English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පාස්කු ඉරිදා ප‍්‍රහාර නැවත ඇති නොවන සේ රට ආරක්ෂා කර ගැනීම
(2019-06-15)

<< Go Back

පාස්කු ඉරිදා ප‍්‍රහාර නැවත ඇති නොවන සේ රට ආරක්ෂා කර ගැනීම

ආචාර්ය ජෙහාන් පෙරේරා

ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත්, වගකිව යුතු දේශපාලන නායකත්වය විසින් හානිකර අන්දමින් ඊට ප‍්‍රතිචාර පෑමත් හරහා නැවත වතාවක් වාර්ගික යුද්ධ මාවතක් ඔස්සේ රට ගෙන යමින් තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය දැන් පාවිච්චි කෙරෙමින් තිබෙන්නේ, ශ‍්‍රී ලාංකීය සමාජයේ මහා භේදයක් ඇති කිරීම පිණිසය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති වී තිබෙන අළුත් වාර්ගික ධ්‍රැවායනය (ජාතිමය වශයෙන් සමාජය ප‍්‍රතිවිරුද්ධ දෙදිසාවකට බෙදීම) මගින්, නිදහස් ලංකාවේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ කිසි මුස්ලිම් නියෝජනයක් නැති ප‍්‍රථම ආණ්ඩුවක් අද වනවිට බිහි කොට තිබේ.

එම සන්දර්භය තුළ, එකී බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව’ මේ වනවිට දේශපාලනික ආන්දෝලනයට හේතුකාරකයක් වී ඇත. එම පරීක්ෂණයට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂ දේශපාලනඥයන් ගණනාවක් සිය විරෝධය පළකරති. තමන් ඊට විරුද්ධ වන්නේ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් තුළ වන කැක්කුමත්, රජය වෙනුවෙන් බුද්ධි සේවාවන්හි නියුක්තව සිටි පුද්ගලයන් හෙළිදරව් වීම ගැන ඇති අකමැත්තත් නිසා බව ඔවුහු කියති. ඊටත් එහාට යමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ, මේ තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීමට ආරක්ෂක සේවා නිලධාරීන්ට තමන් අවසර නොදෙන බවයි.

මේ ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව’ කෙරෙහි වන විරෝධය පළවන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය වෙත නැවත වතාවක් සමාජ අවධානය යොමු වීමත්, එ් සමගම, ඊට අදාළ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය ඉස්මත්තට පැමිණීමත් නිසාත්ය. යුද්ධයක පැටලී සිටි රටක් සාමයට පිය තබා සිටියේය යන මායාවේ අවසානය මේ බෝම්බ ප‍්‍රහාරයෙන් සනිටුහන් විය. ඒ ඉරණම්කාරී දවසේ ජීවිත 250 ක් විනාශ විය. රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය. වාර්ගික සහ ආගමික ප්‍රජාවන් භේද භින්න විය. එහෙත් ඉන් පසුව ඇති වූ තත්වය මොන තරම් අර්බුදකාරී වීද යත්, බෝම්බ ප්‍රහාරය යන තනි සිද්ධිය ජනතා අවධානයෙන් විතැන් විය.

අභිරහස් මවිතය

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මතු වූ බරපතල ප්‍රශ්නවලින් එකක් වන්නේ, සංවිධානගත කල්ලිවලින් දියත් කෙරුණු මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩත්වයයි. එහිදී, මුස්ලිම් ප‍්‍රජාවගේ නිවාස, දේපළ, ව්‍යාපාරික ස්ථාන සහ සිද්ධස්ථාන විනාශ විය. තවත් අවධානයට යොමු වූ සිද්ධියක් වුණේ ආරක්ෂක අංශ විසින් මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කරගෙන පැවැත්වූ පරීක්ෂණ මෙහෙයුම් සහ රතන හිමියන්ගේ මාරාන්තික උපවාසයයි. එ් මගින් රටේ තවත් භේදකාරී වාතාවරණයක අවදානම උත්සන්න කෙළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වනවිට සති හතක්ම ගතවී ඇතත්, ඊට තුඩුදුන් හේතු තවමත් ගුප්ත කාරණා වශයෙන් පවතී. බෝම්බ ප්‍රහාර දියත් වුණේ මුළු රටම පාහේ මවිතයට පත් කරමිනි. රටේ ජනතාව මෙන්ම ආණ්ඩුව කරවන්නන්ද ඉන් ඉමහත් විස්මයට පත්වූ බවක් පෙනෙන්ට තිබුණි. එහෙත් එය සියල්ලන්ගේ විමතියට කාරණයක් වුණේ නැත. දැන් පැවැත්වෙන ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභා’ විමර්ශනවලින් පෙනී යන්නේ, එම ප‍්‍රහාරය වැළැක්වීමෙහි ලා අපොහොසත් වූ පුද්ගලයන් අතරේ ජනාධිපතිවරයා මූලික වන බවයි. වැඩ තහනමට ලක්ව ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරත්, ඉල්ලා අස්වූ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුත් ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව’ ඉදිරියේ දෙන ලද සාක්ෂි මගින් කියාපෑවේ එය බව පෙනේ.

