English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අප්‍රියල් 21 වෙනි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වගකිව යුත්තේ කවුද? - නීතිඥ බැසිල් ප්‍රනාන්දු
(2019-06-15)

<< Go Back

අප්‍රියල් 21 වෙනි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වගකිව යුත්තේ කවුද? - බැසිල් ප්‍රනාන්දු


කතෝලක පියවරු තුන් දෙනෙකු විසින් ලංකාවේ ශේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති මානව හිමිකම් උල්ලංඝනය පිළිබද නඩු නිමිත්තක් මගින් මතුකර ඇති ප්‍රශ්නය නම් අප්‍රියල් 21වන දින ප්‍රහාරයට සිදුවීමට ඉඩහරින ආරක්ෂාව කඩකිරීමේ වරදට වගකිව යුත්තේ කවුරුද යන්නය.

මෙහිදී මතුවන ප්‍රශ්නය නම් ඉහත සදහන් ප්‍රශ්නයට පිවිසෙන්නේ රාජ්‍ය පිලිබදව පවතින කුමන දේශපාලන විද්‍යා දර්ශනයක් මතද? හා කුමන නෛතික ධර්ශනයක් (Jurisprudents) මතද යන්නය. අප්‍රියල් 21වන දින සිදුවිම පිලිබදව ප්‍රධාන වගකීම පැවරෙන්නේ ලංකාවේ ව්‍යවස්ථාදායකට බවත්, විධායකයට හා අධිකරණයටද මේ සිදුවීම් වලක්වා ගැනීමට බැරිවිම පිලිබදව විශාල වගකීමක් පැවරෙන බවත්ය.

දේශපාලන විද්‍යා දර්ෂනය.

ලංකාව ස්වෛරී ජනතාවක් ජීවත්වන රටකි. එම ස්වෛරීභාවය ඇතිවූයේ තමන්ගේ ආරක්ෂාව හා (self-preservation) සංවිධානාත්මකව එකට ජීවත්වීමට ජනතාව විසින් එකගවී තිබීම නිසාය. ස්වයංආරක්ෂාව සදහා සංවිධානාත්මකව ජිවත්වීමේ එකගතාවය තුලින් පමණක් ජනතා ස්වෛරීභාවය ඇතිවේ.

මේ අනුව ස්වෛරීභාවය එක් එක් පුද්ගලයා හිමිකරගන්නේ සමස්ත ජනතාවගේම කොටසක් හැටිටයටය. එසේ නැතිව එක් එක් පුද්ගලයාගේ ස්වෛරීභාවය කියා දෙයක් ඇත්තේ නැත. ස්වෛරීභාවය එක් රාජ්‍යක් තුල ජිවත්වන සියලුම ජනතාව සතුවේ.

ස්වෛරීභාවය ප්‍රධාන ලක්ෂණය වන්නේ චන්දය ප්‍රකාශකිරීමේ අයිතිය නොවේ. සමස්ථ ජනතාවක් සංවිධානාත්මකව ජීවත්වීම මගින් තමන්ගේ ආරක්ෂාව තවුරුකරගැනීමට ඇතිවන එකගතාවය ජනතා ස්වෛරීභාවය පදනම වේ.

රජ්‍යතන්ත්‍රයක් තුලින් සංවිධානාත්මක ජනතාවක් තමන් ආරක්ෂා කිරීමේ වගකීම එම රජ්‍යතන්ත්‍රය වෙත පවරයි. එම පැවරීම කොන්දේසි විරහිත එකක් නොවේ. ස්වෛරී ජනතාවක් තමන් ඉන්නා තත්වයට වඩා වැඩි අන්තරාදායක තත්වයක් ඇතිකර ගැනීම සදහා තම ස්වෛරීභාවය රජ්‍යතන්ත්‍රයට පවරන්නේ නැත. ජෝන් ලොක් (John Locke) පෙන්වාදුන් ආකාරයට තමුන් ඉන්නා තත්වයට වඩා වැඩි අවාසිදායක තත්වයක් ඇතිකරගැනීම සදහා සංවිධානය වන්නේවත්, එම සංවිධානය වීමේ තත්වය රජ්‍යතන්ත්‍රයකට පවරන්නෙවත් නැත. එම පැවරීම සිදුවන්නේ තමන්ට වැඩි වාසිදායක තත්වයක් ඇතිකර ගැනීමේ සහාය. වඩා පාඩු විදීමට නොව වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීම සදහා පමණක්ම ජනතාව තම ස්වෛරීභාවය රජ්‍යතන්ත්‍රයකට පරිත්‍යාග කරයි.

