English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
තරගකාරී වෙළඳපොල ඇතුලේ අපේ සාපේක්ෂ වාසිය කොතැනද...?
(2018-07-13)

<< Go Back

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එකතුව එක්ව සංවිධානය කළ මානව අයිතීන් සුරැකෙන සංවර්ධන උපාය මාර්ග යන මැයෙන් මහජන මන්ත‍්‍රණ සභාවක් ඊයේ (12) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පවත්වනු ලැබීය. මෙම මහජන මන්ත‍්‍රණ සභාව මෙහෙයවීම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසින් සිදු කළ අතර, ප‍්‍රධාන අදහස් දැක්වීම් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචර්ය අමල් කුමාරගේ මහතා විසින් සිදු කරන ලදී.

රට තුළ මේ වන විට සංවර්ධනයක් සිදු වෙනවද? එය රටට අවශ්‍ය සංවර්ධනයක් ද? ඒ සංවර්ධන ක්‍රියාදාමයේදී මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරුකේද? මේ සදහා අප හමුවේ ඇති අභියෝග මොනවද ? යන්න පිළිබ`දව මෙම මහජන මන්ත‍්‍රණ සභාවේ දී මහා නගර හා බස්නාහිර පලාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස්....

“අපි පළමුවෙන්ම කතා කළොත් රටක සංවර්ධනය ගැන අපි පොඩි කාලේ ඉගෙනගන්නේ නිෂ්පාදනයේත් පරිභෝජනයේත් අඛණ්ඩ වර්ධනය කියලයි. මේක අර්ථික විද්‍යාවේ ගණනය කරන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් හා ඒක පුද්ගල අදායමෙන්. ඊයේ පළවුනු ලෝක බැංකු වාර්තාවට අනුව ඉන්දියාව ලෝක දර්ශකයේ හයවෙනි ස්ථානයට පැමිණියා, ප‍්‍රංශය පසුකරමින්. ඒ වුනත් ඉන්දියාව සංවර්ධිත රටක් වෙන්නේ නැහැ. ප‍්‍රංශයේ ඒක පුද්ගල අදායම ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම වගේ විසි ගුණයක්. මේ නිර්නායක දෙක මත තමයි අපි අපේ ආර්ථිකයේදී ගණන් හදන්නේ. නමුත් මීට දශක කිහිපයකට කලින් ආර්ථික විද්‍යාඥයෝ තවත් නිර්නායකයක් හඳුන්වා දුන්නා රටක ආර්ථික දියුණුව බලන්න. ඒකට කියන්නේ පර්චසින් පවර් පැරිටි (Purchasing Power Parity) කියලා. ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තවත් රටක ඒ හා ක්‍රියාදාමය හා සන්සන්දනය කරලා ඒ අනුව අප රටේ ඒක පුද්ගල අදායම තීරණය කරන්න. උදාහරණයක් හැටියට ලංකාවේ අපිට වායු සමනය කරපු කාමරයක ඉඳලා කෝපි කෝප්පයක් බොන්න යම් කිසි ගානක් වැය වෙනවා නම් ඇමෙරිකානු එක්සත් ජනපදයේ දී සමාන තත්ත්වයන් යටතේ අපි කෝපි කෝප්පයක් බොනවා නම් ඒ දෙක අතර අනුපාතය තමයි මේ පර්චසින් පවර් පැරිටි (Purchasing Power Parity) කියලා කියන්නේ.

මේක විග‍්‍රහ කරනවා නම් ලංකාවේ අද ඒක පුද්ගල අදායම වශයෙන් සාමාන්‍ය වටිනාකම අනුව ඩොලර් 4000 ක් පමණ වෙනවා. නමුත් පර්චසින් පවර් පැරිටි (Purchasing Power Parity) අනුව ගත්තම අපේ ඒක පුද්ගල අදායම ඩොලර් 12.000 යි. ඒ අර්ථයෙන් ගත්තම අපි අද දුප්පත් රටක් නෙමෙයි. මධ්‍ය අදායම් රටක්. විශේෂයෙන්ම මේ ගැන නොයෙක් නිර්වචන ආවත් මධ්‍ය අදායම් රටක ඉඳලා ඉහළ ආදායම් රටක් බවට පරිවර්තනය වෙන්න යන කාලය බොහෝ රටවල් වලට අමාරු යුගයක් වෙනවා. මධ්‍ය අදායම් ණය උගුල නමින් හඳුන්වන ක්‍රියාදාමයක් තියෙනවා.( Middle Income Trap) එතකොට අපි ලෝක බැංකුවේ සහ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ අර්ථ දැක්වීමට අනුව දුගී රටක් හැටියට නම් කරලා තිබිලා මධ්‍ය අදායම් රටක් බවට පරිවර්තනය වුනේ 1998 දී. ඒ සඳහා ආසන්න වශයෙන් වසර 20ක් ගෙවිලා තියෙනවා. තවමත් පහළ අදායම් ලබන රටක ස්වරූපය තමයි දක්නට තියෙන්නේ.

