English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලංකාවේ කුලියට මිනී මැරීමේ ඉතිහාසය - සංජීවනී රූපසිංහ
(2019-06-05)

<< Go Back
Share |   



විවිධ යුගවල ලංකාව විවිධ ආක‍්‍රමණිකයින්ට යටත්ව පැවතීම අපගේ ඉතිහාසය තුළ ප‍්‍රකට වන ප‍්‍රධාන ලක්ෂණයකි. මෙයට ලංකාවේ පිහිටීමේ ඇති ස්ථානීය වැදගත්කම ප‍්‍රබල සාධකයක් වූවා සේම අතීතයේ අප රට මුතු මැණික් අලි ඇතුන් බහුල සශ‍්‍රික රාජ්‍යයක් වීම ද ප‍්‍රබල සාධකයක් විය. ඔවුහු පැමිණ ලංකාව සුරාකාගෙන ගියහ.

අද ද ලංකාවේ ස්ථානීය වැදගත්කම නිසා එය ලෝකය පුරා මත් කුඩු ප‍්‍රවාහනයේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. එවිට ලෝකයේ ප‍්‍රධාන කළු ව්‍යාපාර වන මත් කුඩු සහ අවිආයුධ වෙළදාමේ සිටින රාජ්‍යයන් ලංකාවේ ඇති මෙම ස්ථානීය වැදගත්කම නිසා ලංකාව අත්පත් කර ගැනීමේ වාසිය පිළිබ`දව ඇස ගසා ගෙන ඇත. අතීතයේ ද එය එසේම සිදු විය.

එහෙත් සෑම විදේශීය ආක‍්‍රමණයකටම පාර කැපුවේ ලංකාවේ සිටි බලයට කෑදර අමන දේශපාලකයාය. දේශපාලකයාට සැමදා අවශ්‍ය වූයේ බලය මිස රටෙහි සුරක්ෂිතභාවය හෝ රටෙහි අභිවෘද්ධිය නොවේ. ලංකාවේ රාජ්‍යත්වය දිනා ගැනීමට දිගින් දිගටම කුලී හමුදාවන් ගෙන ඒම අප රටේ ආරම්භ වූයේ යටත් පිරිසෙන් දුටුගැමුණු යුගයෙන් පසුව විය යුතු යැයි අනුමාන කරමි. ඇතැම් විට විජය ඇතුළු පිරිස ද එසේ පැමිණී කුලී මිනීමරු පිරිසක් විය හැකිව ඇත. ඔවුහු එදා රාත‍්‍රියේම රාජකීයයන් සියල්ල සමූල ඝාතනය කර බලය අත්පත් කර ගත් බව මහාවංශය ස`දහන් කරයි. අහම්බෙන් පැමිණි පිරිසකට හදිසියේ එවැන්නක් කිරීමට අවි ආයුධ සහ උපක‍්‍රම එකවර ලැබෙන්නේ කෙසේ ද? විජය ඇතුළු පිරිස ප‍්‍රථම වරට රටට ආ කුලී මිනීමරු පිරිස යැයි අනුමාන කළහොත් අපගේ ශිෂ්ටාචාරයේ ආරම්භය ලෙස සනිටුහන් වන ස්ථානය පවා කුලී මිනීමරුවන්ගෙන් ආරම්භ වී ඇතැයි නිගමනය කරන්නට සිදුවේ.