විශේෂයෙන්, පොලිස්පතිවරයා දෙන ලද සාක්ෂි ඉතා බරපතල චෝදනාවන්ගෙන් සමන්විත වෙයි. එයින් එකක් වන්නේ, 2018 අප්‍රේල් මාසයේදී අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් කරගෙන යමින් තිබූ පොලිස් පරීක්ෂණ නතර කරන ලෙස ඔහුට නියෝග කෙරී ඇති බවයි. තවද, 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව, ‘ජාතික ආරක්ෂක මණ්ඩලයේ’ රැස්වීම්වලට තමාව සහභාගී කර ගැනීම ජනාධිපතිවරයා විසින් නතර කරන ලද බව ද ඔහු කියා සිටියේය. ඒ වූ කලී, මුළු රටම මවිතයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහව හිටිහැටියේම, ව්‍යවස්ථා විරෝධීව ඉවත් කළ කාල වකවානුවයි. එසේ අගමැතිවරයා ඉවත් කොට වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව එදා ජනාධිපතිවරයා විසින් එදා අගමැති තනතුරේ පිහිටුවන ලදී.

අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පොලිස් පරීක්ෂණ, මේ ප‍්‍රහාරයට අවුරුද්දකට කලින් නතර කිරීමට නියෝග කෙරුනේ මන්ද යන්න ප‍්‍රශ්නයකි. හිටපු පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති කරුණු දැක්වීම් අනුව පෙනී යන්නේ, ජනාධිපතිවරයාට කෙලින්ම වාර්තා සපයන ‘රාජ්‍ය බුද්ධි සේවයේ’ ප‍්‍රධානියාට ඒ කටයුතු භාර දීමට එසේ කළ බවයි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු බැඳිය හැකි හොඳම පුද්ගලයා වන්නේ ජනාධිපති සිරිසේනය. මන්ද යත්, ආරක්ෂක සේවා ප‍්‍රධානියා වන්නේත්, බුද්ධි අංශ සහ පොලීසිය භාරව සිටියේත් ඔහු බැවිනි. එහෙත් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුක්තිය හේතු කොටගෙන, දැනට මේ ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව’ ඉදිරියේ කරුණු දක්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට පුළුවන් කමක් නැත. ඒ මුක්තිය ඔහුගෙන් අහිමි වන්නේ ඊළඟ ජනවාරියේ ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ විටය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස පැවති සත්‍යය හැකි තාක් ඉක්මණින් නිරාවරණය කර ගැනීමේ වැදගත්කම වන්නේ, එවැනි භයානක සිද්ධියක් නැවත ඇති වීම වළක්වා ගැනීමට එ් මගින් හැකියාවක් ලැබීමයි. පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව තවත් ප්‍රහාර ගණනාවක් ඇති වීමට යන බවට තදබල හැඟීමක් ජනතාව තුළ තිබුණි. සිදු වූ ප‍්‍රහාරයත් මුළුමණින්ම අනපේක්ෂිත වූ නිසාම, තවත් එවැනි අනපේක්ෂිතයන් ඇති වීමේ හැකියාව බැහැර කිරීම පහසු නොවීය. ඉතිං, රට පුරා භීතිය පැතිරී ගියේය. සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත්, ත‍්‍රස්තවාදී ජාලය නිශ්ක්‍රීය කොට ඇති බවට ආරක්ෂක අංශ වෙතින් සහතික නිකුත් වීමත් හේතු කොටගෙන පොදු භීතිය බොහෝ දුරට සමනය කෙරුණු නමුත් තර්ජනය තවම පවතින්නේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය දියත් වුණේ ආගමේ නාමයෙන් නිසා, ආගමික අන්තවාදය පිළිබඳ ප‍්‍රශ්නය දැන් ඉස්මත්තට පැමිණ තිබේ. මේ ප‍්‍රශ්නය සාමාන්‍යයෙන් තිබුණේ, සුළුතර ප්‍රජාවන් ඉලක්ක කර ගත් බෞද්ධ මහජාතික කණ්ඩායම් සම්බන්ධයෙනි. එවැනි කණ්ඩායම්, තෝරා ගත් සුළු ජාතික කොටස්වලට එරෙහි ක‍්‍රියාවන්හි නියුක්ත විය. එහෙත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පැමිණියේ ක‍්‍රිස්තියානි ආගමික සුළුතරයට එරෙහිව මුස්ලිම් ආගමික සුළුතරය පැත්තෙනි. එම ප‍්‍රශ්නයට දීර්ඝ කාලීනව පිළිතුරු සෙවීමේදී, මෙකී අන්තවාදී කොටස්වලට නිදහසේ කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන ආකාරයෙන් අනාගතයේදී සමාජ අවකාශය කළමනාකරණය කර ගැනීම වැදගත් වෙනවා ඇත.

