English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
“අධ්‍යාත්මික වශයෙන් මියගිය සමාජයක් ඇති වෙන්න වැදගත් සාධකය වුයේ හිංසාවයි” - වික්ටර් අයිවන්
(2018-08-29)

<< Go Back

                

ගගේ නොයන තරුණ දේශපාලනයක් මැයෙන් තේමාව කොටගෙන, අජිත් පැරකුම් ජයසිංහයන් විසින් 1989 සිට 1990 දක්වා මාතර එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 තරුණ කැරැල්ල පිළිබඳ නවකතාව එළිදැක්වීමේ වැඩසටහනක් අගෝස්තු 21 වෙනි දින පස්වරු 3.00 පුස්කාල හා ප‍්‍රලේඛන මධ්‍යස්ථානයේදී පැවැත්විය. ඒ සඳහා ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන්, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර, ගීතිකා ධර්මසිංහ යන විද්වත් පිරිසක් සහභාගි වූ සම්මන්ත‍්‍රණයක් පැවැත්විනි. එහිදී ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් පවත්වන ලද කතාව මෙසේය.

“මම හිතනවා මේ සමාජයේ මට පෙනෙන එක දෙයක් තමයි අපිට තියෙන්නේ එක පැත්තකින් හොඳටම කුණු වෙච්ච ගඳ ගහන රාජ්‍යයක්. ඒ වගේම තමයි අපිට තිබෙන්නේ අධ්‍යාත්මික වශයෙන් මියගිය සමාජයක්. ඒ අධ්‍යාත්මික වශයෙන් මියගිය  සමාජයක් ඇති වෙන්නත්, කුණු වෙච්ච රාජ්‍යයක් ඇතිවෙන්නත්, එහෙම නැත්නම් රාජ්‍යය කුණු වූ තත්ත්වයකට පත් වෙන්නත් වැදගත් සාධකයක් හැටියට හිංසාව බලපෑවා.  කැරළිකරුවන්ගේ හිංසාව, කැරළි මර්ධනකරුවන්ගේ හිංසාව. ඒ හිංසාවල් තුළ මිරිකිලා තමන්ගේ සියළු වටිනාකම් අහිමිකරගත්ත, පිරිහිච්ච සමාජයක් තමයි අපිට තියෙන්නේ. ඇත්ත වශයෙන්ම හිංසාව ගැන විවාදයක් නැති යුගයක් තිබුනා. හිංසාව සමහර අවස්ථාවලදී නැතිවම බැරි කොන්දේසියක් වශයෙන් සලකන යුගයක් ලෝකේ තිබුනා. තමන්ගේ ප‍්‍රතිපක්ෂයක් විනාශ කිරීම සඳහා, අවසාන වශයෙන් පරාජය කිරීම සඳහා හිංසාව අත්‍යවශ්‍ය කොන්දේසියක් හැටියට මුළු ලෝකයම පිළිගත් යුගයක් තිබුනා. අද ඒ යුගය අවසන්. ඇත්තටම ඒ යුගය අවසන් කළේ අප හාස්‍යයෙන් කතා කරන, මාක්ස්වාදීන් හුගක් හාස්‍යයෙන් කතා කරන ගාන්ධි තමයි. මම කැමතියි ඒ තර්කය තමුන්නාන්සේලා ඉදිරියේ තබන්න. පොතක් තියෙනවා වධකාගාරයක් ගැන. ඒ පොත තියෙන්නේ හිංසාව ගැන. අපි විශාල අවුලකට ලක් වෙලා තියෙන්නේ. ඇත්තටම මම හිතුවේ තව අවුරුදු 5000කට වත් හිංසාව අවශ්‍ය නැහැ කියලා. තව අවුරුදු 5000කට වත් ලේ හලන්න අවශ්‍ය නැහැයි කියලා. තාමත් මට පුදුමයි තාමත් හිංසාව අවශ්‍යයයි කියන පිරිස් මේ සමාජයේ ඉන්නවා කියන එකට.

