English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ආණ්ඩුව පෙරෙලෙනතුරු ප‍්‍රගීත්ගේ නඩුව ඇදගෙන ආව - උපුල් කුමරප්පෙරුම
(2018-07-18)

<< Go Back
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ වදහිංසාව නැතිවම බැරිද යන තේමාව යටතේ පැවැත්වූ සංවාද මණ්ඩපයක් පසුගිය ජුනි 28 දා ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයේ දී පැවැත් විය. මෙහි දී වින්දිතයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය පියවරයන් ගැනීමේ දී නීතිඥ ප‍්‍රජාව මුහුණ දෙන ගැටලූ සම්බන්ධව අදහස් දැක්වීමක් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී.

ආණමඩුව පොලීසිය විසින් වැරදි හදුනාගැනීමක් මත අත්අඩංගුවට ගෙන නිකරුනේ මාස 3 බන්ධානාගර ගත කළ සිටි ආර්.එච්.එම් කිර්තිරත්න මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ ඔහු වෙනුවෙනු රුපියල් පන්ලක්ෂ හැත්තෑපන්දාහක මුදලක් ගෙවන ලෙසට නියෝය ලබා දුන්නේ එක්සත් ජාතීන්ගේ වදහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබු ජුනි 26 දාය. මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාය. එම අත්දැකීම් ද පදනම් කර ගනිමින් මෙම සංවාද මණ්ඩපයේ දී ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ.
 
සමාජ රෝග නඩුව  
පොදුවේ ගත්තම මූලික අයිතිවාසිකම් නඩු වලට මුහුණ දීමේදී මතුවන ගැටළු ගොඩක් තියෙනවා. මෙම සිදුවීම වෙන්නේ 1998 හෝ 1999 දී. ඒ කාලේ මම වැඩ කළේ නීතිඥ සාලිය පීරිස් මහත්මයාත් එක්ක. අපිට නඩුවක් ආවා බලංගොඩ ප‍්‍රදේශයෙන්. ඒ මනුස්සයව බලංගොඩ පොලීසියට ගෙනිහිල්ලා පහරදීලා. පස්සේ මාස දෙකක් විතර රක්ෂිත බන්ධනාගරයේ හිටියා. මේ නඩුව අපිට එව්වේ බලංගොඩ ප‍්‍රදේශයේ නීතිඥ මහත්මයෙක්. නඩුවට අදාල ලියකියවිලි බලද්දි පෙනුනා මේ මනුස්සයා නිස්කාරණේ අරගෙන ගිහිල්ලා පහරදීලා තියෙන්නේ, මුලින් මේ මනුස්සයා කිව්වා රක්ෂිත බන්ධනාගාර වෙලා ඉන්නකොට මේ මනුස්සයට සමාජ රෝගයක් වන හර්පිලිස් හැදුනා කියලා.

බන්ධනාගාර ගතවෙලා ඉන්න කොට ඇතිවෙන ලිංගික අපයෝජනයක් නිසා සමාජ රෝගයක් ඇති වුනා කියන එක ඉතා බරපතල තත්ත්වයක්. ඒ පෙත්සමේ එක කාරණයක් විදියට මේ සිද්ධිය ඇතුල් කලා. නඩුව කැඳෙව්වේ මාර්ක් ප‍්‍රනාන්දු, රංජිත් ධීරරත්න, ඒ.එස් විජේතුංග විනිසුරුවරුන් ඉදිරියේදීයි. අපිට වැඩිය උසාවිය කලබල වුනා මේ චෝදනා දැකලා. දහතුන් වෙනි ව්‍යවස්ථාවේ 13.1, 13.2, 12.1 යන ව්‍යවස්ථාවන්ට අනුකූලව මේ නඩුව ඉස්සරහට ගෙනියන්න දුන්නා. ඊට පස්සේ පොලිසිය විරෝධතාවයන් ඉදිරිපත් කලා. විරෝධතාවලදී පොලිසිය ගෙනැවිත් තිබුනා වෛද්‍ය වාර්තාවක්. මේ තැනැත්තට සමාජ රෝගී තත්ත්වය මීට කලින් ඉඳන් ඇති වී ඇති තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් රජයේ රෝහලකින් අදාල රෝගයට ප‍්‍රතිකාර දිගටම අරගෙන තියෙනවා.

