English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සිවිල් සංවිධාන න්‍යාය පත‍්‍රයක් නොවෙන්න UNP යට අද ආණ්ඩුවකුත් නෑ. - චමීර පෙරේරා
(2018-09-16)

<< Go Back

පසුගිය දින ඒකාබද්ධ විපක්ෂය ජනබලය කොළඹට නමින් විරෝධතාවයක් පැවැත්වූවා. මෙම විරෝධතාවයේ ඇත්ත අරමුණ කුමක් විය හැකිද? ඒ අනුව එය සාර්ථක වූවාද?

රාජපක්ෂවරුන්ගේ මේ විරෝධතාවයේ අරමුණ වුනේ නාමල් රජපක්ෂව පිම්බීම. එහෙම නැත්නම් රාජපක්ෂ කඳවුරේ තිබෙන බල අරගලය එක්තරා විදියකට ප‍්‍රකාශවීමක් තමයි මේ සැප්තැම්බර් 05 ජනබලවේගය විරෝධතා ව්‍යාපාරය තුළින් අපි දැක්කේ. අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි රාජපක්ෂ කඳවුර මේ මොහොතේදී බරපතල අර්බුදයක සිටිනවා තමන්ගේ ඊළග නායකත්වය සම්බන්ධයෙන්. මේ දක්වාම පොදු ජන පෙරමුණ පක්ෂය හදමින් ඒ සඳහා කටයුතු කරපු බැසිල් රාජපක්ෂ හිටිහැටියෙම මේ කටයුතුවලින් ඉවත් වෙනවා. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ආදේශ වෙනවා. අපි තමයි මේක සංවිධානය කළේ කියලා කියන්න. අවසානයේ සිදුවූයේ නාමල් රාජපක්ෂ මුට්ටියක් වුනා. මුට්ටිය දැම්මා  නාමල්ගේ. මුට්ටිය බිඳුනා. රාජපක්ෂ මහත්තයගේ සායම ගියා. ආණ්ඩුවට පිච් එක හැදුනා. මේක තමයි සරළව කියනවා නම් සිදුවූ දේ. අන්තිමේදී රාජපක්ෂ කඳවුරට ඉන්න පිරිස පිළිබඳ පැහැදිලි අවබෝධයක් මේ රටේ ජනතාවට ලැබුනා. ඒක හොඳ දෙයක්. මොකද බොහෝ අය හිතාගෙන හිටියා රාජපක්ෂවරුන්ට බරපතල වුවමනාවක් තියෙනවා මේ මොහොතේදී ආණ්ඩුවත් එක්ක කේවල් කරන්න