ලෝකයේ ඉහළ අදායම් ලබන රටක් බවට පත්වෙන්න අපි ඒක පුද්ගල අදායම ඩොලර් 4000 සිට ඩොලර් 12,000 බවට පරිවර්තනය කර ගත යුතුයි. මේක ළගා කරගන්නේ කෙසේද? අපේ කලාපයේ බොහෝ දියුණුයි කියලා ආර්ථික වර්ධනය කරගත්ත සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව, වැනි රටවල් ඉතා කෙටි කාලයකින් මේ මධ්‍ය අදායම් උගුල පහු කලා, ආසන්න වශයෙන් 7%-8% ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව වර්ධනය කරගැනීම නිසා. නමුත් තවත් සමහර රටවල් වලට, දශක ගානක් ඒ යුගයේ ඉන්න සිද්ධ වුනා.

මේ යන තාලෙට ගියොත් අපිට මධ්‍ය ආදායම් තත්ත්වයෙන් අධි අදායම් තත්ත්වයකට පරිවර්තනය වෙන්න නියමිත වන්නේ 2045 දී පමණයි.  මේක ඊට කලින් කරගන්න අපිට පුළුවන් ද? තවත් මූලික ප‍්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි එසේ කරගත යුත්තේ කියලත් ප‍්‍රශ්නයක් අහන්නත් පුළුවන්. අපි මේ ගමන යනවා නම්, අපේ අධිෂ්ඨානයක් තියෙනවා නම් ඒකට අපි අනුගමනය කරන්න  ඕන දර්ශනය මොකක්ද කියලා අපි බලන්න  ඕනා. ආර්ථිකයේ තරගකාරී වෙළඳ පොළක මීට සියවස් ගාණක සිටම තියෙන වැදගත් සිද්ධාන්තය තමයි මේක. මේ අදහස මුලින්ම පළ කලේ ඬේවිඞ් රිකාඩෝ, සාපේක්ෂ වාසිය රටවල් හඳුනගන්න  ඕනා ආරම්භයේදීම. (Comparative Advantage) අපේ තියෙන සාපේක්ෂ වාසිය මොකක්ද අනික් රටවල් එක්ක තරග කරන්න. කොතනද ඒක රැඳී තියෙන්නේ.

ඔහු ඒ අවස්ථාවේ දී (ඩේවිඩ් රිකාඩෝ) එංගලන්තයේ වැසියන්ට කිව්වා ෂැම්පේන් හදන්න මහන්සිවෙන් එපා ඒක ප‍්‍රංශය හොඳට කරනවා. ඒ නිසා ෂැම්පේන් ප‍්‍රංශයෙන් ගෙන්නවන්න බය නැතුව. හැබැයි ඇගලූම් කර්මාන්තයේදී එංගලන්ත රටට ප‍්‍රංශයට වඩා හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබේ සාපේක්ෂ වාසිය තියෙන්නේ ඇගලූම් කර්මාන්තය මිසක් ෂැම්පේන් නිෂ්පාදනය නෙමෙයි කියන එක ඬේවිඞ් රිකාඩෝ කිව්වා.

අපේ සාපේක්ෂ වාසිය කොතනද තියෙන්නේ? මම තේරුම් ගන්ත විදියට මේ තරගකාරී වෙළඳපොල ඇතුලේ අපේ සාපේක්ෂ වාසිය තැන දෙකක රැඳී තියෙනවා. එකක් අපේ භූගෝලීය පිහිටීම. දෙක අපේ දැන උගත් ශ‍්‍රම බලකාය. ඒ පැති දෙකෙන් තමයි අපි ඉදිරිය බලා යන්න වෙන්න  ඕන. මේ භූගෝලීය පිහිටීම කියන කාරණය ගත්තහම අපට තාමත් මේ සාපේක්ෂ වාසිය ඉතුරුවෙලා තියෙනවා.

1948 අපි නිදහස ලබන වෙලාවේ සිංගප්පූරුව හෝ ඩුබායි කියලා අති ප‍්‍රබල නාවුක හෝ ගුවන් මධ්‍යස්ථාන දෙකක් තිබුණේ නැහැ. අපි තමයි ඒ වන විට තිබුනු පස්වෙනි වැදගත්ම වරාය තිබුනේ. ඒ කොළඹ වරාය. ඉතින් බටහිරින් පෙරදිගට යන ගමන් මාර්ගවල අපිට තාමත් ඒ බලගතු තත්ත්වය තියෙනවා. හේතුව මේ සියවසේ ගුවන් සේවා බැලූවත් නාවුක සේවා බැලූවත්, තාමත් ඉතාමත්ම වැදගත් වේගයෙන් වර්ධනය වන කලාපය තමයි, ඉන්දියානු සාගර කලාපය. නැගෙනහිර අප්‍රිකාවේ සිට බටහිර ආසියාව දක්වා කලාපය. ඒ මැද්දේ අපි ඉන්නවා. ඒ නිසා අපිට මේ වාසිය තියෙනවා. නිවැරදිව අපේ වරාය, ගුවන් තොටුපෙළවල් ඉඩ පහසුකම් ඊට සාපේක්ෂව වර්ධනය කරග යුතු වෙනවා.