සමස්ථ රජ්‍යතන්ත්‍රයටම තමන් සාධාරනයකර හැක්කේ හා නීත්‍යනුකූලයයි කියාගත හැක්කේ ජනතාවගේ ස්වයං ආරක්ෂාව තහවුරුකරනතාක් පමණි. එසේ කිරීමට රජ්‍යතන්ත්‍රය අසමත් වන්නේ නම් එම රජ්‍යතන්ත්‍රයේම නිතියානුකුලභාවය (legitimacy) අහෝසිවෙයි. එසේ අහෝසිවන්නේ සමස්ථ රජ්‍යතන්ත්‍රයේම නිත්‍යානුකුලභාවයයි.

ව්‍යවස්ථාධායකයේ නීත්‍යනුකුලභාවය (the legitimacy of the legislation)

ජනතාවගේ ආරක්ෂාව සදහා අවශ්‍ය නීති පධතිය ගොඩනැගීමේ බලය ජනතාව විසින් පවරා ඇත්තේ තමන් විසින් පත්කරගන්නා ලද තමන්ගේ නියෝජිතයන්ය. එනම් ඡන්දයෙන් පත්කරගන්නා ලද සියලුම මන්වත්‍රීවරුන් විසින්ය. මෙහිදී, මන්වත්‍රීවරයා අයිති වන්නේ ආණ්ඩුපක්ෂයටද විරුද්ධපක්ෂයටද කියා වෙනසක් නැත.ව්‍යවස්ථාදායකය සැදුම් ලබන්නේ සියලුම මහජන නියෝජිතයන් ලෙස පත්කරගත් මන්වත්‍රීවරුන් තුලිනි. එම නිසා ව්‍යස්ථාධායකයේ වගවීම, එම සියලුම නියෝජිතයන් තුලින් සමස්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්වන්නකි.

ව්‍යවස්ථාධායකයටද තමන් වෙත බලය පැවරු ස්වෛරී ජනතාවගේ ආරක්ෂාව සාක්ෂාත් කිරීමට බැරි වුවහොත් ව්‍යවස්ථාධායකයේම නීතියානුකුලභාවය (legitimacy) ගැන ප්‍රශ්නයක් මතුවේ. ජනතා අනාරක්ෂිතභාවය තුලින් ප්‍රකාශයට පත්වන්නේ ව්‍යවස්ථාධායකය තමන්ගේ ප්‍රාථමික වගකීම පැහැර හැර ඇති බවයි.

උදාහරණයක් වශයෙන්, පාස්කු ඉරිදා ජනඝාතනයෙන් මියගිය හෝ තුවාලයට පත්වූ හෝ දේපල හානියකට මුහුණ දුන් අය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාධායකයේ සාමාජිකයන් තමන්ගේ පැවැත්ම සාධාරණය කරන්නේ කෙලෙසද? එසේ විපතට පත්වූවන් තමන්ගේ ව්‍යවස්ථාධායකයේ එම බලය පැවරුවේ මෙවැනි ඉරණමකට මුහුණදීම සදහාද? ඇත්තෙන්ම නැත.

ලංකාව තුල ජන ආරක්ෂාවට හිතකර වූ නීති සම්පාදනය කිරීමට එහි ව්‍යවස්ථාධායකයට නොහැකිවී ඇත්තේ ඇයි?

මෙම ප්‍රශ්නයට උත්තරය නම් ව්‍යවස්ථාධායකය විසින්ම 1978 දී නීතිගත කරන ලද ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවම ජනතා ආරක්ෂාවට තර්ජනයක් වන නිසාය. 1978 ඇති කරන ලද එම තත්වය අහෝසිකර දමා ජනතා ආරක්ෂාව තහවුරුකල හැකි ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට, ඉන්පසු ව්‍යවස්ථාධායක බලය භාරගත් මහජන නියෝජිතයන්ට නොහැකිවී ඇත. රටේ ප්‍රධාන නීතිය වන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ජනාරක්ෂාව සපයාදීමට බැරි එකක් සේ පවතිනතාක් දුරට මහජන ආරක්ෂාව පිලිබදව කිසිදු විශ්වාසයක් තැබිය හැකි තත්වයක් උදා වන්නේ නැත.

