English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සුනිලා අබේසේකර - අසම්පූර්ණ සටහනක්
(2018-09-12)

<< Go Back
ඇය පි‍්‍රය කළ, ඇය වෙහෙසවුනු, ගොඩනැගීමට දායකත්වය ලබාදුන් මානව හිමිකම් අරගලයෙන් සමුගෙන 2018 සැප්තැම්බර් 09 වෙනි දිනට වසර 05 ක් ගතවේ. ඇයගේ අරගලයන් සමහරක් ජය ගෙන තිබෙන අවස්ථාවක එදෙස බලා සතුටුවන්නට ඇය අද නැත. ඇය සමග සිටි ගමන් සගයන් අද එම සටනේ ඉදිරියෙන්ම සිටියි. ඇය විවේචනාත්මක සහය ලබා දුන් කි‍්‍රයාකාරකම් අද ඒ පන්නරයෙන් තවත් ඉදිරියට ගමන් කරමින් සිටියි.

අඩුපාඩු මධ්‍යයේදී වුවද ලංකාව අද මානව හිමිකම් ආරක්ෂා කිරීම අතින් ජාත්‍යන්තරයේ ඉදිරියට පැමිණ සිටියි. 19 වෙනි සංශෝධනය ගෙන ඒමෙන් පසු කි‍්‍රයාකාරී වූ මානව හිමිකම් කොමිසම දැන් වෙනදාට වඩා කි‍්‍රයාශීලීය. අතුරුදහන් වූ තැනැත්තන් වෙනුවෙන් පිහිටුවන ලද කාර්යාලය අද අතුරුදහන්වූවන්ගේ පවුල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කර සිටියි. මේවා ඇය දුටු සිහිනය. ඇය ජීවත්ව සිටියානම් මෙම පියවරයන් ගැන විවේචනාත්මක සහයක් ලබා දෙනු ඇත.

සුනිලා නම් කව්ද ?

ඇය සුනිලා අබේසේකර. ලංකාවේ සිටි පුරෝගාමී මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක්. ජාත්‍යයන්තර වශයෙන් ඉහළ ගෞරව නාමයක්, කීර්තියක් දිනාගත් මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක්. සිංහල වේදිකාවේ, සිනමාවේ රංගන ශිල්පිනියක්. ගීත කිහිපයකින් තම හැකියාව ජාතික තලයේ තැබූ ගායිකාවක්. සිංහල, ඉංගී‍්‍රසි භාෂා ද්විත්වයම ඉහළින් හැසිරවිය හැකි නිවේදිකාවක්. ලංකාවේ ප‍්‍රවීන,තරුණ සිනමා ශිල්පීන්ගේ චිත‍්‍රපට රැුසක ඉංගී‍්‍රසි උපසිරැුසි යෙදු දක්ෂ පරිවර්තිකාවක්. විශිෂ්ඨ ලේඛන හැකියාවකින් යුතු ලේඛිකාවක්. නාගරික, ගැමි ජනතාව, කාන්තාව  සවිගැන්වීමෙහිලා දක්ෂතාවක් දැක්වූ සම්පත්දායිකාවක්. විශේෂයෙන් ස්තී‍්‍ර අයිතීන් සම්බන්ධයෙන් හා ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන්. ද්වී භාෂාවෙන්ම කලා විචාරයන් සිදුකරන ලද විචාරිකාවක්.