එහෙත් ලිඛිතව කුලී හමුදා ගෙන ඒමේ ඉතිහාසය වේලක්කාර් හමුදාව හා අගම්පඩි හමුදා කුලියට ගෙන ඒම දක්වා දිවෙයි. එය සිදුවනනේ ඊලනාග(ක‍්‍රි:ව: 33-34) සහ අභයනාග(ක‍්‍රි: ව: 231-340)  ආදීන්ගේ යුගයේ සිටය. අභ්‍යන්තර ඒ දේශපාලන ප‍්‍රතිවාදීන් පරදවා බලය ලබා ගැනීම උදෙසාය. ධාතුසේනගේ කනිටු පුත් මොග්ගල්ලාන ක‍්‍රි: ව: 497 දී දකුණු ඉන්දීය කුලී හමුදා මෙරටට ගෙන්වූයේ සිය සොහොයුරු කස්සප පැරදවීමට ය. ශිලාමේඝවන්න ( ක‍්‍රි:ව: 617), තුන්වන අක්බෝ( ක‍්‍රි:ව: 626) පළවන දාඨෝපතිස්ස ( ක‍්‍රි:ව: 626-641) දෙවන දාඨෝපතිස්ස ( ක‍්‍රි:ව: 650-658), මානවම්ම( ක‍්‍රි:ව:671-711), හතරවන සේන( ක‍්‍රි:ව: 972-982) සහ ඔහුගේ මහසෙනවි සේනත් දකුණු ඉන්දියාවෙන් කුලී හමුදාවන් ගෙන ආහ.

මේ සියලූ කුලී හමුදා නිරූපනය කරන්නේ අභ්‍යන්තර බල අරගලයයි. හෙවත් කුලල් කා ගැනීමයි. එහෙත් පසුව සිදුවූ ආක‍්‍රමණවලට මෙම කුලී මිනීමරුවන්ගේ සහාය නිබ`දව ලැබුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. 
අප ඉතිහාසය ඉගෙන ගත යුත්තේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනීමට වන නිසාත් එම ඵෙතිහාසික සිදුවීම් ද නැවත නැවත ඉතිහාසය පුරා සිදුවන බැවින් ඒවාට මුහුණ දීම ස`දහාත් වන නිසා මෙම කුලී මිනීමරු ඉතිහාසය හැදෑරීම ද මෙම මොහොතේ අපට වැදගත් වනු ඇත.

පළවන සේන ( ක‍්‍රි:ව: 832-851) ගේ කාලය තුළ ශ‍්‍රී මාර ශ‍්‍රී වල්ලභ ( ක‍්‍රි:ව: 815-862) රජු සිදුකළ ලංකා ආක‍්‍රමණයේ දී ලංකාවේ රැු`දී සිටි මෙම කුලී හමුදා එම ආක‍්‍රමණයට සම්බන්ධ වී සහාය දක්වා ඇත. දකුණු ඉන්දීය චෝල අධිරාජ්‍යය ආක‍්‍රමණයට එරෙහිව පළවන විජයබාහු ( ක‍්‍රි:ව: 1055-1114) මාන්තොටට සේනා රැස් කළ විට අප රටේ රැදී සිටි කුලී හමුදාව වන වේලක්කාර් හමුදාව එයට විරුද්ධව කැරලි ගසා පොළොන්නරු නගරය අල්ලා ගත්තේ ය.