1978 ව්‍යවස්ථාව පදනම් වී ඇත්තේ පාලකයා ජනතාවගෙන් ආරක්ෂාවීමට මිස, ජනතාවගේ ආරක්ෂාව ශාක්ෂාත් කරදීමට නොවේ. මෙය සාධාරණය කර ගෙනීම සදහා අපුරු තර්කයක් ඉදිරිපත්කොට ඇත. එනම් ජනතාව ඡන්දබලය පාවිච්චි කිරීමෙන් අපට, එනම් පාලකයන්ට තම ස්වෛරීභාවය පවරා දී ඇත. එමනිසා නැවත ඡන්දයක් එනතුරු ජනතාව අප කරන ඕනෑම දෙයක්, අප නිර්මාණ කරන ඕනෑම නීතියක් ඉවසා සිටිය යුතුය. ජනතාවට ස්වෛරීභාවය ඇත්තේ තම ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේදී පමණක්ය යන්න ප්‍රචාරක මාධ්‍ය විසින් පාලකයන් තුලින් තමන්ගේම වාසිය සදහාම පමණක් පතුරුවා ඇති අදහසකි. මෙය විකාර අදහසකි. ජනතා ස්වෛරීභාවය යන සංකල්පය උඩු යටිකුරුකර දැමීමකි. අත්තෙන්ම මෙය පිස්සු අදහසකි. එවැනි පිස්සු අදහසක් මත තමන්ම සාධාරණය

කරගන්නා ව්‍යවස්ථාධායකයට පැවතීමට අයිතියක් තිබේද? තමන්වෙත මරණය ගෙන ඒමට තම ස්වෛරීභාවය පවාදීමට තරම් පහත් තත්වයකට ලාංකීය ජනතාව පත්වී තිබේද?

විකාරයෙන් නන් දොඩවන ව්‍යවස්ථාධයකයක් පවතිනතාක් දුරට, ජනතා ස්වෛරීභාවය යන වචනවලට අර්ථවත්, බුද්ධිගෝචර ප්‍රකාශනයක් කිරීමේ ඉඩකඩ තිබේද?

1978 ව්‍යවස්ථාව නීතිය මත පාලනය යන දර්ශනය හා පාලන රටාවට විරුධව (opposing the rule of law) ගොඩනගා ඇති එකකි. ව්‍යවස්ථාව මගින් නීතිය මත පාලනය අහෝසිකොට විධායක ජනාධිපතිගේ හිතුවක්කාරකම අනුව රට පාලනය කිරීමට හැකි තත්වයක් උදාකර ගත්තේය. මෙසේ නීතිය මත පාලනයට විරුධව පාලනතන්ත්‍රයක් සදා ගැනීම තවත් රටවලද සිදුවී ඇත. මෙය මියන්මාරයේ (බුරුමයේ) සිදුවුණු ආකාරය, “මියන්මාරය නීතිය මත පාලනයට විරුද්ධ වීම”(Opposing rule of law ) නික් චීස්මන් (Nick Cheeseman) විසින් ලියා කේම්බිජ් විශ්වව්ද්යාලය (Cambridge University) මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

ජෝන් ලොක් (John Locke) හුදෙක් පාලකයාගේ ආත්මාර්ථකාමිත්වය සදහා රටක් පාලනය කිරීම හා පොදු යහපත අරබයා සිදුකරන පාලනය යනුවෙන් පාලනතන්ත්‍රයන් වර්ගීකරණය කොට ඇත. 1978 ව්‍යවස්ථාව මගින් ලංකාවේ නීතිගත කර ඇත්තේ පාලකයාගේ ආත්මාර්ථකාමී අරමුණු ඉටුකරගැනීම සදහා සාදාගත් ව්‍යවස්ථාවකි. මෙවැනි ව්‍යවස්ථාවක් පවතිනතාක් දුරට ස්වෛරී ජනතාවකට තමන්ගේ ආරක්ෂාව සදහා රාජ්‍යතන්ත්‍රයක් බිහිකරගත නොහැක.