පුළුවන්, තමන්ට එරෙහිව තිබෙන අපරාධ, දූෂණ චෝදනා, අධිකරණයේ ක්‍රියාත්මක වෙන මේ  ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් ආකාරයකට මේ අධිකරණ ක්‍රියාමාර්ග වලක්වාගැනීම සඳහා ජනබලයක්, අපි කියන්නේ ආරක්ෂිත මිනිස් පවුරක් ඔවුන්ට වුවමනා කරලා තියෙනවා. එතකොට මේ ආරක්ෂිත මිනිස් පවුර හදාගන්න එක තමයි දිගින් දිගටම රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ ඉන්නවයි කියමින් කළේ. මේ ආරක්ෂිත මිනිස් පවුර හදාගන්න වැඬේ අපිට පේනවා ඒක ඉතා ඉක්මනින් ක්ෂය වෙමින් යනවා, ඛාදනය වෙමින් යනවා. ඒක ඔවුන්ගේ ජනපදනම. එය එන්න එන්න අඩුවෙනවා. සැප්තැම්බර් 05 වන විට දැක්කා කව්ද දැන් ඉන්නේ කියලා. අපි කිව්වා නාමල් රාජපක්ෂ මේක සංවිධානය කරන කොටම මේකට ඇතුල්විය හැක්කේ, මේකට සහභාගිවිය හැක්කේ යම් කිසි විදියකට රාජපක්ෂවරු හදපු නන්නත්තාර පන්තිය, ලූම්පන් පන්තියකට තමයි කියලා. කියලා. අවසානයේදී අපි දැක්කා මේ විරෝධතාවයේදී ඉතුරුවුනේ මහින්ද රාජපක්ෂ දේශපාලනය, දේශපාලන සංස්කෘතිය, නොදියුණු දේශපාලන සංස්කෘතිය හදපු ලූම්පන්, නන්නත්තාර පන්තිය තමයි. මේ නිසා බොහෝම පැහැදිලිවම පේන්න තියෙනවා තවදුරටත් රාජපක්ෂවරුන්ට මහජනතාව ඉන්නවයි කියන කාරණය තවදුරටත් තාර්කික පදනමක් නෙමෙයි. ඒ නිසා අනෙක් පැත්තෙන් රජය විදියට මම හිතන්නේ රජයට හැකියාවක් තිබිය යුතුයි මේ මොහොතේදී රාජපක්ෂවරුන්ගේ බිය ගැන්වීම් ඉවරයි කියලා අවබෝධ කරගන්න. ඒ ගොල්ලෝ හැම තිස්සෙම කිව්වේ අපි මිනිස්සු පාරට බස්සනවා. ජනතාව පාරට බස්සනවා කියලා. දැන් බය වෙන්න දෙයක් නෑ. 2015 ත් මිනිස්සු බය වුනේ නෑ රාජපක්ෂලාට එතරම් බලයක් තිබිලා. දැන් කළ යුතුව තිබෙන්නේ ආරම්භ කරලා තියෙන අධිකරණ ක්‍රියාමාර්ග වඩාත් වේගවත් කරමින් ඒ රජ පවුලේ මහරජ්ජුරුවන් ප‍්‍රමුඛ යුවරජවරුන්ට, කුමාරවරුන්ට දිය හැකි දඩුවම් ලබා දීමයි. එක පැත්තකින් ඔවුන් සිදුකරන ලද අපරාධ අල්ලස්, දූෂණ, වංචාවන්, සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නඩු විභාගයන් වඩාත් කඩිනම් කරමින් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කළ යුතුයි. යුක්තිය ඉටු කිරීම සහතික කිරීමේ වගකීම දැන් රජය පැත්තේ තියෙනවා. රජයට ඒ සඳහා බිය විය යුතු නැති බව අපි එදත් කිව්වා අපි අදත් කියනවා. දැන් ඔවුන්ට ගත හැකි ක්‍රියාමාර්ග වහා වහා ගත යුතුමයි.

මේ රටේ සිවිල් සමාජය ඇතුලූ ප‍්‍රගතිශීලීන් මූලිකත්වය ගෙන 2015 දී පරාජය කළ බලවේග පසුගිය දා කොළඹ ආවේ. ඔවුන් තවමත් කි‍්‍රයාශීලියි. නමුත් ප‍්‍රගතිශීලී සිවිල් ව්‍යාපාරයේ යම් අක්‍රීයත්වයක් හා නිහඩතාවයක් තිබෙනවා නේද? ඇයි ඒ