ගාන්ධිගේ තර්කය වුනේ ඔබ හිංසක බලයක් පරාජය කිරීම සඳහා හිංසාව එකතු කරන තැනකට ගියොත් ඒ හිංසක බලය අභිබවා යන හිංසක බලයක් ඔබට එකතු කරන්නට වෙනවා. ඔබට ජයගන්න පුළුවන් වෙන්නේ ඔබේ සතුරාට වඩා හිංසාකාරී බලයක් එකතු කරගැනීමේ ශක්තිය ඔබට තියෙනවා නම් පමණයි. ඒත් අවාසනාවකට ලෝක ඉතිහාසයේ කිසිම තැනක හිංසක බලයකට එරෙහිව ප‍්‍රති හිංසාව ඒකරාශී කරපු, ප‍්‍රති පක්ෂය පරාජය කරපු කවර පක්ෂයක්වත් ඒකරාශී කරපු හිංසාව විසුරුවා හැරියේ නැහැ අවසානයේ සමාජයට සිද්ධ වුනා විමුක්තියේ නාමයෙන් වඩා ප‍්‍රචණ්ඩ, වඩා හිංසක බලයක් යටතේ ජීවත් වෙන්න. ඇත්තටම විවිධාකාරයේ විප්ලවයන් කරලා පරාජය වෙච්ච එහෙම නැත්නම් පසුකලෙක පරාජය වෙච්ච බලය අල්ලගෙන හැම සමාජයකම මේ ලක්ෂණය ඉතාම හොඳින් දකින්න ලැබෙනවා. ඒ සමාජයවල ධනේෂ්වර සමාජයන්ටත් වඩා ඉතාම රළු පරුෂ විදියේ මාෆියා ක‍්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. කාම්බෝජය උදාහරණයක් විදියට ගනිමු. කාම්බෝජය තමයි ලෝකයට දෙන්න තියෙන හොඳම උදහරණය. විප්ලවවාදීන් තීන්දු කලා මේ සමාජයේ ජීවත්විය යුත්තේ කව්ද ජීවත් නොවිය යුත්තේ කව්ද කියලා. ප‍්‍රංශ භාෂාව කතා කරන මනුස්සයා ප‍්‍රතිගාමියෙක් හැටියට කතා කරලා මැරුවා. අව් කණ්නාඩි දාන මනුස්සයත් ප‍්‍රතිගාමියෙක් හැටියට සලකලා මැරුවා. සාමාන්‍යයෙන් පොඩි හිංසාවක් හරි වුනානම් එ මොකක් සඳහාද? සමාජ විමුක්තිය, සමාජය ගලවා ගැනීම, කියන පාඨ ඇතුලේ මේ සියල්ල සිද්ධ වුනා.

ඇත්ත වශයෙන්ම මේක ලස්සන පොතක්. කියවන්න පුලූවන් පොතක්. ඇත්තටම ඒකේ තියෙන්නේ කඳවුරක් නෙමෙයි. දෙවෙනි ජේ.වී.පී කැරැල්ල වෙලාවේදී ලංකාවේ හැම ප‍්‍රදේශයකම වධකාගාර තිබුනා. ඒ වධකාගාරවලට ගිය හැම මනුස්සයෙක්ම මැරුණේ නැහැ. ප්‍රේම කරලා නෙමෙයි එළියට පැන්නේ. අවාසනාවන්ත දේ තමයි මරණය වාසනාවන්තයි. ඒ වධකාගාරවල වධහිඳපු සැලකිය යුතු පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ලේඛකයත් එයින් කෙනෙක්. ඉතාමත් කුරිරු, දරුණු වධහිංසාවලට ලක්වෙලා තවදුරටත් ජීවිතය ගෙවීමේ වාසනාව ලද පිරිසක් ඉන්නවා. මම විශ්වාස කරනවා ඒ ජීවතුන් අතර ඉන්න අය මැරිච්ච මිනිස්සුන්ට වඩා අවාසනාවන්තයි කියලා. ඒ මතකය ලේහෙසියෙන් අමතක කරන්න බැහැ. ඒ මිනිස්සු කෙරෙහි ඇති කරන මනෝ ව්‍යාධිය පහසුවෙන් සුවකරන්න බැහැ. මම හිතනවා මේක හමුදාවට පමණක් අදාල දෙයක් නෙමෙයි. හමුදාවට බල ප‍්‍රදේශ තිබුනා. තමන්ට කඳවුරු පවත්වාගෙන යන්නට පුලූවන් තැන් තිබුනා. මේක මේ දෙපැත්තටම පොදු ආවේනික ලක්ෂණයක්. ජේ.වී.පී කැරළිකරුවන්ට වධකාගාරයක් පවත්වාගෙන යන්නට බලප‍්‍රදේශයක් තිබුනේ නැහැ. එල්.ටී.ටී.ඊ සංවිධානයට තිබුනා. ඔවුනුත් හමුදාව වගේම උතුරේත්, වධකාගාර පවත්වාගෙන ගියා. ඊට සමාන ආකාරයකින්. ජේ.වී.පී එක මිනිමරන කොට බොහෝම අහිංසක විදියට මිනිමැරුවේ නැහැ. උපරිම ආකාරයකට එය කලා. වධ දෙන්න අවශ්‍ය අවස්ථාවලදි මිනිස්සුන්ට උපරිම මට්ටමේ වධ දුන්නා. සමහර වෙලාවට මරපු මිනිස්සුන්ගේ භූමදානයටත් වධ දුන්නා. මම ඒ අයට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට තිබුණේ අවුල් සහගත මනසක්.