මෙන්න මේ කාරණා සහ ලෝකයේ අලූතින් ඇති වී තිබෙන තත්ත්වය අනුව, ලෝකයේ ආර්ථිකයේ දල්වන එන්ජිම බවට ආසියාව පත්වීමත් සමග, අපි ඒ අනුව අලූතින් හිතන්න  ඕන. ක්‍රිස්තු වර්ෂ 1820 දි තමයි මහා බ්‍රීතාන්‍ය ලෝකයේ බලගතුම ආර්ථිකය වුනේ. එතෙක් ආර්ථිකයේ බලගතුම රට වුනේ චීනය. 1875 බිස්මාර්ක් විසින් ජර්මනිය එක්සේසත් කලාට පස්සේ ජර්මනිය ලෝකයේ ආර්ථික බලවතා වුනා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික බලවතා වුනා. ඔවුන් අද වෙනතුරු ඒ තත්ත්වය රැකගෙන ඉන්නවා.

2020 හෝ ඊට ආසන්න කාලයකදී මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්න යන නිසා තමයි මේ අරගලය ඇති වෙලා තියෙන්නේ චීනයයි ඇමෙරිකාවයි අතර, කොහාමත් දෙවෙනියා, පළවෙනියා ඉස්සර කරන්න යන කොට මේවගේ ප‍්‍රශ්න එනවා. ඒ අතරට අපිත් මැදිවෙලා ඉන්නවා. අපිට මේක ආශිර්වාදයක් කරගන්න  ඕනා. අපේ මේ විශිෂ්ඨ භූගෝලීය පිහිටීම අතීතයේ හැමවිටම අපිට ආශිර්වාදයක් වුනේ නෑ. අපට සිද්ධ වුනේ මේක අභාග්‍ය සම්පන්න දෙයක් හැටියට බාරගන්නයි. නිරන්තරයෙන් අපි කිට්ටුව ලොකු රටක් තියෙනවා ඒ ඉන්දියාව. ඒක අපි පිළිගන්න  ඕනා. ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්ති තනන අය, ආර්ථික ප‍්‍රතිපත්ති තනන අයට ඉතාම සරල ප‍්‍රශ්නයක් තියෙනවා. ලංකාව නොතිබ්බ නම් කොහොමද කියන එක. ලංකාව නොතිබ්බ නම් ඉන්දියා ඇන්ටාක්ටිකාට දක්වා විවෘතයි. ඒක මහා රටක්. අපි තිතක් වගේ ඉඳීම නිසා ඉන්දියාවට කනස්සලක් හිතේ අමාරුවක් තියෙනවා. මේ මෑතදී ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් මෙනන් මැතිතුමා චොයිසස් (Choices) කියලා පොතක් ලිව්වා. එතුමා ලිව්වා අපට නිතරම ලංකාව පේන්නේ අපි පිටුපසින් නතර කර ඇති යුද නැවක් හැටියට කියලයි.

අපේ රට පොඩි රටක්, නමුත් මේ රටට පත් කර එවන තානාපතිවරුන් දිහා බැලූවම පේනවා කොතරම් බලගතු හා වැදගත් කමක් අපිට දීලා තියෙනවද කියලා. අතීතයේදී මේ පිහිටීම අපිට ආශිර්වාදයකට වඩා ශාපයක් වුනා. දැන් අපි ඒ පාඩම් ඉගෙන ගෙන මේක විදිමත්ව කරන්න  ඕනා.  ඒ අනුව තමයි මේ ආණ්ඩුව අවුරුදු ගානකට පස්සේ විධිමත් ජාතික භෞතික සැලසුමක් ඇති කරන්නේ.

ඒ අනුව අපි ආර්ථික කොරිඩෝ කිහිපයක් අඳුනගත්තා. ප‍්‍රධාන කොරිඩෝව කොළඹ සිට ත්‍රීකුණාමලයට. ත්‍රීකුණාමලය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා බෙංගාල බොක්ක අවට තියෙන සියළු රටවලට. කොළඹ විවෘත කරන්න බලාපොරොත්තුවෙනවා තවදුරටත් නැගෙනහිර ආසියාව, පෙරදිග ඇතුළු අනෙකුත් රටවල් වලට. දෙවෙනි ආර්ථික කලාපය අපි අඳුනගෙන ඉන්නවා ගාල්ලේ සිට හම්බන්තොටට. ඒක එක පැත්තකින් සංචාරක ව්‍යාපාරයට අනික් පැත්තෙන් නාවුක පැත්තෙන් ආදි වශයෙන් විවෘත කරන්න. තව ආර්ථික කලාපයක් අපි තීරණය කරලා තියෙනවා. වාලච්චේන සිට මඩකලපුව දෙසට. තවත් කලාපයක් විදියට අඳුනගෙන ඉන්නවා යාපනයේ සිට කිලිනොච්චියට

