English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
යහපාලන රජයට වසර 04 යි - විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මේ අවසන් වසරේ පරම අදිටන විය යුතුයි. ගාමිණී වියන්ගොඩ
(2019-01-16)

<< Go Back





”යම් කිසි කෙනෙකුට තවමත් සැකයක් තියෙනවා නම් මේ ජනාධිපති ක‍්‍රමය කොයි වගේම කියන එක ඔවුන්ට හොඳම පාඩමක් ලැබුණා මේ ජනාධිපතිවරයා පහුගිය දවස් 50 විතර කාලය තුළ හැසිරිච්ච සහ කි‍්‍රයා කරපු ආකාරය දිහා බැලූවහම. ඒක නිසා මේවන කොට මේ රටේ කිසිම කෙනෙකුට අබමල් රේණුවක හෝ සැකයක් තියෙන්න පුළුවන් කමක් නෑ, මේ විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කොඩි විනයක් කියන එක.”

යහපාලනය රජයේ බිහිවීම

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව දීපු යහපාලන ජනවරමට තව දවස් කිහිපයකින් අවුරුදු 04 ක් සම්පූර්ණ වෙනවා. අවුරුදු පහක ජනවරමක් තියෙනවා අලූතින් හදාගත්ත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ඒ අවුරුදු පහේන් අවුරුදු 04 ක් ගිහිල්ලා දැන් එක අවුරුද්දයි ඉතිරිව තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මේක හොඳ අවස්ථාවක් කියලා ගත වුනු අවුරුදු 04 පිළිබඳ ආපසු හැරී බැලීමක් කරන්න. එදා රටේ තිබුණු තත්ත්වය ගැන බැලූවොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මාරාන්තික තර්ජනයක් එදා ඉදිරිපත් වෙලා තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම සහ මූලික ප‍්‍රමිතීන් ඉතා භයානක විදියට උල්ලංඝනය කරමින් තිබුණු අවස්ථාවක් එය. මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන, මේ රටේ ජනතාව ඉතා බුද්ධිමත්ව එදා විකල්ප නායකත්වයක් පත් කර ගත්තා. ඒ විකල්ප නායකත්වය වුනේ යහපාලන ප‍්‍රතිපත්ති මාලාව උඩ, ඒ ප‍්‍රතිපත්ති මාලාව තුළින් ලංකාවේ නැති වෙච්ච ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය වගේ මූලික ශිෂ්ට සම්පන්න, අංගගෝපංග යළි මේ රටේ ප‍්‍රතිෂ්ඨාපනය කරවයි කියන පොරොන්දුව උඩ තමයි ඒ විකල්ප නායකත්වය, ගොඩනගා ගත්තේ. ඒ විකල්ප නායකත්වයේ අපේක්ෂයා විදියට, වර්තමාන ජනාධිපති, එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්, මෛති‍්‍රපාල සිරිසේනව පත් කරගෙන තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ වෙනකොට, මෛති‍්‍රපාල සිරිසේන පිළිබඳව රටේ තිබුනා යම් කිසි ප‍්‍රසාදයක්. ඔහු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළේ විශාල වශයෙන් චෝදනා එල්ල වෙලා තිබුණේ නෑ. විශේෂයෙන්ම ඒ රජය යටතේ සිද්ධ වෙච්ච, අපරාධ සහ ¥ෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් ඔහුගේ නම ගෑවිලා තිබුණේ නෑ. ඒ නිසා මිනිස්සුන්ට අලූත් බලාපොරොත්තුවක් තියා ගන්න තිබුණා. මේ බලාපොරොත්තුව උඩ තමයි මේ රටේ එදා ප‍්‍රධාන විපක්ෂය වෙච්ච එක්සත් ජාතික පක්ෂයත්, සුළු ජාතික පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොනග‍්‍රසය, ජාතික හෙළ උරුමය වගේ සංවිධානත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන ව්‍යාපාරත්, එක මතයක ඉඳගෙන, මහින්ද රාජපක්ෂගේ රජය, අවසානයක් කළ යුතුයි කියන, නිගමනයට ඇවිල්ලා තිබුණේ. මේ සඳහා සිවිල් සංවිධානත් මූලිකවී කටයුතු කලා.