ඔය අක්‍රීයතාවය, නිහඩතාවය පිළිබඳ ප‍්‍රශ්නය යම් කිසි විදියකට සාපේක්ෂයි. රාජපක්ෂ කඳවුර හා ඒ අය වටා සිටින අවතේවකාරයන්, සැප්තැම්බර් 05 වෙනි දා පැමිණි අය ස්වාධීනව හිතන්න පුළුවන්, එහෙමත් නැත්නම් පුරවැසි ජීවිතයක් ගත කරන්න පුද්ගලයන් වෙන්න පුළුවන් ද ? අර අමු කුණු බැණුම් අහපු උදිත ලොකු බණ්ඩාරගේ ස්වරූපයේ අයනේ ඉන්නේ. අපි දැක්කා උදිත ලොකු බණ්ඩාර අර ජීප් එක උඩ නැගගෙන අවතේවකාරයෙක්, වහලෙක් වගේ එල්ලීගෙන යනවා. එවැනි අය තමයි ඔය ක්‍රියාශීලීයි කියන්නේ. දෙවියෝ අදහනවා වගේ අවතේවකාරයන්ගේ ස්වරූපයකින්, වහල් ස්වරූපයකින් රාජපක්ෂවරු අදහන පිරිසක් ඉන්නවා. එතකොට රාජපක්ෂවරු අදහන පිරිසට මාසෙකට සැරයක්, දෙසැරයක්, මාස තුනකට සැරයක් තමන්ගේ දෙයියෝ බැහැදකින්න එනවා වගේ, වන්දනා ගමන් එනවා වගේ ඇවිල්ලා තමන්ගේ දෙයියෝ බලලා සතුටුවෙලා යනවා. මේ ක්‍රියාවලීන් වලින් දේශපාලනය මනින්න බෑ. අපේ ප‍්‍රගතිශීලී කඳවුර, පුරවැසි ව්‍යාපාර තමන්ගේ භූමිකාව ඉටු කළා. එතනින් එහා රජයට වගකීමක් තියෙනවා පුරවැසි න්‍යාය පත‍්‍රය ක්‍රියාත්මක කරන්න. එතකොට ඔය පුරවැසි ව්‍යාපාරවල ඉන්න අතිශය බහුතරයක් දෙවිවරු අදහන වගේ, ආගම් අදහනවා වගේ භක්තික ස්වරූපයකින් ආණ්ඩුව පසුපස යන්නවත්, ඒ අය ආරක්ෂා කරන්න නිතර පාරට බහින්නවත්, අනුග‍්‍රහක සේවාදායක තත්ත්වයන් ඇති කර ගනිමින් ඒ අය ආරක්ෂා කිරීමට යන පිරිසක් නෙමෙයි. මේ සිවිල් සංවිධාන, සිවිල් පුරවැසියන් අවශ්‍ය මොහොතේදී කිසිඳු ඇදහීමක් හෝ ආවතේවකාරයින්ගේ ස්වරූපයෙන් එහාට ගිය පුරවැසි ක්‍රියාකාරිත්වයන් විදියට ඉදිරියට එන්න සූදානම්. ඒ අය ඒකට සූදානම්ව ඉන්නවා. ඒ අය නිෂ්ශබ්දව ඉන්නවයි කියන්නේ ඒ අය දේශපාලන වශයෙන් අක්‍රීයයි කියන එක නෙමෙයි. ඒ අයට අවශ්‍යතාවයක් නෑ රාජපක්ෂවරුන්ගේ ආවතේවකාරයෝ, සට්ටැඹියෝ, ඇම්බැට්ටයෝ දෝලාව කරගහගෙන යනවා වගේ, මේ ආණ්ඩුවේ දෝලාව කරගහන්න සූදානම් පුරවැසි ව්‍යාපාර නැහැ. අතිශය බහුතරයක් ඒකට සූදානම් නැහැ. ඒ අය අභියෝගයක් එල්ලවෙන මොහොතේදී ඒකට මුහුණ දෙන්න සූදානම්. ඒ ක්‍රියාශීලීත්වය තියෙනවා. හැබැයි කළකිරීමක් තියෙනවා. ඒක නිශ්ක්‍රීයභාවයක් නෙමෙයි. රජය පැත්තෙන් රජය එකගවුනු ජනතා න්‍යාය පත‍්‍රය ඉටු කිරීම සඳහා කොතරම් දුරට සමත්වී ඇත්ද? කියන කාරණය සම්බන්ධයෙන් කළකිරීමක් තියෙනවා.

සමහර යු.ඇන්.පී කාරයන් කියනවා සිවිල් සමාජකාරයන්ගේ න්‍යාය පත‍්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් අපි අසාර්ථක වුනා කියලා. 19 සංශෝධනයෙන් පසු මන්ත්‍රීවරයෙක් විදියට එදා සිදු කළ ක්‍රියාකාරකම් කිසිවක් පාක්ෂිකයන් වෙනුවෙන් කරන්න බැහැ කියන එක ඔවුන්ගෙ ප‍්‍රධාන චෝදනාවක්. අනෙක මෙම න්‍යාය පත‍්‍රය උඩ ඇති කළ නිදහස වැඩියෙන් බුක්ති විදින්නෙ 2015 පරාජිත බලවේග විසින් කියලත් කියනවා.

එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා සිවිල් සංවිධානවල න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන්න ගිහින් ආණ්ඩුව බරපතල අර්බුදයකට ගියයි කියලා. සරළවම කියනවා නම් සිවිල් සංවිධානවල න්‍යාය පත‍්‍රයක් නොවෙන්න එක්සත් ජාතික පක්ෂයට අද ආණ්ඩුවකුත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට පුරවැසි සංවිධානවල න්‍යාය පත‍්‍රයකට එකග නොවුනා නම් ඒ අයට 2015 මේ වගේ දේශපාලන පරිවර්තනයක් ඇති කරගන්න බෑ. ජනතාව හෙබ්බත්වෙලා හිටියා එක්සත් ජාතික පක්ෂ සම්බන්ධයෙන්. පහුගිය කාලෙම ඒ ගොල්ලන් න්‍යාය පත‍්‍ර ඉදිරිපත් කරන් මැතිවරණවලට ගියානේ. ඒ ගොල්ලන්ගේම න්‍යාය පත‍්‍රයකටනේ. දිනන්න තිබ්බනේ. දිනන්නේ නෑනේ. එහෙම දිනාගන්න බැරි වුනානේ. බලසම්පන්න, සර්වාධිපති ස්වරූපයේ පාලකයෙකු පරාජය කරන්න අවශ්‍යය ඒ මහජන අභිලාෂය ගොඩනගන්න පුලූවන් වුනේ ඒ පාක්ෂික න්‍යාය පත‍්‍රයකින් එහාට ගිය මහජන න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට ගිය නිසා. පුරවැසි න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත් කිරීම නිසා. ඒ පුරවැසි න්‍යාය පත‍්‍රයේ තියෙන ප‍්‍රධාන දෙයක් තමයි 19 වෙනි සංශෝධනයෙන් ආපු වගේ ස්වාධීන කොමිසම් සභාවන්. ඒවා හදපු නිසා හොරකන් කරන්න තිබුණු අවස්ථාව නැතිවුනා. ඔය කියන්නේ ඒකනේ. මට ඇහිල් තියෙනවා කියනවා රස්සාවක් දෙන්න බෑ, අපේ එකෙකුට සලකන්න බෑ. එහෙම තමයි. අපි බලාපොරොත්තු වෙන්නේ රාජපක්ෂලා හදපු ස්වරූපයේ ආණ්ඩුවක් නෙමෙයි. තමන්ගේ සට්ටැඹියන්, තමන්ගේ ඇම්බැට්ටයන් ආරක්ෂා කරන, ඔවුන්ට දස අතේ හොරා කන්න දෙන, උන්ට කැමති කැමති විදියට මංකොල්ල කන්න ඉඩ දෙන කොල්ලකාරී රටක් හදන්න නෙමෙයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න තමයි ජනවාරි 08 වෙනිදා ජනවරමක් හම්බවුනේ. ජනවරම ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත‍්‍රයක් හදන්න නෙමෙයි. කව්ද කියන්නේ ? එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත‍්‍ර හදන්න බෑ. තියෙන්නේ පුරවැසි න්‍යාය පත‍්‍රයක්. පුරවැසි න්‍යාය පත‍්‍රයේ එක කාරණයක් තමයි මේ හොරකන් කරන, වංචා කරන ඒවාට සීමා පනවන, ඒවා වලක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, යුක්තිය ස්ථාපිත කරන යම් ආකාරයක දේශපාලන සංස්කෘතියක්, අලූත් දේශපාලන සංස්කෘතියක් හදන එක. එතකොට ඒක ලේසි නෑ. ඒ නිසා තමයි ඔය පරණ, පුරුදු දේශපාලන න්‍යාය පත‍්‍රවල ඉන්න අයට මේක ටිකක් අමාරුයි දිරවගන්න. එතකොට මේ අය මැසිවිලි නගනවා. නමුත් මේ රටේ අතිශය බහුතරයක් පිළිගන්නේ ජනවාරි 08 ගෙනාපු පුරවැසි න්‍යාය පත‍්‍රය. රජයේ වගකීමක් තියෙනවා ඒ පුරවැසි න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙනියන එක. ඒ පුරවැසි න්‍යාය පත‍්‍රයෙන් අයින් වෙන්න අයින් වෙන්න තමයි මහජනතාව කළකිරෙන්නේ සහ ඔවුන්ගෙන් විරෝධයක් එල්ල වෙන්නේ. ඒක තමයි ප‍්‍රධාන කාරණය. පුරවැසි න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කළ යුතුයි.