මම පෞද්ගලික දකින දෙයක් තමයි මේ රටේ අනාගත ආර්ථික කේන්ද්‍රස්ථානය වෙන්නේ මන්නාරම. ඒක දැනට අමතක කරලා තියෙන තැනක්. එම ප‍්‍රදේශය ඉතාමත් වැදගත් ආර්ථික විභවයන් සහිත තැනක් බල ශක්තිය පැත්තෙන් කල්පනා කරන විට. මේ සියල්ලම කැටි කරලා අපි ජාතික භෞතික සැලසුම ඇති කලා. එයට විශාල කාලයක් අපි ගත්තා. මධ්‍යම අධිවේගය ගැන අපි වැඩිය උනන්දුවකින් කටයුතු නොකරන්න හේතුවක් තමයි ඒ මධ්‍යම රටේ ඒ කියන්නේ නුවර කෑගල්ල, බදුල්ල, නුවරඑළිය වැනි ප‍්‍රදේශවල අතිවිශාල ජනතාවක් පදිංචිවීම එච්චර සුදුසු නෑ. ඒ ප‍්‍රදේශය පාරිසරික අතින් ඉතාම දුර්වල ප‍්‍රදේශයක්. ඒක මේ පහුගිය කාලේ ඇතිවෙච්ච නායයෑම් සහ අනිකුත් කාරණාවලින් හොඳට පැහැදිලි වුනා. අපි අපේ සොහොන් බිම් ඉදිරිකරමින් ඉන්නේ ඒ ප‍්‍රදේශවල. ඒ නිසා අපි අපේ ප‍්‍රධාන කොරිඩෝව මේ දෙසටයි වෙන්න  ඕන. සංවේදී කලාප බොහෝමයක් ඒ සැලසුමෙන් ඉවත් කරලා තියෙනවා. මිලියන දහයක ජනතාවක් මේ කොරිඩෝව දෙසට ගෙනාව නම් අපේ ඉලක්ක 2030, 2040 වන විට සපුරාගැනීමට පුළුවන් වෙනවා. ගෝලීය තත්ත්වයට ඔරොත්තු දීමට අපට එසේ ක්‍රියා කිරීමට සිදු වෙනවා.

දෙක දැන උගත් ශ‍්‍රම බලකාලය. ගොඩක් දෙනෙක් කියනවා ආයෝජකයෝ ගෙන්න ගන්න  ඕන කියලා. අයෝජන කලාප හදන්න  ඕන කියනවා. අපේ රට තව විවෘත කරන්න  ඕන. ඇයි දැන් එන්නේ නැත්තේ ආයෝජන කලාප හදලා තියෙද්දි ඇයි එන්නේ නැත්තේ? දොලොස්දාහකට රැකියා තියෙනවා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ. එහෙම වෙන්නේ අපි සංවර්ධනයේ එක සීමාවක් පැනලා ඉන්නේ. සමහරු අහනවා බංගලි දේශයට යන මිනිස්සු ඇයි අපිට එන්නේ නැත්තේ. ඇයි වියට්නාමෙට යන මිනිස්සු අපිට එන්නේ නැත්තේ? මේකට තියෙනවා මූලික හේතු කිහිපයක්. එකක් අපි අද ඉන්න යුගයේ අපේ ඉන්න මේ ශ‍්‍රම බලකාය දිහා බැලූවම එක්තරා අන්දමකින් වාසි දායක අන්දමකින් ඉන්නවා. ඒ තත්ත්වය සීග‍්‍රයෙන් වියැකී යනවා. අපි ඒකට කියනවා Demograffic Devident කියලා. ශ‍්‍රම බලකාය වර්ධනය වෙනවා ජනගහන වේගයට වැඩියෙන්. එතකොට බලගතු ශ‍්‍රම බලකායක් බිහිවෙනවා. මේක 1992 සිට ලංකාවේ තත්ත්වේ. මේක 2027 දී අපිට නැතිවෙලා යනවා. ලෝකයේ මධ්‍ය ආදායම් රටවල් අධි ආදායම් රටවල් බවට පරිවර්තනය වුනේ මෙන්න මේ ශ‍්‍රම රළ වේගයත් එක්ක. මේ තත්ත්වය සීග‍්‍රයෙන් අපෙන් ඉවත් වේගෙන යනවා. එන්න එන්නම වයසට යන ජනගහන පද්ධතියක් ඇති වෙනවා. මේ ශ‍්‍රම බලකායේ අපූර්ව තත්ත්වයක් තියෙනවා. ඒ අය ලෑස්ති නෑ වැඩ කරන්න දාඩිය මහන්සියෙන්. ඒ කියන්නේ කුඹුරේ වැඩ කරන්න ලෑස්ති නෑ. හේනේ වැඩ කරන්න ලෑස්ති නෑ. රබර් වත්තේ වැඩ කරන්න ලෑස්ති නෑ. තේ වත්තේ වැඩ කරන්න ලෑස්ති නෑ. ගොඩනැගිලි කර්මාන්තවල වැඩ කරන්න ලෑස්ති නෑ.

