්, ප‍්‍රජනන පද්ධතිය නිසා කාන්තාවකට කෙතරම් වේදනා විඳින්නට සිදු වෙනවාදැයි දන්නේ කාන්තාවන්මය. එහෙත් මේ මොහොතේ තිබෙන ජාතිවාදී වාතාශ‍්‍රය නිසා එවැනි වේදනාවක් වුව සැකය වර්ධනය කරන්නට හේතුවෙයි. ඒ නිසා වැඩිපුර පැමිණිලි එන්නේ වෛද්‍ය සාෆිගෙන් සැත්කම කරවාගෙන ටික කාලයක් තුළ බියට පත්වූ කාන්තාවන්ය.

බිරිඳගේ කතාව

මේ වෙද්දී වෛද්‍ය සාෆිව වරදකරු බවට පත්කර හමාරය. මාධ්‍යවලින් මෙන්ම රතන හිමි වැනි ජාතිවාදී හිමිවරුන්ද වර්ග සංහාරයක් ගැන කතාකර හමාරය. එහෙත් එක මොහොතකටවත් වෛද්‍ය සාෆිගේ බිරිඳට සාධාරණ ඉඩක් ලබාදීමට බොහෝ මාධ්‍ය කටයුතු කර නැත. ඇය කුරුණෑගල රෝහලේ වකුගඩු සම්බන්ධ ඒකකයේ වෛද්‍යවරියකි. අපි ඇගේ කතාවට ඉඩ වෙන්කළෙමු.

මුලින්ම අපේ නිවෙස් ආදිය පරීක්ෂා කළේ අපේ‍්‍රල් මාසයේ අග. ඒ කලින් කරපු වැටලීම්වල කොටසක් විදියටයි. බැංකු ගිණුම්වල තොරතුරු එහෙම අරගෙන ගියා. දේපොල, ආදායම් ගැන විස්තර හෙව්වා. ගෙදර පරීක්ෂා කළ මොහොතේ පිට කට්ටිය එනවාද කියලා ඇහුවා. මුලින්ම පරීක්ෂා කරලා දවස් හතරකින් පහකින් අපි කුලියට දීලා තියෙන ගෙදරත් පරීක්ෂා කරලා විස්තර අහලා තිබුණා. ඇත්තටම කුලියට දීලා තියෙන්නේ අපේ ගෙදරම අනෙක් කොටස. ඒවායින් පස්සේ මැයි 06 වැනිදා ලැබ් එකට ඇවිත් පරීක්ෂා කළා. මේ දේවල් සිද්ධවුණේ අපේ‍්‍රල් මාසයේ අග කාලයේදී. මේ වගේ පරීක්ෂණ අපි වැඩිපුර ඔලූවට ගත්තේ නැහැ. මේ කාලයේ පරීක්ෂණ කිරීම සාමාන්‍ය දෙයක්නේ. මේවා රටේ පවතින තත්වයත් එක්ක සාමාන්‍ය පරීක්ෂණ විදියට අපි සැලකුවේ. වරදක් නැතිනම් බයවෙන්න දෙයක් නැහැනේ. එතැනින් ඒවා අවසන් වුණා.

ඒත් මැයි 23 වැනිදා දිවයින පත්තරේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය තිබුණා තවුහිද් ජමාත් දොස්තර මෙහෙම කරනවා කියලා. ඒ ප‍්‍රවෘත්තිය අපි දැක්කා. ඒත් ඒක අපට අදාල කරගන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. අපව පරීක්ෂා කළෙත් ඔය කියන විදියේ දෙයක් ගැන නෙවෙයිනේ. ඒත් 23 වැනිදාම හවස රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මගේ සැමියාගේ ෆොටෝ ෆෙස්බුක් එකේ දාලා තියෙනවා පත්තරේ තියෙන්නේ මේ පුද්ගලයා ගැන විය හැකියි කියලා. පහුවදා උදේ වෙද්දී 400කට වඩා ෂෙයා කරලා තිබුණා. ඒත් පහුවදාම ඒ පෝස්ට් එක අයින් කරගෙන තිබුණා. ඒත් මේක එක එක ජාතියේ අයට ගිහිල්ලා තිබුණා. මෙයාලාගේ ගෙවල් කොහේද, මෙයාලාව මරන්න  ඕනෑ කියලා පවා සමහරු දාලා තිබුණා. දරුවන්ගේ පින්තූරත් ඒ වෙද්දී හොයාගෙන. මේවා වුණේ මැයි 24 සිකුරාදා දවසේ.

