English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
රාජපක්ෂලා පරාජය කිරීමට සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීම අවශ්‍යයි - විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන්
(2018-09-28)

<< Go Back

     

ඔබ විකල්ප සහ නව මාධ්‍ය භාවිතා කරන මාධ්‍යවේදියෙක්. 2015 ජනවාරි වූ වෙනසට ඔබ විවිධ දිශාවන්ගෙන් ඊට සම්බන්ධ වුනා. මේ වන විට නව රජය පත්වී අවුරුදු තුනක්. නව රජය විසින් ඇති කර තිබෙන වෙනස්කම් ගැන ඔබ සෑහීමකට පත්වෙනවද  ?

මේ ප‍්‍රශ්නයට සෘජු උත්තරයක් දුන්නොත් එහෙම. ඔව් සහ නැහැ. ඒකෙන් කියන්නේ මුකුත්ම වුනේ නෑ කියන එක නෙමෙයි. මම මේ තත්ත්වය ගැන කල්පනා කරන්නේ සාපේක්ෂව. ඒ කියන්නේ 2015 ට ඉස්සෙල්ලා රාජපක්ෂ රෙජීමය වැඩ කරපු හැටියි, ලංකාවේ දේශපාලනය කරපු හැටියි, ලංකාවේ ආර්ථිකය හැසිරවපු හැටියි, ලංකාවේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කල්පනා කරපු හැටියි කල්පනා කරන විට බැලූවම 2015 පස්සේ යම් ප‍්‍රගතිශීලී වෙනස්කම් වෙලා තියෙනවා. සාපේක්ෂව වෙනස්කම් වෙලා තිබුනට, සෑහීමකට පත් විය හැකි, අවුරුදු තුනක් ගිහිල්ලා අපිට බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයකට ඒ වෙනස්කම් පත්වෙලා නැහැ කියන එක තමයි මට තියෙන්නේ. උදාහරණයක් වශයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පනත, අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලය වැනි දේවල් හොඳ ප‍්‍රගතිශීලී පියවරයන්. නමුත් මේ වන විට රාජ්‍ය හැසිරෙන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප‍්‍රකාශ ගත හොත් සාපේක්ෂව වෙනස්. අනික් පැත්තෙන් බලන විට ජනාධිපතිවරයා උත්සාහ ගන්නෙම ආපහු පිටිපස්සට යන්න වගේ තමයි පේන්නේ. ඒ ගැන ප‍්‍රශ්න තියෙනවා. ජනාධිපතිවරයාගේ දියණිය ස්වාධීන රූපවාහිනියට යෑමත්, ජාතික රූපවාහිනියට යාමට උත්සාහ කිරීමත් යම් විදියකට එය පරිපාලනයට අත දැමීමට උත්සාහ කිරීමක්. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතනවලට ගිහිල්ලා අතපෙවීම් සිද්ධ කරනවා. ඇයට මේ සඳහා ඇති අයිතිවාසිකම කුමක්ද? මේවා තමයි අපි ප‍්‍රශ්න කළේ 2015 පෙර රාජපක්ෂ පවුල කියලා. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයත් ඒ තැනට යන්න හදන්නේ? ඒ අර්ථයෙන් ගත්තහම අපේ පුරවැසි කල්පනාවන්, අනාගතවාදී ප‍්‍රගතිශීලී කල්පනාවන් වලට පහර වදිනවා කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ හැසිරීම් සමග බැලූ විට. අනික් එක තමයි 2015 අපේ අරගල වල තිබුණු දෙයක් තමයි ජාතිවාදය සම්බන්ධයෙන් විරෝධය. දැන් ජනාධිපතිවරයා සමග සිටින ඇතැම් සිවුරුදාරීන් ජාතිවාදී නැඹුරුවක් දක්වමින්, මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ මත වාද ප‍්‍රචාරය කරන අය. සිවිල් සමාජය විදියට අපි කල්පනා කරන්න අවශ්‍යයි සමහර ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයත් සමගම මේ තත්ත්වයන් ගැන. ඥානසාර නැමති හිමිකම දැන් ඉන්නේ හිරේ. මේක හොඳ තත්ත්වයක්.

