English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අපිට ඕන කොදෙව්වක සිරවුනු පාලකයන් නෙමෙයි. ලෝකය එක්ක යන්න පුළුවන් නායකයන් - ජේෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ (කථිකාචාර්ය කැළණිය විශ්ව විද්‍යාලය)
(2018-11-01)

<< Go Back
Share |   


“මට සංස්කෘතික වශයෙන් මෙහෙම ඉන්න බෑ. මට එකට පෑහෙන්න බෑ. මට එකට කතා කරන්න බෑ. මේ තමයි අපි 56 හදපු ජාතික රාජ්‍යයේ නියම දරුවා. තමන්ට වඩා වෙනස් පැවැත්මක් තියෙන මිනිස්සුන් එක්ක මේ කාටවත් පෑහිලා ඉන්න බෑ. එහෙම රටක් නෙමෙයි අපට  ඕනා. අපිට  ඕන ලෝකේ එක්ක හැසිරෙන්න පුළුවන් මිනිහෙක්. අපිට  ඕන කොදෙව්වක් නෙමෙයි. ” - ජේෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ (කථිකාචාර්ය කැළණිය විශ්ව විද්‍යාලය)

ඔක්තෝම්බර් මස 31 වෙනි දින කෝට්ටේ සොලිස් උත්සව ශාලාවේදී පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වෘත්තිකයෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විනි. ඒ සඳහා විවිධ වෘත්තීන්වල නියැලූනු පිරිසක් මේ සඳහා සහභාගි විය. එහිදී අදහස් දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මෙසේ පැවසීය.

2015 දී ලංකාවේ ඇති වුනු මේ පෙරළිය 1948 ඉඳලා ලබන කොට ඇති වුනු සියලූම දේශපාලන පෙරළීන්ට වඩා වෙනස් දේශපාලන ප‍්‍රවේශයක් තියෙන පෙරළියක්. පක්ෂයක් බිමට දාලා තවත් පක්ෂයක් ඉහළට ඔසවපු අවස්ථාවක් නොවෙයි. මේක ලංකාවේ සිවිල් සමාජයේත්, ලංකාවේ සියලූ දැනුවත් පුරවැසියන් කිසියම් පොදු අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කරලා ඉතාම නරක තත්ත්වයකට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්, මානව හිමිකම් තිබුනු අවස්ථාවක ඉතාමත්ම අසීරුවෙන් සිදු කළ අවස්ථාවක්. එවැනි අසීරුතාවයන් 88/89 කාලයන්හීදීවත් ඇති වුනා කියලා මම හිතන්නේ නැහැ. කෙසේ වුවත් එයින් ජයගෙන බලයට පත් වුනා පොදු අපේක්ෂකයා. එතකොට එම අසීරු තත්ත්වයෙන් බලයට පත් වුනාට ඒ බලය ගැන සලකා හෝ ඒ අසීරු තත්ත්වයට මුහුණ දුන් අය ගැන සලකා හෝ පවරාගත් කාර්යය නිවැරදිව කළ කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි එය නිවැරදිව නොකලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන්, මානව නිදහසේ පැත්තෙන් ලෝකයේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස පිළිබඳ ප‍්‍රමිතීන් පිළිබඳ කාරණයට යම් යම් ආකාරයෙන් සැලකිය යුතු මට්ටමෙන් ලංවීමේ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම, මානව නිදහස තහවුරු කර ගැනීම පිළිබඳ කටයුතු ටිකක් පහුගිය අවුරුදු තුනේදී කරන්න පුළුවන් වුනා.

මේකෙන් මම අදහස් කරන්නේ නැහැ මම කිසිසේත්ම ඒ තිබුණු පාලනය සම්පූර්ණයෙන් අනුමත කරනවා කියලා. බරපතල වැරදි තිබුණා. හැබැයි එවැනි බරපතල වැරදි තිබියදී පවා මෙවැනි ආකාරයකින් රටේ බලවත් ව්‍යාකූලතාවයක් ඇති වන පරිදි කිසිම අයිතිවාසිකමක් හෝ සදාචාරාත්මක දේශපාලන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ මෙවැනි දෙයක් කරන්න. අද තියෙන තත්ත්වය ගත්තට පස්සේ අද උදේ මහින්ද සමරසිංහ මහතා කියනවා පාර්ලිමේන්තුව අපි රැස් කළත් අපි කරන්නේ ඒකේ බහුතරය බැලීම නෙමෙයි අපි අලූතින් වැඩ පටන් ගැනීමයි ලූ. දැන් මේ තත්ත්වයෙන් මොකක්ද අදහස් වෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුළේ විශාල බලපොරයක් ඇති වෙලා, ජීවිත විනාශ වෙලා, දේපල කුඩුවෙන තත්ත්වයකට යනවා මිනිස්සු බෙල්ල මිරිකගන්න. ඊට පස්සේ ඒක මහා පාරට එනවා. එතකොට මේ තත්ත්වය ව්‍යාකූල තත්ත්වයක්. රටේ සාමකාමී තත්ත්වය, මිනිස් ජීවිත වල තත්ත්වය, මානව සම්බන්ධතාවල තත්ත්වය, ඉතාම නරක තත්ත්වයකට ඇඳ දැමීමේ ක‍්‍රමයක්. මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුනා කිසිම ගැටලූවක් නැතුව පනතක් හෝ අයවැයක් පාර්ලිමේන්තුවට ගේන වෙලාවට, ඔහුගේ බහුතරය පෙන්නුවනම් රනිල් වික‍්‍රමසිංහ මහතා පැරදිලා ඔහුට අගමැති ධූරයෙන් ඉවත් වීමේ ගැටලූවක් පැන නගින්නේ නැහැ. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය. එහෙම වුනා නම් අපට ගැටළුවක් නැහැ.