1952 කොළඹ දී උපන් සුනිලා බිෂොප් විද්‍යාලයේ අධ්‍යාපන ලද අතර ඇගේ පියා වූයේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ චාල්ස් අබේසේකර මහතායි. බිෂොප් විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම කලාවට හා ගායනයට හැකියාවක් දැක්වූ සුනිලා මුලින්ම ක්ෂේත‍්‍රයට පිවිසියේ රංගන ශිල්පිනියක ලෙසිනි. ජයලත් මනෝරත්නගේ මුල්ම වේදිකා නාට්‍යය වූ ”මහගිරිදඹ” නාට්‍යයේද, රංජිත් ධර්මකීර්තිගේ ”මෝදර මෝල”, ”අංගාරා ගඟ ගලා බසියි”, නාට්‍යයන්ට රංගනයෙන් සහ ගායනයෙන් සම්බන්ධවූවාය. හැත්තෑව දශකයේදී සුනිලා වේදිකා නාට්‍යය ගණනාවකට දායකත්වය දැක්වූවාය. පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියේ සංගීත කාර්යයන්ට එක් කාලයක් ඇය නැතිවම බැරිවිය. ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් බිහිවූ ගී නිර්මාණයන් අදද ජනපි‍්‍රය ය. ඇය ජනතා විමුක්ති පෙරමුණේ ”විමුක්ති ගී” හී ගායිකාවකි. විමුක්ති ගී වලින් පසුව රජරට කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු ”ජනතා කලා කේන්ද්‍රයේ ” පුරෝගාමී සමාජිකාවක් වූවාය. නන්දන මාරසිංහ, සුනිල් විජේසිරිවර්ධන, ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර, එහි අනෙකුත් ප‍්‍රධාන සගයන් විය. පසුව ”මර්ජ්” සංවිධානයේ කි‍්‍රයාකාරී සමාජිකාවක් වූ සුනිලා එහි කි‍්‍රයාකාරිත්වය වෙනුවෙන් මහත් වෙහෙසක් දරා වැඩ කළාය. ”මර්ජ්” සංවිධානයේ නිර්මාණයක් වූ පේ‍්‍රමසිරි කේමදාසයන් සංගීතවත් කළ ”නිදි නැති නදියේ නාදය” කැසට් පටයට දායක වූවාය.

කලාවට වඩා මානව හිමිකම්වලට ආදරය කිරීම


විවිධ ක්ෂේත‍්‍රවල හැකියාවන් රැසක් තිබුනද, රැකියවන් උල්පතක් බඳු හැකියාවන් තිබුනද ඇය අවසානයේ දී තෝරාගත්තේ තෝරාගත්තේ සිය හදවතින්ම කි‍්‍රයාකාරීව වෙහෙසිය හැකි මානව හිමිකම් ක්ෂේත‍්‍රයයි. 1971 කැරැුල්ලෙන් ඇති කල භීෂණය සුනිලාට දැනී තිබිණි. නමුත් ඇය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ බර්නඞීන් සිල්වා සමග එක්ව ස්වේච්ඡුාවෙන් සිරගත වූ කැරළිකරුවන්ගේ පවුල් වලට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් විය. එය ඇයට නුහුරු අත්දැකීමක් විය. කොළඹ ඉපදී හැදී වැඩුණු ඇයට දුෂ්කර, ඈත ගම්මානවලට ඇවිද යන්නට සිදුවුනා. ඇය බර්නඞීන් සමග එක්ව මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් බැලීමට පැමිණෙන සිරකරුවන්ගේ පවුල්වලට නවාතැන්, පහසුකම් සොයා දෙන්න ඉදිරිපත් වුනා. බියෙන්, සැකෙන් පැමිණෙන ඔවුන්ගේ සහයට ඇය සිටියා. සමහර අවස්ථාව වලදී සුනිලා සිරකරුවන් බැලීමට සිරගෙවල් වලට පවා ගියා. ඒ නිසා එම පවුල් එක්ක සුනිලාගේ තිබුනු සම්බන්ධතාවයන් වර්ධනය වුනා. සිරගත වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් ඇයට ඔවුන්ගේ දේශපාලනය සමග එක්වන ලෙස ආරාධනය කලා. නමුත් ඒ වන විට ඇයගේ වැඩි නැඹුරුවක් දැක්වූයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත් එක්ක වැඩ කරන්න. ඇයගේ වැඩි ආකර්ශනයක් ඇති වුනේ ඇති වුනේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් ආරම්භ කර තිබූ මරණ දණ්ඩනයට විරුද්ධ ව්‍යාපාරය වෙතයි. ඒ වගේම ඒ වන විට සිරගතව සිටි ලේඛකයන් වූ කරුණාසේන ජයලත්, ජයසේන ජයකොඩි වැනි ලේඛකයන් අත්අඩංගුවෙන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයට ඇය පූර්ණ දායකත්වය ලබා දුන්නාය. ඇය පසුව බාලා තම්පෝ, රෙජී සිරිවර්ධන සමග එක්ව මානව හිමිකම් ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට උර දෙනවා. ඔවුන් එක්ක ”මානව හිමිකම් සංවිධානය” නමින් සංවිධානයක් ගොඩනගනු ලබනවා.