අද අපි පිළිගන්න  ඕන ඉතාමත්ම කටුක යථාර්ථය ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් සහ බංගලාදේශයෙන් සංචාරක වීසා මත ලංකාවට ඇතුළුවන 250.000 ක් වන පිරිසක් තමයි අපේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේත්, අනිකුත් ක්ෂේත‍්‍රවලත් වැඩ කරගෙන යන්නේ. මම මෑතකදී ගිය ත්‍රීකුණාමලයේ මොරවැව, එහේ ගොයම් කපන්නෙත් ඉන්දියාවෙන් ඇවිල්ලා. අපේ ගොවියෝ පාරට වෙලා මොබයිල් ෆෝන් එක තියාගෙන ඉන්නවා. මොබයිල් එකෙන් තමයි ගොයම් කපන්නේ. කුඹුරට බහින්නේ නෑ. මේක තමයි අපේ ශ‍්‍රම බලකායේ තත්ත්වය. අපි මොනවා කිව්වත්, මොන තරම් නිදහස් වෙළඳ කලාප ඇරියත්, ආයෝජකයෝ ඇවිත් බලනවා අපේ ශ‍්‍රම බලකායේ තත්ත්වය. ඒ අය මෙහෙට එන්නේ නෑ. හැබැයි බංගලිදේශයට යනවා. උදේට අඩුම ගානේ මිලියන තිහක් පෝලිම්වල ඉන්නවා වැඩට යන්න. ලංකාවේ මුදලින් රුපියල් හැත්තෑවට. මම දැකලා තියෙනවා, මම ගිහින් තියෙනවා. ඒක තමයි තත්ත්වේ. ඒක එක සාධකයක්. නැවත මේ රටේ ඒ යුගය එන්නේ නෑ.

ජයවර්ධන ජනාධිපතිතුමා ඒ ආර්ථික විවෘත කරපු අවස්ථාවේ ඇති වුනා වගේ ප‍්‍රබෝධයක් ලාබ ශ‍්‍රමය මත නම් ලංකාවට එන්නේ නෑ. අපි මේකට කියන්නේ නිෂ්පාදන සාධක ලාබ කිරීම මගින් අපට නැවත මේ රටේ සංවර්ධනයක් ගේන්න බෑ. ඒක ස්ථාවරත්වය. ඇයි වියට්නාමෙට යන්නේ. ඇයි චීනෙට යන්නේ. අවුරුදු 30කට ආයෝජනය ස්ථාවරයි. ප‍්‍රතිපත්ති වෙනස් වෙනවා කියලවත්, බදු ප‍්‍රතිපත්තියවත්, මුකුත් වෙනසක් ඇතිවෙන්නේ නෑ. කාලෙකට ඉස්සෙල්ලා සමාජමය වශයෙන් ඉල්ලීම් තියෙන තැන්වලට යන්න ආයෝජකයෝ කැමති නෑ. ආයෝජකයෝ තමන්ගේ ස්ථාවර ලාභය සඳහා  ඕනම රටකට යන ප‍්‍රවනතාවයක් දැන් තියෙන්නේ. අපි ඒ ක‍්‍රමය අනුගමනය කරන්න  ඕන නෑ. ඒක තමයි ඇත්ත.

එහෙම නම් අපේ මේ උගත් ශ‍්‍රම බලකායේ වැඬේ කොහොමද කරන්නේ? ඒක තමයි අපිට කොරියාවෙන් ගන්න තියෙන ආදර්ශය. ඒක තමයි නවෝත්පාදනය හරහා ඉදිරිගමනක් යෑම. ඉදිරි පිම්මක් පැනීම. ඒ නවෝත්පාදන රළ වේගය අවස්ථා කිහිපයකදීම අපට මුහුවුනා. නමුත් අපිට ඊට ගොඩවෙන්න බැරි වුනා. කාර්මික විප්ලව තුනක් සිද්ධ වුනා. තුනෙන් එකකටවත් අපිට ගොඩවෙන්න බැරි වුනා. හතරවැන්න දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි ගොඩවිය යුතුයි. ඒකට ගොඩවෙන්න අපට විශාල අරමුදල් අවශ්‍ය නැහැ. ඒ වගේම අතිවිශාල බලයක් අවශ්‍ය නැහැ.  ඕනම කෙනෙකුට අද මෙතනට ඇතුල් වෙන්න පුළුවන්. අද අපේ ආදර්ශය වෙන්න  ඕන පිදෙස් කැස්ත්‍රෝ හරි චේගුවෙරා නෙමෙයි. අද ආදර්ශය වෙන්න  ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්..............., ගුගල්, ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප‍්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි. තමන්ගේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහාම මේකට ඇතුල් වෙලා ලෝකය වෙනස් කරපු අය.  මෙහි තියෙන සීමා මායිම් අත්‍යන්තයි. අති විශාලයි. අවුරුදු දහයකට කලින් අපි කවුරුවත් හිතපු නැති සීමා අද තාක්ෂණය ඇති කරලා තියෙනවා.