දැන් එහිදී අප තුළ විශාල බලාපොරොත්තු තිබුණා. ඒ බලාපොරොත්තු වන ප‍්‍රධාන අංගයක් වුණේ, ජනාධිපති ක‍්‍රමය, අහෝසි කළ යුතුයි කියන බලාපොරොත්තුව. ඒක තමයි ප‍්‍රධානම ඉල්ලීම වෙලා තිබුණේ. ඒ වෙගේම මෛති‍්‍රපාල සිරිසේනත් ඒ ඉල්ලීම එකහෙලා අනුමත කරලා තිබුණා. ඔහු කියලා තිබුණා ඔහු එ වරක් විතරයි ජනාධිපති වන්නේ කියලා. එය වෙනස් කරනවාය කියන නිශ්චිත පොරොන්දුව මේ රට ඉදියේදි දුන්නා. ඊට අමතාව අපි පුළුල් දේශපාලන වැඩ පිළිවෙළක් යටතේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අපේක්ෂාවක් තිබුණා. එතනදී මේ රටේ අවුරුදු 30 යුද්ධයෙන් මතුවෙලා තිබිච්ච ජාතික ප‍්‍රශ්නයට තිරසාරව සැපයිය හැකි විසඳුමක්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් ඇතුළත් කර ගැනීම පිළිබඳ පොරොන්දුවක් තිබුණා. ඊට අමතරව තිබුණා මහින්ද රාජපක්ෂගේ කාලයේ සිද්ධ වෙච්ච මහා පරිමාණ ¥ෂණ කි‍්‍රයා සහ අපරාධ කි‍්‍රයා සම්බන්ධයෙන් වහාම නීතිය කි‍්‍රයාත්මක කරවමින්, ඒවාට අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුයි කියන අපේක්ෂාව තිබුණා. ඊට අමතරව තිබුණා මේ රටේ ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්ණවලට, විසඳුමක්, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවිය හැකි ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළක් ඇති කර ගත යුතුයි කියලා. මෙන්න මේ කියන මූලික අපේක්ෂාවන් පෙරදැරිව තමයි එදා මෛති‍්‍රපාල සිරිසේනව මේ රටේ ජනතාව ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ.

යහපාලන රජයේ ප‍්‍රගතිශිලී පියවරයන්

ඊට පස්සේ ගත වෙච්ච අවුරුදු 04ක කාලය තුළ දැන් ආපහු හැරිලා බලන කොට ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ වෙනස් කිහිපයක් ඇති වෙලා තියෙනවා. සමහර වෙනස් කම් ඉතාමත්ම සාධනීයයි. තවත් සමහර වෙනස්කම් ඉතාමත්ම නිශේධනීයයි. සාධනීය වෙනස්කම් ගැන අපි කතා කළොත්, අපිට මුළින්ම තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඉතාමත්ම ප‍්‍රගතිශීලී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. මේ සංශෝධනය යටතේ එතෙක් ජනාධිපතිවරයාට තිබිච්ච ඇතැම් අත්තනෝමතික බලතල ඉවත් කරන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ රටේ හැම පැත්තකින්ම මේ රටේ දේශපාලනීකරණය වෙලා තිබිච්ච, රාජ්‍ය අංශය ඒ දේශපාලනීකරණයෙන් මුදවා ගැනීම සඳහා, ගත යුතුව තිබූ පියවර ගණනාවක් අපි අරගෙන තියෙනවා. එහිදී ව්‍යවස්ථා සභාවක් අපි පත් කරගෙන තියෙනවා. රජයේ ඉහළ නිලතග වලට පුද්ගලයන් පත් කිරීමේදී, දේශපාලන ඇගිලි ගැහීම්වලින් තොරව, ඒ කාර්යය ඉටු කරගැනීම සඳහා ඊට පස්සේ ඒ ඒ අංශවල ස්වාධීන පැවැත්ම සහතික කරගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභා, අපි පත්කරගෙන තියෙනවා. ඒ අනුව එතෙක් දේශපාලඥයන් විසින් මේ රාජ්‍ය පරිපාලන කෙරෙහි කරන ලද ඇගිලි ගැසීම්, හුගක් දුරට අවම කරගැනීමට අපිට පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ රටේ ජනතාවට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජීවත්වන ජනතාවක් විදියට, තමන්ව පාලනය කිරීමට අදාල සියළුම තොරතුරු දැනගැනීමට තිබිය යුතු අයිතිය දැන් ජනතාව ලබාගෙන තියෙනවා. අපි ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරගෙන තියෙනවා. මේ දේවල්වලට අමතරව තවත් අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට, ඒ වගේම උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූවන් පිළිබඳව සොයා බැලීමට, ඔවුන්ගේ පවරාගෙන තිබුණු ඉඩම් නැවතත් ඔවුන්ට පවරාදීම පිළිබඳව විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මේ සියල්ලේම සමස්තය වශයෙන් ගත්තහම. 2015 ජනවාරි 08 වෙනිදායින් පසුව ගතවුනු අවුරුදු 04 ක කාලය තුළ, මේ රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හුස්ම ගැනීමේ අවකාශයක් ලැබුණා. අද වෙනකොටත් අපි බුක්ති විඳින්නේ ඒක. දැන් මේ කතා කරන එක පවා ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළ, අපිට ලැබිච්ච දෙයක්. අද මිනිස්සු ජනාධිපතිවරයාව විවේදනය කරනවා. අගමැතිවරයාව විවේචනය කරනවා. වෙනත් බල පුළුවන්කාරකම් තියෙන  ඕනෑම කෙනෙක්ව, බය නැතුව විවේචනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය 2015 ට කලින් තිබුණේ නෑ. 2015ට කලින් මේ වැඬේ අපි කලා නම් බොහෝ විට යන්න සිද්ධවෙන්නේ සුදුවෑන්වල. එහෙම තත්ත්වයක් මේ රටේ තිබුණා. දැන් අපි ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. මේවා සාධනීය වෙනස් කම් අපි ඇති කරගෙන තියෙනවා.