සුනිලාගේ  80 දශකයට පිවිසීම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේදී ඇතිවන ජනවාර්ගික ගැටුම් නිසා ඊට එරෙහිව පාලමක් සකස් කිරීමට ගොඩනැගෙන මර්ජ් හෙවත් ජාතීන් අතර සමානාත්මතාවය සඳහා වූ ව්‍යපාරයට සම්බන්ධවෙන සුනිලා, 1980 වැඩ වර්ජන පරාජයෙන් පසුව බිහිවන වැඩ වර්ජකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය සඳහා දායකත්වය ලබා දුන්නා.

යුද ගැටුම් 1983 දී ආරම්භ වෙනවා. 1971 කැරැල්ල මෙන්ම 1983 ජූලි සිදුවීම් ද සුනිලා තුළ කම්පනයක් ඇති කරන්නට මුල පුරනවා. සුනිලා පසුව සුනන්ද දේශපි‍්‍රය සමග සිදුකරන ලද සංවාදයකදී ඇය මුහුණ දුන් එක් අත්දැකීමක් විස්තර කරනවා. ” ජූලි කලබල දවස් මැද්දේ මට දුරකතන පණිවිඩයක් ආවා කොටුව තරුණ කි‍්‍රස්තියානි සංගමයේ ගොඩනැගිල්ලේ පිහිටලා තිබුණු ශිෂ්‍ය කි‍්‍රස්තියානි ව්‍යාපාරයේ කුඩා කාර්යාලයේ හිටපු කාගෙන් හරි. ඒ දවස්වල මම ජීවත් වුණේ බත්තරමුල්ලේ. ඔවුන් කිව්වා ඉක්මනට එන්න, ඇවිත් කෙනෙක් අරන් යන්න තියෙනවා කියලා. මං ඒ වෙලාවෙම බස් එකකට නැගලා කොටුවට ගියා. මං ඒ ළමයා ගැන දැනන් හිටියේ නැහැ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. සරමකුයි, ෂර්ට් එකකුයි ඇඳගෙන තමයි උන්නේ. මං කිව්වා හරි යමු කියලා. ඔහු අරගෙන ගිහින් බස් එකකට නග්ග ගත්තා. මං හරියට බයවෙලා හිටියේ. මොකද කලබල අස්සේ කොටුවේ ඉඳලා බත්තරමුල්ලට යන එක ලේසි නැති නිසා.

තැන් ගණනාවක දී ම කළහාකාරී පිරිස් බස් එක නැවැත්තුවා. ප‍්‍රශ්න ඇහැව්වා. උත්තර දුන්නේ මං. ඔහු කටවත් ඇරියේ නැහැ. අත්තටම නම් ඔහු හිටියේ මටත් වඩා හොඳටම තිගැස්මෙන්. මං බයෙන් උන්නේ තදබල තිගැස්ම නිසා ඔහු වැඩිදුර හිතන් නැතුව මොනව හරි දෙයක් කරාවිද කියලා. කොහොම හරි කරදරයක් නොවී ඔහු අපේ ගෙදරට එක්ක ගියා. පස්සේ ඔහු වඩා ආරක්ෂිත ස්ථානයකට යවන්න අපට පුළුවන් වුනා. ඒ තමයි පසු කාලෙක ජනමාධ්‍යවේදියෙකු  ලෙස ප‍්‍රසිද්ධ වූ සිවරාම්. එදා ඒ විදියට ජීවිතය බේරගත්ත ඔහු 2004 අපේ‍්‍රල් මාසයේදී රාජ්‍ය ඝාතකයන්ට බිළිවුණා.”

