English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
2020 ගැන කියන්න දැන්ම බැහැ.. ජනරංජන
(2018-09-12)

<< Go Back


නීතිඥ කේ. ඩබ්ලිව් ජනරංජන අනිද්දා පුවත්පතේ ප‍්‍රධාන කතෘවරයා. ඔහු මීට පෙර රාවය පුවත්පතේ කතෘ ධූරය දැරුවාය. ජනරංජන පුවත්පත් කතුවරයෙක් සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සමාජය තුළ ස්ථාපිත කිරීම සඳහා සිවිල් සමාජය තුළ සිදුවන අරගලයන් හී පුරෝගාමී මෙහෙවරක් සිදු කළ පුද්ගලයෙක්. 2015 ජනවාරි වෙනස සඳහා සිවිල් සමාජය තුළ විශාල බලපෑමක් සිදු කළ පුරවැසි බලයේ කි‍්‍රයාකාරී සමාජිකයෙක්. රටේ පවතින වත්මන් තත්ත්වය හා අනාගත තත්ත්වයන් ගැන අයිතිය වෙබ් අඩවිය වෙනුවෙන් සිදු කළ සාකච්ඡාවකදී ඔහු පළ කළ අදහස් මෙසේය.

යහපාලන රජය ගොඩනැගීම සඳහා සිවිල් සමාජය විශාල මෙහෙවරක් සිදු කලා. දැන් නව රජයටඅවුරුදු 03 ක්. ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ ?

2015 ජනවාරි 08 වෙනි දා දේශපාලන වෙනස කරන්න එක පැත්තකින් රටේ පුරවැසියෝ ඒ වගේම පුරවැසියන්ගේ නියෝජිතයෝ හැටියට හිටපු සිවිල් සංවිධානත්, පුරවැසි සංවිධානත් සෑහෙන බලපෑමක් සෑහෙන දායකත්වයක් දුන්නා. ඒ දායකත්වය දුන්නේ වැදගත් අරමුණු කිහිපයක් මුල් කරගෙන. එකක් තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ විනාශ වෙමින් ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත පිහිටුවන්න. ජාත්‍යයන්තර වශයෙන් ශී‍්‍ර ලංකාව ම්ලේච්ඡයන්ගේ දේශයක් වශයෙන් සලකමින් තිබුනු අපකීර්තිය මකලා රට නැවතත් කීර්තිමත් මානව අයිතිවාසිකම් ගරු කරන දේශයක් බවට පත් කරන්න.

අනික් පැත්තෙන් අවුරුදු 30ක යුද්ධයකින් පස්සේ ඒ කාලයේ තිබුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේප‍්‍රථිඵලයක් ලෙස දෙමළ, මුස්ලිම්, සිංහල මිනිස්සු අතර නැති වී ගොස් තිබූ සාමය, සමගිය සංහිඳියාව, හොඳ හිත නැවත ඇති කරන්න. ඒ වගේම රට ආර්ථික වශයෙන් ගෙන යමින් තිබිණි දරුණු අගාධයෙන් ගලවගන්න. මේ වගේ අරමුණු කිහිපයක් තමයි මූලික වශයෙන් තිබුණේ. ඉතින් ඒ අරමුණුවලට සාපේක්ෂව තියලා බලනකොට පහුගිය අවුරුදු තුන ඇතුළත මේ ආණ්ඩුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, ආණ්ඩුව කි‍්‍රයාකළ විදිය ගැන තක්සේරුවක් කළහොත් එහෙම මූලිකවම මම කියපු දේවල් වලින් යම් දේවල් ඉෂ්ඨවෙලා තියෙනවා. උදහරණයක් ලෙස අපට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපනය කරන්න. මීට ඉස්සෙල්ලා නොතිබිච්ච විදියට
මහජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රටේ  ඕනෑම තැනක ගම්බද වේවා, නගරබද වේවා වන්නියේ හෝ වේවා, කොළඹ හෝ වේවා පාරට බැහැල උද්ඝෝෂණය කරන මට්ටමකට මිනිස්සු ඇවිල්ලා. ඒක ඔවුන්ට ලැබිච්ච වැදගත් අයිතිවාසිකමක්. ඒ වගේම 2015 ජනවාරි 08 ඉස්සෙල්ලා නොලැබිච්ච. ඒ කාලේ උද්ඝෝෂණයක් කළොත් එහෙම රෑට ඇවිල්ලා උස්සන් යනවා. අතපය කඩලා දානවා. එහෙම නැත්නම් ඝාතනය කරනවා. ඒ වගේ තත්ත්වයක් තමයි ඒ කාලේ තිබුණේ.