සමාජයට යහපතක් වෙයි කියලා කිව්වොත් ඔබ මොකද කරන්නේ? තරුණ ළමයි, හිතන්න පුළුවන් මම මේ අයව විනාශ කළොත් සමාජයට යහපතක් වෙයි කියලා. නමුත් ඇත්ත දේ තමයි මේ සමාජයේ සුව කිරීම පහසු නැති විලාපයක් තියෙනවා සැගවෙච්ච. ඒ විලාපය තමයි මේ කැරළිකරුවන්ගේ, යුද හමුදාව විසින් හෝ ආරක්ෂක හමුදාවන් විසින් මරා දමන ලද මේ කැරළිකරුවන්ගේ ( සිංහල දෙමළ දෙගොල්ලන්ගේම ) දෙමව්පියන්ගේ , දරුවන්ගේ හදවත් නැගෙන දුක් දෝංකාරය. මේකම අදාලයි හමුදාවටත්. හමුදාවටත් කියන්න කතාවක් තියෙනවා. අපි හමුදාවේ හිටපු තරුණයෝ තරගෙට මැරුණා. එහෙම පිරිසකුත් ඉන්නවා. මේකේ මම මේ කියන්න යන්නේ එක පැත්තක් අරගෙන මෙයා හරි මෙයා වැරදියි කියන්න පුළුවන් කමක් නෑ. ලෙනින්ටත් පුළුවන් කමක් තිබුනේ නැහැ. ලෙනින්ගේ රාජ්‍යයේ කාටවත් කැරළිගහන්න දුන්නේ නැහැ. කැරළිගහන්න හදපු හැමෝම විනාශ කලා. කිසිම රාජ්‍යයක් කවරම යුක්ති සහගත හේතුවක් නිසා හෝ කවර කණ්ඩායමකට හෝ ආයුධ සන්නද්ධ කැරැල්ලකට ඉඩ දෙන්නේ නැහැ. කැරලි මර්ධන කරනවා. ඒක ලෙනිනුත් කරනවා. ඒක ධනේෂ්වර රාජ්‍යයනුත් කරනවා. හැම රජයක්ම කරනවා. මේක නිසා තමයි අපි දැක්කා ඒ කාලේ ජීවත්විය යුත්තේ කව්ද මරා දැමිය යුත්තේ කව්ද කියන එක කැරලිකාරයොනුත් තීන්දු කලා. ආරක්ෂක හමුදාවනුත් තීන්දු කලා, මෙයා කැරලි කාරයෙක්. ඒකට සාක්ෂි අවශ්‍යවුනේ නැහැ. ඒක අශිලාචාර ක‍්‍රමයක්. ඒ අශිලාචාර තත්ත්වයට මෙරට නැවත තල්ලූ වෙන්න ඉඩ දෙන්න එපා. ඒකෙන් මේ රටට යහපතක් වෙන්නේ නැහැ. මේ සමාජයට යහපතක් වෙන්නේ නැහැ.