අවුරුදු 10 කට කලින් අපි කවුරුවත් හිතුවේ නැහැ ටැක්සි තියෙනවා කියලා ටැක්සි අයිති නැති අයට. අද යූබර් එක තියෙනවා. අවුරුදු 10කට කලින් අපි කවුරුවත් හිතුවේ නැහැ බැංකු ශාඛාවක් නැති බැංකුවක් තියෙනවා කියලා. අද බිග් ෆයින් එක තියෙනවා. අවුරුදු 10කට කලින් අපි කවුරුවත් හිතුවේ නැහැ කර්තෘවරු නැති පත්තරයක් තියෙනවා කියලා. අද ඒක තියෙනවා. ඒක තමයි ෆේස් බුක්. අපි කවුරුත් අවුරුදු 10 කට කලින් හිතුවේ නැ ඉස්කෝල පන්ති කාමරයක් තියෙනවා කියලා ගුරුවරු නැති, පුස්තකාල නැති, විද්‍යාගාර නැති, අද ඒක තියෙනවා. ඔන් ලයින් ස්කූලින්, දැන් මේක ඔන් ලයින් ෆැක්ටරිස් බවට පියවරෙන් පියවර යනවා. තව අවුරුදු 10 කින් අපි වැඩිහිටියෝ වෙලා, වයසට ගිහිල්ලා, මේ රට ලෝකේ සම්පූර්ණ වෙනස් එකක්. මේකට අපි ඇතුල් වෙන්න  ඕනා.

අද ලංකාවේ මේ කවුරුත් අමතක කලාට ඇප් හදන කට්ටිය, රබර් සහ පොල් වලට වඩා අපනයන ආදායමක් ගේනවා. අපි මේක උස්සන්න  ඕන තේ, පොල්, රබර් වලට වඩා වැඩියෙන්. මේක උස්සන්න නම් මේකට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න  ඕන. ඒකට අවශ්‍ය ඒ වැඩසටහන හදන්න  ඕන. ඒකට තමයි මහරගම අපි තාක්ෂණ පීඨය ඇති කලේ. ශිෂ්‍යයන්ගේ අයිතීන් ගැන කතා කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තමයි මේවට විරුද්ධව පෙළපාලි යන්නේ. මේක තමයි ඊළග දශකයේ ඉදිරියට යන්න තියෙන්නේ. මේවාට කල් යනවා. මේවා සංවිධානය කරන්න  ඕනා. මානව හිතවාදීව මේවා කරගෙන යන්න කල් යනවා. කල්ගියත් ඒවා තිරසාරයි. උදාරණය කිහිපයක් කියන්නම් වරාය නගරය. පළමු ගොඩනැගීමේ අවස්ථාවේ දී කිසිම ශාඛ්‍යතා අධ්‍යයනයක් කලේ නැහැ. සාමාන්‍ය අධ්‍යයනයකින් වැඬේට බැස්සා. මූද ගොඩ කරන්න. ඒක අපිට අලූත් අත්දැකීමක්. මේ රජය ආවට පස්සේ අපි ඊළගට පරිසර අධ්‍යයන වාර්තාවක් කැඳෙව්වා. 260 ගාණක් නව යෝජනා සහ විරෝධතා දැක්වූවා. හැම එකකින්ම ලැබිච්ච කාරණාවලට අපි පිළියම් යෙදෙව්වා. ඒ කාලේ ගොඩක් බිය පළ කලා. මේකට රටේම කළුගල්  ඕන වෙයිද? මේකට වැලි ගහන්න ගියාම ප‍්‍රශ්න මතුවෙයි නේද? කොළඹ ගිලා බහියි නේද? අරවා මේවා කොච්චර කාරණා කිව්වද? අදටත් ප‍්‍රශ්න තියෙනවා. වර්තමානයේ අපි ගොඩනැගිලි ඉදි කිරීමට වාර්තා කැඳවු විට දෙන්නයි ඉදිරිපත් වුනේ. මහජනයාට බලහත්කාරය පාලා අපි මේක කරා නම් පරණ ක‍්‍රමයට විරෝධතාවයන් වැඩිවෙනවා. ඒ වගේම භයානක පරිසර ප‍්‍රථිඵල ඇතිවෙන්න ඉඩ තියෙනවා උමා ඔය වගේ. මෙය විශාල සංවර්ධන ක්‍රියාවලියක්, විශාල ආයෝජනයක්. අපි කිසිඳු ප‍්‍රශ්නයකින් තොරව තල්ලූ කලා. කිසිඳු ගැටළුවකින් තොරව අද ඉදිරියට ගෙනියලා තියෙනවා. ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අවසන් වෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම ඔක්තෝම්බර් මාසේ ආරම්භ වෙනවා. ඒක කිසිම ප‍්‍රශ්නයක් වුනේ නෑ.