නමුත් දැන් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ඇතිවෙලා තියෙනවා. මාධ්‍ය නිදහස මේ අවුරුදු තුනට ලැබිලා තියෙනවා. මේ අවුරුදු තුනට කිසිම මාධ්‍යවේදියෙක් ඝාතනය වුනේ නැහැ. කිසිම මාධ්‍යවේදියෙක් අතුරුදහන් වුනේ නැහැ. කිසිම මාධ්‍යවේදියෙකුට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම ගැන බයේ රට හැරලා යන්න සිද්ධ වුනේ නෑ. මේ විදියට ගත්තයින් පස්සේ ඒ විදියට අපි දියුණුවක් ලබලා තියෙනවා. අනෙක් අතින් රටේ ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රතිසංස්කරණ හැටියට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා. ඒ සංශෝධනය ඇතුලේ ජනාධිපතිවරයාට පැවරී තිබුණු විධායක බලතල සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඒ ගමන තව දුරටත් යන්න  ඕනා. ඒවා මූලිකවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස් කම්. සංහිඳියාව පැත්තෙන් ගත්තොත් දෙමළ ජනතාව 2015 ජනවාරි 08 දේශපාලන වෙනස සම්බන්ධයෙන් විශාල දායකත්වයක් දැක්වූවා. ඔවුන්ගේ අරමුණ වුනේ එක පැත්තකින් ඔවුන්ගේ ඉඩම් පවරාගෙන තිබ්බා හමුදා කඳවුරුවලට. ඒවා නැවත නිදහස් කරගැනීම.

ඊළගට දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාගැනීම. ඒ වගේම බලය බෙදා ගැනීම වගේ දේවල් ඔවුන්ගේ අරමුණු අතර තිබුනා. අද වෙන කොට සෑහෙන ප‍්‍රමාණයක් හමුදා කඳවුරුවලට ගත්ත ඉඩම් මුදාහැරලා තියෙනවා. දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය එහෙම්මම තියෙනවා. බලය බෙදා හැරීම සම්බන්ධයෙන් අපිට තවදුර යන්න සිද්ධවෙලා තියෙනවා. තාමත් අපි ඒකෙන් ජයග‍්‍රහණ අත්පත් කරගෙන නෑ. නමුත් අපිට යම් දේවල් කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ආර්ථික සංවර්ධන පැත්තෙන් ගත්තොත් මේ ආණ්ඩුව බාරගත්තේ ඉතාම දරුණු ආර්ථික ප‍්‍රපාතයක සිටිද්දි ඉතාම ඉක්මන් විසඳුම් මේ ආර්ථික ගැටලූවලට නැහැ. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ණයවලට වාරිකය සහ පොලිය ගෙවාගන්න බැරි තත්ත්වයක රට තිබුණේ. ක‍්‍රම ක‍්‍රමයෙන් මේ තත්ත්වය මගහරිමින් දුෂ්කර ගමනක් ආර්ථික වශයෙන් යමින් තිබෙනවා.

2015 ජනවාරි 08 වෙනිදට ඉස්සෙල්ලා තිබුණු තත්ත්වයට වඩා තත්ත්වය යහපත් කිරීම සඳහා කලින් සඳහන් විවිධ අංශ වලින් යම් යම් ප‍්‍රතිසංස්කරණ ඉස්සෙල්ලා ආණ්ඩුවලින් කරගන්න බැරි වෙච්ච. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච වේගයෙන්, අපි බලාපොරොත්තු වෙච්ච කාර්යක්ෂමභාවයකින්  හා අපි බලාපොරොත්තු වෙච්ච දේශපාලන අධිෂ්ඨානයකින් මේ ආණ්ඩුව කටයුතු නොකරන බව අපිට පහුගිය කාලයේ ඔවුන් හැසිරිච්ච ආකාරයෙන් පේනවා. අපිට කනස්සල්ලක් සහ විරෝධයක් තියෙනවා මේ අවුරුදු තුනක කාලයක් තුළ මීට වඩා ජනතා ජයග‍්‍රහණ ලබා දෙන්නට නම් පුළුවන්කම තිබුණත් නමුත් එය ඔවුන්ගේම වරදකින් දුර්වල වුනා කියන එක ගැන. අපිට ඒක බලාපොරොත්තු අතහැර ගන්න හේතුවක් නෙමෙයි. අපිට හැම තිස්සෙම ඉදිරියට යොමු කරවන්නේ ඒ බලාපොරොත්තුව විසින් , අපි දිගින් දිගටම වැඩ කරමින් සිටින්නේ ඒ මූලික අරමුණු සම්පූර්ණ වශයෙන් ඉටු කරගැනීම සඳහා.

මේ රජය ඉටු නොකල දේ වගේම, ඉටු කළ දේවලූත් තියෙනවා. ඒ අතරින් බොහොමයක් එවා සිවිල් සමාජය විසින් යෝජනා කළ ප‍්‍රථිසංස්කරණ. නමුත් ඒ ප‍්‍රජාතන්තී‍්‍රය අයීතීන් පිළිබදව රටේ සමාන්‍ය ජනතාවට ඒ ගැන අවබෝධයක් නැහැ. මේ පිළිබදව අවබෝධය ලබාදීම රජය මෙන්ම සිවිල් සමාජයෙත් වගකීමක් එය සිවිල් සමාජය අතින් ඉටු වුනාද?

