English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රෙජීමයේ හොල්මන් තවමත්!
(2018-08-28)

<< Go Back
Share |   


(අජිත් පැරකුම් ජයසිංහ රචකයෙක් හා විචාරකයෙක්. දේශපාලන, සමාජීය, සංස්කෘතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔහුගේ අදහස් නිරන්තරයෙන් විවාදයට ලක් වෙනවා. මුහුණුපොත හා ඔහුගේ වෙබ් අඩවිය ඔහු ඔහුගේ අදහස් සමාජගත කිරීම සඳහා භාවිතා කරනවා. මේ වත්මන් දේශපාලන තත්ත්වයන් ගැන ඔහු “අයිතිය” සමග දැක්වූ අදහස් කීපයකි.)

2015 ආණ්ඩු වෙනස වෙලා අවුරුදු තුනක් වෙනවා. වෙනස ස්ථාපිත වුනේ ඒකත් එක්ක. 2015 ජනවාරි 08 මුල පුරපු  සමාජ වෙනස, දේශපාලනික වෙනස ස්ථාපිත වෙලා මේ අගෝස්තු මාසෙට හරියටම අවුරුදු තුනක් ගතවෙනවා. මේ අවුරුදු තුනක් විවිධ දේශපාලන අර්බුද මැදින් තමයි ඉදිරියට ඇදිලා ගියේ. සරළව කිව්වවොතින් එහෙම විරුද්ධ බලවේග විසින් මේ ආණ්ඩුව අද පෙරළනවා, හෙට පෙරළනවා කියලා කියද්දි තමයි ඉදිරියට ගියේ. නමුත් තවමත් ආණ්ඩුව පවතිනවා. එය ඉස්සරහට යමිනුත් තිබෙනවා. පූර්ණ කාලයක් මේ ආණ්ඩුවට පවතින්න පුළුවන් කියලා දකින්න ලැබෙනවා. මේ ආණ්ඩුව ගැන විශේෂයෙන් කතා කරන්නේ ඇයි කියන එක සඳහන් කරන්න  ඕන. මේ ආණ්ඩුව කියන්නේ එක පක්ෂයක ආණ්ඩුවක් නෙමෙයි. එක පැත්තකින් එය ජාතික ආණ්ඩුවක් කියලා හඳුන්වන්න පුළුවන්. ප‍්‍රධාන පක්ෂ කිහිපයක් එකතුවෙලා බිහිකරපු ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් පිහිටුවන්න සිද්ධ වුනේ රටේ නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවන්න. ඒ වගේම රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයන් කිරීමේ අවශ්‍යතාවයන් තිබුනා. ඒ වගේම ජනවාර්ගික අර්බුදය විසඳන්න ව්‍යවස්ථාව වෙනස්කම් කරන්න අවශ්‍යතාවයක් තිබුනා. මේ තත්ත්වය තුළ තමයි මේ ආණ්ඩුව ඉදිරියට ආවේ.

පසුගිය අවුරුදු තුන දිහා බැලූවොතින් මූලිකවම කියන්න පුළුවන් දේශපාලන ඝාතන කිසිවක් සිදුනොවුනු අවුරුදු තුනක්. එහෙම කාලවකවානුවක් මෑත කාලයේ අපේ ඉතිහාසයේ තිබිලා නෑ. ඒ නිසා අවුරුදු තුනහාමාරක් කියන එක පොඩි කාලයක් නෙමෙයි. නිදහස පැත්තෙන් සලකා බැලූවම පස්සේ සමාජයේ බොහෝ ස්ථානයන් පැතිරුනු නිදහසක් ලැබුනා. එහි අසීමිත බවක් ද තියෙනවා. වැඩවර්ජනය, උද්ඝෝෂණ වැනි දේ අද බහුලව දක්නට ලැබෙනවා. අද වන විට වගකීම් විරහිතව ඒවා ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ද දක්නට ලැබෙනවා. ඒ එක්කම මතුවෙලා තියෙනවා මේ වැඩේ හරියන්නේ නෑ, මේ වැඩේ මෙහෙම ගෙනියන්න බෑ. ඒ නිසා යම් කිසි විදියක ඒකාධිපති පාලනයක් අවශ්‍යයි රටට, මේ තත්ත්වය පාලනය කරන්න, කළමනාකරණය කරන්න කියලා.