අවකාශය සීමා කිරීම

දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව ශ‍්‍රී ලංකාව ඔට්ටු වෙමින් සිටි දශක තුන තුළ, පීඩාවට පත් ප‍්‍රජාවන්ගේ දේශපාලනික අයිතීන් පිළිගැනුණු අතර, මානව හිමිකම් උල්ලංඝණයන් නිසා තව තවත් තරුණ කොටස් අන්තවාදය වෙත තල්ලු වීමට ඉඩ ඇති බවත් පිළිගැනුණි. එසේම, වෙනත් වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන්ගේ අවශ්‍යතා සඳහා වන දේශපාලනික විසඳුම් සපයා ගැනීම දුෂ්කර වෙතත් ඒ වෙනුවෙන් කැප විය යුතු බවත් පිළිගැනුණි. ඒ ආකාරයෙන්ම අද වනවිට, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නිසා සහ වෙනත් ජන කොටස් කෙරෙහි නිගරුවෙන් කටයුතු කිරීම නිසා තව තවත් මිනිසුන් අන්තවාදය වෙත තල්ලු වීමේ ඉඩකඩ ඇති බව පිළිගැනේ.

කෙටිකාලීනව ගත් විට, පොලීසිය වැනි රාජ්‍ය ආයතන කෙරෙහි වන විශ්වාසය යළි නගා සිටුවීමත්, එවැනි ආයතනවලට සෘජුව සහ ස්වාධීනව රාජකාරි කිරීමේ අවකාශය සලසාලීමත්, ජාතික ආරක්ෂාව සහතික කිරීමෙහිලා වැදගත් වන්නේය. එල්.ටී.ටී.ඊ. තර්ජනය ඉදිරියේ තිරසාරව සහ දැඩිව කටයුතු කළ රටේ ජාතික ආරක්ෂක පද්ධතිය, මේ අවස්ථාවේ ඉන්දියාවෙන් පවා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අසාර්ථක වූයේ කෙසේද යන්න, ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභා’ විමර්ශන හරහා දැන ගත හැකි වුණොත් රටට යහපති. පාස්කු ප‍්‍රහාරයටත්, තව ඉදිරියට ඇති විය හැකි එවැනි විනාශයන්ටත් හේතුවන්නේ, විදේශ මුදල්ද, කලාපීය භූ-දේශපාලනයද, එසේ නැතහොත්, හුදෙක් මේ රටේ පවතින පගාකාර දේශපාලනයද යන්න දැන ගැනීම වැදගත්ය.

කෙසේ වෙතත්, මේ ප‍්‍රහාරය පසුපස තීරණාත්මක වී ඇති අමතර සාධකයක්ද තිබේ. ඒ, ආගමික දෘෂ්ටිවාදයෙන් සන්නද්ධ ගෝලීය ඉස්ලාම්වාදය විසින් දෙනු ලබන තල්ලුවයි. ඒ ව්‍යාපාරය සතුව ඇති අසීමිත ආර්ථික සම්පත් එහිදී ප‍්‍රයෝජනයට ගැනේ. 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුව, වෙනස් ආකාරයේ දර්ශනවාද සහ ආගමික දෘෂ්ටිවාදවලට මෙරටට ඇතුළු වීමේ අවකාශ සැලසී විවර විය. එසේම, තම තමන්ගේ විවිධ න්‍යාය පත‍්‍ර දියත් කිරීමේ අවකාශයත් නායකයන්ට ලැබී තිබේ. ඒ දේවල් ගැනත් සොයා බැලිය යුතුව තිබේ. අන්තවාදීන් සමග සම්බන්ධතා පවත්වා ඇති නිලධාරීන් පමණක් නොව, දේශපාලන නායකයන් ගැනද සොයා බැලිය යුතුව තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙරාතුව ඔවුන් සමග එකට සිට ඡායාරූප ගෙන ඇති එවැනි නායකයන් ගැනත් සොයා බැලිය යුතුව තිබේ. ඒ නිසා, ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභා’ විමර්ශන ක‍්‍රියාවලිය තව තවත් පුළුල් කළ යුතුවා මිස, එය නතර කිරීම හෝ මේ කරුණු යටපත් කිරීම හෝ කළ යුතු නොවේ.

2019 ජුනි 10 වැනිදා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, ආචාර්ය ජෙහාන් පෙරේරා ලියූ, ‘Safeguarding Country from Recurrence of Easter Sunday Bombing’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.