මූලික අයිතිවාසිකම් නඩුවලදී නීතිඥයොන්ට බලපාන ප‍්‍රශ්නයක් තමයි නඩුවට ඇවිත් බොරු කියන එක. ඒක ඒ පුද්ගලයට විතරක් නෙමෙයි බලපාන්නේ. නාට්‍ය කලාවේ තියෙනවා අධිතාත්වික රංග කලාව කියලා සංකල්පයක්. සමහර රංගන තාත්විකයි. සමහර රංගන අධිතාත්විකයි. මනමේ ගත්තොත් අධිතාත්වික රංගයක් තියෙන්නේ. මිනිස්සු මේ වෙච්ච දේට පොලිසිය ගැහැව්වේ එකයි නම් එකයි කිව්වම ඇති. එකට සීයක් කියලා හරියන්නේ නෑ. වෛද්‍ය වාර්තාව දකින්නේ නැතුව තමයි නීතීඥයා නඩු වාර්තාවන් සකස් කරන්නේ. මට ගැහැව්වේ වම් කනට නම් වම් කනට කිව්වම ඇති. වම් කනේ තියෙන තුවාලයක් හෝ අසාත්මිකතාවයක් තියෙන තත්ත්වයක් මත අපිට නඩුව ඉස්සරහට ගෙනි යන්න පුළුවන්. වම් කනට ගහලා, බිම පෙරලලා, පාගලා, කොන්දට පයින් ගහලා, කොන්දේ අමාරුව හැදිලා, ඊට පස්සේ ඔලූවේ කැක්කුමක් හැදිලා, බෙහෙත් ගත්තා කියලා බොරු රෝග ලැයිස්තුවක් නීතිඥවරයට දෙනවා.

දෙබරවැව නඩුව
මීට සමාන නඩුවක් මම පොලිසිය වෙනුවෙන් කලා දෙබරවැව ප‍්‍රදේශයේ. මම වෘත්තියෙන් නීතිඥයෙක්. මම පොලිසිය වෙනුවෙනුත් පෙනී සිටිනවා. මේක මගේ රස්සාව. පෙත්සම්කරුගේ පින්තූර වගයක් දාලා තිබුනා, මුළු මුහුණ, ඔළුව ප‍්‍රදේශයම බැන්ඬේජ් කරලා. ශිරාණි තිලකවර්ධන මැතිනිය ළගට නඩුව ආවේ.
පෙත්සම්කාරයගේ කතාව තමයි ඔහු දෙබරවැව ප‍්‍රදේශයට එනකොට දෙබරවැව ප‍්‍රදේශයේ පොලිස් මුරපොළක් තිබුනා. එතනදී නවත්වලා ඇදලා අරගෙන පිස්තෝලෙකින් ඔලූවට ගැහැව්වා කියන එක. මුල් අවස්ථාවේදි තමයි විශාල ප්ලාස්ටර් එකක් එක්ක පින්තූරේ දාලා තිබුනේ. නඩුව ඉදිරියට ගෙනි යන්න ඉඩ දුන්නා. නඩුව පහරදීම, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී රඳවා තබාගැනීම ගැන සම්බන්ධ නඩුවක් වුනා.

ඔහුගේ පෙත්සමේ තිබුනු ප‍්‍රධාන දෙයක් තමයි ඔහුට පෙර වැරදි හෝ නඩු කිසිවක් නැහැයි කියන එක. ඒ පොලිස් නිලධාරීන් ඉතාමත් කාර්්‍යක්ෂම පොලිස් නිලධාරීන් ඔවුන් අරගෙන ආවා ඔහුගේ පෙර වැරදි පහක්. ඒ අත් අඩංගුවට ගන්න වෙලාවෙත් ඔහු සන්තකයේ තිබිලා තියෙනවා හෙරොයින් පැකට් දෙකක්. නඩු පහෙන් තුනක්ම හෙරොයින් සම්බන්ධ නඩු. අනිචාර්යයෙන්ම පොලිසිය පහර දෙන්න ඇති. නමුත් අර බොරුව නිසා නඩුව පැත්තකට ගියා. මොකද මූලික අයිතිවාසිකම් නඩුවක පහරදීමක් සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න නම් ඒ නඩුව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු විය යුතුයි. පොඩි හෝ සැකයක් ඒ නඩුව සම්බන්ධයෙන් ඇතිවෙන්න පුළුවන් කමක් නෑ. ඒත තමයි තත්ත්වය.