යහපාලන රජයේ මුහුණ දුන් දරුණුතම අභියෝගය

ඊට පස්සේ නිශේධනීය වෙනස්කම් විදියට ගත්තම, ඒකට හොඳම උදාහරණය සැපයුනේ, මේ ගත වුනු දින 52 ක කාලයක් තුළ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් කරන ලද, යම් කිසි ක‍්‍රියාවලියක් සම්බන්ධයෙනුයි. ඔහු අගමැති රනිල් වික‍්‍රමසිංහව ධූරයෙන් ඉවත් කලා. මහින්ද රාජපක්ෂව අගමැති ධූරයේ පිහිටෙව්වා. ඊළගට පාර්ලිමේන්තුව වාරවසාන කලා. ඊළගට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. දැන් මේ සමස්ත කි‍්‍රයාවලියම කෙලින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්, එහෙමත් නැත්නම් අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්ප‍්‍රදායේ තියෙන, සාරධර්ම, ප‍්‍රමිතීන්, උල්ලංඝණය කිරීමක්. අපි ගත්තොත් අගමැතිවරයා ඉවත් කිරීම කෙලින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. දෙවනුව මහින්ද රාජපක්ෂව අගමැති වශයෙන් පත් කිරීම අර පළමුවෙනි උල්ලංඝණය නිසා, උල්ලංඝණය වන තවත් අවස්ථාවක්. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උල්අලංඝණය කිරීමක් නොවීමට නම්, මෛති‍්‍රපාල සිරිසේන කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය තියෙනවා කියන දෙය ඔප්පු කර පෙන්වීමයි. ඒ වෙනුවට මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා කළේ පාර්ලිමේන්තුව කල් තිබ්බා, ඊළගට කල් තිබීමෙන් ගත්ත කාලය තුළ, අර කියන පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය, බහුතරය මහින්ද රාජපක්ෂට තියෙනවා කියලා ඔප්පුු කරගත්ත බැරිවෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහව අගමැති ධූරයෙන් ඉවත් කිරීමත්, මහින්ද රාජපක්ෂව අගමැති ධූරයට පත් කිරීමත්, අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, කියන මේ කි‍්‍රයාවන් තුනම, අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මහ දවල් උල්ලංඝණය කරපු අවස්ථා තුනක් විදියට අපිට සලකන්න පුළුවන්. එයින් අවසානයට සිදුවුනු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා උල්ලංඝණයක් වන බව, මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරලා තියෙනවා. ඒවගේම මහින්ද රාජපක්ෂව අගමැති ධූරයේ පිහිටුවීම පිළිබඳව බරපතල සැකයක් තියෙන බව, අභියාචනාධිකරණය තීන්දු කරලා, ඔහුගේ එම පත්වීම කි‍්‍රයා විරහිත කරලා