English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මේ ජනාධිපතිවරයා මේ රට අශීලාචාර රටක් කලා - ජේෂ්ඨ කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
(2018-11-01)

<< Go Back
Share |   



නැවත වතාවක් ජනාධිපතිධූරය දැරීමේ ආශාවෙන් ජනාධිපතිවරයා පෙළෙනවා. තමන් හොරා කියලා හංවඩුගහපු, තමන් මිනිමරුවා කියලා හංවඩුගහපු, හිටපු ජනාධිපතිවරයාගේ පිරිසක් තමයි අද ජනාධිපතිවරයට  ඕන වෙලා තියෙන්නේ නැවත ජනාධිපතිධූරයට පත්වීම සඳහා. මේ වගේ අශිෂ්ඨ දේශපාලනයකටද අපි මේ රට ගෙනියන්නේ  

මම මේ ජනාධිපතිවරයට ඡන්දය දීලා තියෙනවා 2015 දී. අපි ඡන්දය දුන්නේ මේ රටේ යහපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා. මම මෙතනදී ව්‍යවස්ථාව හෝ නීතිය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මෙහි දේශපාලන කාරණය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මේ රටේ මොන ආණ්ඩුව තිබුනත් අපිට ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ නීතියේ පාලනය තියෙන්න  ඕන. ව්‍යවස්ථානුකූලභාවය තියෙන්න  ඕන. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වෙන්න  ඕන. අපි මෙතනට ආවේ පහුගිය සතියේ ඇති වෙච්ච මේ රටේ නීතියේ පාලනය සම්පූර්ණයෙන් බිඳ වැටුනා. ඒ වගේම මේ රටේ ශීලාචාරකම බිඳ වැටුනා. ඒක අවුරුදු තුනහාමාරක් ඇතුළත ජනාධිපතිවරයා දුන්නු පොරොන්දු අමු අමුවේ උල්ලංඝණය කෙරුවා. එතුමා ජාතික අමතා කරපු කතාව තුළත් අපිට විශාල විමතියක් ඇති වුනා, එතුමා අලූත් හොරෙක් ගැන කතා කලා. ඒ තමා රනිල් වික‍්‍රමසිංහ. එතුමා 2015 දී හිටපු ජනාධිපතිවරයා හොරෙක් කෙරුවා. එතෙකොට එතුමා අලූත් හොරාව අයින් කරලා නැවතත් පරණ හොරා ගාවටද ගියේ. මම මේ කතා කරන්නේ එතුමාගේ වචන වලින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වචනවලින් මම මේ කියන්නේ. අලූත් හොරෙක් නම් රනිල් වික‍්‍රමසිංහ මහතා එතුමා කියපු විදියට පරණ හොරා තමයි වර්තමානයේ අගමැතිවරයා හැටියට පත් කරපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. ඒ පත්වීම නීත්‍යානුකූල නොවන නිසා තමයි අපි ආවේ මෙතනට. එතකොට අපි 2015 මේ පෙරළිය කළේ මේ රටේ 62 ලක්ෂයකට වැඩි ජනතාවක් ඡන්දය පාවිච්චි කරලා. මේ රටේ නීතියේ පාලනය ඇති කරන්නත්, ශීලාචාරකම ඇති කරන්නත්. දැන් අපි දැක්කා 2015ට කලින් මේ රට තුළ තිබුනු තත්ත්වය. ඉතින් ඒ තත්ත්වයට එරෙහි තමයි බලවේගයක් ඉස්මතු වුනේ. විශේෂයෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත තහවුරු කිරීම. මානව අයිතිවාසිකම් තහවුරු කිරීම. පුවත්පත් සහ මාධ්‍ය නිදහස තහවුරු කිරීම. මේවා තමයි එදා සටන් පාඨ වුනේ. ඒ වගේම නීත්‍යනුකූලභාවය පාලනය. ව්‍යවස්ථානුකූලභාවය. මේ සියළු පොරොන්දු දීලා තමයි යහපානය විනිවිදභාවය, විවෘතභාවය, වගකීම, වගවීම යන යහපානයේ මූලධර්ම එක්ක තමයි මේ රජය බලයට පත් වෙන්නේ. ඒකේ නියමුවා තමයි ජනාධිපතිවරයා.