මෙම ආක‍්‍රමණයට යටත් වන්නට සිදුවීම ද කුලී මිනීමරුවන් ගෙන්වා ගෙන රටේ බලය අල්ලා ගැනීමට ගත් උත්සාහයන්ගේ ප‍්‍රතිලයකි. 
පස්වන මිහි`දු ( ක‍්‍රි:ව: 993) ගේ කුලී හමුදාව කැරලි ගසා අනුරාධපුරය අල්ලා ගත්තේ ය. මෙම තත්ත්වය පළවන රාජ රාජ චෝල අධිරාජ්‍යයාට රජරට අල්ලා ගැනීමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන ලදී. කාලිංග මාඝ සම`ග මෙම කුලී මැරයන් පසුව එකතු විය. පස්වන මිහිදු සමයේ දී ඔහු ගෙන්වා ගත් කේරළ හා කර්ණාටක කුලී හමුදා කැරලි ගසා රජවාසල හා අනුරාධපුරය අත්පත් කර ගත් පසු පස්වන මිහි`දුට අනුරාධපුරය අත් හැර රුහුණට පළා යන්නට සිදු විය. ඉන්පසු රජරට ප‍්‍රදේශ කුලී හමුදා අත පැවතුණු අතර පළවන රාජ රාජ යටතේ රජරට පෙදෙස චෝල අධිරාජ්‍යයේ ප‍්‍රාන්තයක් බවට පත් විය. එය ‘‘මුම්මුඩ චෝල මණ්ඩලම්’’ යනුවෙන් එය නම් කරන ලදී. ඔහුගේ පුත් පළවන රාජේන්ද්‍ර ( ක‍්‍රි:ව: 1014-1044) ආක‍්‍රමණය පුළුල් කළ අතර පස්වන මිහි`දු සිරභාරයට ගැනීමත්, රුහැණු හා දක්ෂිණ ප‍්‍රදේශවලින් වැඩි පෙදෙසක් අත්පත් කර ගැනීමත්, ලක්දිව වැඩි පෙදෙසක් චෝල අධිරාජ්‍යයට එක් කර ගැනීමත් ලක්දිව චෝල අධිරාජ්‍යයේ ප‍්‍රාන්ත 9න් එකක් බවට පත් කිරීමත් එය ‘‘ඊළම් මණ්ඩලම්’’ ලෙස නම් කිරීමත් සිදු විය. මෙය ප‍්‍රබල පාලන යුගයක් වූ අතර එය අවුරුදු 80ක් පමණ පැවතුණි. ලංකාව පළමුවරට දකුණු ඉන්දීය අධිරාජ්‍යයට යටත්ව ප‍්‍රාන්තයක් බවට පත් වූයේ පාලකයින්ගේ අදුරදර්ශී ක‍්‍රියා පිළිවෙත නිසා ය. එය අභ්‍යන්තර කා කොටා ගැනීම් නිසා පාලකයින් ගෙන්වා ගත් කුලී මිනීමරුවන් ඔවුන්ට විරුද්ධව යමින් රට ආක‍්‍රමණය කිරීමේ ප‍්‍රතිඵලයන්ය.

ක‍්‍රි:ව: 1212 දී පරාක‍්‍රම පාණ්ඩ්‍යගේ නායකත්වයෙන් යුත් පඩි හමුදාව පොළොන්නරුව ආක‍්‍රමණය කළේය. ක‍්‍රි:ව: 1215දී කාලිංග මාඝ කුලී හමුදාව සම`ග රට පාලනය කළේය. මෙය ඉතා කෲර පාලනයක් බව ඉතිහාසයේ ස`දහන් වේ. මලයානු අර්ධද්වීපයෙන් ගෙන්වන ලද මලයානු කුලී හුමුදාවක පිහිටෙන් ක‍්‍රි:ව:1247 දී චන්ද්‍රබාහුගේ ආක‍්‍රමණය සිදු විය. මාඝ එයට පරාජය වනු ලැබිණි. පිට පිටම සිදු වූ ආක‍්‍රමණ හේතුවෙන් සිංහල දෙමළ සමාජ සංවිධාන බි`ද වැටුණු අතර වියළි කලාපය අතැර දා දෙමළ ජනයා උතුරටත් සිංහල ජනයා කදුකරයටත් සංක‍්‍රමණය විය. දෙමළ සහ සිංහල ජනයා එකිනෙකාගෙන් හුදෙකලා ජාතීන් වශයෙන් ජීවත් වන්නට විය. සිංහල රජවරු දකුණු ඉන්දීය චෝල හා පාණ්ඩ්‍ය පාලකයන්ගෙන් නිරතුරුව ආධාර පැතුවේ යාපනයේ බලය අල්ලා ගැනීමටයි. 
පඩි රට නැවතත් ලංකාව ආක‍්‍රමණය කරමින් වීර පාණ්ඩ්‍යය ත‍්‍රිකුණාමලය අත්පත් කර ගත්තේය. පළවන බුවනෙකබාහු සමයේදී (ක‍්‍රි:ව: 1273-1284) මාරවර්මන් කුලසේකර නැවතත් ලංකාව ආක‍්‍රමණය කළේ ය.
13වන සියවසේ සිදු වූ ආක‍්‍රමණ හේතුවෙන් පඩි රටේ චක‍්‍රවර්තී පාලනය තුළ හමුදා ප‍්‍රධානීන් යටතේ ලක්දිව පාලනය විය.