තියෙනවා මේ වනකොට. අධිකරණය ඉදිරිපිටට තවත් සිද්ධියක් පැමිණීමට නියමිතයි. ඒක තමයි රනිල් වික‍්‍රමසිංහව අගමැතිධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව. මෙය ඉදිරියේදී අධිකරණයේ සැලකිල්ලට යොමු වේවි. ජනාධිපතිවරයා ඇගමැතිවරයාව ඉවත් කරලා මහින්ද රාජපක්ෂව අගමැතිධූරයේ පිහිටුවීම කියන කාරණය ගත්තෝත්, මෙය එකහෙළාම, 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ලැබුණු ජනවරම කණපිට හැරවීමක් විදියටයි අපිට සලකන්නට තියෙන්නේ. අපි උදාහරණයක් විදියට ගත්තොත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කරලා නිමල් සිරිපාල වෙනත් කෙනෙක්ව අගමැතිධූරයේ පත් කලා නම් මේ ප‍්‍රශ්නය මේ ආකාරයෙන් මතුවෙන්නේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මෛති‍්‍රපාල සිරිසේනට ජනවරම දීපු ජනතාව සෘජුවම ප‍්‍රතික්ෂේප කරපු පුද්ගලයා. ඒ 2015 ජනවාරි 08 වෙනිදා. ඒ ජනවරමෙන් පුටුෙ වාඩිවෙලා ඉන්න ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, එදා එම ජනවරමින්ම ප‍්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ වාඩි කරවනවාය කියන්නේ ලැබුණු ජනවරමට සම්පූර්ණයෙන්ම ද්‍රෝහීවීමක් කියන එකයි. එතන ඉඳලා අද වෙනකොට තත්ත්වය දිග්ගැස්සී තිබෙන්නේ ඉතාම අවාසනාවන්ත ආකාරයකින්. උසාවියේ නියෝගයෙන් පසුව අළුතෙන් ආණ්ඩුවක් පිහිටුවීමට හිටපු අගමැතිවරයා නැවත පත් කරන්න ජනාධිපතිවරයාට සිද්ධ වුනා. ඔහු එය කරන්නේ සද්භාවයෙන් නෙමෙයි කියන එක ඔහු දිනපතාම ඔප්පු කරමින් ඉන්නවා. අමාත්‍යංශයවල අමාත්‍යවරුන් පත් කිරීම, ඊට පස්සේ ඒ අමාත්‍යංශවලට අවශ්‍ය කරන ආයතන පවරාදීම, තමන් යටතේ පවරාගත හැකි අමාත්‍යංශ ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් තවමත් තමන් යටතේ තබා ගැනීම, මේ වගේ සෑම දේකින්ම එක පැත්තකින් නැවතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා. අනික් පැත්තෙන් අලූතින් පත් කරපු ආණ්ඩුවට ආණ්ඩු කිරීම කරගෙන යාමට නොදෙන තත්ත්වයක්, මෛති‍්‍රපාල ජනාධිපතිවරයා විසින් මේවන විට සිද්්්්ධ කරමින් ඉන්නවා. ඉතින් මේක මම දකින්නේ 2015 ජනවාරි 08 වෙනිදා ලැබුණු ජනවරම අවභාවිත කිරීමක් විදියටයි. යම් කිසි දවසක මේ ජනාධිපතිධූරය අයින් වුනු දවසක මෛති‍්‍රපාල සිරිසේනව අපේ අධිකරණය ඉදිරියට පමුණුවලා දඩුවම් කරන්න පුළුවන් බරපතල වරදක් විදියටයි මම මෙය දකින්නේ.  