සිවිල් සමාජය වශයෙන් ගත්තහම විවිධාකාර සමාජ සංවිධාන තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන හැටියටත් සංවිධානය නොවුනු සාමාන්‍ය පුරවැසි එකතූන් තිබෙනවා. උදාහරණයක් හැටියට අපි කි‍්‍රයාත්මක වුනු පුරවැසි බලය ගත්තොත් ඒක ලිහිල් ලෙස සංවිධානය වෙච්ච සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පුරවැසියන්ගේ එකතුවක්. එතකොට ඒක රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යූහයවත්, ඒ සංවිධානාත්මක බවවත් එහෙම නැත්නම් ඒ ඒ හැකියාවවත්, තිබෙන සංවිධානයක්වත් නෙමෙයි. ඒ විදියට බැලූවහම මේ එක එක සංවිධානවල අරමුණු වෙනස්, ඒ වගේම ඒ ඒ සංවිධානවල කි‍්‍රයාකාරිත්වයේ යම් යම් වෙනස්කම් තියෙනවා. හැබැයි අපි ඔක්කෝම එක අරමුණකින් බැඳී සිටියා මම ඉස්සෙල්ලා කියපු විදියට, රට ප‍්‍රජාතන්තී‍්‍රකරණය කිරීම සම්බන්ධයෙන්.

ඉස්සෙල්ලා කිව්වා වගේම ප‍්‍රජාතත්තී‍්‍රයකරණය කිරීම සම්බන්ධයෙන් අති විශාල ජයග‍්‍රහණයත් අපි ලබාගෙන තියෙනවා. හොඳම උදාහරණය තමයි තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත නීතිගත කරන්නට අපිට ලැබුනු අවස්ථාව. ඒ පනත නිසා අද මාධ්‍යවේදීන් විශාල වශයෙන් භාවිතා කරනවා තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනවලින්.

ඒ වගේම අමතක කරන්න නරකයි සාමාන්‍ය මිනිස්සුත් ඒ පනතේ තියෙන ප‍්‍රතිපාදන පාවිච්චි කරලා, තමන්ගේ බදු මුදල් කොහොමද වැඩ කරන්නේ කියලා දැනගන්න තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ නිසා අපට එකපාරටම සියයට සීයක් මහජනතාව මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දන්නේ නෑ නොදැනුවත් කියා නිගමනයකට එන්න බෑ. ඔවුන් යම් දුරකට ඒක දන්නවා.

නමුත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා, ඔවුන් ප‍්‍රමාණවත් තරම් ඔවුන් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දන්නේ නෑ කියලා. එතකොට අර කිව්වා වගේම අපේ ඉල්ලීම් තමයි හැබැයි අපි විශ්වාස කරන දේ තමයි රජය, නැත්නම් ආණ්ඩුව තමයි තමන් මේ ලබාගත්ත ජයග‍්‍රහණයන් සම්බන්ධයෙන් තමන් ඇති කරපු මේ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාවට ඒ පණිවිඩය ගෙන යා යුත්තේ. ඒ සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය, ඒ සඳහා අවශ්‍ය මුදල් ඒ සඳහා අවශ්‍ය පුද්ගල සම්පත් සියල්ලම තියෙන්නේ ආණ්ඩුවට. සිවිල් සංවිධානවලට එවැනි සම්පත් නැහැ. අවාසනාවකට මේ ආණ්ඩුවට හැකියාව ලැබිලා නෑ පසුගිය අවුරුදු 03 ක කාලය තුළ තමන් අඩුගානේ අත්පත් කරගත්ත ජයග‍්‍රහණවත් මහජනතාවට දැනෙන විදියට කියා පාන්න. ඒක රාජ්‍ය යාන්ත‍්‍රණයේ යම් කිසි ආකාරයක දුබලකමක්. ප‍්‍රජා සංවිධාන, පුරවැසි සංවිධාන හැටියට අපිට ඒ වැඬේ කරන්න අමාරුයි. අපි ඇත්තටම කරමින් සිටින්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආණ්ඩුවෙන් සිද්ධ වෙච්ච දේවල්වල ගෞරවය ආණ්ඩුවට දෙන අතරේ අපි බලාපොරොත්තු වෙච්ච අරමුණු සඳහා තව දුරටත් ආණ්ඩුවේ දේශපාලන අධිෂ්ඨානය වර්ධනය කරගන්න, ඒ සඳහා ආණ්ඩුව පොලබවන්න අපි දැන් ඇත්තටම කටයුතු කරමින් ඉන්නවා.  