1615දී පරරාජසේකරම්ගේ බෑණා කෙනෙකු වූ සංකිලි යාපනයේ බලය අල්ලා ගත් විට සංකිලි හමුදාව පරාජය කිරීමට පරංගි හමුදාවේ සහාය ලබා ගන්නා ලදී. එය පෘතුගීසීන්ට දකුණු හා බටහිර තීරයේ බලය අල්ලා ගැනීමට උදව් කළේය. 

පෘතුගීසීන් පළවා හැරීමට දෙවන රාජසිංහ ලන්දේසි ආධාර පැතීය. යාපනය අල්ලා ගත් ලන්දේසීහු නැවත නොගියහ. රජු ලන්දේසීන් කුලී හමුදාවක් ලෙස උපකල්පනය කළ ද එය නිවරදි නොවීය. පෘතුගීසීන් පළවා හැරීමට වියදම් කළ මුදල ලබා දෙන තුරු ඔවුහු නැවත නොයන බව අවධාරණය කළහ.  ඒ හේතුවෙන් රජු හා ලන්දේසීන් අතර ප‍්‍රශ්න උග‍්‍ර විය. 1658 දී ලන්දේසි පාලනයට යාපනය යටත් විය. ද්‍රවිඩ නායක්කාර් වංශයට අයත් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට විරුද්ධව උඩරට රදළ නායකයෝ ලන්දේසීන් සමග කුමන්ත‍්‍රණය කර රජු නෙරපීමට කටයුතු කළහ. එයින් ප‍්‍රයෝජන ගත් ලන්දේසීහු සිය බලය රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. ලන්දේසි අධිරාජ්‍යයට මෙලෙස ලක්දිව මුහුදුබඩ පෙදෙස් මුලූමනින්ම අත්පත් කර ගැනීමට හැකි වූයේ උඩරට දෙමළ රජුත් සිංහල රදළයිණුත් අතර පැන නැගුණු ජාතිකත්වය, රාජ්‍ය බලය සදහා වූ අරගල හේතුවෙනි.
 
ලන්දේසීන්ට එරෙහිව රජු ඉංග‍්‍රීසින්ගේ සහාය පැතීය. 1782දී ඉංග‍්‍රීසීන් විසින් ත‍්‍රිකුණාමලය වරාය අල්ලා ගන්නා ලදී. 1795-96 කාලය තුළ සියලූ මුහුදුබඩ පෙදෙස් ඉංග‍්‍රීසීන්ට යටත් විය. 1815දී ඉංග‍්‍රීසීන් එකදු වෙඩිල්ලක් හෝ නාස්ති නොකර සිය සෙබලූන්ගෙන් එකකු හෝ මරා ගන්නේ නැතිව උඩරට රාජධානිය මුලූමනින්ම අල්ලා ගන්නා ලදී. රජු හා රදළයන් අතර පැවති බල අරගලය මෙයට හේතුව විය. ඇහැලේපොළට අවශ්‍ය වූයේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ මරා රජ වීමටය. ඔහු ඇතුලූ රදළ ප‍්‍රධානීන් ඒ සදහා  ඉංග‍්‍රීසීන් කඬේ යැවීමට බොළද අයුරින් කල්පනා කළ ද අවසානයේ රටම ඉංග‍්‍රීසීන්ට කඬේ යවා තිබුණි. නැතහොත් ඉංග‍්‍රීසීන් ඇහැලේපොළ ඇතුළු පිරිස අන්දවා ගෙන තිබුණි.