ඒ වගේම මුලතිව් අධිකරණයෙන් නඩුවක් පවරලා 2008 කාලයේදී හමුදාවට බාර දුන්නු කැරලිකරුවන් සම්බන්ධයෙන් එම ලැයිස්තුව ඉල්ලා තිබෙනවා. ඒ නඩුවෙදි පැමිණිල්ලේ නීතිඥයින් පළමුවෙන්ම එම ලැයිස්තුව ඉල්ලා සිටිනවා. මුලදී දීමට කැමැත්ත ප‍්‍රකාශ කරලා පසුව කියනවා එවැනි ලැයිස්තුවක් නැහැ කියලා. මේ තත්ත්වයන් ඇති වෙන්නේ කෙසේද? විශේෂයෙන් අපි සංක‍්‍රාන්ති යුක්තිය නැත්නම් සහජීවනය වැනි කරුණු ගැන කතා කරන විට ලංකාවේ ප‍්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශවලින් සිද්ධ වෙන්නෙම, වැරදිකරුවන් ආරක්ෂා කිරීම. අපේ රටේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි වැරදිකරුවන් නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම. ඒකට රාජ්‍ය කිසියම් විදියකට අනුග‍්‍රහය දැක්වීම. මෙයින් සිදුවන්නේම වැරදිකරුවන් යයි චෝදනා ලබා සිටින හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීම. එය සංක‍්‍රාන්තික යුක්තියට එල්ල වන දැඩි පහරක්. එය වුවහොත් අපගේ සිහිනයන් වන ජාතීන් අතර සමගිය, දෙමළ ජාතීන්ගේ ප‍්‍රශ්නය විසඳන්නේ කෙසේද?. දේශපාලන විසඳුමක් ගැන කතා කරන්නේ කෙසේද? බලය බෙදා හැරීමක් ගැන කතා කරන්නේ කෙසේද? මේ කරුණු සැලකිල්ලට ගත් විට ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ හරහා සියල්ල අභියෝගයකට ලක් වෙනවා.

2015 සහ 2016 වර්ෂවල සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය කැපී පෙනෙන මට්ටමක තිබුනා. අද වන විට අපට එවැනි ක්‍රියාකාරිත්වයක් පෙනෙන්නේ නැහැ. සිවිල් සමාජයේ බලාපොරොත්තු සම්පූර්ණ වෙලාද? නැත්නම් ඔවුන් කළකිරිලද ?

සිවිල් සමාජයේ බලාපොරොත්තු සම්පූර්ණ වෙලා නැහැ. මට හිතෙනවා යම් කිසි කළකිරීමේ ස්වභාවයක් සිවිල් සමාජය තුළ තිබෙනවා. එයට හේතුව තමයි සිවිල් සමාජය කල්පනා කරනවා 2015 පසුව ඔවුන් සාකච්ඡුා කරමින්, වැඩ කරමින් සිටි ක්ෂේත‍්‍ර වල නිදහසේ වැඩ කරන්න පුළුවන් වේවි කියලා ඒ විදියටම. එයට කිසියම් විදියකට බාධා එල්ලවෙනවා. අනෙක් පැත්තෙන් ඒක ටිකක් විහිළුවකට කාරණාවක්. සිවිල් සමාජයේ සිටි කණ්ඩායම් වලින් බහුතරයක් ආණ්ඩුවේ වැරදි තැන්. ආණ්ඩුවේ නිවැරදි කළ යුතු තැන්, ආණ්ඩුව හදා ගත යු තැන් ගැන සාකච්ඡාවක් කරන්නේ නැහැ. පසුගිය මාසයේ එක සාහිත්‍යය කෘතියක් සහ වේදිකා නාට්‍යයක්, ගුවන් විදුලි නාට්‍ය මාලාවක් වාරණයට ලක් කරනවා. මේ වාරණයන් ගැන සිවිල් සමාජයේ කිසිඳු හඩක් නෑ. මම මේ කියන්නේ 2015 පෙර ඉහළින්ම සිටි සිවිල් සමාජය ඒ ගැන අදහසක් නෑ. ඊට අමතරව උතුරු නැගෙනහිර ඉඩම් ප‍්‍රශ්නය ගැන අම්මලා තාමත් උපවාස කරනවා. ඒ සම්බන්ධයෙන් දකුණේ සිවිල් සමාජයේ ලොකු ප‍්‍රකාශනයක් අපිට පේන්නේ නෑ. දකුණ ගැන ගත්තත් එහෙමයි. අපි බැලූවොත් පානම ඉඩම් ප‍්‍රශ්නය ගැන. කලින් තිබුනු මැදහත්වීම දැන් අඩුයි. මේකට එක හේතුවක් විදියට මට හිතෙනවා අපි සාධනීය විවේචනවලට යන්නේ නැහැ මේ ආණ්ඩුත් එක්ක. සමහර සිවිල් සමාජ නායකයන් රජයත් එක්ක එකට ඉන්නවා, වැඩ කරනවා කියන මතයක් සමාජයේ තිබෙනවා. මෙයා සිවිල් සමාජයේ හිටියා දැන් මෙයා ආණ්ඩුවේ. එයාට ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැහැනේ කියන අදහසක් සමාජයේ තියෙනවා. සිවිල් සමාජයේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නෑ තාම. තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා.