මේ සමාජය හොඳටම විඳපු සමාජයක්. මම හිතන්නේ මුළු ලෝකේ කිසිම රටක් නෑ මේ තරම් විශාල ප‍්‍රමාණයක් දේශපාලකයෝ එකාපිට එකා මැරිච්ච සමාජයක්. දේශපාලකයෝ විතරක් නෙමෙයි අනාගතය බාර ගන්න ඉන්න, අනාගතයේ නායකයෝ වීමට විභවයක් තිබුනු කොල්ලෝ කෙල්ලෝ සිංහල දෙමළ දහස් ගණන් මැරුණ. නැවත වරක් අපි ඒ තැනට යන්නේ නැතුව අපි ඉදිරියට යන්නේ කොහොමද කියන එක තමයි ලංකාව ඉස්සරහා තියෙන ලොකුම අභියෝගය. මම විශ්වාස කරන්නේ නැහැ දැන් තියෙන කිසිම පක්ෂයකට මේ තත්ත්වය ජයගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. හොඳටම කුණුවෙලා. අමතක කරන්න එපා මේ කුණුවීමයි කැරළියි අතර ආත්මීය සම්බන්ධයක් තියෙනවා. අපේ නිදහසින් පස්සේ යුගය එක්තරා අර්ධයක් අපි ගතකරලා තියෙන්නේ ඉතාම අශිලාචාර විදියට. පළමු අර්ධයේ නෙමෙයි දෙවෙනි අර්ධයේ. ඒ අශීලාචාර කාලයේදී මිනිස්සු තරගයට මැරුණා. ඒ මැරුණු මිනිස්සුන්ගේ මළමිනී ප‍්‍රදර්ශනය කලා. සමහර වෙලාවට බෙලි කපලා කෝටුවල ගහලා ප‍්‍රදර්ශනය කලා. ඒක බොහෝම කෙටි කාලයක් නෙමෙයි තිබුණේ. ඒ තත්ත්වය උතුරෙත්, දකුණෙත් දීර්ඝ කාලයක් තිබුනා. මේ දීර්ඝ කාලය තුළ මිනිස්සු ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මියයන කොට ජීවත්වීමේ භාග්‍යය ලද අපි, ඔබ සියළු දෙනා කිසියම් ප‍්‍රමාණයකට අධ්‍යාත්මික වශයෙන් මියගිය මිනිසුන් බවට පත්වුනා. අපි බැලූ බැල්මට ජීවත්වෙනවා. ඒත් අපි මළ මිනිස්සු. මැරුණ සමාජයක්. සමාජයේ මේ ලොකු වෙනස වෙනකොට සමස්ත ආයතන ක‍්‍රමයෙත් විශාල විපර්යාසයක් ඇති වුනා. ඒ ආයතනයත් අපි වගේම බෙලහීන වුනා. කුණු වුනා. ඇත්ත වශයෙන්ම අපි බැලූවොත් නිදහසෙන් පස්සේ හැත්තා ගණන් වෙනකන් හිටපු දේශපාලන නායකයෝ දක්ෂයෝ නොවෙන්න පුළුවන්. නමුත් මංකොල්ලකාරයෝ වුනේ නැහැ. ඒ ගොල්ලෝ තමන් ළග තියෙන ධනය, තමන් බාරයේ තියෙන පොදු වස්තුව කොල්ල කෑවේ නෑ. ඒත් මේ අශීලාචාර යුගයට මාරුවීමෙන් පස්සේ තමන් භාරයේ තියෙන පොදු වස්තුව කොල්ල කෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත් වුනා.