ඊළගට පැල්පත්වාසීන්ගේ ගැටලූ. නැත්නම් අඩුපහසුකම් සහිත අපේ ජනතාව. පවුල් 50.000ක් ඉන්නවා. කොළඹ නගරයේ පවුල් 50.000 ක් බලහත්කාරයෙන් එහාට මෙහාට යවලා, අයෝජකයන්ට ලබා දෙන්න කලින් රජය කටයුතු කලා. මීට විශාල ප‍්‍රතිවිරෝධතාවයන් ඇති වුනා. පීටර් කේනමන් මහත්තයගේ කාලේ, චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මහත්තයාගේ ඉඳලා මේ ප‍්‍රශ්නේ විසඳන්න කටයුතු කලා. අපි විධිමත් වැඩ සටහනකට අනුව අපි ඒක කරලා තියෙනවා. ගිහින් බලන්න උතුරු කොළඹ ලියනමුල්ලේ. සිංගප්පූරුවට වැඩිය හොඳ තත්ත්වයක් අපි එහි ඇති කරලා තියෙනවා. ඒ වගේම මහා පරිමාණ නගර පහක් දෙමටගොඩ ඇති වෙලා. 2019 අගභාගය වන කොට ගෙවල් 22.000 ක් ඇති වෙනවා. ප‍්‍රධාන ආර්ථික කොරිඩෝරයේ ඉන්න සෑම කෙනෙකුටම අද ගමනක් තියෙනවා. කිසිම විරෝධයක් නෑ. ගුවන් විදුලි සංස්ථාවට අල්ලපු ඉඩම, තාරවත්ත. මම විද්‍යා ඇමති ඉන්න කොට ඉඩම අයිතිය ප‍්‍රකාශ කරලා බෝඞ් එකක් ගැහැව්වා. පහුවෙනිදා බෝර්ඞ් එතන නෑ. එහා වත්තේ ඉන්න දෙන්නෙක් මේක විකූණලා කුඩු ගන්නවා. විද්‍යාව කරලා හරියන්නේ නැති බව විද්‍යා පදනමට කිව්වා. මිනිස්සුන්ගේ ප‍්‍රශ්නය විසඳිය යුතු බව කිව්වා. පස්සේ අපි ස්වයං රැකියා ලබාදෙන විදාතා වැඩ පිළිවෙළ පටන් ගත්තා. අද කිසි විරෝධයකින් තොරව ඒ වත්ත සුද්ද වෙනවා. කොළඹ හතේ තියෙන ප‍්‍රධාන වත්තක්. කවුරුවත් පාරට බැහැලා කලබලයක් කළේ නැහැනේ.

අපි ඒ අයගේ ජීවිත ගොඩනගනවා. විශාල වැඩ පිළිවෙළක් කරලා තියෙනවා.  ඕලෙවල් විභාගෙට ළමයි යවන්න. මත්ද්‍රව්‍ය, මත්පැන් වලට එරෙහිව වැඩසටහන්, ස්වයං රැකියා, ක්‍රීඩා වැඩසටහන්, කලාව පැත්තට ඔවුන් වෙනුවෙන් වැඩසටහන් ඇති කරලා තියෙනවා.

දවස්වල දැරිවියක් දිව්වා. ඒ පැල්පත්වාසී දැරිවියක්. අද එතනට ඒක ගොඩනැගිලා තියෙනවා. ඉස්සර ඔවුන්ට තිබුනේ රස්සා කිහිපයයි. මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය. පේමන්ට් එක, ත්‍රීවීල් එක. අද අපි ඊට වඩා ජීවිතයක් විවෘත කරලා තියෙනවා. මේක පිළිබඳව අපි කතා කරන්න  ඕනා.

කැළණිපාළම යට ගැන කොච්චර දෙනෙක් කතා කලාද, ඒ දුප්පත් ජනතාව ගැන නාට්‍ය, සිනමා හැදිලා තියෙනවා. කෝ අද කැළණිපාළම යට කට්ටය. අද සාලමුල්ලේ ඉතාම හොඳින් ජීවත් වෙනවා. ජීවිත හදලා තියෙනවා. එතන හිටපු ඉංජිනේරුතුමිය තමයි මට කිව්වේ ගෙවල් දීලා හරියන්නේ නෑ. ගෙවල් වෙනුවට ජීවිතයක් දෙන්න  ඕන මිනිස්සුන්ට කියලා. ඒ අනුව තමයි අපි හැදුවේ නිවසක් වෙනුවට ජීවිතයක් කියන ප‍්‍රතිපත්තිය. අද මේ මානුෂීක පැත්ත ගැන කතා කරන්න පුළුවන්. ඉස්සර මේවා වුනේ හමුදාවෙන්. අද කිසිම හමුදා සම්බන්ධයක් නැතුව මානුෂික ක‍්‍රමයකට අපි ඒ දේ කරනවා.