ඇතිවී ඇති අස්ථාවරත්වයට ව්‍යවස්ථාදායකය සමස්ථයක් වශයෙන් වගකිවයුතු බවට තවත් ප්‍රධාන සාධකයක් නම්, නිතිය ක්‍රියාත්මක කරවා ගැනීමට මානුෂික හා මුල්‍යමය සම්පත් වෙනකොට ලබාදීම ව්‍යවස්ථාධායකයෙනේ පැහැර හැර තිබීම නිසාය. සිවිල් පොලීසිය, ප්‍රොසිකුයුටර් (Prosecutor) කාර්ය කරන නීතිපති දෙපාර්තුමේන්තුව හා නීතිය ක්‍රියාත්මක කිරිම කෙරෙහි බලවත් සේවයක් කරන අධිකරණ පද්ධතිය හා ආරක්ෂක අංශයේ බුධි අංශය වැනි සංස්ථා කාර්යක්ෂමව පවත්වා ගැනීමට නම් ඒ සදහා අවශ්‍යය මුල්‍ය සම්පත් ව්‍යවස්ථාදායකය විසින් ලබාදිය යුතුය. මේ පිලිබදව කිසිදු උනන්දුවක් පසුගියකාලය තුල රට පාලනයේ යෙදුනු කිසිදු ආණ්ඩුවක හෝ විරුද්ධ පක්ෂයකවත් අවධානයට යොමුවුබවක් පෙනන්නට නැත. අවශ්‍ය මුල්‍ය සම්පත් ලබාදී ඇත්තේ ත්‍රිවිධ හමුදාවලට පමණි. එහෙත් භයානක අනතුරු වළක්වාලීමේ කටයුත්ත මුලිකව පවතින්නේ ඉහත සදහන් යුක්තිය පසදලිමේ සංස්ථා තුලය.

ව්‍යවස්ථාදායකයේ අතපසු කිරීම් සම්බන්ධයෙන් තවත් බොහෝ දේ කිවහැකි නමුත්, ඉහත කී අතපසු කිරීම් දෙක, එනම්, දැනට රටට අවශ්‍ය සාධාරණ නීති පධතියක් ගොඩනැගීමට අපොහොසත් වීම හා නීතිය ක්‍රියාත්මකකිරීමට අවශ්‍ය මුල්‍ය සම්පත් ලබාදීම පැහැර හැරීම පිලිබදව පිළිතුරු සෙවීම තුල මහජන ආරක්ෂාව රැදී පවතින බව අවධාරණය කිරීම සැහේ.

විධායකයේ නිත්‍යානුකුලභාවය.

ප්‍රායෝගිකව රජ්‍යතන්ත්‍රයක් පවත්වාගෙන යාම කරන්නේ විධායකය විසිනි, එහෙත් අප්‍රියල් 21 පාස්කු ඉරිදා සිදුවීම් තුලින් පෙන්නුම් කරන්නේ විධායකය මෙම කාර්ය ඉටු කිරීම සාහසිකව අතපසු කොට ඇති බවය. එසේ වුයේ ඇයි? එසේ වීමට මුලිකම හේතුව වන්නේ විධායකය ව්‍යවස්ථාදායකයට යටත් බව පිළිගැනීම 1978 ව්‍යවස්ථාව මගින් අවතැන්කොට දැමීමය.

ව්‍යවස්ථාදායකයේ ප්‍රථමිකභාවය (the supremacy of the legislation) යන දේශපාලන විද්‍යා දර්ශනයෙන් බැහැරවී, විධායක ජනාධිපතිවරයා මුල් තැනට පත්කිරීම 1978 ව්‍යවස්ථාව තුලින් සිදුවිය.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 1977දී එක්සත් ජාතික පක්ෂයේ පත්වීම් ලබා සිටි සියලුම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගැනීමෙන් මෙය සංකේතවත් කරයි. “ලොක්කා මමයි, උබලා ඉන්නේ මා කියන දෙයට අත එසවීමට පමනයයි” යන පණිවිඩය ප්‍රකාශයට පත් කෙරුනේ, එසේ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගැනීමෙන්ය.

මෙය සමස්ථ රජ්‍යතන්ත්‍රය අවුල් කර දැම්මේය. ව්‍යවස්ථාදායකයේ ස්වාධිනත්වය නැති කළේය. අතිශයෙන් ව්‍යාකුල තත්වයක් මෙය තුලින් පැන නැගුණි. එසේ ඇතිවීම ප්‍රායෝගිකව බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් විශාල ගැටළු ඇති කළේය. ඇත්තෙන්ම රාජ්‍යතන්ත්‍රයට ජනතා නියෝජනය කිරීමට බැරිවන තත්වයට එම අවුල් පැතිර ගියේය. රටේ ඉන්පසුව ඇතිවූ සියළුම ප්‍රභල ගැටීම් වලට මුලික හේතුවක් වුයේ ව්‍යවස්ථාදායකය හා විධායකය ඉහත කී අකාරයෙන් දුෂණය වීමය.