නමුත් අපිට පේනවා පහුගිය සතියේ සිදුවුනු දේවල් වලින් එතුමාම යහපාලනයේ මූලධර්ම උල්ලංඝණය කරනවා. හොර රහසේ අගමැතිවරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබියදීත්, හොර රහසේ වෙනත් අගමැතිවරයෙක් පත් කරලා. දැන් කැබිනට් මණ්ඩලයකුත් දිවුරුම් දෙනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ව විකිණෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ රටේ ජනතාවට යන කලදසාව කුමක්ද? අපි දැක්කා පහුගිය දින කිහිපයේදී මන්ත්‍රීවරු මුදලට විකිණිච්ච හැටි. ඇමති පදවිවලට විකිණිච්ච හැටි. මේ රටේ ඡන්ද තියන්න  ඕන නැනේ. මේ රටේ මැතිවරණ තියන්න  ඕන නෑ. මේ රටේ මන්ත්‍රීවරුන් එහාට මෙහාට කරලා ආණ්ඩු ගෙනියන්න පුළුවන්නේ. මහජනතාවගේ විශාල මුදල් සංඛ්‍යාවක් වැය කරලා ඡන්ද පවත්වන්නේ. අපි ඡන්ද දීලා තියෙන්නේ 2015 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරලා තියෙන්නේ. මේ රටේ ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන්න. දැන් ඒ මන්ත්‍රීවරු එක පිල් වලට පනිමින් මේ රටේ ජනතා පරමාධිප්‍යයට නින්දා සහගත තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අන්න ඒකට විරුද්ධව තමයි අපි මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්න තමයි අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. මේ වගේ සාකච්ඡා පවත්වන්නේ. මන්ත්‍රීවරුන්ට කිසිම යුතුකමක් නැහැ, කිසිම අයිතියක් නැහැ මේ අවස්ථාවේ පිල් මාරු කරන්න. මන්ත්‍රීවරයෙක්ට අයිතියක් තියෙනවා ප‍්‍රතිපත්තිමය වශයෙන්, මතවාදී වශයෙන් තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට විරුද්ධව අදහසක් ප‍්‍රකාශ කරලා, මතයක් ප‍්‍රකාශ කරලා, වෙනත් පක්ෂයකට ඇතුල්වෙන්න. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්.

උදාහරණයක් වශයෙන් එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක. එක්සත් ජාතික පක්ෂයෙන් ඉඳලා විරුද්ධ පක්ෂයට යන්නේ ප‍්‍රතිපත්තිමය කාරණයක් උඩ. මොකක්ද ප‍්‍රතිපත්තිමය කාරණය. එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප‍්‍රතිපත්තියට විරුද්ධවීම. එහෙම මන්තී‍්‍රවරයෙකුට අයිතියක් තියෙනවා පක්ෂ මාරුකරන්න. අද අපිට පේනවා අමු අමුවේ මන්තී‍්‍රවරු පක්ෂ මාරුකරන්නේ වරදානවලට, වරප‍්‍රසාදවලට, ඇමතිධූරවලට සහ මුදල්වලට කියන එක පේනවා. මේ මන්ත්‍රීවරුන්ට කතා කරපු දේවල්. මෙච්චර මුදලක් දෙන්නම්, මෙන්න මේ ඇමති පදවිය දෙන්නම්. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරියන්ට, මන්ත්‍රීවරුන්ට, ප‍්‍රබල ඇමතිධුර දෙන්න පොරොන්දු වෙනවා. පිල්මාරු කරන්න පුළුවන් තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා. එහෙම නම් මේ රටේ මැතිවරණ තියන්නේ කුමකටද? මේ රටේ මහජන මුදල් නාස්ති කරන්නේ කුමකටද? 225 දෙනාට පුළුවන් නේ පැති මාරු කරකර පාර්ලිමේන්තුවේ ඉන්න. මෙන්න මේ අශීලාචාර දේශපාලනය නැති කරන්න තමයි 2015 මේ යහපාලන ආණ්ඩුව බලයට පත් කෙරුවේ. මේ ජනාධිපතිවරයාව පත් කෙරුවේ. රජයේ වැරදි එමට තිබුණා. අපි විශාල වශයෙන් ආණ්ඩුවට විරුද්ධව කතා කෙරුවා. හොරු ඇල්ලූවේ නැහැ කියන චෝදනාව, සමහර වංචා පිළිබඳ චෝදනා, මේ ආණ්ඩුවට එල්ල වුනා. හැබැයි ඒ අගමැතිවරයා වංචා, දූෂණවලට සම්බන්ධ වෙලා හිටියනම් කොහොමද හිටපු ජනාධිපතිවරයට අගමැතිධූරය දෙන්නේ. එහෙම නම් වෙන කෙනෙක් පත් කරන්න තිබුණනේ ජනාධිපතිවරයට. වංචා දූෂණවලට සම්බන්ධ මන්ත්‍රීවරයෙක්. කොහොමද එතුමට පුළුවන් වුනේ හිටපු ජනාධිපතිවරයා ඉතාම පිරිසිදු කෙනෙක් ලෙස පත් කරන්න. මෙන්න මේක තමයි දේශපාලන වශයෙන් තියෙන අශීලාචාරකම. මේ තත්ත්වය අපි ඉදිරියට ගෙනියනවද? අපේ දරු පරපුරට අපි පවරන්නේ මේ වගේ රටක් ද?. මේ වගේ නීතියක් නැති. දේශපාලන බලලෝභයට මේ රටේ ජනතාව පාවිච්චි කරන්න පුළුවන්, පාර්ලිමේන්තු බලය පාවිච්චි කරන්න පුළුවන්, මේ වගේ ඉතාම අශිෂ්ට, ම්ලේච්ඡ තත්ත්වයක් ද අපි බාර දෙන්නේ අපේ අනාගත පරම්පරාවට.