හැබැයි අපි දිගින් දිගටම පෙනී සිටිනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඇතුළෙම මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න  ඕනා කියන එක. සිවිල් සමාජ විසින් ගෙන ආ වැඩ පිළිවෙළ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මේ රජය ගෙනි යන්නේ. එම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන ආ යුතුමයි. යම් යම් දේශපාලන පක්ෂ වලට සුවිශේෂ අවස්ථාවන් තිබුනත් ඒවා පාලනය වෙනවා මේ පවතින තත්ත්වය තුළ. ගැටළු නැතුවා නොවෙයි. ගැටළු තිබේ. ගැටළු විසඳාගෙන යන එක තමයි අනාගතය. මේ ආණ්ඩුව සම්බන්ධ දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඉදිරියට කළමනාකරණය කරන්නේ කොහොමද? අපි ඇති කරපු වෙනස ආපහු හරවන්න නොදී ඉස්සරහට ගෙනි යන්නේ කොහොමද කියන එක ගැන සිවිල් සංවිධාන බැරැරුම් ලෙස සිතිය යුතුව තිබෙනවා. අපි කළ යුතුව තිබෙන්නේ මේ වෙනස මේ විදියටම පවත්වාගෙන යාම සහ මහජන හිතවාදී විදියට මේ සමාජයේ ස්ථාපිත කරන එක. වෙනත් පාලනයකට හෝ ප‍්‍රතිගාමී පාලනයකට ඉඩක් තැබිය යුතු නැහැ.

විසඳුනු නැති ප‍්‍රශ්න ගොඩක් තිබෙනවා. මොනම පාලනයක් යටතේවත් ඉතිහාසයේ ඒ පාලනය බලයට පත් කරපු ජනතාගේ අපේක්ෂාවන් ප‍්‍රාර්ථනා ඉෂ්ට වෙලා නෑ. ඉෂ්ට වුනු කරුණු වල ප‍්‍රතිශතයක් හැටියට තමයි සලකන්න වෙන්නේ. විශේෂයෙන්ම නීතියේ පාලනය, ඇති කිරීම. පසුගිය කාලයේ සිදුවූ දැඩි අසාධාරණයන්ට විරුද්ධව යුක්තිය ඉටුවීම වගේ කාරණාවලදී ඉතාම පසුගාමී තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. හැබැයි ඒකට හේතුවක් තමයි නීතිය රාමුව තුළින්ම ගමන් කරන එක. ඇත්තටම ඒකේ ගැටළුවකුත් නැහැ. අපි දැක්කා 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයව කුදලගෙන ගිහිල්ලා හිරේ දාලා තමයි චෝදනා ඉදිරිපත් කළේ. ඊට පස්සේ තමයි චෝදනා ගොනු කරන්න හිතලා බැලූවේ. එහෙම වකවානුවක් නෙමෙයි දැන් තියෙන්නේ. පැහැදිලිව අද වෙන කොට නීතිමය රාමුව යටතේ තමයි මේ දේවල් යන්නේ. ඒකෙන් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. නිවැරදි නම් නිවැරදිභාවය ඔප්පු කරලා නිදහස් වෙන්න පුළුවන්. ඒ ඔක්කෝම එහෙම තිබෙනවා. නමුත් චෝදනා ගොනුවීමේ යම් යම් ගැටලූ තිබෙනවා. ඒකට හේතුවක් තමයි පසුගිය පාලනයේ හොල්මන් මේ පද්ධතිය තුළ තියෙන එක. අපි හැමෝම දන්නවා ගෙදර යන ගමන් කතා කරලා විනිශ්චකාර පත්වීම් දීපු යුගයක් තිබුනා. ඒ වගේ පත්වීම් ගත් අය ඒ පක්ෂපාතිත්වයන් ඒ විදියටම දක්වනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා යම් බාධා තිබෙනවා. ඇතුළෙන්ම එන බාධා. ඒවා ජයගැනීම අභියෝගයක්. ඒ අභියෝග ජයගෙන ඉදිරියට යා යුතු ගමනක් තමයි අපට තියෙන්නේ.  

 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.