මමත් දන්නේ නැ ලංකාවේ ඉදිරිපත් වෙන මූලික අයිතිවාසිකම් නඩුවලින් කොපමණ ප‍්‍රමාණයක් ඉදිරියට යනවද, කොපමණ ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේප වෙනවද කියලා. නමුත් අවාසනාවකට සිද්ධවෙන කාරණය තමයි මේ කියන නඩුවලින් අතිබහුතරයක් නිෂ්ප‍්‍රභා වෙන්නේ එහෙමත් නැත්නම් පෙත්සම්කාරයගේ අවාසියට තීන්දු වෙන්නේ පෙත්සම්කාරයා බොරු කියන නිසා. ඒක තමයි පළමුවෙනි කාරණය. අනිත් එක තමයි මෙවැනි නඩුවක සාක්ෂි එකතු කරගැනීම. මූලික අයිතිවාසිකම් නඩුවක පළමුවෙනි අවස්ථාවෙදි නඩුව ඉදිරියට ගෙනි යන්න නම් අපි බැලූ බැල්මට පෙනෙන නඩුවක් අධිකරණයට ඉදිරිපත් කරන්න  ඕනා. සමහර අවස්ථාවල සාක්ෂි අපේ ළග නැහැ. සමහර සාක්ෂි තියෙන්නේ පොලිසියේ. එහෙම නැත්නම් රෝහලේ. නැත්නම් වෙනත් තැනක.

සංගීත සංදර්ශනේ නඩුව
මම තවත් උදාහරණයක් දෙන්නම්. යෙහාන් ඉන්දික නම් තරුණයෙක් හිටියා. ඔහුට අවුරුදු 18 දී පොලිසියෙන් ඔහුට පහර දුන්නා. ඔහු වෙනුවෙන් මම පෙනී හිටියා. වෙන්නපුව පැත්තේ පොලිස් ස්ථානයකින් ඔහුට පහර දුන්නේ. සංගීත සංදර්ශනයක් ඉවර වෙලා සිද්ධිය වුනේ. ඔහුගේ පියා සංගීත සංදර්ශනයේ සංවිධායක මණ්ඩලයේ සිටිනවා. මොනවා හරි හේතුවක් නිසා පොලිසිය තාත්තට පහර දෙනවා. තරුණයා මැදට පැනලා තාත්තව බේරගන්නවා. ඒ අවස්ථාවෙදි පොලිස් නිලධාරියෙකුට තරුණයාගේ අතින් පහරක් වදිනවා. සමහරවිට ගහන්නත් ඇති. පොලිසිය කළේ ඔහුව ට‍්‍රක් රථයකට දලා පහර දෙනවා. ඔහුට හොඳටම තුවාල වෙන්න පහර දෙනවා.

ගැටුම් කිහිපයක් මේ සිද්ධිය ඇතුලේ තියෙනවා. පොලිසියෙන් ගහපු එක, පොලිසියට ගහපු එක, පොලිසිය එක ගැටුමක් සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තා කලා. ඊට පස්සේ මේ තරුණයා මාව හම්බවෙන්න ආවා. ඊට පස්සේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කලා. ඔහුට තුවාලයක් තිබුනා මුහුණ ආශ‍්‍රිතව, ඔහු වෙනුවෙන් එක සාක්ෂිකාරයෙක් හිටියා පොලිසිය ගැහැව්වයි කියලා කියන්න. මොකද පොලිසිය අරගෙන ආපු තර්කය තමයි දෙපිරිසක් අතර ගැටුමකින් ඔහුට තුවාල වුනයි කියලා. නමුත් අර තරුණයා දුන්නා දිවුරුම් ප‍්‍රකාශයක් මොහු කෝලහාලයට සම්බන්ධ වුනේ නෑ. මොහුට ගැහැව්වේ පොලිසිය තමයි කියලා එහි සටහන් වී තිබුනා. ඒ දිවුරුම් ප‍්‍රකාශය මත අධිකරණය නඩුව ඉදිරියට ගෙනි යන්න අවසර දුන්නා.

මේ ප‍්‍රදේශයට කියන්නේ පුංචි ඉතාලිය කියලා. අර දිවුරුම් ප‍්‍රකාශය දුන්නු තරුණයට ඉතාලි යන්න අවස්ථාවක් ලැබුනා. ඉතාලි යන්න අවස්ථාවක් ලැබුන ගමන් ඉතාලි තානාපති කාර්්‍යයාලය මොහු සම්බන්ධයෙන් පොලිස් නිශ්කාශන වාර්තාවක් ඉල්ලා හිටියා. පොලිසිය කිව්වා දිවුරුම් ප‍්‍රකාශයක් දෙන්න කලින් දුන්නු දිවුරුම් ප‍්‍රකාශය බොරුයි කියලා. අවසානයේදී ශිරානි තිලකවර්ධන විනිසුරුවරිය විසින් පරස්පර විරෝධී දිවුරුම් ප‍්‍රකාශ දෙකක් අධිකරණයට ඉදිරිපත් වී ඇති පදනම මත, පොලිසිය පහර දුන්නා කියලා කියන්න තියෙන්නේ ඒ සාක්ෂිය පමණක් වීම මත, නඩුව නිශ්ප‍්‍රභා කරනු ලැබුවා. ඉතින් පොලිසිය මේ ආකාරයට විවිධ බලපෑම් කරනවා. සමහර බලපෑම් අපි හිතන්නේවත් නැති ඒවා.