2015 මහින්ද රෙජීමය පරාජය කිරීමට හැකි වුවත් ඔහු විසින් රෝපනය කළ හා පෝෂණය කළ මතවාදයන් පරාජය කරන්න තවමත් බැරි වුනා. එම මතවාදයන් පරාජය කිරීම සදහා ඔබ ඇතුලූ සිවිල් ව්‍යාපාරය ගෙන ඇති පියවර සම්බන්ධව සෑහිමකට පත්වෙනවද?  

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච, ඒක ආණ්ඩුවක් පමණක් නෙමෙයි ඒක මතවාදයක්. ඒ සිංහල, බෞද්ධ පදනම මත ගොඩනැගිච්ච, දේශීය චින්තනයක්, ජාතික රාජ්‍යයක් ගැන ඊනියා මත සංකල්ප, සමාජය පුරා මුල් බැහැ ගන්නට තරම් වපුරවපු, රෙජීමයක්. එවැනි රෙජීමයක කි‍්‍රයා කලාපයට විරුද්ධව කටයුතු කරලා මාසයකින් දෙකකින්, අවුරුද්දකින් දෙකකින් ඒක ආපස්සට හරවනවායැයි කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ තරමට මේ නරක මතවාද සමාජය තුළ මුල් බැහැගෙන තිබෙනවා.

උදාහරණයක් හැටියට අද අපරාධ වරදක් සඳහා පවා භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගන්න යන කොට එහෙම නැත්නම් නීතිය කැඞීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් අත් අඩංගුවට ගැනීමට යද්දි , මිනීමැරීමක්, අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙක්ව අත් අඩංගුවට ගන්න යනකොට අර මතවාදය සමාජයේ උඩටට එනවා. මෙන්න රණවිරුවන්ව පවා දෙනවා, මෙන්න රණවිරුවන්ට විවිධාකාර හිරිහැර කරනවා, මෙන්න භික්ෂූන් වහන්සේලාව අත්අඩංගුවට ගන්නවා, මේන බුද්ධාගම විනාශ කරනවා, මෙන්න බටහිර කුමණ්ත‍්‍රණයක් කියලා මේ මතවාදය විවිධාකාරයෙන් සමාජයේ උඩටට එනවා. ඒ එන්නේ සමාජය තුළ තාමත් අර මුල් ටික එහෙම්මම තියෙන නිසා.

ඇත්ත තාමත් අපිට ඒක පරාජය කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒ ජාතිවාදී, ආගම්වාදී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදයට එරෙහි කිසියම් හඩක් සමාජය තුළ තියෙනවා කියන එකත් අපි අමතක කරන්න නරකයි. මෙය කිසිසේත්ම නිශේධනීය අර්ථයකින් සලකන්න බෑ. ප‍්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. සමාජය තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් ඒ හඩ නැගීගෙන එනවා. උදාහරණයක් හැටියට පසුගිය කාලයේ භික්ෂූන් වහන්සේලා හැසිරිච්ච අන්දම සම්බන්ධයෙන් සමාජය පුරාම පොදු මතයක් තියෙනවා. ඒක ගැලපෙන්නේ නෑ කියලා. ඒක නීති විරෝධී කියලා. ඒ වගේම රණවිරුවන්යැයි කියාගන්නා පුද්ගලයන් තමන්ගේ නිළ බලය පාවිච්චි කරලා, හමුදා නිලබලය පාවිච්චි කරලා අතුරුදහන් කිරීම ගැන සමාජයේ විශාල විරෝධයක් තියෙනවා. එහෙම එකක් ඇතිවෙලා තිබෙනවා. ඒ බරපතල මතවාදය එක දිනකින්, මාසෙකින්, අවුරුද්දකින් පරාජය කරනවා කියලා අපිට හිතන්න බෑ. නමුත් ක‍්‍රම ක‍්‍රමයෙන් සමාජය තුළ මේ අදහස් අපිට වපුරගන්න පුළුවන් වුනොත් ජාතිවාදයට විරුද්ධව, ආගම්වාදයට විරුද්ධව මේ මතවාදය දිගින් දිගටම සමාජය තුළ ගෙනියන්නට පුළුවන් වුනොත් මේක තව අවුරුදු කිහිපයකින් හෝ වෙනස් කරන්නට පුළුවන් වේවි. ඒ දීර්ඝ අරමුණ සඳහා අපි නොනැවතී වැඩ කරමින් සිටිනවා.  