1979 සිට යාපනයේ හදිසි නීතිය පැනවීමත් සමග යාපනයේ තත්ත්වය වෙනස් වුනා. 1980 ගණන්වලදී ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන ඒමත් සමග තත්ත්වය වෙනස් විය. මේ සමගම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මානව හිමිකම් භාෂාව යොදා ගැනීම ආරම්භ වෙනවා. සුනිලා මේ කි‍්‍රයාකාරිත්වයේදී ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම ඇය ගොඩනගාගත් සම්බන්ධතා නිසා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණින් වෙන්ව ගිය පිරිසුත් ඇගේ සහය පතා ඇය හමුවීමට පැමිණෙනවා. ඇයගේ මුළු කි‍්‍රයාකාරිත්වයම සමාජ සාධාරණයක් උදෙසා වූ අරගලයක් බවට මේ අවදියේදී පරිවර්තනය වෙනවා.

ස්තී‍්‍ර දායකත්වයට මුළ පිරීම

ඇය ස්තී‍්‍ර අයිතිවාසිකම් අයිතිවාසිකම් පිළිබඳ හැගීමක් ඇතිවන්නේ 1970 ගණන්වල මුල් කාලයේදී. කාන්තා වර්ෂය වෙනුවෙන් මෙක්සිකෝවේ තිබෙන සම්මන්ත‍්‍රණයකට ”ශී‍්‍ර ලංකාවේ කාන්තාවෝ” යන මැයෙන් සඟරාවක් ලංකාව මගින් සකස් කරනු ලබනවා. ඒ සඳහා ලිපියක් ලිවීමට සුනිලා ට කුමාරි ජයවර්ධන විසින් ආරාධනය කරනු ලබනවා. ඒ හරහා ඇය කුමාරි ජයවර්ධන හඳුනාගැනීමට ලැබෙන අතර එය ඇයගේ පැමිණි ගමන් මග වෙනස් කිරීමටත් සමත් වෙනවා. 1975 දී කාන්තා දිනය වෙනුවෙන් පති‍්‍රකාවක් ”කාන්තා හඬ” නමින් සකස් කරනු ලබනවා. එම පති‍්‍රකාව මුද්‍රණය කර වමේ මැයි දින රැස්වීම් වල බෙදා හරිනු ලබනවා. පසුව ඒ නමින්ම කාන්තා සංවිධානයක් බිහිවනවා. එම සංවිධානය     ”කාන්තා හඬ” නමින් සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂාවෙන් යුතු සගරාවක් ආරම්භ කරනු ලබනවා. රටේ ස්තී‍්‍ර අයිතිවාසිකම් ගැන උනන්දුවක් ඇතිවේගෙන පැමිණියා. නිදහස් වෙළඳ කලාපයන් ආරම්භවීමත් සමග විශාල ශ‍්‍රමිකයන් සංඛ්‍යාවක් එහි රැකියාවන් පැමිණියා.

ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡුාවන් ඇති වෙනවා. සුනිලා එහි ඉදිරියෙන්ම සිටිනවා. ශ‍්‍රමිකයන්ගේ තත්ත්වය ගැන සිදු කෙරෙන පර්යේෂණ වලට සුනිලා තවත් කාන්තාවන් සමග දායකත්වය සපයනවා. මේ අතර ස්තී‍්‍ර අයිතිවාසිකම් වෙනුවෙන් ”ස්තී‍්‍ර මධ්‍යස්ථානය” ආරම්භ වෙනවා. පසුව ස්තී‍්‍ර ප‍්‍රශ්න සම්බන්ධයෙන් ස්තී‍්‍ර නායකත්වයෙන් යුතු කණ්ඩායම් රැසක් බිහිවෙනවා. මේ සියලූ කාර්යයන් පසුපස සුනිලා ද සිටිනවා. 1983 දී ප‍්‍රථම වතාවට කාන්තා දිනයක් සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පවත්වනු ලබනවා. එහිදී කාන්තා කි‍්‍රයාකාරී කමිටුවක් නිර්මාණය වෙනවා. මේ හරහා විවිධ කි‍්‍රයාකාරීත්වයන්වල ඔවුන් යෙදෙනවා. 1983 මාර්තු 08 වෙනිදා ඔවුන් විරෝධතාවයක්  දැක්වීමක්ද සිදු කරනු ලබනවා. කාන්තා කි‍්‍රයාකාරී කමිටුව පංති සවිඥානික දේශපාලනය සහ ශී‍්‍ර ලංකාවේ සුලූතර අයිතිවාසිකම් සමග ස්තී‍්‍රවාදී දේශපාලනය සම්බන්ධ කළ මුල්ම සංවිධානය වෙනවා. එහි එක් එකගතාවයක් වුනේ ස්වයං තීරණයට දෙමළ ජනයාට ඇති අයිතිය පිළිගැනීම, එමෙන්ම මර්ධනකාරී අණපනත් අහෝසි කිරීමත් ඒ අතර තිබුණා. 1984 දී ස්තී‍්‍ර සහභාගිත්වයත් සහිත පා ගමනක් ගිය ඔවුන් පසුව සම්මන්ත‍්‍රණයක්ද පැවැත්වූවා. පසුව සමාන්තරව  ”සාමය සඳහා කාන්තාවෝ” කුඩා එකතුවක් ආරම්භ කරනු ලබනවා. ගුණාත්මක වැඩසටහන් කළත් එය දීර්ඝකාලීනව පවත්වාගැනීමට ඔවුන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. 1987 න් පසුව ආරම්භ වෙන ඝාතන රැුල්ල ආරම්භ වෙනවා. ඒ ඝාතන හා අතුරුදහන් වූවන් ගැන සෙවීමටත්, ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධවත් ”ලක්බිමේ මව්වරු සහ දියණියෝ” සංවිධානය බිහිවෙනවා. සුනිලා එයටද උපරිම දායකත්වය සපයනවා.
 
මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ මෙන්ම ඇයගේ ස්තී‍්‍ර අයිතිවාසිකම් ව්‍යාපාරයේත් කාර්ය බහුලම කාලය උදාවෙන්නේ 1980 ගණන්වලින් පසුවයි. 1983 දී පමණ ඇරඹෙන දෙමළ ජනතාවගේ ආයුධ සන්නද්ධ අරගලය, යුද්ධයක් දක්වා වර්ධනයවීමත්, 1987 න් පසුව දකුණේ ඇරඹෙන ජනතා විමුක්ති පෙරමුණේ, දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ ප‍්‍රචණත්වයත්, ඒ හා සමගම රජයේ හමුදාවන් හා රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන ලද ඝාතන රැල්ලත් විසින් සුනිලා වටා වූ මානව හිමිකම් කි‍්‍රයාදරයින්ට අභියෝගාත්මකත්, අවධානාත්මකත් කාලයක් විය. ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය පුළුල් කිරීමට සිදුවිය. මානව හිමිකම් ව්‍යාපාරයේ සහයට පැමිණි විපක්ෂ දේශපාලකයන් වූ මහින්ද රාජපක්ෂ, මංගල සමරවීර ඇතුළු කණ්ඩායම් හා එක්ව පුළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම සිදුවිය. එයින් සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන්ට එරෙහිව දේශීය වශයෙන් ද විදේශීය වශයෙන් ද බලපෑම් කිරීමට ව්‍යාපාරයක් ගෙන ගියාය. ඊට සමගාමීව ඉන්ෆෝම් ආයතනය බිහිවිය. ඒ 1989 දී මානව හිමිකම් පිළිබඳ දත්ත රැස් කරන ආයතනයක් ලෙසිනි. ලංකාවෙහි සිදු වූ අතුරුදහන් වීම් පිළිබඳව ජාත්‍යයන්තර වශයෙන් සිදු කළ පළමු පර්යේෂණයේදී ද ඇය එම පර්යේෂකයින් සමඟ එක්ව කටයුතු කළ අතර ඊට අදාළ තොරතුරු සපයාදීමට ඉන්ෆෝම් ආයතනය සහය ලබා දී තිබිණි.