පොල්ගස් නැග්ගවූ නඩුව
නීතිඥ සාලිය පීරිස් මහතාත් සමග එක්ව මම තවත් නඩුවක් කලා. පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමයි පෙනී හිටියේ. කලින් දේශනය කරපු අයුබ් කාන් මහතා කිව්වා පොලිසියක මානසික රෝගීන් ඉන්නවා නම් එය සියයට දශම ගානක් කියලා. හැබැයි ඔය ඉන්න දශම ගාන කරන හානිය පොලිස් දෙපාර්තමේන්තුවට අති විශාලයි.
මේ සිදුවීම සිද්ධ වෙන්නේ මහනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශයකදීයි. ඒකත් පහරදීම් නඩුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවූ ලිපි රැුගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එනවා මාව හම්බවෙන්න. මානසික ආබාධයක් තියෙන තරුණයෙක් පස්සෙන් එළවගෙන ගිහින් ඉතා සුළු කාරණයකට. ඔහුව පොල් ගහකට නග්ගලා. ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ අය කියනවා එහෙම දෙයක් වුනේ නෑ කියලා. ඔවුන් කිසිම ආකාරයකින් පිළිගත්තේ නැහැ සිද්ධිය වුනා කියලා. වෛද්‍ය වාර්තාවේ තියෙනවා, ඒ තරුණයගේ මුළු ඇගේම සීරීම් සලකුණු තිබුනා කියලා. පෙත්සමේ කියන්නේ එකක් ගහලා නැගපන් කිව්ව කියලයි. කොල්ලා චුට්ටක් උඩට නැග්ගලූ. ආයේ ගහලා කිව්වලූ නැගපන් කියලා. ඔහු යන්න පුළුවන් උපරිම දුරට ගිහිල්ලා. ඔහු ගස් නගින්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. නැග්ගට පස්සේ බහින්න බෑ. ඔහු ගහෙන් හූරලා බිමට ආවා. ඒ නිසා ඔහුට තුවාල වුනා.

මුල් අවස්ථාවෙදි පොලිසිය මේ සිද්ධිය කිව්වේ නෑ. නමුත් ලේඛන සකස් කරන අවස්ථාවෙදි මම කිව්වා ඇත්ත කියන්න කියලා. එතකොට මොකක්ද මේ පොලියේ මානසික තත්ත්වය. මේ වගේ වෙලාවක සාක්ෂි ගන්න තියෙන අමාරුව. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා කියනවා ඔවුන් එතනට ගියේ නැහැ කියලා. දැන් විධායකයේ කොටසක් වන පොලිසිය දන්නේ නැද්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවෙම තියෙනවා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න  ඕනා කියලා. පොලිස් ස්ථානාධිපති බැඳිලා නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න මේ මිනිස්සු එතනට ගියා කියලා. සටහන් බලලා කියන්න පුළුවන්. මෙන්න මෙතන තමයිි මූලික අයිතිවාසිකම් නඩු ඉදිරියට ගෙනි යන්න තියෙන බරපතලම ගැටළුව තියෙන්නේ. ඒ පොලිසිය තමන්ගේ නිලධාරියාට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැහැ.