විශේෂයෙන් සිවිල් සමාජ නායකයින් ලෙස පෙනී සිටින අය පසුගිය කාලය තුල යහපාලන රජය වෙත දැඩි විවේචන ඉදිරිපත් කළා. එම විවේචන මත පදනම්ව ආණ්ඩු විරෝධී ජාතිවාදී බලවේග ඒ සදහා විශාල ප‍්‍රචාරයක් සිදු කළා. අපි කිව්ව දේවල් දැන් තමයි මුන්ට තේරිලා තියෙන්නෙ අදහස් සමාජ ගත කළා. ප‍්‍රගතිශීලී සිවිල් ව්‍යාපාරය සමග සිටි බලවේගත් ඉන් කම්පනයට පත් වුනා. අද වන විට එදා විශාල බලවේගයක්ව සිටි සිවිල් ව්‍යාපාරය යම් පසුබෑමකට ලක්වී තිබෙනවා.

අපි ඉතාම පැහැදිලිව ආණ්ඩුවත් එක්ක කටයුතු කලා ආරම්භයේ ඉඳලම. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සමග අගමැතිවරයා සමග එක පැත්තකින් පෞද්ගලික මට්ටමින්. පෞද්ගලික මට්ටමින් කියන්නේ අපිට ගිහිල්ලා රැකියාවක් ලබාගන්නවත්, අපේ දරුවන්ට ඉස්කෝලයක් ලබාගන්නවත්, විදේශීය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලබාගන්නවත් නෙමෙයි. ඒ නායකයිනුත් දන්නවා ඒක. අපි ඔවුන් සමග කතා කළේ රටේ වැදගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කරගෙන යන්නේ කොහොමද? ඒ සඳහා අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද? කියන දේ සහ මෙන්න මේ දේවල් කරන්න කියලා මතක් කරන්න කියලා තමයි අපි ඒ හැම අවස්ථාවකම කළේ. ඒවට කන් දීලා යම් යම් දේ සිද්ධ වුනා. නමුත් යම් යම් දේවල් සිද්ධ වුනේ නෑ.

පස්සේ කාලෙක අපිට පේන්න පටන්ගත්තා, අවුරුදු 03 ක් විතර ගතවෙන කොට ප‍්‍රමාණවත් කරමින් සිවිල් සමජය විසින්, පුරවැසි සමාජය විසින් ගෙන එනු ලබන යෝජනාවලට කන් දෙන්නේ නැති ස්වභාවයක් ආණ්ඩුවේ ප‍්‍රධානීන් අතර තිබෙනවා කියලා. ඒ වගේම ඔවුන් ඔවුන්ගෙම න්‍යාය පත‍්‍රයක් අරගෙන යනවා. අර මහජන න්‍යාය පත‍්‍රය එනම් 2015 ජනවාරි 08 වෙනි දා මහජනතාව ලබා දුන් න්‍යාය පත‍්‍රය අමතක කරමින් තමන්ගේ පක්ෂයේ න්‍යාය පත‍්‍රය, තමන්ගේ පෞද්ගලික බල න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. මේ තත්ත්වය පැහැදිලි වෙන්නට පටන්ගත්තයින් පස්සේ අපි කල්පනා කලා, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතල විවේචනයක් ගේන්න  ඕනා. ජනාධිපතිවරයට විරුද්ධව විවේචනයක් ගේන්න  ඕනා. අගමැතිවරයට විරුද්ධව විවේදනයක් ගේන්න  ඕනා. ආණ්ඩුවට විරුද්ධව විවේචනයක් කරන්න  ඕනයි කියන එක අපි හිතුවා. ඒක තමයි සිවිල් සමාජයේ කාර්ය භාරය. සිවිල් සමාජය කියන්නේ මහජනතාවයක් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පත් කරලා, ඒ ආණ්ඩුවේ වරදාන අරගෙන, ඒ ආණ්ඩුවේ තනතුරු අරගෙන, ආණ්ඩුව කියන විදියට හෝ ආණ්ඩුව ආරක්ෂා කරන එක නෙමෙයි. ආණ්ඩුව ඉෂ්ඨකරනවයි කියලා පොරොන්දු වුනු දේවල් කරන්න කියලා දිගින් දිගටම බලපෑම් කරන එක. ආණ්ඩුවෙන් පිටත සිටිමින් උත්සාහ ගන්න එකයි, පුළුවන් තරම් ආණ්ඩුවෙන් පිටතින් සිටිමින් නමුත් ආණ්ඩුව කරන හොඳ දේවල් අගය කරමින්, පරණ බලවේග වලට කිසිසේත් ඉස්සරහට එන්න දෙන්නේ නැතිව ඔය සියලූ දේවල් කළමනාකරණය කරගනිමින් ආණ්ඩුව දෙස විචාරශීලීව බලන එක තමයි අපේ වුවමනාව වුනේ.