පසුගිය කාලයේ සිවිල් සමාජයේ නායකයින් ලෙස පෙනී සිටි නායකයින් විසින් රජයේ සමහර අසමත් කම් පිළිබදව දැඩි විවේචනයන් එල්ල කළා. රජයේ සමත්කම් ගැන හා සිදු කළ වැදගත් ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව යට ගියා. 2015 සිදු කලේ අනුවණ වැඩක් යන්න ප‍්‍රශ්නාර්ථයක් ප‍්‍රගතිශීලීන් අතර ඇතිවුනා. විපක්ෂය මෙම විවේචන වේගයෙන් සමාජ ගත කළා. අද වනවිට එදා ක්‍රියාත්මක වූ සිවිල් ව්‍යාපාරය නිහඩයි.

පළමුවෙනි කාරණය තමයි ජනවාරි 08 සහ අගෝස්තු මාසයේ ඇතිවුනු පුරවැසි න්‍යාය පත‍්‍රය අනුව ආණ්ඩුව ඒ යහපාලන පීල්ලට දැමීම සඳහා වන මැදිහත්වීම. ආණ්ඩුව කරන හොඳ වැඩ වෙන්න පුළුවන්, සාධනීය දේවල් වෙන්න පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුව තියෙන්නේ සාකච්ඡා කරන්න. තමන් කළ යහපත් ක්‍රියාවන් ගැන මහජනයා හමුවේ පෙනී සිටිමින් ආණ්ඩුව ඒවා ගැන කතා කරන්න. සාකච්ඡා කරන්න. ඒවා එළිදරව් කරන්න. ඒවා පැහැදිලි කරන්න. ඒක ආණ්ඩුවේ වගකීමක්. පුරවැසි සංවිධානවල වගකීම තමයි, ආණ්ඩු විදියට මගහැර යන, යම් කිසි විදියකට අතපසු කරන, ආණ්ඩුව තුළින් සිදුවන අක‍්‍රමිකතාවයන් තියෙනව නම්  ඒවා නිවැරදි කරගන්න මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක. පුරවැසි න්‍යාය පත‍්‍රය වෙනුවෙන් පෙනී සිටින එක තමයි පුරවැසි සංවිධානවල වගකීම. අපෙන් බලාපොරොත්තුවෙන්න නරකයි ආණ්ඩුවේ ප‍්‍රචාරණ මාධ්‍යයක් විදියට ප‍්‍රචාරණය කරන තවත් සංවිධාන ඡාලාවක් විදියට කටයුතු කරන එක. කාගෙවත් හොරණෑ වෙන්න. කාගෙවත් පාර්ශ්වකරුවන් වෙන්න අපි සූදානම් නෑ. පුරවැසි සංවිධාන කියන්නේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නෙමෙයි. දේශපාලන පරිවර්තනයේදී භූමිකාවක් ඉටු කලා. හැබැයි ආණ්ඩු ගෙනියන එක ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව තමන් කරන දේ කියන්න අසමත්වන විට ආණ්ඩුවට ඒක කරගන්න බැරිව ඒක බලාපොරොත්තු වෙනවද පුරවැසි සංවිධානවලින්. ඒක අසමත්කම පිළිබඳ ප‍්‍රශ්නයක්. විරුද්ධ පක්ෂ පුරවැසි සංවිධානවල විවේචන ඔසවා තබන්නේ ආණ්ඩුවේ අඩුපාඩුවක් තිබෙන නිසානේ. ඇයි ආණ්ඩුවට බැරි විරුද්ධ පක්ෂයට පිළිතුරු වශයෙන් මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් තමන් සිදුකළ කාර්යයන් පැහැදිලි කරන්න. ඒක රජයේ වගකීමක්. පුරවැසි සංවිධාන විදියට අපිට කළ හැක්කේ මේ ජනතා න්‍යාය පත‍්‍රයේ තිබෙන හිඩැස්, ජනතා න්‍යාය පත‍්‍රයේ තිබෙන මගහැරීම්, සිදුවෙනවා නම් නැවත ජනතා න්‍යාය පත‍්‍රය නැමති පීල්ලට දමන එක. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යම් අතපසුවීම්, මන්දගාමීවීම, ක්‍රියාකාරිත්වය පිළිබඳ යම් යම් ගැටළු තිබෙනවා. ඒක  ඕනෑම සංවිධාන ජාලයක් විදියට කටයුතු කරද්දි වෙන දෙයක්. හැබැයි පුරවැසි සංවිධාන විදියට ගතහොත් විවිධ ගැටළු වලදී මැදිහත්වීම් කලා. උදහරණයක් විදියට ආණ්ඩුව පැත්තෙන් සිදුවෙනවා නම් යම් කිසිවිදියක අතපසුවීමක්, ආණ්ඩුව තුළින්ම සිදුවෙනවා නම් වැරදි සහගත දේවල් අපි ඒවට විරුද්ධ වුනා. දැන් මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් සිදුවුනු ගැටළුවේදී පුරවැසි සංවිධාන ආණ්ඩුවට බරපතල විවේචනයක් එල්ල කලා. ඒක එල්ල කළ යුතුයි. 19 වෙනි සංශෝධනය ගෙන එද්දි පුරවැසි සංවිධාන තමයි ඒක අවශ්‍යයි කියලා පාරට බැහැලා කටයුතු කළේ. ඒ කාර්යභාරය කරනවා. මහජනයා වෙනුවෙන් කාර්යභාරය කරනවා. ආණ්ඩුව කරන දේ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම ආණ්ඩුවේ වගකීම.