මේ දක්වා පත්වෙච්ච සියළු නායකයින් අඩුවැඩි වශයෙන් මේ රට කොල්ල කෑවා. එහෙම නැත්නම් කොල්ල කන අයට අනුබල දුන්නා. බලාගෙන හිටියා. මේ සෑම දෙයක්ම දෙවෙනි කැරැල්ල වෙලාවෙදි ජේ.ආර්.ජයවර්ධන කියපු දෙයක් තමයි කැරැල්ලක් තියෙනවා, කැරළිකාරයෝ ඉන්නවා, දේශපාලකයින්ව මරනවා. ඒ නිසා අපිට පුළුවන් කමක් නෑ දේශපාලකයෝ ආරක්ෂා කරන්න පොලිසිය හා හමුදාව පාවිච්චි කරන්න. ඒ නිසා අපි දේශපාලකයින්ට දෙනවා පුද්ගලික හමුුදා හදාගන්න කියලා. ඇත්ත කැරළිකාරයෝ දේශපාලකයෝ මැරුවා. ජේ.ආර් ජයවර්ධන පුද්ගලික හමුදා හදාගන්න ඉඩ දුන්නා. නමුත් මේ පුද්ගලික හමුදා සුදුසුකම් අනුව අයදුම්පත් කැඳවලා නෙමෙයි බඳවා ගත්තේ. රටේ ඉන්න නමගිය අපරාධකාරයෝ තමයි වැඩි හරියක් පුද්ගලික හමුදාවලට ආවේ. ඒ මගින් දේශපාලකයෝ අපරාධකාරයෝ මතත්, අපරාධකාරයෝ දේශපාලකයෝ මතත් යැපෙන ක‍්‍රමයක් මේ රටේ ස්ථාපිත වුනා. ඒක කොච්චර දුරදිග ගියාද කියනවා නම් අද වෙන කොට දේශපාලකයා කව්ද, අපරාධකාරයා කව්ද කියලා වෙන්කොට හඳුනාගන්න බැරි තරමට ඒ දෙන්නා එක් කෙනෙක් වෙලා තියෙනවා. මම හිතන දේ මේකයි ලංකාවේ වෙච්ච කැරළිවලට හේතු තිබුනා. නිකම්ම උඩින් පහළ වුනේ නෑ. ඒ කැරළි තවදුරටත් රටේ ප‍්‍රශ්න අවුල් කලා. කැරළි සහ කැරළි මර්ධන කිරීම්. භීෂණය වර්ධනය කලා. සමාජයේ ප‍්‍රගමනය දුර්වල කලා. අවසානයේ අපිට ඉතිරිවෙලා තියෙනවා හිරි වැටිච්ච සමාජයක් සහ කුණු වෙච්ච රාජ්‍යයක්. ඒ දෙකෙන් අපි ගොඩ එන්නේ කොහොමද? කැරැල්ලකින්ද? ප‍්‍රචණ්ඩත්වයෙන්ද? එහෙම නැත්නම් ප‍්‍රභාකරන් සහ විජේවීර කරළියට ගෙනාපු කැරැල්ල වෙනුවට, වෙනත් ආකාරයක මහජන කැරැල්ලක්ද? වෙනත් ආකාරයක මහජන කැරැල්ලක් කියලා මම කියන්නේ හිංසාව නැති, වෛරය, ක්‍රෝධය නැති මේ රටේ ඇතිවෙලා තියෙන, ඇතිවෙච්ච කුණුවීම ජයගත්, මේ රටේ ජාතිය ගොඩනැගීම අරමුණු කරගත් ඉතා විනය ගරුක, හිංසාවෙන් තොරව මේ රටේ රාජ්‍යය හා සමාජය නැවත ගොඩනගන මහජනයාගේ වැඩ සටහනක්. ඒක කැරැල්ලක්. එකේ හිංසාව නෑ.වෛරය නෑ. ක්‍රෝධය නෑ. මම හිතනවා ලංකාව අද පසුවෙන්නේ මේ රටේ දේශපාලකයින්ටවත්, මේ ක‍්‍රමය ඇතුළේ බලයට එන අනාගත ජනාධිපතිවරයෙකුටවත්, ක‍්‍රමයෙන් පිටස්තරව ආ තරමට නිර්මාණශීලීවීම මගින් විසඳාගත යුතු මහා අර්බුදයකයි අපි ඉන්නේ. ඇත්ත වශයෙන්ම බොහෝම ජනප්‍රීය විශ්වාසයක් තමයි මොකක්දෝ එකක් පස්සේ යනවා වගේ 2020 දීවත් අපිට පුළුවන් වෙයිද තවත් හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගන්න. පිස්සුවක් වගේ. කිසිම පුද්ගලයෙකුට ක‍්‍රමය ඇතුලෙන් බලයට පත්වෙන කිසිම පුද්ගලයෙකුට කවර ආකාරයේ වෙනසක්වත් ඇති කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි රාජ්‍යය තියෙන්නේ. රාජ්‍යයේ හැම අංශයක්ම ව්‍යවස්ථාදායකය, අධිකරණය ද, නිලධාරී තන්ත‍්‍රයද, මේ හැම තැනක්ම තියෙන්නේ උපරිම වශයෙන් කුණුවෙච්ච තැනක.