ඔබ ජනමාධ්‍ය නිදහස,ස්වාධීනත්වය ඉල්ලා පෙරමුණේ ගමන් කළ කෙනෙක්. එදාට සාපේක්ෂව අද ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ යම් නිදහසක් තිබෙන බවක් පෙනෙනවා. දැන් සමහර නම් කියන කොට බීප් බීප් ගාන්නේ නැහැ. නමුත් උදාකරගත් එම නිදහස අද මාධ්‍ය භාවිතා කරන අන්දම ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?

මම ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය නියෝජනය කරන ජනමාධ්‍යවේදියෙක් නෙමෙයි. මම මාව හඳුන්වන්නේ, මම ක්‍රියාකරන්නේ ජනමාධ්‍ය ක්‍රියාකාරිකයෙක් විදියට. මගේ ජනමාධ්‍ය භාවිතාව තිබෙන්නේ වේදිකාවක් එක්ක නෙමෙයි. මිනිස්සුන් එක්ක. ඒ මිනිස්සුන්ගේ අරගලත් එක්ක. ඒ අරගලයේ ප‍්‍රකාශනය තමයි මගේ භාවිතාව. ලංකාවේ ප‍්‍රශ්නයක් තියෙනවා. එහෙම භාවිතා කරන අය අඩුයි. 2015ට ඉස්සෙල්ලා තිබුනු නිදහසෙයි දැන් තියෙන නිදහසයි අතර වෙනසක් තියෙනවා. යම් සැලකිය යුතු අන්දමේ මාධ්‍ය නිදහසක් ලංකාවේ තියෙනවා. හැබැයි ඒකෙන් අර්ථ ගැන්වෙන්නේ නැහැ ජනමාධ්‍ය සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක් අපට තියෙනවා කියලා. අවුරුදු තුනක් ගිහිල්ලත් අපට බැරිවෙලා තියෙනවා ලසන්ත වික‍්‍රමතුංග මරපු ඝාතකයා හොයාගන්න. අපිට බැරිවෙලා තියෙනවා සිවරාම් ඝාතකයා හොයා ගන්න. අඩුම තරමේ සිවරාම්ගේ නඩුව පිළිබඳවවත් අදහසක් ගන්න. ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කළේ කව්ද කියලා තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා අවුරුදු තුනක් ගිහිල්ලත්. එතකොට මම විශ්වාස කරන්නේ නැහැ තාමත් ලංකාවේ ජනමාධ්‍ය නිදහස කියන එක, එය පුළුල් අර්ථයෙන් ගත්තහම එය සාක්ෂාත් කරගන්න යහපාලන ආණ්ඩුවට හෘද සාක්ෂියක් තියෙනවා කියලා. හැබැයි අපි ගත්තොත් ජනාමාධ්‍ය ඇමතිවරයගේ යම් ප‍්‍රකාශ ඉතාමත් ප‍්‍රගතිශිලී ප‍්‍රකාශ. උදාහරණයක් ගත්තොත් වාරණය සම්බන්ධයෙන් ඔහුගේ ප‍්‍රකාශය, එල්.ජී.පී.ටී. අයිතීන් සම්බන්ධව ඔහුගේ ප‍්‍රකාශ ඉතාමත් ප‍්‍රගතිශීලී ප‍්‍රකාශ. හැබැයි එක මනුස්සයෙකුට මේවා කරන්න බැහැ කියන එක මගේ විශ්වාසයයි. සමස්තයම කිසියම් විදියකට හිතන්නේ පසුගාමී තත්ත්වයක නම් කෘතියක් සම්බන්ධයෙන්, සිනමාව සම්බන්ධයෙන්, නාට්‍යයක් සම්බන්ධයෙන්, වාරණය තමයි අවශ්‍ය කියල නම් ජනමාධ්‍ය නිදහස පිළිබඳ ප‍්‍රශ්නයක් මට තියෙනවා. දෙවෙනි එක තමයි යහපාලන ආණ්ඩුව ප‍්‍රකාශයකුත් කරලා තිබ්බා, රැගුම් පාලක මණ්ඩලය අහෝසි කරනවා කියලා. හැබැයි කරුමෙකට ඒ රැගුම් පාලක මණ්ඩලය හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරනවා කියලා කියන්නේ ලැජ්ජයි කියන්න, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුත් එහි සාමාජිකයෙක් වෙලා ඉන්නවා. ඉතින් අපි කොහොමද අපි ජනමාධ්‍ය නිදහසක් ගැන හරි, සාහිත්‍යයේ නිදහසක් ගැන හරි කතා කරන්නේ. වාරණය කරන්න නම් අපි ඉන්නේ. ලෝකයේ වාරණය පසුගාමීයි, ගෝත්‍රීකයි කියලා පිලිගන්න තත්ත්වයක් තුළ අපි තාමත් කපන මණ්ඩල දාගෙන ඉන්නවා නම් අපේ ජනමාධ්‍ය නිදහස ගැන මට ඒ තරම්ම ලොකු බලාපොරොත්තුවක් නැහැ.   