පොදු අපේක්ෂක, ජාතික ආණ්ඩුව, දින 100 ය සිවිල් සමාජ න්‍යාය පත‍්‍රයේ තිබූ දේවල්, මේ වන විට වසර තුනහමාරක් තිස්සේ ක්‍රියාත්මකයි. මේ පිළිබදව ඔබගේ තක්සේරුව

මම හිතන විදියට මේකේ ධනාත්මක සහ සෘණාත්මක දේවල් තිබෙනවා. මේකේ සාධනීය දේවල් සහ නිශේධනීය දේවල් තියෙනවා. මේකේ තියෙන්නේ ආණ්ඩුකරණය විවිධ පාර්ශ්වයන් මැදිහත්වෙලා තමයි මේ ජාතික ආණ්ඩු පවත්වාගෙන යන්නේ. ජාතික ආණ්ඩුව ගෙන යාමේදී විවිධ න්‍යාය පත‍්‍ර එනවා. පක්ෂ න්‍යාය පත‍්‍ර එනවා. පුද්ගල න්‍යාය පත‍්‍ර එනවා. මේ සියල්ල අතර යම් කිසි එකගතාවයක් ඇති කරගෙන ගෙන යා යුතුයි. එහිදී යම් යම් ගැටළු මතුවී ඇති බව අපි දන්නවා. ආර්ථික කළමනාකාරිත්වය ඇතුළේ යම් යම් ගැටළු ඇතිවී ඇති බව අපි දන්නවා. අධිකරණය ක්‍රියාමාර්ග ගැනීමේදී ගැටළු මතුවී ඇති. ඒ ඒ වායේ වේගය හා කැපවීම පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කිරීමෙන් ලබාගත් ජයග‍්‍රහණය අපි හිතන්නේ ඒක ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය පරාජය කරන්න තිබුණු ඉතාම නව්‍ය වූ සහ බරපතලම දේශපාලන මැදිහත්වීම. එතකොට ඒක ජයග‍්‍රහණයක්. ඒකේ සමස්ත ජයග‍්‍රහණය තමයි අද වන විට ඒ පරාජය පාර්ශ්වයට, බලවේග වලට පුළුවන් වෙලා තියෙනවා  ඕනෑම වෙලාවක කොළඹට ඇවිල්ලා තමන්ගේ ආවතේවකාරයෝ, සැට්ටැඹියෝ පිරිසක් එක්කරගෙන ඇවිල්ලා, කෑගහලා, බීලා කරලා යන්න. ඒක ලැබිලා තියෙනවා. මෙතෙක් අපේ රටේ නොතිබුණු විසම්මුතික ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාව තුළ කි‍්‍රයාත්මක කරන්න, යම් කිසි විදියකට ආරක්ෂා කරගන්න අද ලංකාවේ දේශපාලන සංස්කෘතියට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ ජයග‍්‍රහණය ලැබුණේ ජනවාරි 08 දේශපාලන පරිවර්තනයෙන්. මේ සියලූ දේ අතර ප‍්‍රධානම කාරණය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, යුක්තිය. ඒවා තමයි ජනවාරි 08 දේශපාලන පරිවර්තනයේ ප‍්‍රධාන කුළුණු තුන. ඒ අවකාශය රැකගන්න ලැබීම තමයි ජනවාරි 08 ජයග‍්‍රහණය. කලින් කියූ පරිදි දුර්වලකම් තිබුණත් මේ අවකාශය තවදුරටත් ඉදිරියට ගෙනි යන එක වැදගත්. ආපහු පස්සට ගිහිල්ලා පැසිස්ට් ස්වරූපයේ, සර්වාධිපති පාලකයට ඉඩ ලබාදෙන එක නෙමෙයි. මේක මෙතනින් ඉදිරියට ගෙනි යන එක. මේක වඩාත් පුළුල් කිරීමේ කාර්යභාරය පුරවැසි සංවිධාන විදියට, පුරවැසියන් විදියට පුරවැසියාගේ දේශපාලන වගකීම වෙන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය වඩ වඩාත් පුලූල් කරගනිමින් මේ දක්වා අපිට මග හැරී තිබෙන, අපි අත්පත් කර නොගත් යම් යම් වටිනාකම් තිබෙනවා නම්, ජයග‍්‍රහණ තිබෙනවානම් ඒවා ලබාගැනීම. 