මම දහස් ගාණකට උගන්වලා තියෙනවා. අවුරුදු 30ක් මම විශ්ව විද්‍යාලවල උගන්වලා තියෙනවා. අපි ළමයින්ට උගන්වන්නේ මේවා නෙමෙයි. අපි උගන්වන්නේ යුක්තිගරුක භාවය, නීතියේ පාලනය, නීතියේ ආධිපත්‍යය, මේවා තමයි අපි ළමයින්ට උගන්වන්නේ. එතෙකොට ඒ ශිෂ්‍යයින්, ඒ දරුවන්, අපෙන් අහන ප‍්‍රශ්නවලට අපි දෙන උත්තරය කුමක්ද? අපි දැන් එක් යුගයක් නිමා කරලා තියෙන්නේ මේ රටේ. මේ රටට දේශපාලන ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි. ආණ්ඩුවෙන් තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා, විගණන පනත ගෙනාවා, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව පණගැන්වුවා. මේ ජනාධිපතිවරයා මේවා තමයි කිව්වේ. මේ ජනාධිපතිවරයා කිව්වා මම එක පාරයි ඉදිරිපත් වෙන්නේ කියලා. මගේ බලතල සේරම පාර්ලිමේන්තුවට දෙන්න කිව්වා. නාමික තත්ත්වයකට පත් කරන්න මාව කිව්වා. අවුරුදු 05 ක් වැඩියි  අවුරුදු 04 ක් කරන්න කිව්වා. එහෙම කියපු ජනාධිපතිවරයා අද මොකක්ද කියන්නේ. නැවත වතාවක් ජනාධිපතිධූරය දැරීමේ ආශාවෙන් එතුමා පෙළෙනවා. තමන් හොරා කියලා හංවඩුගහපු, තමන් මිනිමරුවා කියලා හංවඩුගහපු, හිටපු ජනාධිපතිවරයාගේ පිරිසක් තමයි අද ජනාධිපතිවරයට  ඕන වෙලා තියෙන්නේ නැවත ජනාධිපතිධූරයට පත්වීම සඳහා. මේ වගේ අශිෂ්ඨ දේශපාලනයකටද අපි මේ රට ගෙනියන්නේ කියන එක තමයි මම මතු කරන්නේ මේ රටේ ජනතාවගෙන්.

ඒ නිසා අපි මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන සටනට මේ රටේ විද්වතුන් විදියට, වෘත්තිකයින් විදියට අපි අවතීර්ණවෙලා ඉන්නේ. අපිට ප‍්‍රශ්නයක් නැහැ කව්ද අගමැතිවෙන්නේ කියලා. කුමන ආණ්ඩුවද බලයට පත්වෙන්නේ කියන එක අපිට අදාලා නැහැ. අපිට අදාල වෙන්නේ මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද, මේ පත් කිරීම් නීත්‍යානුකූලද, මේ කරන කි‍්‍රයාකාරකම් ශීලාචාර ද, ශිෂ්ඨ සම්පන්න ද, කියන කාරණා තමයි අපි මතු කරන්නේ. මම මේ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂයටත්, හිටපු ජනාධිපති, පත් කළ අගමැති මහින්ද රාජපක්ෂටත් දොස් කියන්නේ නැහැ. මම සෘජු ලෙස මගේ ඇගිල්ල දිගු කරන්නේ වර්තමාන ජනාධිපතිවරයාටයි. එතුමාගේ වචන තමයි මම මෙච්චර වෙලා පාවිච්චි කළේ. අපේ වචන නෙමෙයි. එතුමා තමයි මේ රට ශීලාචාර රටක් බවට පත් කරනවා කියලා පොරොන්දු දීලා අද එතුමාම ඒක අනික් පැත්ත හරවලා අශිලාචාර රටක් බවට පත් කරන්න උත්සාහ කරනවා. නීතියේ පාලනයක් නැති රටක් වෙලා දැන්. ”

අපි මීට කලින් කිව්වා මේ මන්ත්‍රීවරු මාරු වෙන එක ගැන. සමහර මන්ත්‍රීවරු ඉල්ලා සිටියා නීතියක් දාන්න කියලා. පක්ෂ මාරු කිරීම ගැන. හැබැයි ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව කරන්න බෑ. හැබැයි මන්ත්‍රීවරු ශීලාචාර වෙන්න  ඕන. තමන්ගේ ජනවරමට පිටු නොපා ඉන්න තීන්දු කරන්න අද එබඳු තත්ත්වයක් මේ රටේ නැහැ. ඒ නිසා අපි ඇගිල්ල දික් කරන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, මේ ශිෂ්ඨ සම්බන්න නොවන, මේ ක‍්‍රියාවලියට විරුද්ධව තමයි අපි මේ පෙළ ගැහිලා ඉන්නේ.”

ඔක්තෝම්බර් මස 31 වෙනි දින කෝට්ටේ සොලිස් උත්සව ශාලාවේදී පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වෘත්තිකයෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විනි. ඒ සඳහා විවිධ වෘත්තීන්වල නියැලූනු පිරිසක් මේ සඳහා සහභාගි විය. එහිදී අදහස් දැක්වූ ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා  එසේ අදහස් දක්වන ලදි.

 

 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.