English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
මූලික අයිතිවාසිකම් නඩු බොහෝමයක් ඉවතට යාමට හේතුව වින්දිතයන්
(2019-06-11)

<< Go Back

මූලික අයිතිවාසිකම් නඩු බොහෝමයක් ඉවතට යාමට හේතුව වින්දිතයන්


වින්දිතයන් හා සාක්ෂිකරුවන් අතිශයෝක්තියෙන් සිදුවීම විස්තර කර ප්‍රකාශ ලබා දීම මූලික අයිතිවාසිකම් නඩු අසාර්ථකවීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම

“මිනිසුන් ස්වභාවයෙන් හිතාගෙන ඉන්න එකක් තමයි, අතපය කඩන්නේ නැතුව පොලිසියට ගහන්න අයිතියක් දීලා තියෙනවා කියලා. පොලිසියට එහෙම බලයක් කොහොම හෝ ආකාරයකින්, මේ රටේ නීතියෙන්වත්, වෙන කිසිම ආයතනයකින්වත් ලබා දීලා නෑ. මේ කාරණය නොදැනීම නිසා, සමහර වෙලාවට පොලිසියෙන් ඉදිමෙන්න ගහනවා. අත පය ඉදිමෙන්න ගහනවා. ඇවිදගන්න බැරිවෙන්න ගහනවා. පේන තුවාලයක් එළියේ නෑ. ඇට බිඳිලා නෑ. කව්රු හරි කිව්වට පස්සේ ඇයි පොලිසියෙන් ගහපු එක කාට හරි කිව්වේ නැත්තේ ඔයාට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් දාන්න පුළුවන්නේ කියලා, පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්නේ පුළුවන්නේ කියලා, කිව්වයින් පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිය යුතු කාලය පැනලා. එහෙම නැත්නම් මෙවැනි ආකාරයේ පැමිණිල්ලක් දාලා, වෛද්‍ය පරීක්ෂණයට යනකොට සමහර තුවාල හොයාගන්න බෑ. විශේෂයෙන්ම තැලුම් තුවාල වගේ ඒවා, සීරීම් තුවාල වගේ ඒවා හොඳ වෙලා තියෙන්න පුළුවන්.  එතකොට වෛද්‍ය වාර්තාවේ පැහැදිලි වෙන්නේ නැහැ. මේ කියන තුවාල, මේ කියන සිද්ධියත් එක්ක සමපාත වෙනවද නැද්ද කියන එක.

විත්තිය වෙනුවෙන් තියෙන බරපතල වාසි සහගත තත්ත්වයක් තමයි තමා වෙනුවෙන් දාන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය තබා තිබෙන විශ්වසනීයත්වය. සිද්ධියක් වුනු ගමන් සිද්ධිය ගැන පැමිණිල්ලක් කරන්න ඕනා. සිද්ධියට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙන්න ඕනා සිද්ධිය වෙච්ච සැණින්. අපි දවස් 10,20 විතර ගිහිල්ලා, කල්පනා කරලා, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුගේ උපදෙස් අරගෙන, ගිහිල්ලා පොලිස් ස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට පැමිණිලි කළාට පස්සේ, අපි දාන පැමිණිල්ල සම්බන්ධයෙන් අපි කියන නීති සිද්ධාන්ත එක්ක, පැමිණිල්ලේ කාලය ගලපලා, සමහර විට ඒ පැමිණිල්ල පමාවූ පැමිණිල්ලක් යන හේතුව මතම, අධිකරණය නිෂ්ප්‍රභා කරන අවස්ථා තිබෙනවා.

ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැමිණෙන නඩු වලදි ඊළගට පත්වෙන ගැටළු සහගත තත්ත්වය තමයි, ඒ අනුව පෙත්සම්කාර වින්දිතයා විසින්, ඉදිරිපත් කරනු ලබන සාක්ෂිකරුවන්, යම් යම් අවස්ථාවලදි වින්දිතයට පක්ෂව දීපු සාක්ෂියට විරුද්ධ සාක්ෂියක් වගඋත්තරකාරයාට ලබාදීම. මෙම නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වෙන්නේ දිවුරුම් ප්‍රකාශ වලින්. වින්දිතයට ගැහැව්වයි කියන සාක්ෂිකරු පොලිසියට පසු අවස්ථාවලදි එහෙම දෙයක් නොදැක්ක බවට ඕන තරම් දිවුරුම් ප්‍රකාශ තියෙනවා. මෙවැනි අවස්ථාවකදි වෙන්නේ කිසිම දෙයක් නෙමෙයි, ඒ නඩුවේ තියෙන විශ්වසනීයත්වය, සත්‍යභාවය, සම්බන්ධයෙන් සැකයක් ඇතිවෙලා, ඒ සැකයේ වාසිය, වගඋත්තරකාරයන්ට යන එක. ඒ නිසා මෙම නඩුවලට සාක්ෂි ඉදිරිපත් කිරීමේදී, විශේෂයෙන් මූලික අයිතිවාසිකම් නඩු වලදි, ඉතාම හොඳ වෛද්‍ය සාක්ෂියක් තිබේ නම්, ඉතා හොඳ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් දෙන්නෙක් ඉන්නවා නම්, එය ප්‍රමාණවත් තමන්ගේ නඩුව ඔප්පු කරගන්න. අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා අපිට ඉන්න සියලූම සාක්ෂිකරුවන් ගෙනල්ලා, නඩුවේ ප්‍රබලතාවය වැඩි කරගන්න එක හොඳ දෙයක් කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. අපිට පොලිසියෙදි ගහනවා දැකපු පොලිස් කූඩුවේ හිටපු කෙනෙක්ගේ සාක්ෂියක් අපි ලබා ගන්නවා. නමුත් අපේ වෛද්‍ය සාක්ෂිය ඉතා ප්‍රබලයි. අපේ ඇසින් දුටු සාක්ෂිකාරයෙක් ඉන්නවා ඉතා ප්‍රබල සාක්ෂිකාරයෙක්. තුවාලත් එක්ක මේ කතාව හොඳට ගැලපෙනවා. මේ  නඩුව තවත් සාර්ථක කරගන්න අපි දානවා පොලිස් කූඩුවේ ඉන්න කෙනෙක්ගේ දිවුරුම් ප්‍රකාශ. දාපු ගමන් අපේ නඩුව ඉස්සරහට ගෙනි යන්න අවස්ථාවක් ලැබෙනවා. මේ නඩුව හොඳට ඉස්සරහට යනකොට පොලිසියත්, ඒ අයගේ විරෝධතා ඉදිරිපත් කරනවා. ඒ විරෝධතාවයන් වලදි පොලිසියේ හිටපු මිනිස්සු අපිට දීපු දිවුරුම් ප්‍රකාශ වලට විරුද්ධව වෙනත් දිවුරුම් ප්‍රකාශයක් පොලිසියට දෙනවා. දැන් එතකොට නඩුව ඉවරයි. සමහර විට අධිකරණය මේ කාරණය නිසාම මේ නඩුව ඉවත දාන්න පුළුවන්.

මේ වගේ කාරණා නීතිඥයෝ මුහුණ දෙන ප්‍රධාන ගැටළු සහ දුෂ්කරතාවයන්. නීතිඥයන් සිද්ධිය වූ ස්ථානයට යන්නේ නැහැ. අපි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයන් කරන්නේ නැහැ. අපි අපිට ලැබෙන තොරතුරු, අපිට ලැබෙන වෛද්‍ය වාර්තා, අපට ලැබෙන වෙනත් සාක්ෂි මත තමයි අපි මේ නඩුව නිර්මාණය කරන්නේ. ඒ නඩුව නිර්මාණ කරලා ඒ නඩුව ඉස්සරහට ගෙනි යද්දි, අපට ලැබෙන තොරතුරු වල අසත්‍යතාවයක් තියෙනවා නම්, අපිට සාක්ෂි දුන්නු සාක්ෂිකාරයෝ පරස්පර අදහසකට ගිහිල්ලා ප්‍රකාශයක් කරනවා නම්, අපිට නඩුව කරන්න ඉතාම අපහසුතාවයට පත් වෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ අපරාධ නඩුවල ඔප්පු කිරීමේ භාරයේ තියෙන, බරපතල ස්වභාවය. මේක නිසා මෙවැනි නඩුවක් කරන අවස්ථාවකදි ඉතා හොඳ සාක්ෂි කිහිපයක් අරගෙන නඩුව කරන එක ප්‍රමාණවත්, නඩුවට අදාලව තිබෙන සියලුම සාක්ෂිකාරයන් එකතු කරගෙන ඇවිල්ලා, අමාරුවේ වැටෙනවට වැඩිය. අපරාධ නඩුවක් වුනත්, තිබෙන ප්‍රබල සාක්ෂි තමයි ඉදිරිපත් කරන්නේ. ලංකාවේ තිබෙන හොඳම සාක්ෂිය ඉදිරිපත් කිරීමේ රීතිය  (Best Evidence Rule ) කියලා රීතියක්. එතනදි සාක්ෂිකාරයෝ ගණන නෙමෙයි වැදගත් වෙන්නේ. ඉදිරිපත් කරන සාක්ෂිවල තිබෙන ප්‍රබලතාවය පමණයි. මේ රීතිය මූලික අයිතිවාසිකම් නඩුවට දැම්මොත්, අපිට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි.”



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.