සිකුරාදා දවල් වෙද්දී මම සැමියාට කිව්වා අපි මේ ගැන මොකක්හරි ක්‍‍්‍රියාමාර්ගයක් ගන්න  ඕනෑ කියලා. ඊටපස්සේ සැමියාගේ මිතුරු නීතීඥයෙක් කිව්වා ලියුමක් දාන්න කියලා. අපි හවස් වෙද්දී ලියුමක් සකස් කළා. ඒත් හවස් වෙද්දී නෝම්බි අරින්න  ඕනෑ, පල්ලි යන්න  ඕනෑ නිසා ටිකක් වැඩ හිරවුණා. ඒත් ලියුමේ ප‍්‍රින්ට්අවුට් අරගත්තා. ඊට පස්සේ ඒ ගැන කතාකරන්න ලෑස්තිවුණා. ඒත් සැමියා මේ ෆෙස්බුක් එකේ ගිය දේවල් ගණන් ගත්තේ නැහැ. තමන් වැරැද්දක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැ කියලයි මගේ සැමියා හිතුවේ. මම බයෙන් හිටියේ වැරැුද්දක් කළත් නැතත්, ගෙදරට ඇවිල්ලා කරදරයක් කරයි කියලා. ඉතින්, එයා පල්ලියට ගිහිල්ලා වැඳලාම එන්නම් කියලා යන්න පිටත්වුණා. ? අට විතර වෙද්දී සිවිල් ඇඳුමෙන් නිලධාරීන් දෙන්නෙක් ඇවිත් නිවසෙන් එළියේ හිටියා. එයාලාව ගේ ඇතුලට අරගෙන කතාකලා. මගේ සැමියා කොහෙද කියලා ඇහුවා. එයා පල්ලියට ගියා කියලා අපි කිව්වා.



ඒ වෙද්දී ටීපෝ එක තිබුණා මම පැමිණිල්ලට ලෑස්ති කරපු ලියකියවිලි ටික. ඒවා ගැනත් ඇහුවා. අපි කිව්වා පොලීසියට එන්න තමයි බලාගෙන හිටියේ කියලා. ෆෙස්බුක් එකේ ගිය දේවල් ගැන කිව්වා. එයාලා මිත‍්‍රශීලී විදියට කිව්වා එහෙනම් අපි යමු පොලීසියට, දැන්ම පැමිණිල්ලක් දාමු කියලා. ඊටපස්සේ පොලිස් ජීප් එකකින් පොලීසියට යන්න පිටත් වුණා. මගේ මල්ලිලා එයාලාගේ වාහනයේ ජීප් එක පිටිපස්සෙන් ආවා. අපි පැමිණිල්ලක් දාන්න හිතාගෙනයි ගියේ. ඒත් පොලීසිය පහුවෙලා ටිකක් දුර ගියා. ඊට පස්සේ පාර හරස් කළා. සැමියා එද්දී ඔහුව අත්අඩංගුවට ගත්තා. පාර අයිනේම පැය භාගයක් විතර ඔහුව තියාගෙන කාට හෝ ෆෝන් වලින් කතා කළා. මට තේරුණු විදියට ඔහුව අත්අඩංගුවට ගන්න ද එපා ද කියලයි කෝල් කරලා ඇහුවේ. ඒකෙන් පස්සේ අපට එන්න එපා කියලා පොලීසියට සැමියාව විතරක් අරගෙන ගියා. අපි ගෙදර ආවා. ආයෙමත් පැයකින් විතර සැමියාවත් අරගෙන පොලිස් නිලධාරීන් ගෙදරට ආවා. එතකොට මගේ පැමිණිල්ල බාර අරගෙන තිබුණේත් නැහැ, එයාලාගේ අතේ තිබුනු මගේ පැමිණිල්ලේ ලිපිගොනුත් අතුරුදන්.

ගෙදර ඇවිල්ලා අපට කිව්වා සැමියා ගැන තොරතුරු වගයක් ඇවිල්ලා තියෙනවා කියලා. පැමිණිල්ලක් නෙවෙයි, තොරතුරු තියෙනවා කියලා තමයි කිව්වේ. අසාමාන්‍ය විදියට ඔහු මුදල් උපයලා තියෙනවා, වැඩිපුර දේපල තියෙනවා කියලා තමයි තොරතුරු ගැන කීවේ. ඊට පස්සේ ගේ ඇතුලට පිරිමි නිලධාරීන් හයක්, කාන්තා නිලධාරීන් දෙන්නෙක්. බල්ලෙක් ආවා. එළියේත් තවත් අය හිටියා. මුලින්ම සීසීටීවී කැමරාවේ ඞීවීආර් එක ගැලෙව්වා. ඊට පස්සේ පාන්දර වෙනතුරුම ගේ පරීක්ෂා කළා. ඉන්පස්සේ මගෙන් කටඋත්තරයක් ගත්තා. එයාලා අපේ භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත්තා.