එතකොට විපක්ෂය කිව්වා ඒ කතාව ඇත්ත වෙන්න පුලූවන් අපි කියන දේවල් උඹලා තේරුම් අරගෙන තියෙනවා කියලා. හැබැයි ඒක වැරදියි. ඒ ගොල්ලෝ කියන දේවල් නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ මේ විපක්ෂයේ ඉන්න හොරුන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක නොකිරීම ගැනයි අපි ආණ්ඩුව විවේචනය කළේ. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න රට කාපු, දේපල මංකොල්ල කාපු පුද්ගලයෝ ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් කරන්නේ නැතුව ඔවුන්ට සුදුරෙදි පොරව ගන්න දීලා සමාජය ඉස්සරහා සිල්වතුන් ලෙස ඉන්න ඉඩ  හැරීම සම්බන්ධයෙන් තමයි අපි ආණ්ඩුව විවේචනය කළේ. ඒ වගේම ආණ්ඩුවේ සමහරු මේ හොරුන්ව මංකොල්ලකාරයන්ව ආරක්ෂා කිරීමට විරුද්ධවයි අපි ආණ්ඩුව විවේචනය කළේ. ඒ වගේම මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව කරපු විදියටම මහ බැංකු බැඳුම්කර සිද්ධිය වගේ විවිධාකාර වංචාවලට ඉඩ සලසා දීම සහ ඒ සඳහා මුල් අවස්ථාවේදීම නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් තමයි අපි ආණ්ඩුව විවේචනය කළේ. ඒක පුරවැසි සමාජයක් හැටියට අපේ වගකීමක්. එසේ කළ යුතුමයි. මේ ආණ්ඩුවත් තමන් බලතල අතින් ශක්තිමත් වුනහම අර පරණ ආණ්ඩුව යන මාර්ගයේ යන්නට තිබුණා. ඒක අපි වලක්වගන්න  ඕනා. මේ ආණ්ඩුව වෙනස් කරලා පරණ ආණ්ඩුවක් පත් කරගන්න අපිට වුවමනාවක් නෑ.

හැබැයි මේ ආණ්ඩුව ට‍්‍රැක් එකට දාගන්න පුළුවන් තරම් මහන්සි ගන්න  ඕනා. ඉතින් ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය අපේ අදහස් නැත්නම් අපි කියන දේවල් කොච්චර උපුටා දැක්වුවත් සැලකිල්ලෙන් බලන කෙනෙකුට තේරෙනවා ඔවුන් කියන්නේ අපේ පරස්පරය කියලා. ඔවුන් කියන්නේ හොරු අත් අඩංගුවට ගන්න එපා. ඒවා පළිගැනීම් කියලා. අපි කියන්නේ හොරු අත්අඩංගුවට ගන්න  ඕනා. සමාජයට යුක්තිය ඉෂ්ට කරනවාය කියන්නේ ඔවුන්ට දඩුවම් කිරීම. මේ දෙපැත්තෙන්ම පේනවා මේ පරස්පරය. අනෙක් පැත්තෙන් ඒ නිසා සිවිල් සමාජයට සමාජය තුළ තිබුණුු බලය අඩු වුනා කියන එක මම පිළිගන්නේ නෑ. අපි වගේ හිතන, අපි එක්ක එකට ඉන්න කණ්ඩායම කියන්නේ දැන් ආණ්ඩුව සම්බන්ධයෙන් අපි විවේචනයක් ගේන්න  ඕනා. ආණ්ඩුව සම්බන්ධයෙන් ඔවුන් ඉෂ්ඨ කරන්න පොරොන්දු වුනු දේවල් සම්බන්ධයෙන් අපි බලපෑම් කරන්න  ඕන. අපි විරෝධය පාන්න  ඕන ඔවුන් වැරදි කරන අවස්ථාවලදි. එහෙම කිරීම තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. කිසි කෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි ආණ්ඩුවත් එක්ක එකට සිටිමින්, ආණ්ඩුවේ දේවල් ආරක්ෂා කරමින් සිටීමක් සිවිල් සමාජයේ පුරවැසියන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතීතයේ ඉඳලම ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ පුරාම සිවිල් සමාජවලට අතහැරිච්ච වගකීමක් තියෙනවා, ඒක තමයි යම් ආණ්ඩුවක් පත් කරලා, එක්කෝ ඒකේ වරදාන ලබාගෙන, එක්කෝ ඒකේ තනතුරු ලබාගෙන, වරප‍්‍රසාද ලබාගෙන ආණ්ඩුව ආරක්ෂා කිරීමට උත්සාහ ගැනීමක්. මේකෙදි ඒ අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අපි පුළුවන් තරම් උත්සාහ ගන්නේ අපේ කාර්යභාරය විචාරාක්ෂියෙන් යුතුව සිටීමේ වගකීම ඉෂ්ට කරන්න. ඒක නිසාම තවමත් එකට වැඩකරන සිවිල් සමාජ, සිවිල් පුරවැසියන් විශාල ප‍්‍රමාණයක් ඉන්න බව කියන්න  ඕනා.

විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම 2015 සිවිල් ව්‍යාරයේ ප‍්‍රධාන සටන් පාඨයක්, නව රජය පත්වීමෙන් පසුව අලූත් ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාරය ගොඩනගා කි‍්‍රයාකාරී වුනා. මේ වන විට බලය බෙදන අලූත් ව්‍යවස්ථාවක් වෙනුවට 20 ව්‍යවස්ථාව සංශෝධනය කැම්පේන් එකට මාරු වෙනවා. නමුත් එය සමාජ ගත කිරීමත් සාර්ථකව වෙන බවක් පෙනෙන්නෙ නැහැ. එය ඉදිරිපත් කළ ජවිපෙවත් එහි බර කරට අරගෙන කටයුතු කරන බවක් පේන්නෙ නැහැ.  

ඔව් ඒ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සත්‍යතාවයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ ජනාධිපතිවරයත්, මේ අගමැතිවරයත්, කිව්වේ අලූත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඒක තිබුණා. ඒ සඳහා යම් යම් පියවර ගත්තා. පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් ලෙස පත් කලා. මහජනතාවගේ අදහස් විමසන්න වෙනම කමිටුවක් පත් කලා. ඒ වගේ විවිධාකාර කි‍්‍රයාමාර්ග ගත්තා. ඒ කි‍්‍රයාමාර්ග ඉතා හොඳයි. ඉදිරිගාමියි. නමුත් එතනින් එහාට ඒ කි‍්‍රයාමාර්ගය ගෙනියන්න ආණ්ඩුව දේශපාලන අධිෂ්ඨානයක් දැක්වුවේ නැහැයි කියන එක අපි පිළිගත යුතුයි සහ ආණ්ඩුවට ඒ විරෝධය එල්ල කරන්නට අවශ්‍යයි.

එතකොට ජනතා විමුක්ති පෙරමුණ 20 සංශෝධනය ගේන්නේ ඔන්න ඔය සංදර්භය ඇතුළේ. ආණ්ඩුව මුළු ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවම එකට අරගෙන බලය බෙදා හැරීම, ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම, මූලික අයිතිවාසිකම්වල තත්ත්වය දියුණු කිරීම, සඳහා තමන්ම ආපු මාර්ගය යම් තැනක හිරවී සිටීම නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වෙන්නේ අඩුගානේ විධායක ජනාධිපතිධූරයවත් අහෝසි කරන 20 සංශෝධනය ගේන්න. ඒ නිසා අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වෙහෙස වුනු අපිට ගන්න තියෙන ස්ථාවරය මොකක්ද? අපිට අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවකට යන්න බැරි නම් අඩුගානේ ඒකේ තියෙන මූලික අරමුණක්වත් ඉෂ්ට වෙන 20 සංශෝධනය සම්බන්ධයෙන් සහය දෙන්න අවශ්‍යයි. නමුත් අවාසනාවකට රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ කාරණයේදී මග ඇරපු බවක් පේනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කරන්නෙත් නෑ. ඒ සම්බන්ධයෙන් සහය දීමක් සිද්ධ කරන්නෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණත් අපි බලාපොරොත්තු වෙච්ච තරමට, 20 සංශෝධනය ඉදිරියට දමාගෙන මහජනතාව සමග සංවාදයක යෙදෙන්නේ නැති බව ඔවුන්ට එල්ල කරන විවේචනයක් හැටියටම කියන්න  ඕන.

හැබැයි අනෙක් පැත්තෙන් ප‍්‍රධාන මාධ්‍යවල ආවරණය නොවුනට පුරවැසි බලය වගේ සංවිධාන වල සහභාගිත්වයෙන් වමේ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සාකච්ඡා මාලාවක් රට තුළ සිදුවන බවත් අපි අමතක කරන්න නරකයි. ඒවට මාධ්‍ය ආවරණය විශේෂයෙන් ලැබෙන්නේ නැහැ.නමුත් මිනිස්සු 50-60, 20-30 , වාඩිවෙලා මේ 20 සංශෝධනය පදනම් කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සමග දෙමළ ජනතා සන්ධානයේ නියෝජිතයන් සමග කරන සාකච්ඡා මාලාවක් පහුගිය කාලය පුරාම සිදුවෙනවා. නමුත් ඒක ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ 20 සංශෝධනය මහජනතාව තුළට ගෙනිහිල්ලා අවබෝධය වැඩි කර ගැනීම සඳහා. ඉතින් ඒකෙදි අපට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක, විධායක බලය අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ගෙනවයි කියපු පක්ෂ දෙක මේ විදියට හොරගල් අහුලමින් ඉන්න එක නවත්වලා දැන්වත් 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ප‍්‍රකාශ කරන්න  ඕන, ඔවුන් 20 වෙනි සංශෝධනයට සහය දෙනවා නම් මේ ව්‍යාපෘතිය අතට අරගෙන මහජනතාව සමග සාකච්ඡාවකට සංවාදයකට යන කි‍්‍රයා පිළිවෙතක් ඔවුන් අනුගමනය කිරීමට අවශ්‍යයි. එහෙම වෙනවා නම් එහෙම සිවිල් සංවිධාන හැටියටත් අපිට ඒකට සහභාගි වෙන්න පුළුවන් මීට වඩා. නමුත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සිවිල් සංවිධාන හැටියට අපිට කරන්න තියෙන උපරිම දේවල් තවමත් අපි කරමින් ඉන්නේ. ඒවයේ සාර්ථක අසාර්ථකභාවය අපිට මැන ගන්න පුළුවන්. නමුත් අපේ හැකියාව අනුව අපි ඒ බර තවමත් දරමින් ඉන්නවා.     