තත්ත්වය ඉතා බරපතල වෙලා පොලිස් භාරයේදී පුද්ගලයා මැරිලා වෙනත් පොලිසියකින් ඇවිල්ලා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ තැනට ගියායින් පස්සේ තමයි ඒ සාක්ෂි අණාවරණය වෙන්නේ. හොඳම උදාහරණය තමයි අගුළාන ද්විත්ව මිනිමැරුම. මුල් අවස්ථාවෙදි අගුලාන පොලිසියේ මේ දෙන්න ඉඳළත් නෑ, පොලිසියෙන් ගෙනිහිල්ලත් නෑ, පොලිසිය මුකුත් කරලත් නෑ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන බාර ගත්තයින් පස්සේ (ශානි අබේසේකර මහතා තමයි විමර්ශන භාරව කටයුතු කලේ* තමයි අනාවරණය වුනේ අත්ඩංගුවට ගත්තයින් පස්සේ සටහන ඉරලා සමාන අංක සහිත වෙන කොළයක් දාලා තිබුනා කියලා. ඊට පස්සේ රස පරීක්ෂක වාර්තාව කැඳෙව්වට පස්සේ අනාවරණය වුනා පිටුු 480, 481 සහ 482 වෙනස් වෙනවා කියලා. මෙන්න මේකයි විධායකයේ කොටසක් වන පොලිසිය රටේ පුරවැසියෙකුගේ අයිතිවාසිකමක් කඩවුනායින් පස්සේ තමන්ගේ නිලධාරීන් ආරක්ෂා කරන්න කටයුතු කරන ආකාරය. එතකොටම කොහොමද අපි බලාපොරෙත්තු වෙන්නේ පොලිසියෙන් මූලික අයිතිවාසිකමක් හෝ වෙනත් අයිතිවාසිකමක් කඩවීමේදී මිනිසුන්ට සාධාරණයක් වෙයි කියලා.

දෙමළ රැඳවියන්ගේ නඩුව සහ සිවිල් සමාජය
අනෙක් සමාජීය ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මට තියෙන්නේ වෙනත් කියවීමක්. මම 1997 ඉඳන් දෙමළ රැුඳවියන් වෙනුවෙන් නඩු ගොඩක් කරලා තියෙනවා. සමහර ඒවා මියගිය සුනිලා අබේසේකර මහත්මිය එවූ ඒවා. අනෙක්වා ද්‍රවිඩ නීතිඥවරු, විවිධ සංවිධාන එවූ ඒවා. මේ නඩු ගොඩක් ඒවා පවරද්දි මේ රැුඳවියෝ හිටියේ බූස්සේ, එක්කෝ හිටියේ කළුතර, එහෙම නැත්නම් අනුරාධපුරයේ, ඒ කියන්නේ සිංහල ප‍්‍රදේශවල තියෙන රැඳවුම් කඳවුරුවල තමයි ඔවුන් හිටියේ. හැබැයි මේ පුද්ගලයන් තමන්ට පහර දුන්නු පුද්ගලයා පොලිසියේ හෝ හමුදාවේ හෝ වේවා ඒ කව්ද කියලා උසාවියට ඇවිත් බය නැතුව කියන්න ශක්තියක් තිබුනා.

ඒ වගේම සිංහල අධිකරණය කියලා හඳුන්නවපු අධිකරණට එන්න පෙළඹවීමක් තිබුනා. අපේ සිංහල සමාජය (ඒ ජාතිවාදී භාෂාවෙන්ම මේක කියන්න  ඕන) දකුණේ සමාජය අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් පසුගාමීත්වයක් තියෙන්නේ. මම විශ්වාස කරන දේ තමයි. දකුණේ සිවිල් සමාජයට වඩා මොනවා හරි පීඩනයක් නිසා උතුරේ සිවිල් සමාජය සකී‍්‍රයව තමන්ගේ කාර්යභාරය ඉටු කරනවා. ඒකට දකුණේ සිවිල් සමාජයෙන් සහයෝගයක් ලැබුනා. ඒ නිසානේ අපි නඩුවලට පෙනී හිටියේ. උතුරේ සිවිල් සමාජය ද්‍රවිඩ ජනතාව අතර වඩාත් සකී‍්‍රයභාවයකින් යුක්තව යටයුතු කලා. ඇයි එතකොට දකුණේ සිවිල් සමාජයට මේ කාරණය කරන්න බැරි වුනේ. යුද්ධයත් එක්ක, විශේෂයෙන් 2005 පස්සේ ඇති වෙච්ච තත්ත්වයන් එක්ක දකුණේ ජනතාව විධායකයේ කොටසක් බවට පත්වුනා. දකුණේ ජනතාව රාජ්‍ය පාලනයේ කොටසක් බවට පත්වුනා. ඔවුන් කැමති වුනේ නෑ තමන්ගේ පොලිසියට විරුද්ධව නඩු කියන්න. ඔවුන් කැමති වුනේ නෑ තමන්ගේ ගැලවුම්කාරයා වූ හමුදාවට විරුද්ධව නඩු කියන්න.