ඒ භාණ්ඩ අතර පාස්පෝට්, ලැප්ටොප් එකක්, ලියකියවිලි තිබුනු සූට්කේස් එකක්, මගේ චෙක්පොත වගේ ඔක්කෝම අරගෙන ගියා. ඒවායේ විස්තර ලියාගත්තා. ඒත් මට මොනාවත් දුන්නේ නැහැ. සැමියාව පොලීසියට ගෙනිච්චා. ගේ පරීක්ෂා කළේ කිසිම වරෙන්තුවක් නැතිව. මේ පරීක්ෂා කරපු අය ගෙදර කුලියට හිටපු අයගෙන් ඇහුවා තමුසෙලාට ලැජ්ජා නැද්ද, මේ ගෙදරට වෙලා ඉන්න කියලා. එදා බයවෙලා ගියපු කුලියට හිටපු අය තවමත් නැහැ.

ඒ වෙලාවේ පරීක්ෂා කරපු කෙනෙක් කෝල් කරලා තව කෙනෙක්ට කිව්වා චීෆ් පෲෆ් මොනාවත් නැහැ, මොනවද කරන්නේ කියලා. ගන්නද කියලා ඇහුවා. මට තේරුණ විදියට සැමියාව අත්අඩංගුවට ගන්නද එපාද කියලා කාගෙන් හරි අහලා තිබුණේ.ඒකෙන් පස්සේ ඔහුව කුරුණෑගල අපරාධ විමර්ශන ඒකකයට ගිහිල්ලා තිබුණා. ඒකෙන් පස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එව්වා. ඔහු තවම ඉන්නේ අත්අඩංගුවේ. අත්අඩංගුවට ගත්තේ ඇයිද කියලාවත් අපට පැහැදිළි නැහැ. කියපු විදියට ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීතිය යටතේ. ඒත් චෝදනා විදියට කිව්වේ දේපළ ගැනයි. මීට කලින් මැයි 23 වැනිදා දිවයින ප‍්‍රවෘත්තිය පළවුණාට පස්සේ එදාම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කිව්වේ ඒ ප‍්‍රවෘත්තියේ තිබුනු විදියේ පරීක්ෂණයක් පොලීසිය කරන්නේ නැති බව. කුරුණෑගල ප‍්‍රදේශයේ වැඩිපුර වත්කම් ඉපැයූ බවට සැක වෛද්‍යවරයෙක් ගැන පරීක්ෂණයක් නම් මෙහෙයවන බව කීවා. මුලින් මේ කියන විදියේ චෝදනාවක් තිබුණේ නැහැ. මම දන්න විදියට වත්කම් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නේ නැහැ.

මේ කියන රියෝ වෙළඳසැල මිලදී ගැනීමේ ප‍්‍රශ්නය ගැන දැන් කතාවෙනවා. අපි අසාමාන්‍ය විදියට මුදල් උපයපු කෝටිපතියන් බව කියනවා. ඇත්තටම මේ ඉඩම හතරදෙනෙක් තමයි මිලදී ගත්තේ. මගේ සැමියා තනියෙන්ම ගත්ත එකක් නෙවෙයි. ඉඩමේ වටිනාකම කෝටි 13ක් වෙනවා. කෝටි 6ක් මුලින් ගෙවලා, ඉදිරි කොටස ණයක් අරගෙනයි ගෙව්වේ. මේ ඉඩමේ මුල් හිමිකරුගෙන් කුරුණෑගල සිංහල වෙළඳ සංගමයේ කෙනෙක් ඉඩම ඉල්ලූ බව මුල් හිමිකරු කියනවා. ඔහු ඉඩම නැවත ඉල්ලලා තිබුණා තවත් කෝටියක් වැඩිපුර දෙන බව කියලා. ඒ වෙද්දී මේ හතරදෙනා ඉඩම් ඇඕවාන්ස් ගෙවලා ඉවරයි. බැංකු ණයට අයදුම් කරලත් ඉවරයි. ඒ නිසා ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. ඉඩම මගේ සැමියා ඇතුලූ හතරදෙනා ගත්තා. දැන් කියන විදියට ඒක ප‍්‍රශ්නයක්ලූ. එහෙනම් ඒක ඩොක්ටර් සාෆිගේ වත්කමක් නෙවෙයි. ඩොක්ටර් සාෆි ඇතුලූ පිරිසකගේ වත්කමක්.