අපි ළගදී පොදු ප‍්‍රවාහනය ගැන වැඩ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. කාර්වලට පාරේ ඉඩ කඩ දෙන්න  ඕන කියලා කියනවා. එහෙම කරන්න බෑ. නිදහස ලබන විට මෝටර් රථ තිබුනේ 5000 යි. අද හැට දෙකක්ෂයක් (6,200,000) වාහන තියෙනවා. පවුල් ඒකක තියෙන්නේ (5.500.000) පනස්පන් ලක්ෂයයි. කොහොමද පාරේ ප‍්‍රශ්නය විසඳගන්නේ. ඒ නිසා පොදු ප‍්‍රවාහනය අපි ශක්තිමත් කළ යුතුයි. ඒ සදහා දුම්රිය, බස්රථ, සේවා ශක්තිමත් කරන්නත් සැහැල්ලූ දුම්රිය සේවයක් ආරම්භ කරන්නත් අපි පියවර අරන් තියෙනවා

ඒ අවගේ අපිට තිබෙන තවත් ප‍්‍රශ්ණයක්, කසල ප‍්‍රශ්ණය. පසුගියදා මීතොටමුල්ලෙ කසල කන්ද කඩා වැටිලා 33 දෙනෙක් මිය ගියා. අපි රටක් විදියට ලැජ්ජා වෙන්න  ඕන කුණු කන්දක් කඩා වැටිලා මිනිස්සු මැරෙන එක ගැන. මේක මෙහෙම වෙන බව දැනගෙන හිටියා. 1996 කරුජයසුරිය මහත්තය කොළඹ නගර සභාවට පත්වුනාට පසුව ලෝක බැංකුව ගෙනල්ලා කොළඹ කුණු සදහා විද්‍යාත්මක කසල රදවනයක් මීපේ ප‍්‍රදේශයේ හදන්න සැලසුම් කරා. මොකද වුනේ කොළඹ කුණු අපට එපා කියලා පාරට බැස්සා. ඒ වැඬේ නතර වුනා ප‍්‍රශ්ණයට විසදුමක් නැතිව. ප‍්‍රථිපලය වුනේ බ්ලූ මැන්ඩල් ප‍්‍රදේශයේ කුණු කන්දක් නිර්මාණය වීමයි. 

2007 පරිසර ඇමති වුනාම මේ කුණු කන්දෙ ප‍්‍රශ්ණෙ විසදන්න මම මැදිහත් වුනා. වග ප‍්‍රදේශයේ කසල රදවනයක් හදන්න මම සැලසුම් කරන කොට එවකට නාගරික සංවර්ධන ඇමති ලෙස හිටපු දිනේෂ් ගුණවර්ධණ එය විරුද්ධ වුනා වග එයාගේ අම්මගෙ ගම කියලා. ඒ හේතුවෙන් ඊට උදව් කරන්න පැමිණි කොරියානු සමාගම නැවත හැරිලා ගියා. ඒක කරන්න බැරි විවේ ප‍්‍රථිපලය තමයි මීතොටමුල්ල කුණු කන්ද, නමුත් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා මිනිසුන් මිය ගියාම පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශය කලේ දිනේෂ් ගුණවර්ධන, මේක තමයි අපේ දේශපාලනය. ඊට පස්සේ නැවත අපි දොම්පෙ මේ වැඬේ ආරම්භ කරන්න ගියා. එයටත් විශාල විරෝධතාවයක් ආව. අද අපිට තිබෙන එකම විද්‍යාත්මක කසල රදවනය තිබෙන්නෙ දොම්පෙ. දැන් අපි පුත්තලමෙ කසල රදවනයක් සකසන්න කටයුතු කරමින් ඉන්නවා. එයටත් විරෝධතා ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙය හරියට අපි විසදා ගත්තොත් තව අවුරුදු 80කට කසල ප‍්‍රශ්ණය අපිට එන්නෙ නැහැ.

කොළඹ මල් හිටවල, තාප්ප කඩල, පරණ ගොඩනැගිිලි කඩල, පාට ගාල කොළඹ ලස්සන කරන්න බැහැ. කොළඹ යට තිබෙන මළ අපවාහන පද්ධතිය, ජල අපවාහන පද්ධතිය හා නල ජල පද්ධතිය අවුරුදු 150ක් පරණයි. මෙම මළ අපවාහන පද්දතිය මුහුදට යවන්න සලස්සලයි තිබුනෙ. දැන් මේවා අවසානයේ යන්නෙ බේරෙට. කොළඹට ජලය ගෙනෙන නල ජල ප‍්‍රවාහන පද්ධතිය කිලෝ මීටර් 940ක්, මින් ගෙනන ජල ප‍්‍රමාණයෙන් 40% ක් අතරමග දි කාන්දු වෙනවා. මේව හදන්නෙ නැතිව කොළඹ ලස්සන කරන්න මල් හිටවල හරියන්නෙ නැහැ. අපේ මූලික අවධානය යොමු වෙලා තිබෙන්නෙ මේ ගැටලූ විසදීම සදහායි. නව රජය ඒ සදහා පියවර රාශියක් ගෙන තිබෙනවා.   



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.