88 වුනු දේවල් දකුණේ සමාජය දැක්කා. 71 වුනු දේවල් අපට පරම්පරා දෙකක් කලින් හිටපු අය දැක්කා. ඒ කාලේ වෙන කොට කටවහරින් එන කොට ඔවුන් දැනගෙන හිටියා. නමුත් මේ විධායකයේ කොටසක් වෙච්ච ජනතාව විධායකයේ අනෙක් කොටස සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න, විරුද්ධවීමේ මානසික තත්ත්වයක් තිබුනේ නෑ යුද්ධය කියන කාරණයත් එක්ක. ඒකේ ප‍්‍රථිඵලය තමයි අපි පසුකාලීනව 2010 පසුව අපේ අත්දැකීම් බවට පත් වෙලා තිබුණේ. රතුපස්වල සිද්ධිය, වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය වගේ සිදුවීම් එන්නේ. විධායකයට පේ‍්‍රම කරපු ජනතාවට විධායක විසින් පස්ස හැරවීම තමයි එහි ප‍්‍රථිඵලය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මානව අයිතිවාසිකම් කොතරම් හැකුළුවාද යන්න අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කිරීම දේශද්‍රෝහීත්වයක් බවට පත්වුනා. සන්ධ්‍යා එක්නැලිගොඩ නඩුවට මම 2011 සිට පෙනී සිටිනවා. 2015 ජූනි මාසයෙන් පස්සේ තමයි මේ නඩුව යම් ආකාරයකින් වෙනස් වෙන්නේ එතකන් පොලිසිත් ඇවිල්ලා විහිළු කලා, නීතිපති දෙපාර්තමේන්තුවත් ඇවිත් විහිළු කලා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයත් උසාවියට ඇවිත් විහිළු කලා. අවුරුදු හතරක් තිස්සේ මම එකම දෙයයි කළේ ඒ නඩුව සකී‍්‍රයව තියාගත්තා ආණ්ඩුවක් පෙරළෙන තුරු. ඒ දේ විතරයි කළේ. බොරුවට සාක්කිකාරයෝ ගෙනාවා. මට විශ්වාසයක් තිබුනා 2015 මහින්ද රාජපක්ෂ පරදිනවා කියලා. ඒ පස්සේ තමයි සන්ධ්‍යාට මොනවා හරි සාධාරණයක් වෙන්නේ කියලා මගේ හැගීමක් තිබුනා. මං දන්නේ නෑ ඒක දැන් වෙනවද නැද්ද කියලා?. නමුත් ඒ අවස්ථාවෙදි කල යුතු දේ මං කලා.

ඇයි සන්ධ්‍යා එක්නැලිගොඩගේ ස්වාමි පුරුෂයා බලහත්කාරයෙන් අතුරුදහන් කළේ?. එහෙම අතුරුදහන් කරලා තියෙද්දි මේ සිංහල සමාජයක හෙට ඒ දේ මට වෙන්න පුළුවන් කියලා හිතන්න බැරි?. විධායකයේ කොටසක් වෙච්ච ජනතාව තාමත් මේ රටේ ඒ මානසික තත්ත්වයෙන් මතවාදය තුල ජීවත්වීම නිසා තමයි එහෙම වෙන්නේ. ඒකයි මෙතන තියෙන බරපතලම ප‍්‍රශ්නය. එතකොට අද වෙනකොට යම් ආකාරයකට අඩුතරමින් නාගරිකව හෝ බුද්ධිමත් කියන සමාජයේ හෝ යම් කොටසක් ඉන්නවා, මේ අයිතිවාසිකම්වලට ගරු කරන. මේක ඇතිවෙලා තියෙන්නේ ඇයි ? කොහොමද? කන්න බොන්න නැති මිනිස්සුන්ට ගිහින් මූලික අයිතිවාසිකම් ගැන කතා කරන එක තේරුම් නැහැයි කියලා මගේ ඒ දවස්වල අදහසක් තිබුනා. ඒක සුඛෝපභෝගී දෙයක් කියලා මම කිව්වා. ඒත් සමාජය තුළට ඒ අදහස් යාම තුළ කීර්තිරන්ත වගේ අයට අදහසක් ඇති වුනා මෙහෙම දෙයක් වුනොත් කොළඹට ඇවිල්ලා නඩුවක් දාන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්තට වෙච්ච දේ. ඒ වගේම මොනවා කිව්වත්, මොන විවේචන තිබුනත් පසුගිය අවුරුදු 10ක, 15ක කාලය තුළ රාජ්‍ය නොවන සංවිධාන, ලංකාවේ කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන, ඒ වගේම මානව හිමිකම් කොමිසමේ කි‍්‍රයාකාරිත්වය නිසා අයිතිවාසිකම් පිළිබඳ යම් වැටහීමක් අයිතිවාසිකම් කියලා දෙයක් රටේ තියෙනවා කියලා හැගීමක් මිනිස්සුන්ට ඇති වුනා. ඒක නිසා තමයි මාතර වෙච්ච සිද්ධියෙදි අපරාධකාරයා කළ දේ අනුමත නොකළට පොලිසිය කළ දේ වැරදියි කියන්නේ.