විධායකය රටේ ස්වාධීනව පැවතිය යුතු සියලුම සංස්ථාවන් කෙරෙහි අත පොවන්නට පටන් ගත්තේය. සිවිල් පොලිසියට තිබිය යුතු වෘර්තිමය ස්වාධීනභාවය බොහෝ දුරට යටපත් වී ගියේය. මෙම යටපත්වීම් වල ප්‍රතිපලය වුයේ එම සංස්ථාවල සේවයේ යෙදුනු ඉහලම නිලධාරීන් තුල තමන්ට කල හැක්කේ කුමක්ද කල නොහැක්කේ කුමක්ද  යන්න පිලිබදව දැඩි ව්‍යාකූලතාවයක් ඇතිකලේය. එම ව්‍යාකූලතාවයෙන් ඇතිකරන ලද්දේ අකාර්යක්ෂම, බුධිගෝචර බව හීනවීම, අණදීමේ වගකීම (The Command Responsibility) හා උදාසීනත්වයයි. එය උඩ සිට යටට පැතිර ගියේය.

කලෙක නියෝජ්‍ය පොලිස් පතිවරයෙකුවූ මා හොදින් හදුනන අයෙක්, මෙම තත්වය විස්තර කලේ මෙසේය. “දිනක් මම මගේ වාහනයෙන් රජකාරියක් සදහා යන අතර මට දුරකථනය ඇමතීමක් ලැබිණ. මා රිසීවරය කනතබා ගත්විට මට අසන්නට ලැබුනේ මා මවිතයට පත්කළ කටහඩකි. එය එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ කටහඩය. ඔහු තමා ජනාධිපතිවරයායයි හදුන්වාදී ඔහු වෙනුවෙන් යම් රජකරී කටයුත්තක් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එතෙක් පැවතී සම්ප්‍රධාය වුයේ ජනාධිපතිවරයා පොලිසිය සම්බන්ධ කටයුතු වලදී කෙලින්ම කථා කරන්නේ පොලිස්පතිවරයාටය. එය විධායකයේ ප්‍රධානියා විසින් පොලිසියේ ප්‍රධානියා සමග කරනු ලබන  සාකඡාවකි. එම සාකච්ඡාවෙන් කරන ඉල්ලීමක් ඇත්නම් ඊට එකගවීම හෝ නොවීම පොලිස්පති වරයාගේ වගකිමක්විය. ජනාධිපතිවරයාගේ හෝ රජයේ ප්‍රධානියාගේ යම් ඉල්ලීමක් නිත්‍යානුකුලද හා රාජකාරිය ඉටු කිරීමට අනිසි ලෙස අතපෙවිමක්ද ලෙස නිගමනයක් ගැනීම පොලිස්පතිවරයා සතු වගකීමක් විය. එම ඉල්ලීම, ඊට අදාළ නිලධාරියෙකු ලව්වා කල යුතුද නැද්ද යන්න පොලිස් පතිවරයා නිගමනය කල යුතුය. ඉන් පසු එම ඉල්ලීම ක්‍රියාත්මක කිරීම නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකිරිම පොලිස්පතිගේ වගකීමය. එසේ කිරීම සම්බන්ධයෙන් යම් නෛතික විරෝධයක් හෝ, එම ඉල්ලීම ඉටු කිරීමෙන් ඇතිවිය හැකි ආනිසංසයන් ගැන පොලිස්පතිවරයාට දැනුම් දීමට අදාළ නිලධාරියට අවස්ථාවක් ලැබේ. මෙම සම්ප්‍රධායන් ඇතිකරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරීමය බධා කිරීම් හා දේශපාලන ඇගිලි ගැසීම් වලක්වාලීම සහාය. විධායකයේ ප්‍රධානියා කෙලින්ම යම් ඉල්ලීම් යම් නිලධාරියෙකුගෙන් කරන අවස්ථාවලදී එම නිලධාරියා අසරණ තත්වයට පත්වේ. ඔහුට පොලිස්