1987 - 1989 කාලයේදී සිදු වූ ඝාතන හා අතුරුදහන්වීම් පිළිබඳ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ මන්තී‍්‍රවරයෙක් වශයෙන් ඉදිරිපත් වුවද ඒ සඳහා විශාල අවධානමක් සහ කැපවීමක් සුනිලා විසින් සිදු කර තිබිණි. මුල් වරට ශී‍්‍ර ලංකාව තුළ සිදුවන මානව හිමිකම් ජාත්‍යයන්තර අවධානයක් ලබා ගන්නේ මෙම සිදුවීමත් සමගය. ඒ කාලය තුළ ඇය මව්වරුන්ගේ පෙරමුණ, අතුරුදහන්වූවන්ගේ මාපිය දූදරු සංවිධානය ආදී සංවිධාන රැුසක කි‍්‍රයාකාරී සමාජිකාවක් බවට පත්වූවාය. ඒ කාලයේ දී මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම අසීරු දෙයක් විය. තර්ජන, ආපහාස, නින්දාවන් අතරින් ඇය ධෛර්යමත් ලෙස තමන්ගේ ගමන් මග ගියාය. විකල්ප අධ්‍යයනයන් සහ පොත පත හරහා ඇය ඇයගේ විෂය දැනුම යාවත්කාලීන කරගත්තාය. 1994 දී හේග් නුවර සමාජ අධ්‍යයනය සඳහා වූ ආයතනයේ සංවර්ධනය සම්බන්ධයෙන් ශ‍්‍රාස්පති උපාධියක් ලබාගත්තාය. ඒ සඳහා ඇයගේ අධ්‍යයනය ක්ෂේත‍්‍රයන් වූයේ කාන්තාව සහ සංවර්ධනයයි.

සුනිලාගේ ජාත්‍යයන්තර අරගලය

1990 දී පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ද ඇය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළාය. ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් 1325 වෙනි යෝජනා සම්මතය කි‍්‍රයාත්මක කර ගැනීම සඳහාය. සාම සාකච්ඡාවලදී කාන්තාවන්ගේ සහභාගිත්වය පිළිබඳව මෙම යෝජනා සම්මතය මූලිකව පදනම් වී තිබිණි. එසේම අන්තර්ජාතික අපරාධ අධිකරණයෙහි රෝම ව්‍යවස්ථාව තුළට ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ කරුණු අන්තර්ගත කිරීමෙහි තීරණාත්මක විවාදයන්හි ඇයද සමාජිකාවක බවට පත්වූවාය. එමෙන්ම 1993 දී වියානාවේ පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය තුළ විශේෂ භූමිකාවක් නිරූපණය කළාය. 1995 කාන්තාවන් පිළිබඳ බීජීන් සමුළුවේදී සිය හඩ නැගුවාය. එසේම ඇය කාන්තාවන්ගේ ජාත්‍යයන්තර නායකත්වය සඳහා වූ මධ්‍යස්ථානයන් හා එක්ව දීර්ඝ කාලයක් පුරාවටම කටයුතු කළ අතර එකී මධ්‍යස්ථාන සමඟ එක්ව ස්තී‍්‍රවාදී ව්‍යාපාරයන් ද දියත් කළාය.