කීර්තිරත්නගේ නඩුව
කීර්තිරත්නගේ නඩුව මුල් අවස්ථාවේ විභාගයට ගත්ත විනිසුරු මඩුල්ලේ මත දෙකක් ඇති වුනා. එක විනිශ්චයකාරයෙක් කිව්වා මෙතන තියෙන්නේ දිලිත්තමය වරදක් කියලා. කීර්තිරත්න නමින් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක කීර්තිරත්න කෙනෙක් සිද්ධියකට සම්බන්ධ වෙනවා. ඒ කීර්තිරත්න උසාවි එන්නේ නැතුව වරෙන්තුවක් නිකුත් කරනවා. ඒ කීර්තිරත්නව අත්අඩංගුවට ගන්න යන පොලිස් නිලධාරියා (පොලිස් කොස්තාපල් පේ‍්‍රමරත්න* මේ කීර්තිරත්නව අරගෙන යනවා.

මේ කීර්තිරත්නට තියෙනවා (Post Traumatic Epilepsy) පෝස්ට් ට්‍රෝමැටික් එපිලෙප්සි කියලා රෝගයක්. ඔහුට දේවල් අමතක වෙනවා. ඊට පස්සේ පොලිසිය ඔහුව ගෙනි යන්න උත්සාහ කරනවා. ඔහුගේ අයියා මැදිහත්වීමකින් පසුදින ඔහුව ගෙන එන බව පවසනවා. කීර්තිරත්නගේ බිරිඳගේ පියා සමග පසුදින ඔහු පොලිසියට යනවා. ඔහුව කූඩුවට දානවා. මහේස්ත‍්‍රාත්වරයා වෙත ඔහුව ඉදිරිපත් කරනවා. ඔහුට ඇප දෙනවා. නමුත් ඇප දීමට ක‍්‍රමයක් නැති නිසා ඔහු නැවතත් පොලිසියට රැුගෙන යනවා. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වෙනවා. ඊට පස්සේ කීර්තිරත්නගේ පවුලේ අය දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා.

ආණමඩුව දුෂ්කර ප‍්‍රදේශයක ගොවියෙක් ඔහු. පොලිසියට ගිහින් ඔවුන් තොරතුරු විමසුවත් ඔවුන් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ ග‍්‍රාමසේවක මැදිහත් වෙනවා. පස්සේ උසාවියේ රෙජිස්ටාර් කියනවා මේ විදියක නඩුවකට, මේ වගේ පුද්ගලයෙක් අත්ඩංගුවට ගත්තා කියලා කියනවා. ඒක වෙන්නේ 2011 ජනවාරි 19 වෙනි දා. 2011 මාර්තු 31 වෙනි දින තමයි මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලම උසාවියට කරුණු වාර්තා කරන්නේ. ඊට පස්සේ අපේ‍්‍රල් 05 වෙනි දින ඔහුව නිදහස් කරනවා. ඒ වෙලාවේ අධිකරණයේදී එක් විනිසුරුවරයෙක් කිව්වේ මේක පොලිසිය හිතලා මතලා කරපු දෙයක් හෝ පොලිසිය ද්වේශ සහගතව කරන ලද සිදුවීමක් නොවන නිසා මේක දිලිත්තමය වරදක් මේක මූලික අයිතිවාසිකම් වරදක් නෙමෙයි කියලා.

නැසීගිය අමරතුංග විනිසුරුවරාගෙන් මම විමසුවා ඔබට හෝ මට මේ වගේ දෙයක් වුනොත් මේක දිලිත්තමය වරදක් කියලා ආණමඩුව උසාවියට ගිහින් නඩු දානවද ? කියලා. අපි අපේ ජීවිතයට මෙය සම්බන්ධ කරගත්හොත් විනිසුරු අමරතුංගව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. අපිත් ඒ විදියට කරමුද කියලා මම ඇහැව්වා. එවිට විනිසුරු අමරතුංග පැවසුවා මොනවා වුනත් මේක විධායක කි‍්‍රයාවක් කියලා. පොලිසිය මුල් අවස්ථාවෙදි, ඉදිරියට ගෙන යන්න ඉල්ලන අවස්ථාවෙදි පොලිසිය දැම්මා කෙටි විරෝධතාවයක්. පේ‍්‍රමරත්න කියලා පොලිස් නිලධාරියෙක් පොලිසියේ නැහැයි කියලා. එවිට අපේ සම්පූර්ණ පදනම බිඳ වැටෙනවා. එහෙම තියෙද්දි තමයි මේක ඉදිරියට ගෙනි යන්න අවසර දුන්නේ.