මම දැක්කා ලංකාදීපයේ තියෙනවා, කුරුණැගල සුඛෝපභෝගී නිවෙස් දෙකක් තියෙන බව. එහෙම නැහැ. එකක් අපි ඉන්න ගෙදර. ඒක සාමාන්‍ය පරණ ගෙයක්. ඒත් ඒකේ පැත්තකින් උස්සලා අපේ රාජකාරී වැඩවලට පහසු විදියට පොඩි කොටසක් හදලා තියෙනවා. තව ගෙයක් තියෙනවා කියලා තියෙනවා. අපට කුරුණෑගල තව ගෙවල් නැහැ. සමහරවිට මෙයාලා කියන්නේ මගේ පවුලේ මහගෙදර ගැන වෙන්න ඇති. ඒ ගෙදරත් සුඛෝපභෝගී ගෙයක් නෙවෙයි. ඒවාට අමතරව අපට පර්චස් ගණන්වල ඉඩම් කොටස් කිහිපයක් තියෙනවා. අපි අක්කර ගණන් ඉඩම් තියෙන කෝටිපති ව්‍යාපාරිකයෝ නෙවෙයි. අපට කෝටිපතියෝ කියලා කියන්නේ ඇයිද කියලා මම දන්නේ නැහැ.

දිවයින පත්තරේ තිබුණේ තවුහිද් ජමාත්’ දොස්තර කෙනෙක් ගැන. ඒත් තවුහිද් ජමාත් හෝ වෙනත් කිසිම සංවිධානයකට මගේ සැමියා සම්බන්ධ නැහැ. එහෙම එකක් ඔප්පු කරන්න බැහැ. එයා කලාවැව ගමක සාම්ප‍්‍රදායික මුස්ලිම් පවුලකින් ඉපදිලා ආපු මනුස්සයෙක්. අපි කිසිම ආගමික නිකායකට සම්බන්ධ නැහැ. අපි සාම්ප‍්‍රදායික මුස්ලිම් ජාතිකයන්.

ඔහු රස්සාව කරද්දී කැපවීමෙන් වැඩ කරනවා. ඔහු දැඩිව විශ්වාස කළා අම්මා කෙනෙකුගේ සැත්කමක් එක දවසක් ප‍්‍රමාද කළොත් ඒ අම්මා ගෙදර යන එක ප‍්‍රමාද වෙන නිසා, එක් දවසක්වත් සැත්කම ප‍්‍රමාද නොකළ යුතු බව. අනෙක සිසේරියන් සැත්කමක් වෙනුවෙන් පැය හයක් අම්මා කෙනෙක් බඩගින්නේ ඉන්න  ඕනෑ. ඩොක්ටර් කෙනෙක් සැත්කම කල්දැම්මොත් පැය හයක් බඩගින්නේ හිටපු අම්මා කෙනෙකුගේ බලාපොරොත්තු කඩවෙනවා. ඒ අම්මා පහුවදාත් බඩගින්නේ ඉන්න  ඕනෑ. ඒ වගේ ප‍්‍රතිපත්ති ගොඩක් එයාට තියෙනවා. එයා කැපවෙලා වැඩකරන කෙනෙක්. දැන් එළියට ඇවිල්ලා කතාකරන අම්මලා ඉන්න බව ඇත්ත. ඒත් මේ ජාතිවාදී පසුබිමේ එළියට නොආපු, එයා ගැන ගෞරවයෙන් කතාකරන අම්මලා ගොඩක් ඉන්නවා.

මේ සිද්ධියෙන් පස්සේ අපි හැමෝටම ප‍්‍රශ්න ඇතිවුණා. මට ගෙදරින් එන්න වුණා. මල්ලි මාව මහගෙදරට එක්කාගෙන ගියා. මගේ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. මොකද මගේ ළමයි තුන්දෙනාම කුරුණෑගල ප‍්‍රධාන පෙළේ සිිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න පාසැල්වලට යන්නේ. දැන් ළමයි තුන්දෙනා තැන් තුනක නවත්වලා ඉන්නේ. දැන් මට වැඩට යන්න බැහැ. රෝහල ඉදිරියේ උද්ඝෝෂණ ගණනාවක් තිබුණා. හාමුදුරුවරු ඇවිල්ලා වෛරී ප‍්‍රකාශ කළා. රෝහලට ගියොත් පහරදෙන බවට තර්ජන තියෙනවා. තවමත් මම අතරමං වෙලයි ඉන්නේ.

අපට දැන් මුහුණදෙන්න වෙලා තියෙන තත්වය ගැන මම මානව හිමිකම් කොමිෂමට යන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන කරන්න පුලූවන් නීතිමය කටයුතු ගැන අපි බලනවා. මගේ සැමියා ගැන බී රිපෝට් එකක් තවම ලැබිලා නැහැ. ඔහුව අත්අඩංගුවට ගත්තේ මොකක් යටතේද කියලා අපි දන්නේ නැහැ. ඒවායින් පස්සේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපි කිසිම වැරැද්දක් කරලා නැහැ. ඒත් ලංකාවේ විදියක් තියෙනවානේ. අපව වැරදිකාරයන් කරලා ඉවරවෙලයි පැමිණිලි බාරගන්නේත්.

රේඛා නිලූක්ෂි හේරත් - අනිද්දා පුවත්පත


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.