පතිවරයාගේ රැකවරණය නොලැබේ. මන්දයත්, පොලිස්පතිවරයා ඔහුට කරන ලද ඉල්ලීමක් හෝ අණක් නොමැති නිසාය. නිලධාරියා ජනාධිපතිගේ ඉල්ලීම ඉටු නොකළහොත් ඔහුගෙන් දේශපාලන වශයෙන් පළිගත හැකිය. නිලධාරියා ජනාධිපතිගේ ඉල්ලීම ඉටුකළහොත් ඔහුට තවත් පාර්ශවයකට අසාධාරණයක් කිරීමට සිදුවන්නට පුළුවන. එදා මට සිදුවූ දෙය පසුව සමස්ථ පොලිස් සංස්ථාව තුලටම පැතිර ගියේය. පොලිස්පතිවරයාගේ තත්වය පහලට ඇද වැටුනේය. පොලිස් සංස්ථාව තුල ඇති අණදීම හා කීකරුකම යන මුලික අදහස් බාල්දුවී ගියේ “යැයි ඔහු ප්‍රකාශ කලේ ඉතා කණගාටුවෙනි. රටයන දිශාව පිලිබදව විශාල කලකිරීමක් ඔහු ප්‍රකාශයට පත්කලේ එසේය.

එම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් හිටපු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල හේමසිරි ප්‍රනාන්දු විසින් අප්‍රියල් 21වන දින ප්‍රහාරය සම්බන්ධයෙන් විභාගකරන පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව ඉදිරියේදී ප්‍රකාශ කළේය.”මම අසරණ ආරක්ෂක ලේකම් වරයෙක් “ යනුවෙන් ඔහු කල ප්‍රකාශය මාධ්‍ය තුලින් ඔහුගේම කටහඩින්ම ප්‍රකාශයට පත්කරන ලදී.

සියලුම රජ්‍ය නිලධාරීහු පසුපන්නේ ඉහතකී අසරණ ත්ත්වයේය. එසේ අසරණ නොවී පැවතිය හැක්කේ පාලකයාගේ අයියලා මල්ලිලා හා හිතවතුනට පමණය.

රජයේ නිලධාරීන් අතර බොහෝ රජයේ නීතිඥයනට හැර අධිකරණ නිලධාරීනටද හිමිවී ඇත්තේ එම අසරණ තත්වයයි. එම අසරණ තත්වයේ සංකේතය හිටපු අග්‍රවිනිශ්‍යකාර මොහාන් පීරිස්ය. “ඔබ කියන ඕනෑම් දෙයක් මම කරලා දෙන්නම් “යනුවෙන් ඔහු වත්මන් ජනාධිපතිවරයාට කරන ලද ප්‍රකාශය, රජයේ නිලධාරීන් පත්ව සිටින අසරණභාවය පිලිබදව සදාතනික සංකේතයක්වනු ඇත.

ඉහත කී තත්වයම නීතිපති දෙපාර්තුමේන්තුව තුලද ඇති විය. එම නිසා ප්‍රොසිකියුටර් කාරිය බලවත් සේ ව්‍යාකුලත්ත්වයට පත්විය.

අප්‍රියල් 21වෙනිදා සිද්ධීන් සම්බන්ධයෙන් දැනට විභාග කරන කොමිසම ඉදිරියේදී හෙළිදරවු වී ඇති කරුණු වලදීද පෙනී යන්නේ විධායකයේ ප්‍රධාන වගකීම් දරන්නන් ඒවා පැහැර හැර, එම පැහැර හැරීම් ආරක්ෂක අංශවල විවිධ ප්‍රධානින් වෙත පැවැවීමට ගන්නා උත්සාහයයි. “වරද සිදුවි ඇත්තේ පාලකයා වශයෙන් මගෙන් වූවත්, මා වෙනුවන් උඹ වරද පිලිගෙන, උඹගේ බෙල්ල උඹම කපා ගනින් “ කියා පාලකයා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෙවා රජ්‍යතන්ත්‍රයක නිසි ක්‍රියාකාරිතිවය යටපත් කිරීමට හේතුවී ඇත. රටේ පාලනය සිදුවන්නේ රාජ්‍යතන්ත්‍රයක ක්‍රියාකාරීත්වයෙන් නොව, විධායකයේ ප්‍රධානීන්ගේ හිතුවක්කාර අණදීම් තුලිනි.