මුල් විරෝධතාවය ඉදිරිපත් කලේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති කෙනෙක්. ඔහු කිව්වා පේ‍්‍රමරත්න කියලා නිලධාරියෙක් හිටියා ඔහු මේ සිද්ධියට සම්බන්ධ නැහැයි කියලා කිව්වා. ඔහු දැම්මා කීර්තිරත්නගේ ප‍්‍රකාශයක්. කීර්තිරත්නගේ ප‍්‍රකාශයේ තියෙන්නේ, ”මට නඩුවක් තියෙනවා. ඒ නඩුවට මට යන්න වුනේ නෑ. යන්නේ නැති නිසා මට දිනය අමතක වුනා. මට වරෙන්තුවක් නිකුත් කලා කියලා පොලිස් නිලධාරියා කිව්වා. පොලිසිය මට පහර දුන්නේ නැහැ. පොලිසියට විරුද්ධව මට කියන්න දෙයක් නැහැ. ”කියලා අත්සන් කරලා තියෙනවා. පොලිසිය උසාවියට ගිහින් 2011 අපේ‍්‍රල් මාසේ 05 දා කියනවා මේ නිවැරදි පුද්ගලයා නෙමෙයි. අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ වැරදි පුද්ගලයෙක් කියලා. එතකොට කොහොමද අර පොලිස් සටහන නිර්මාණය වෙන්නේ? කීර්තිරත්නගේ ප‍්‍රකාශය කොහොමද නිර්මාණය වෙන්නේ?. කීර්තිරත්න කියනවා තර්ජනය කරලා අත්සන් කරපන් කිව්වම කීර්තිරන්න අත්සන් කලාලූ. මේ පදනම තම තමයි ඔහුට රුපියල් 575,000 ක මුදලක් ඔහුට ගෙවන්න නියම වෙන්නේ.

උසාවිය කිව්වා මෙම මුදලෙන් සිදුවූ හානිය මනින්න බැහැ කියලා කිව්වා. පොලිසියට කොතරම් නීති පැනව්වත් මේවා නවත්වන්න බෑ. පොලිසිය තමන්ට එන සියලූම පීඩනයන් තමන්ගේ යටතේ සිටින රැඳවියාගෙන් යවන අවස්ථා තියෙනවා. පයාගල ශි‍්‍රයානි සිල්වා නඩුවේ ඒකයි වුනේ. එකෙක් පැන්න එළියට ළග හිටපු අනෙක් මිනිහා මැරුවා. ඒකයි වෙච්ච දේ.ඉද්දමල්ගොඩ එදිරිව ශ‍්‍රියානි සිල්වා නඩුවේ සිද්ධිය ඒකයි. ඇත්තමට වෙන්න  ඕන සමාජය පොලිසියට බය නැතිවෙන්න  ඕන. පොලිසියේ තොප්පිය උස්සගෙන දුවන එක නෙමෙයි. පොලිසිය ප‍්‍රශ්න කරන්න පුළුවන් විදියට සමාජය බලගතු වෙන්න  ඕන. ඒක අපි කාටත් කරන්න පුලූවන් දෙයක්. අපි නිකන් පොලිසිය කියන දේ අහන්නේ නැතුව. සමහර සමාජ මාධ්‍ය වල යන්නේ ”කොහොමද මම ඉර කැපුවා කියලා කියන්නේ කියලා අහන්නේ.”එතකොට පොලිස් නිලධාරියා නිරුත්තර වෙනවා. අන්න එතනට සමාජය බලගතු කිරීමක් මානව හිමිකම් කොමිෂන් සභාව, මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් ආයතනවලට තියෙනවා. ඒ තුළ පමණක් පොලිසිය යම් ආකාර පාලනයකට ගෙන ඒමට හැකියාව තියෙන්නේ. අපි එතනටයි අරගල කළ යුත්තේ. අපි ඒ සටන නොකර නීතියට සියල්ල බාරදීලා හිටියොත් පොලිසියට එරෙහිව පවරන නඩු සියයට පහක (5%) එහාට යන්නේ නැහැ.

සටහන
සුදේශ් ද සිල්වා
2018 ජූනි 16

 



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.