මෙතුමා ලියපු පොතේ තියෙනවා සජීවී වධකාගාරයක්. ඒක හරි රළුයි, කුරිරුයි. අවසලස්නයි. සමහර වෙලාවට නහයට ගඳ එනවා. ඊට සමාන එකක තමයි අපි අද ඉන්නේ. ඒක රළු නෑ, කුරිරු නෑ. ගඳ නෑ. මරන්නේ නැහැ. නොමරා මරනවා විතරයි. ඒ වධකාගාරයෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ?. මම හිතන්නේ නැහැ තුවක්කුවලින් පුළුවන් කියලා. මම හිතන්නේ නැ දේපල විනාශ කරලා කරන්න පුළුවන් කියලා. ඒ වධකාගාරයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් වෙයි සමාජයක් හැටියට. දියුණු සමාජයක් හැටියට ලොකු කතිකාවතකට යෑමෙන් මේ රාජ්‍ය හා සමාජය ප‍්‍රතිනිර්මාණය කරන වැඩ සටහන මහජනයා අතට ගැනීමෙන්. ඒ ඇරෙන්න තෝරා ගන්න වෙනත් විකල්ප ක‍්‍රමයක් තියෙනවා කියලා මට නම් පෙනෙන්න නෑ. මම හිතන විදියට අපිට කරන්න පුළුවන් දේ තමයි හැමදාමත් රැවටෙන්නේ නැතුව ඇත්තටම කුණුවෙච්ච ක‍්‍රමයක්. මේක ධනවාදය නිසා කුණු වෙච්ච ක‍්‍රමයක් කියලා මම කියන්නේ නෑ. මම ධනවාදය හොඳයි කියන්නේ නෑ. ධනවාදය හොඳට පවත්වාගෙන යන රටවලූත් තියෙනවා. ස්කැන්ඩිනේවියන් රටවල් වගේ මිනිස්සුන්ව බලාගන්න රටවල්  ඕන තරම් තියෙනවා. ඒ වගේම අමතක කරන්න එපා මේ සමාජවාදී අත්හදා බැලීම් වෙනුවෙන් ජීවිත පූජා කරලා තියෙන ප‍්‍රමාණය අති විශාලයි. ඒ කිසිම අත්හදා බැලීමක් සාර්ථක වුනේ නෑ. ඒ අත්හදා බැලීම් කරන්න ගිය රටවල් වල වර්තමාන තත්ත්වය ඛේදජනකයි. මම හිතනවා එවැනි අත්හදා බැලීම් අනාගතයේ අවශ්‍ය වෙන එකක් නෑ. ලංකාව අවුරුදු 5000කට විතර ලේ හළලා තියෙනවා. අවුරුදු 5000කට විතර හරියන්න දේපල විනාශ කරලා තියෙනවා. අපි කල්පනා කරමු. කොහොමද මේ තත්ත්වයේ මහජනයා ඒ තුළ ඇති කරගන්න දියුණුවක් මගින් මේ තත්ත්වයේ ගැඹුරු වෙනසක් ඇති කරගන්නේ කොහොමද කියල.”



Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.