ජාත්‍යයන්තර මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ඇයට හිමි ස්ථානය පැහැදිලි කරන අවස්ථාවන් ගණනාවක් වෙයි. 2006 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විවෘත කළ අවස්ථාවේදී ඇයට දේශනයක් සඳහා ආරාධනය කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 50 ක් පිරීම නිමිත්තෙන්, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ ආසියානු සම්මානය  මානව හිමිකම් ක්ෂේත‍්‍රයට දැක්වූ කැපී පෙනෙන දායකත්වය නිසා සුනිලා ට එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාලේකම් කොෆී අන්නන් මහතාගෙන් ලැබිනි. එමෙන්ම හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් 2007 වසරේදී මානව හිමිකම් ආරක්ෂකයා සම්මානයෙන් පිදුම් ලබන ලදි. 2005 දී නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වූ කාන්තාවන් දහස අතර ඇය ද සිටියාය. කාන්තා මානව හිමිකම් ආරක්ෂකයෝ ජාත්‍යයන්තර සංවිධානය ඇති කිරීමට සුනිලා දායකවූවාය. හදිසි කි‍්‍රයාවන් සඳහා අරමුදල , සම්බන්ධයෙන් ද සුනිලා කි‍්‍රයාකාරී දායකත්වයක් සැපයූවාය. ශී‍්‍ර ලංකාව තුළ මෙන්ම ජාත්‍යයන්තරවද ගැටුම් පරිණාමනය සහ කාන්තා අයිතීන් පිළිබඳ පුහුණුකාරිනියක් ලෙස සේවය කළාය. මේ සම්බන්ධයෙන් ඇය ලිපි ගණනාවක්ම ලියා ඇත.

පරිණාමනය හා ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා විපරිවර්තනය පිළිබඳ දකුණු ආසියානු ජාලය හා මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ ආසියානු සංවාද මණ්ඩපය වන ෆෝරම් - ඒෂියා වැනි සංවිධානය හරහා ද ඇය ඇයගේ දායකත්වය සපයා ඇත. කාන්තාවන්ට එරෙහි සියලූම ආකාරයේ වෙනස් කොට සැලකීම් මුලින් උපුටා දැමීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි කටයුතු වලට සහයෝගය දක්වන අතරම රාජ්‍ය නොවන සංවිධානවල කාර්යයන් සඳහා ශක්තිය සපයන එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයෙහි දීර්ඝ කාලීන හවුල්කාරිනියකි. 2008 -2010 කාලය තුළ ජාත්‍යයන්තර කාන්තා හිමිකම් කි‍්‍රයාකාරිත්ව නිරීක්ෂණ ආසියා පැසිපික් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළාය. 2013 මාර්තු වල පැවති කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ කොමිසමෙහි 57 වන සැසිවාරය  සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සමග කි‍්‍රයාකාරීව කටයුතු කළාය. 2012 සැප්තැම්බර් මාසයේදී සංවිධානය කරන ලද කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි සියලූ ආකාරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැලැක්වීම, පිළිබඳ විශේෂඥ කණ්ඩායම් හමුවේ  ඇය සම සභාපතිත්වය දැරීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  සිවිල් සමාජ උපදේශන කමිටුවේ ආරම්භක සමාජිකාවකි. එහි සම සභාපතිත්වය ද දැරුවාය. 2003 දී පැවති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ පළමු ආසියානු උප කලාපීය හමුවේ දී සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳ විවාදයට මානව හිමිකම් දෘෂ්ඨිකෝණයක් ගෙන එන ලද්දේ ඇය විසිනි. 2004 සුනාමියෙන් ඇති වූ විනාශකාරී බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමට ශී‍්‍ර ලංකාවට පැමිණි ඔවුන්ගේ කණ්ඩායමේ කොටස්කාරියක ද වූවාය.  

