English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ්‍රී ලාංකීය සමාජය තුළ සංක්‍රාන්තික කාන්තාවක ලෙස
(2018-07-09)

<< Go Back
Share |   


“සංක්‍රාන්තික” කියන විශේෂණයේ අදහස ඉංග්‍රීසි භාෂාවේ Trans කියන උපසර්ගයට බොහෝ දුරට සමාන වෙනවා. උපතින් තමාට හිමිවන ලිංගික අවයව සහ මනස තුළ පවතින ස්ත්‍රී-පුරුෂ නැඹුරුව හැමවිටම එක හා සමපාත විය යුතු බවට තදබල විශ්වාසයක් කාලයක් පුරා පැවතුණත්, මේ වන විට ඒ දෙක හැම විටම සමපාත නොවන බව විද්‍යාව විසිනුත් පිළිගෙන තිබෙනවා. මේ නිසා අද වන විටත් බොහෝ රටවල මේ තත්ත්වය සමාජයීය වශයෙන් වටහා ගැනීමක් දකින්න පුළුවන්.

කොහොම වුණත් එයට ශ්‍රී ලාංකීය ජන සමාජයේ තිබෙන හුරුව කොයි වගේ ද? Roar රචක අයිෂා නසීම් තමා මේ ගැන කළ අධ්‍යයනයක් ඇසුරෙන් සැකසූ ලිපියකට පසුගිය දිනවල ඉහළ පිළිගැනීමක් ලැබුණා. ඒ ලිපිය මේ විදිහට සිංහලට පරිවර්තනය කෙරෙන්නේ අපේ සිංහල රචකයන්ටත් ඒ තොරතුරු විවෘත කිරීමක් විදිහටයි. මේ ලිපිය බොහෝ දෙනෙක් පාට කන්නාඩි දාගෙන බලන්නත්, සමාජයීය වශයෙන් අගාධයට යාමක් විදිහට හුවා දක්වන්නත් ඉඩ තිබෙන නමුත්, බොහෝවිට කතා නොකෙරෙන මෙහි මානුෂික තත්ත්වය ගැන සංවාදයක් ඇති කරන එක අපේ වගකීමක් බව Roar සලකනවා. ඔබේ ආකල්පය කුමක් වුණත් මේ ලිපිය අවසානය දක්වා කියවා බලන්න. ඔබ නොහිතන කෝණයකින් මේ දිහා බලන්න සමහර විට ඔබට පුළුවන් වේවි.

මේ ලිපියේ කියවෙන බොහෝ දේට අදාළ සංකල්ප අපේ වැඩි දෙනෙකුට නුහුරු නිසා ඒ පිළිබඳව අතිරේක පැහැදිලි කිරීම් කිහිපයකුත් සිදු කෙරෙනවා. පරිවර්තනය කරද්දී සිංහල භාෂාවේ තිබෙන ඇතැම් යෙදුම් තරමක් අවමන් සහගත වෙන්න ඉඩ තිබෙන නිසා ඒවා වෙනස් කර අලුත් ආකාරවලින් පැහැදිලි කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේ නිසා ඇතැම් යෙදුම් 100%ක් ශබ්ද කෝෂයට අනුව නිවැරදි නොවුණත් අවශ්‍ය අදහස ලබා ගැනීමට එය බාධාවක් නොවනු ඇති.

රෝහිනී* කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් පැමිණි සංක්‍රාන්තික කාන්තාවක්, නැතිනම් Transwoman කෙනෙක්. මෙහි අදහස ඇය ශාරීරිකව පිරිමියෙක් විදිහට උපත ලැබුවත්, තමාට සැබැවින්ම අවශ්‍ය වන්නේ කාන්තා ශරීරයක් යැයි හැඟෙන, වෙනත් විදිහකින් කිව්වොත් තමන් උපත ලබා තිබෙන්නේ වැරදි ශරීරය සහිතව කියා සිතන කෙනෙක් කියන එකයි. මේ නිසා ඔවුන් තමන්ගේ සිරුරේ කාන්තා ලක්ෂණ වැඩි කරගන්න විවිධ ක්‍රමවලින් උත්සාහ ගන්නවා. වයස අවුරුදු 10ක් වන විට කාන්තාවක් විදිහට ජීවත් විය යුතු බව තීරණය කළ ඇය තමන්ගේ නම සහ ශාරීරික පුරුෂ බව වෙනස් කරගන්න දීර්ඝකාලීන සායනික සහ නීතිමය ක්‍රියාවලියකට මුහුණ දී තිබෙනවා.

ඇය දැන් අසල ගම්මානයක සිටි, තමාට තරමක් දුරින් මස්සිනා කෙනෙකු වන අයෙක් සමග විවාහ වී සිටිනවා. රෝහිනීගේ මීළඟ උත්සාහය තමයි දරුවෙකු හදා වඩා ගැනීම.