2020 නැවත ජනාධිපතිවරණයක් එන්න නියමිතයි. එහි දී සිවිල් සමාජය විදියට අපට කාර්යභාරයක් තිබේද?

පැහැදිලිවම. ප‍්‍රධාන කාර්ය තමයි නැවත වතාවක් පරාජිත බලවේග, පරාජය කරපු බලවේග වලට හිස ඔසවන්න තියෙන ඉඩ කඩ අහෝසි කරමින්, සරළවම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය නැවත වතාවක් පරාජය කිරීමේ වගකීම පුරවැසි සංවිධානවලට තිබෙන කාර්යභාරයක්. පුරවැසියන් විදියට අපිට තිබෙන වගකීමක්. අපි දන්නවා මේ පැසිස්ට් බලවේගය නැවත වතාවක් හිස එසවීම සඳහා වෙර දරමින් තිබෙන මොහොතක්. ඔවුන් විවිධාකාරයෙන් කටයුතු කරනවා. පැසිස්ට්වාදයට රට නැවත වතාවක් ගොදුරු වෙන්න තියෙන ඉඩ කඩ අහුරන එක, එය වලක්වන එක තමයි පුරවැසියන්ගේ වගකීම. ඒ නිසා 2020 ජනාධිපතිවරණයකදි නැවත වතාවක් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගය කුළුගැන්විය යුතුයි. නැවත වතාවක් ඔවුන් මහජන දේශපාලනයට ඇවිත්, දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ වඩාත් ක්‍රියාකාරීවෙමින් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගය නැවත වතාවක් ජයග‍්‍රහණය කිරීම සඳහා කටයුතු කළ යුතුයි. කව්ද අපේක්ෂකයා කියන එක අපිට ඉදිරියේදී හිතන්න පුළුවන්. අපේක්ෂකයා ගැන නෙමෙයි මුලින් හිතන්න  ඕන. මුලින්ම කරන්න  ඕන අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගය ශක්තිමත් කිරීම. එය පුලූල් කිරීම. මහජන න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගෙන ඒම. මූලධාර්මික වශයෙන් පුළුල් මහජන න්‍යාය පත‍්‍රයක්, මහජනයා දිනාගන්න පුළුවන් මධ්‍යස්ථ න්‍යාය පත‍්‍රයක් ගොඩනගමින්, ඒ ඔස්සේ මහජනතාව දිනාගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගය ඉදිරියට ගෙන යාම තමයි 2020 ජනාධිපතිවරණයකදී පුරවැසියන් විදියට, පුරවැසි සංවිධාන විදියට අපට තිබෙන වගකීම.



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.