අද වන විට සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඊට සම්බන්ධ බොහො අය ජාතිවාදයට විරුද්ධයි. එමෙන්ම ඔවුන් සංවාදශීලීයි හා නිර්මාණාත්මකයි. මෙහි සැරිසරන අය දැනට තිබෙන ප‍්‍රධාන මාධ්‍යයන්ගෙන් ඈත්වීමක් තිබෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?

මෙහෙමයි ලෝකය පුරාම ඔය තත්ත්වය තියෙනවා. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය. මුද්‍රිත මාධ්‍ය ලෝකයේ විශාල වශයෙන් අඩුවේගෙන යන්නේ. උදාහරණයක් වශයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අවුරුදු තුනකට ඉස්සෙල්ලා ඔවුන්ගේ මුද්‍රණය විශාල වශයෙන් අඩුකලා. ඔවුන් දැන් වෙනකොට වැඩි බරක් දීලා තියෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියට සහ සමාජ මාධ්‍යයන්ට. මෙය තමයි දැන් ලෝකයේ ක‍්‍රමය. අපේ රටෙත් ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. අපිට ප‍්‍රශ්න ටිකක් තියෙනවා. අපිට අන්තර්ඡාල සාක්ෂරතාවය පිළිබඳ අවබෝධයක් තියෙනවද? අපි ඒ ගැන කල්පනා කරනවද? සමාජ මාධ්‍ය කියන්නේ ඉතාම විවෘත අවකාශයක්. හැබැයි ඒ සමාජ මාධ්‍ය තුළත් අපිට සාක්ෂරතාවයක් තියෙනවද? අපි කොහොමද හැසිරෙන්නේ. මෙතනදි තමයි අර ජාතිවාදය කියන ප‍්‍රශ්නය එන්නේ. ලංකාවේ සමාජ මාධ්‍ය වල ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඉතාමත් වැඩියෙන් ඉන්නවා. ඔවුන්ගේ පිටු බැලූවම, ඔවුන්ගේ තොරතුරු බැලූවම ඉතාම දියුණු මට්ටමක තියෙනවා. හැබැයි අනික් පැත්තෙන් ඊට විරුද්ධව වැඩ කරන අපි සහ ගොඩක් කණ්ඩායම් ඊට සාපේක්ෂව කල්පනා කරන්නේ නැහැ කොහොමද තමන්ගේ උපාය මාර්ග හදාගන්නේ සමාජ ඡාල ඇතුලේ කියන එක. සමාජ මාධ්‍ය ඇතුලේ කොහොමද හැසිරෙන්නේ. වෛරී ප‍්‍රකාශන ගැන අදහස කුමක්ද? මානව හිමිකම් ගැන අදහස කුමක්ද? අන්න ඒ අදහස ඇතුව අපි කොහොමද සමාජ මාධ්‍ය තුළ හැසිරෙන්නේ කොහොමද කියලා අපිට ප‍්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ අන්තර්ඡාලයේ වගේම සමාජ මාධ්‍ය සාක්ෂරතාවයේ ප‍්‍රශ්නයක් තියෙනවා.