මෙතන තියෙන්නේ මහින්ද හෝ රනිල් පිළිබඳ කාරණයක් නෙමෙයි. මේ රටේ ආපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාවලිය ඉතිහාසයේ නොවූ ආකාරයෙන්, ඉතාම නරක ආකාරයෙන්, කැත කරපු චිත‍්‍රයක් තියෙනවා. ඒ චිත‍්‍රය පාර්ලිමේන්තුවේත්, ගම් නියම්ගම් වලත් පැතිරිලා, මේ රටේ ජනජීවිතයේත් ව්‍යාකූල තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. මේ සිදුවීම පුද්ගල සාධකවලට ලඝු කරගන්න එපා. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක්. පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතරය තියෙන්නේ කාටද කියන එක සාමකාමීව විසඳාගැනීමටත්, ඒ පිළිබඳව වීදිවලට, ගම් නියම්ගම් වලට, සිටින මිනිසුන්ට පූර්ණ ආරක්ෂාව දීමත්, සියලූ ආයතතන කළකෝළහාලයකින් තොරව පවත්වාගැනීමත් මේ වෙලාවේ කරන්නට  ඕනා. ඒක කරන්නට නම් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඒත තමයි අපේ සටන් පාඨය. ප‍්‍රංශ විප්ලවයේ මූලික කාරණය වුනෙත්, අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවක් වහගෙන ඉඳීම. එතනින් තමයි 1789 ලෝකයේ පළමුවෙනි ධනේෂ්වර විප්ලවය පුපුරා යන්නේ. එතකොට මේ කරන්න හදන්නෙත් මේ වගේ රටක මිනිස්සුන්ට තියෙන ඉතාම සොච්චම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියත් හකුලා දැමීමක්. එහෙම නැතුව මම මේ කතා කරන්නේ මහින්ද හෝ රනිල් වෙනුවෙන්වත්, රනිල් වෙනුවෙන් හෝ මහින්ද වෙනුවෙන්වත් නෙමෙයි. පුද්ගල සාධක මත නෙමෙයි.

අපේ එකම, දැඩිම බලාපොරොත්තුව එයයි. සදාචාර සම්පන්නවත්, තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක්, මිනිසුන්ව මේ විදියට පාවාදීමට ඇතිවුනු කාරණය කුමක්ද? ජනාධිපතිතුමාගේ කතාවෙන්ම ඔප්පු වෙනවා. මට සංස්කෘතික වශයෙන් මෙහෙම ඉන්න බෑ. මට එකට පෑහෙන්න බෑ. මට එකට කතා කරන්න බෑ. මේ තමයි අපි 56 හදපු ජාතික රාජ්‍යයේ නියම දරුවා. තමන්ට වඩා වෙනස් පැවැත්මක් තියෙන මිනිස්සුන් එක්ක මේ කාටවත් පෑහිලා ඉන්න බෑ. එහෙම රටක් නෙමෙයි අපට  ඕනා. අපිට  ඕන ලෝකේ එක්ක හැසිරෙන්න පුළුවන් මිනිහෙක්. අපිට  ඕන කොදෙව්වක් නෙමෙයි. උපන්න තැනම වාඩි වෙලා එතනම ඉඳගෙන අපි දන්න මිනිසුන් එක්ක හැසිරෙන්න  ඕන රටක් නෙමෙයි. ජාත්‍යයන්තර වශයෙන්  ඕනම මිනිහෙක් එක්ක, තමන්ට වඩා වෙනස් පැලැන්තියක එක්ක එකට වැඩ කරන්න පුළුවන්, ඒ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් නායකයෝ අපට  ඕන. ඒ මට්ටමට අපේ සාකච්ඡාව දියුණු කරගැනීම තමයි අපට  ඕන. අපේ දේශපාලන සංස්කෘතිය දියුණු කරගන්න අපට  ඕනා.

ඒ ගමන නෙමෙයි අපි යන්න හැදුවේ. ඒ ගමන යන්න හදනකොට අපට ලැබුණු පාලනයෙන් ලොකු සහනයක් ලැබුනෙත් නෑ. ඒකත් කිසියම් කල්ලියක්. කිසියම් පිරිසක් අල්ලා ගත්ත ඉතාමත් නරක විදියට ලිබරල් ප‍්‍රතිසංස්කරණ ගෙනල්ලා. අපිව යටපත් කරගෙන යන්න හදපු ගමනක්. අනික් පැත්තෙන් දැන් එන්න හදන්නේ ඊට වඩා නරක ගමනක්. මේ රටේ මිනිස්සුන්ගේ නිදහස. මේ රටේ දරුවන්ගේ අනාගතය. මේ රටේ සියලූ දේ තීරණය වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ආරක්ෂා කළොත් විතරයි.”


 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.