මෙවැනි තත්වයක් තුලින් අනාරක්ෂාව හා අස්ථාවරත්වය ඇතිවීම පුදුමයක් නොවේ. මෙහි තවත් පැත්තක් ඇත. එනම්, නිතිය මත පාලනය කර්යක්ෂම රජ්‍යතන්ත්‍රයක මාර්ගයෙන් සිදු නොවන තත්වයක් තුල, පාලකයිනට බලයේ සිටිය හැක්කේ රට තුල අසහනකාරී සිද්ධීන් ඇති කිරීමෙන් පමණය. එවැනි අසහනකාරී තත්වයක් නැත්නම් රටවැසියෝ තමන්ගේ දෛනික ප්‍රශ්න සාකච්චා කිරීමටත් අවශ්‍ය විටදී බලපෑම් දැමීමටත් යොමුවේ. සිවිල් සමාජයේ ක්‍රියාකාරිත්වය වැඩිවේ. ප්‍රකාශනයේ අයිතිය හා සංවිධානය වීමේ අයිතිය දැඩිව ප්‍රකාශයට පත්වේ. රටකට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීමට රටවැසියෝ ඉදිරියට එති. රටේ අසහනකාරී තත්වයක් පවතිනතාක් දුරට සිවිල් සමාජයේ මැදිහත්වීම් ව්‍යාකුල කිරීමට හා මැඩ පැවැත්වීමට පාලකයිනට හැකියාවක් ඇති වේ. බොහෝ විට මේ සදහා හදිසි නීතියද පනවගනු ලබයි.

අධිකරණයේ වගකීම;

මෙම කරුණ රටපුරාම දැන් දශක ගණනක් තුල සාකච්ඡා වන කරුණකි. හිටපු අග්‍රවිනිශ්‍යකාරවරුන් වන සරත් නන්ද සිල්වා හා මොහාන් පීරිස් ගේ ක්‍රියාකලාපයන් තුලින් අධිකරණයේ ක්‍රියාකලාපයට කොපමණ හානියක් සිදුවි තිබේද යන්න පෙන්නුම් කරයි. රටේ අධිකරණයේ ඇතිවී ඇති බාධා සම්බන්ධයෙන් විශ්ලේෂණ ඉමහත් ප්‍රමාණයක් රටේ ලේඛකයන්ගෙන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිල වාර්තාකරුවන් විසින්ද, වෙනත් ජාත්‍යන්තර සංවිධාන තුලින්ද පෙන්වාදී ඇත. එහෙත් මේ කිසිවක් නිරාකරණය කිරීම සදහා කිසිද ප්‍රයත්නයක් ගෙන ඇතිබව පෙනෙන්නට නැත.

රටේ අනාරක්ෂාව හා අස්ථාවරත්වය ගැන අධිකරණයේ වගකීම ඉටු කිරීමට ඇති ප්‍රධාන බාධාව නඩු පමාවය. අපරාධ නඩුවක් විසදීම සදහා අවුරුදු 17කට වැඩි කාලයක් ගතවන රටක මහජනයාගේ ආරක්ෂාව කොතෙක් දුරට අත්පත් කරදිය හැකිද? 2017 සැප්තැම්බර් 20වෙනි දින ප්‍රකාශයට පත් වුනු පාර්ලිමේන්තු විශේෂ කොමිටිය (parliamentary sectorial committee) මගින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව මගින් නඩු පමාව රට ලැජ්ජාවට පත්කරන බව ප්‍රකාශ කළේය. මෙම නඩු පමාව නැති කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කරන ලද අතර එම නිර්දේශ හයමාසයක් තුල ඉටු කරන ලෙස ඉල්ලීමක්ද කරන ලදී. ඒ කිසිදු නිර්දේශයක් ක්‍රියාවට දැමීමටට උත්සාහයක් ගෙන නැත. රජයන් විසින් යුක්තිය පසදලිම සම්බන්ධයෙන් තවත් කොමිටි ගණනාවක් පවත්වා ඇතත්, එවා ඉන් ඉදිරිපත්කරන ලද නිර්දේශද කිසිවක් ක්‍රියාත්මක කොට නැත.

නඩු පමාව හා අධිකරණ ක්‍රමයේ ඇති අඩුපාඩුකම් නිසා මහජනයා අසරණවී ඇති අතර අනාරක්ෂාවටද භාජනයවී ඇත.

අප්‍රියල් 21 සිදුවීම් සම්බන්ධයෙන් වගකිව උත්තෝ කවුරුදැයි සොයාබැලිය යුතුවේ.



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.