ජනාධිපති රජයේ කකුළෙන් ඇඳීම
 
ඉදිරියේ රජයට අවුරුද්දක් තියෙනවා. අවුරුදු 4ක තියෙනවා හොඳ නරක දෙපැත්තක්. ඉදිරි අවුරුද්ද තුළ, කි‍්‍රයාත්මකවීමට යන්නේ අර නරක පැත්තයි කියන ලොකු සැකයක් මා තුළ තියෙනවා. මොකද හේතුව ජනාධිපතිවරයා දැනට තීරණය කරලා තියෙනවා මොන විදියකින්වත් තමන් සම්බන්ධයෙන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වෙන්නට මම ඉඩ තියන්නේ නැහැයි කියන අධිෂ්ඨානයක ඉඳන් තමයි අද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වැඩ කරන්නේ. නීතියෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. නීතිය  ඕගොල්ලෝ ගාව තියාගන්න. මං බලාගන්නම් ප‍්‍රායෝගිකව කොහොමද මේ වැවේ කරන්නේ කියලා අදහසක අද මෛති‍්‍රපාල සිරිසේන ඉන්නවා. අද පවා අපිට දකින්න ලැබෙන දේවල් වලින් පේන්නේ ඒකයි. අයි.ටී.එන් වගේ ආයතනවල සේවකයින්ව උසිගන්වලා ඒ අයතනවල පරිපාලනයට කටයුතු කරගන්න බැරිවෙන විදියට අද ගෙනියන ව්‍යාපාරය පිටි පස්සේ ජනාධිපතිවරයා ඉන්නවා. මහින්ද රාජපක්ෂලා මේක පිටුපස්සේ ඉන්න බව අපි දන්නවා. නමුත් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මේක පිටුපස්සේ ඉන්නවා කියන එක තමයි තියෙන ලොකුම ප‍්‍රශ්නේ. ඒක නිසා ඉදිරි අවුරුද්දක කාලය තුළ විශාල බලාපොරොත්තුවක් මගේ නැහැ යහපාලන ප‍්‍රතිපත්ති අනුව ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන් කියලා. මොකද හේතුව යහපාලනයේ පුරෝගාමියාම යහපාලනයට පස්ස හරවලා ඒක කඩාකප්පල් කරන්න තීරණයක් අරගෙන තියෙන අවස්ථාවක, යහපාලන ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්කමක් නෑ මේ තියෙන ආණ්ඩු ක‍්‍රමය යටතේ. මේ ආණ්ඩුක‍්‍රමය යටතේ පාලනයක් ගෙනියන්න අගමැති හා ජනාධිපති අතර සහයෝගයක් තිබිය යුතුයි.


අවසන් වසරේ අභියෝගය හා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම

ඒක නිසා ඉදිරි අවුරුද්දෙදි රටක් විදියට ජනතාවක් විදියට එකම සහ ප‍්‍රධානම, අභියෝගය තමයි මේ ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර ගැනීම. මේක 1994 ඉඳලා බලයට පත්වෙච්ච සෑම නායකයෙක්ම, නායිකාවක්ම, මේ රට ඉදිරියේ දීලා තියෙන පොරොන්දුවක්. ඒක නිසා අපි මේ අවුරුද්ද ඇතුළත මේක කරගත යුතුයි. මේ වෙන කොට ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙනවා. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කෙරෙන්නේ මේ පවතින විධායක ජනාධිපති ක‍්‍රමය, අහෝසි කරගත යුතුයි කියන එකයි. ඉතින් ඒක නිසා අපි ඉදිරි අවුරුද්දක කාලය, වැය කළ යුතුව තියෙනවා, කැප කළ යුතුව තියෙනවා ඒ කියන ඉතා වැදගත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කරගන්න. එහෙම වුනොත් විතරයි, 2020 පස්සේ වුනත් අපිට විශ්වාසයක් තියන්න පුළුවන් වෙන්නේ අපිට නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතක යන්න පුළුවන් කියලා. යම් කිසි කෙනෙකුට තවමත් සැකයක් තියෙනවා නම් මේ ජනාධිපති ක‍්‍රමය කොයි වගේම කියන එක ඔවුන්ට හොඳම පාඩමක් ලැබුණා මේ ජනාධිපතිවරයා පහුගිය දවස් 50 විතර කාලය තුළ හැසිරිච්ච සහ කි‍්‍රයා කරපු ආකාරය දිහා බැලූවහම. ඒක නිසා මේවන කොට මේ රටේ කිසිම කෙනෙකුට අබමල් රේණුවක හෝ සැකයක් තියෙන්න පුළුවන් කමක් නෑ, මේ විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කොඩි විනයක් කියන එක. ඒ නිසා මේක වහාම ඉවරයක් කරගත යුතුව තියෙනවා. ඉදිරි කාලය මගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒ කාරණය සම්බන්ධයෙන් විතරයි. ප‍්‍රයෝගිකව කරගන්න පුළුවන් දෙයක් විදියට.

ඒ නිසා මම ඉල්ලා සිටිනවා සියළුම දේශපාලන පක්ෂ වලින්, ඒ වගේම මේ රටේ සියළුම ප‍්‍රගතිශීලී ජනකොටස් වලින් සහ සිවිල් සංවිධාන වලින් වහාම ජනතා විමුක්ති පෙරමුණ ගෙනල්ලා තියෙන මේ 20 සංශෝධනයට උරදීලා මේ විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කරමු කියලා.



Advertisments
Facebook