මහින්ද රෙජීමය 2015 දී පරාජය කළත් ඔහුගේ ජාතිවාදී බලවේග පරාජය කරන්නට බැරිවී තිබෙන බවයි පසුගිය සිදුවීම්වලින් පෙනෙන්නේ. සුලූ ඉඩකින් ඔවුන් නැවතත් හිස ඔසවලා. එම බලවේග පරාජය කරන්න රජයත්, සිවිල් සමාජත් තවමත් අපොහොසත් වෙලා ඇති බවයි පෙනෙන්නේ.

රාජපක්ෂ කියන්නේ ලංකාවේ සංකේතයක්. ප‍්‍රතිරූපයක්. හරියට ගම්වල ඉන්න ගම්බාර දෙයියෝ වගේ. ඒකනේ ඔහු දැක්ක ගමන් වඳින්නේ. මේක බරපතල ප‍්‍රශ්නයක්. මේක වෙනස් කරන්න නම් සංස්කෘතික විදියට සමාජය නැවත අර්ථකථනය කරන්න වෙනවා. එහෙම නැතුව රාජපක්ෂට බැන බැන ඉඳීමෙන් තේරුමක් නැහැයි කියලයි මට හිතෙන්නේ. පුරවැසියා කොහොමද හදාගන්නේ කියලා බරපතල ප‍්‍රශ්නයක් තියෙනවා සිවිල් සමාජයට හා රජයට. මේ දෙගොල්ලොම තාම ඒකට අතගහලා නැහැ. කර කර ඉන්නේ රාජපක්ෂට බැනීම. අනික් පැත්තෙන් ගත්තහම නූතන ලෝකයේ මිනිසා දේශපාලනය දකින හැටි, සංගීතය පිළිබඳ දකින හැටි, ස්ත්‍රීය පිළිබඳ දකින හැටි අපේ සාකච්ඡාව ඇතුලේ නැහැ. අපේ සිවිල් සමාජ සාකච්ඡාව ඇතුලෙත් නැහැ. ආණ්ඩුවේ සාකච්ඡුාව ඇතුළෙත් නැහැ. එහෙම සාකච්ඡාවක් නැතුවුනාම කිසියම් විදියකට පසුගාමී මානසික තත්ත්වයක ඉන්න, රාජපක්ෂට වඳින මිනිස්සු වෙනස් කරන්න අපිට අමාරුයි. අනෙක් පැත්තෙන් වෙනස් කරන්න නම් අපේ උපාය මාර්ග මොනවද? තාමත් මිනිස්සු මිනිහා උසයි, උඩුරැවුලක් තියෙනවා වගේ සංකේත ටිකක් තියෙනවා. ඒ සංකේතවලට මිනිස්සු කැමැත්තක් දක්වනවා. ඒ කැමැත්තට අභියෝග කරන්නේ කොහොමද? ඒ සංස්කෘතික ජීවිතේ වෙනස් කරගන්න වෙනවා. ඒ සඳහා බලපෑම් වැඩ කරන්න වෙනවා. දේශපාලන අදහස්ම නෙමෙයි. ආර්ථික අදහස්ම නෙමෙයි. සංස්කෘතික මිනිසෙක් හදන්නේ කොහොමද? එහෙම වුනු දවසට රාජපක්ෂලා වගේ අයට මේ සමාජේ තියෙන ඉඩ අඩුවෙලා යනවා.

මේ යන විදියට 2019 ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි. සිවිල් සමාජයට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය වේවිද? නැවතත් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වේවිද?

මට ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් මේ අවස්ථාවේ දිය නොහැක.

 

සාකච්ඡාව සහ සටහන

සුදේශ් ද සිල්වා

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය




Advertisments
Facebook