කිසිවක් සිද්ධ නොවුනොත් 2020 නැවත ජනාධිපතිවරණයක් එනවා. මේ අවස්ථාවේදී සිවිල් සමාජයේ ස්ථාවරය හා කි‍්‍රයාකාරිත්වය විය යුත්තේ කුමක්ද ? නැවතත් පොදු අපේක්ෂකයෙක් ගේන්න වේවිද? ජාතික ආණ්ඩුවක් තව දුරටත් අවශ්‍යද?

ඒ කිසිවකට පිළිතුරු දෙන්න පුළුවන් මට්ටමකට දේශපාලන සංදර්භය මෝරලා නැති බවයි පේන්නේ. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් එය සිදුවන්නේ 2019 දෙසැම්බර් වලින් පස්සේ. ඒ අතරේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වයෙන් කියනවා ඔහු ජනාධිපතිධූරයට නැවත වාරයක් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කියලා. අගමැතිවරයගේ පාර්ශ්වයෙන් කියනවා ඔහු නැවත වරක් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒකාබද්ධ විපක්ෂයට තවමත් විශාල බල අරගලයක් තියෙනවා කව්ද අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නේ කියලා. මේ විදියට බලද්දි මේ වන විට දේශපාලන ව්‍යාකූලභාවයක් තියෙනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. මේ තත්ත්වය සංසංදනය කරන්න කැමතියි 2015 තත්ත්වයත් එක්ක. ඇත්තටම 2014 නොවැම්බර් මාසේ 24 වෙනිදා වෙනතුරු අපිට පොදු අපේක්ෂකයෙක් හිටියේ නෑ.

එක එක්කෙනා මම ඉල්ලනවා මම ඉල්ලනවා කිව්වට, මහින්ද මහත්තයා වේදිකාවට ඇවිල්ලා කෝ මගේ ප‍්‍රතිවාදියා කියලා කෑගැහැව්වට, අපිට නොවැම්බර් මාසේ 24 වෙනිදා වෙනකම් අපිට පොදු අපේක්ෂකයෙක් හොයාගන්න බැරිවුනා. නමුත් එදයින් පස්සේ ඇතිවෙච්ච දේශපාලන වෙනස විසින් එච්චර කල් තිබුනු බලවත් රෙජීමයක් පරාජය කරන්න පුළුවන් වුනා. ඉතින් ලංකාවේ දේශපාලනයේ මිනිස්සු සකී‍්‍රයයි. ඒ වගේම ලංකාවේ දේශපාලන ගතිකයන් වෙනස් වෙන එක මුල ඉඳලා පූර්වානුමාන කරන්න පුළුවන් කමක් නෑ.

ඒ නිසා මම කැමතියි ඒ ප‍්‍රශ්න ටික විවෘතව තියන්න. තව අවුරුද්දක් විතර තියෙනවා අපිට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඒ කාලය තුළ මේ දේශපාලන ගතිකයන් කොහොමද මෝරා යන්නේ කියන එක අනුව තමයි ජාතික ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යනවද, විධායක ජනාධිපතිධූරය සඳහා නැවත අපේක්ෂකයන් හොයනවද, එහෙම නැත්නම් විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවද කියන එක. අපි පෙනී සිටින්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට. අපි පෙනී සිටින්නේ සහ බලපෑම් කරන්නේ ඊළග ජනාධිපතිවරණයක් නොපවත්වන්න. ඊට පෙර විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න. අඩුගානේ 20 සංශෝධනය නීතියක් වශයෙන් කි‍්‍රයාත්මක කරවගන්න. ඒ නිසා අපට තාම කියන්න බෑ, ඒක කි‍්‍රයාත්මක වෙයිද? 20 සංශෙෘ්ධනය කි‍්‍රයාත්මක වෙලා විධායක ජනාධිපතිධූරය අහෝසි වෙයිද? එහෙම නැත්නම් ජනාධිපතිවරණයකට යන්න වෙයිද කියලා. අපි ඒ ප‍්‍රශ්නය විවෘත තියන්න  ඕන කියන එක තමයි මගේ අදහස.

සංවාද සටහන්
අයිතිය වෙනුවෙන්, සුදේශ් ද සිල්වා




Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.