නිදහසින් පසුව ඇතිවු එල්ටීටීඊ ප‍්‍රශ්නයේදී ඉන්දියාව දෙබිඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. මුල් කාලීනව ඉන්දිරා ගාන්ධි එල්ටීටීය පෝෂණය කළ අතර පසුව රජීව් ගාන්ධි කපටි ලෙස ශ‍්‍රී ලංකා රජය සහ එල්ටීටීය යන දෙපාර්ශවයම අතර අතුරේ ගමනක් යන්නට විය. ජේ ආර් ජයවර්ධන සමග ඇති කර ගත් ගිවිසුමකින් ඉන්දීය සාම සාධක හමුදාව හෙවත් අතීත අර්ථකථනයෙන් පවසන්නේ නම් කුලී හමුදාව ලංකාවට එවීමට ඉන්දියාව කටයුතු කළේය. ඒ පිළිබදව උරණ වූ ප‍්‍රභාකරන් රජීව් ගාන්ධි මැරවීමට කටයතු කළ අතර යුද්ධය අවසන් කිරීමට ඉන්දියාවේ සහාය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබෙන්නේ රජීව් මැරූ පලිය ගැනීමේ අරමුණ ද පෙරදැරිවය. එහෙත් එයම පමණක් නොවේ. එය පමණක් විණි නම් ප‍්‍රභාකරන් මැරූ පසු ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය වන්නේය. එහෙත් එසේ සාධනය වී නොතිබිණි.

ඉන්දියාවේ අදෘශ්‍යමාන ආර්ථික බලාපොරොත්තු කඩ කරමින් රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග ගමනක් ඇරඹීය. එසේම එල්ල වූ මානව හිමිකම් චෝදනාවලින් ගැලවීමට මුස්ලිම් රටවල උදව් ලබා ගන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදු විය. මුස්ලිම් ජනපදකරණයට මුල්ගල් තබන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවන්නේ මේ සමගය. 
මුස්ලිම් කුලී හමුදා ගෙන ආවේ කව්රුන්දැයි තීරණය කිරීමට තවම අප ඉක්මන් නොවිය යුතු අතර එය ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. එසේම මුස්ලිම් ත‍්‍රස්තවාදයෙන් සහ ආක‍්‍රමණවලින් ගැලවීමට අප අමෙරිකාවේ උදව් ලබා ගන්නේ නම් යළිත් අප අමෙරිකාවේ යටත් විජිතයක් බවට පත් නොවීමට එය සිදු කළ යුතු බව අප ඉතිහාසයෙන් උගත යුතුය. එසේම චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන් ද ගැලවී මෙම ගමන යන්නේ කෙසේ දැයි අප තීරණය කළ යුතුය. එහෙත් තවමත් ඇත්තේ අතීතයේ සිට පැවත ආ බලූ පොරය මිස අනෙකක් නොවේ. එම නිසා එම ගමන යාමට පාලකයා බුද්ධිමත් ද යන ගැටලූව අප හමුවේ තිබේ.
 
සංජීවනී රූපසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කැලණිය විශ්වවිද්‍යාලය 
 
(මෙම ලිපියට අදාල ඵෙතිහාසික දත්ත ලබා ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍යයන් දහතුන් දෙනෙකු සම`ග මා විසින් සිදුකළ පර්යේෂණයක් ම`ගිනි. එම පර්යේෂණ වාර්තාව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ම`ගින් ප‍්‍රකාශයට පත් කළ විචක්ෂණ ශාස්ත‍්‍රීය පර්යේෂණ සංග‍්‍රහයේ (2017) ‘ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය කෙරෙහි ජනමාධ්‍යයේ බලපෑම’ නමින් ප‍්‍රකාශයට පත් වී ඇත.)


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.