සුනිලා දේශද්‍රෝහී ලේබලය

තිස් වසරක යුද්ධය තුළ සිදුවූ සියළු මානව අයිතිවාසිකම් උල්ලංගණයවීම් වලට එරෙහිව සටන් කළ ඇය ලංකාව තුළ රට පාවා දෙන ද්‍රෝහීයෙක් ලෙස හඳුන්වාදුන්නේ එක්වරක් දෙවරක් නොවෙයි. ඇය රජයේ යුද කි‍්‍රයාදාමයේ විවේචනාත්මක විරුද්ධවාදිනියක් වූවාය. දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතින් සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්වීම් ගැන ද ඇය සටන් කලාය. ඒවා මතු කළාය. රාජිනී තිරණාගම ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කළ අවස්ථාවේදී ඒ ගැන තම විරෝධය මතු කළාය. අයිතිවාසිකම් ආන්තීකරණයට ලක් වී ඇති ලිංගික සේවකයන්, එච්.අයි.වී. ඒඞ්ස් වලින් පෙළෙන පුද්ගලයන්, සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් කළාය.   

2012 දී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ සුනිලා හා අනෙකුත් මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ගේ අදහස් දැක්වීම පිළිබඳ ශී‍්‍ර ලංකාවේ රජය හා පෞද්ගලික මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා දරුණු විය. සමගිය ඇති කිරීම හා යුද අපරාධ වාර්තා සම්බන්ධයෙන් වගවීම පිළිබඳ පැවති මෙම සාකච්ඡාවලට සම්බන්ධවීම නිසා අසත්‍ය තොරතුරු මත පදනම් වූ අපවාද හා තර්ජනවලට ලක් වූ අතර ඔවුන් දේශද්‍රෝහීන් ලෙස හඳුන්වනු ලැබීය.

දේශද්‍රෝහී ලේබලය නිසා කලක් විදේශගතව සිටි ඇය නැවත ලංකාවට පැමිණෙන විට බෙහෙවින් රෝගීව සිටියාය. දීර්ඝ කාලීන අරගලයක් අතරමග නතර කිරීමට සිදුවීම සම්බන්ධයෙන් ඇය තුළ කළ කිරීමක් තිබෙන්නට ඇත. ඇය ඒ වන විටත් ගමන් සගයන් රැුසක් බිහි කර තිබිණි. ඔවුන් විවිධ ක්ෂේත‍්‍රවල සිටිමින් විවිධ අන්දමින් මානව හිමිකම් සම්බන්ධයෙන් සටන් කරමින් සිටියි. දිවි පරදුවට තබා මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ සුනිලා අබේසේකර නම් සටන්කාමිය 2013 සැප්තැම්බර් 09 වෙනි දින දිවි අරගලයෙන් සමුගත්තාය. 2018 වසර පහක් පිරෙන දින වෙනුවෙන් සටහන් වුනු මේ සටහන ඇයගේ අරගලය සිහිපත් කරන්නේ දැනට අරගලයේ සිටින සටන් සගයන් දිරිමත් කිරීමේ අරමුණිනි.

සටහන
සුදේශ් ද සිල්වා
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය


( මෙම සටහන සකස් කිරීමේදී ප‍්‍රවීන, විකල්ප ලේඛක සුනන්ද දේශපි‍්‍රයගේ සුනිලා අබේසේකර - දළ පියටහන් නම් ලිපි පෙළින් සහ සමබිම ප‍්‍රකාශනයක් වූ හඳුනාගත්තොත් සුනිලා - අලූත් පරපුරක ඇසින් නම් පොත් පිංචෙන් කරුණු උපුටා ගත් බව කෘතවේදීව සටන් කරනු කැමැත්තෙමි)



Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.