ඇයට අවසානයේ තමන් ප්‍රාර්ථනා කළ ජීවිතය ලැබෙන්නට ඇති කියා සතුටු වෙන්න බව හිතුණත්, සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස්. ඇගේ අසල්වැසියන් ඇය පිරිමියෙකු වී සිට කාන්තාවක් බවට පත් වූ අයෙක් බව දන්නා නිසා නිතරම උසුළු විසුළු කරන්න පෙළඹී සිටිනවා. රෝහිනී හිතන්නේ මවක් වීම ජීවිතය වඩාත් පහසු කරන්න හේතු වේවි කියලයි. මේ නිසා ඇය මේ වන විට තමා වෙනුවෙන් දරු ගැබක් ලබා දෙන්න කැමති කාන්තාවක් සොයමින් සිටිනවා.

“මට පවතින නීතිමය ක්‍රමවලට දරුවෙක් දරුකමට අරගන්න කැමැත්තක් නැහැ. විවිධ ලිපි ලේඛනවල එයා මගේ දරුවෙක් නෙවෙයි කියලා සඳහන් වුණාම ඕපාදූප හොයන අයට ඒවා හාරා අවුස්සන්න පුළුවන්. මම ඇත්තටම හිතාගෙන ඉන්නේ ටික දවසකට ගමෙන් ඈත් වෙලා ඈත පළාත්වල ඉන්න යාළුවොත් එක්ක ජීවත් වෙන්න. ඒ අතරේ මම ගැබ් අරගෙන කියලා කටකතාවක් ගමේ පතුරවලා යවනවා. ඊට පස්සේ මට පුළුවන් දරුවෙක් එක්කම ගමට යන්න. මම දැන් හොයමින් ඉන්නේ ගැබිණියක් වෙලා ඒ දරුවා තියා ගන්න කැමති නැති කෙනෙක්ව”, ඇය පැහැදිළි කළා.

කොළඹින් බැහැර

ඇයගේ සැබෑ අනන්‍යතාව හෙළි නොකරන බවට පොරොන්දුවක් පිට අපිත් එක්ක දිගටම කතා කළ රෝහිනී කියා සිටියේ කොළඹ නගරය තුළ සංක්‍රාන්තික කාන්තාවන් වගේම අනෙක් පාර්ශ්වය විදිහට අඳින්න පළඳින්න කැමති අයවත් (Crossdressers - බොහෝ විට මෙයින් හැඟවෙන්නේ කාන්තාවන් ලෙස සැරසෙන්න කැමති පිරිමි අය ගැනයි) ප්‍රතික්ෂේප කිරීමේ ඉඩකඩ සාපේක්ෂව අඩු බවයි. රෝහිනීගේ තත්ත්වය තේරුම් ගන්නා පිරිසක් කොළඹ දී හමු වී, ඇයට උපකාර කරන්න ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඒ ඇයගේ පාසල් ජීවිතය සම්පූර්ණයෙන්ම නිමා කරලා කොළඹ නගරයට සංක්‍රමණය වුණාටත් පසුව යි.

“පාසලේදීත් මට ගැහැණු ළමයි එක්ක ඉන්නකොට පිරිමි ළමයි එක්ක ඉන්නවාට වඩා ස්වභාවික බවක් දැනුණා. මගේ ගුරුවරුන් පවා මම ගැහැණු ළමයෙක් විදිහට හැසිරෙන බව තේරුම්ගත්තා. ඔවුන් බොහෝවිට මට කතා කරෙත් මගේ නමට තරමක් සමාන ගැහැණු නමකින්. මම ඒ විදිහට ජීවත් වුණු මුල් කාලයේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අපි නව යොවුන් වයසට ආවාට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. එකට හිටපු ළමයි පවා මට උසුළු විසුළු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඔවුන්ගෙන් ඈත් වෙලා තනියෙන් ඉන්න පුරුදු වුණා”, රෝහිනී කියා සිටියා. ඇය නිසා ඇගේ පවුලේ අයට පවා නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ නිසා රෝහිනීට කොළඹ ගොස් රැකියාවක් සොයාගෙන එහිම ජීවත් වෙන්න යැයි ඔවුන් කියා තිබෙනවා.

කොළඹ නගරයට ආව ඇයට එහිදී තමයි තවත් සංක්‍රාන්තික කාන්තාවන් මුණ ගැහිලා තියෙන්නේ. කුඩා කොමියුනිකේෂන් එකක මුදල් අයකැමිවරියක් විදිහට තිබුණු රැකියාවකට අයැදුම් කළ රෝහිණීට ඒ රැකියාව ලැබුණා. කොළඹ සිටි කිසිවෙක් ඇයගේ තත්ත්වය දැන නොසිටීම එයට උදව්වක් වෙන්න ඇති කියලයි රෝහිනීගේ අදහස. ඇගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා හිතලා තියෙන්නෙත් රෝහිනී සාමාන්‍ය කාන්තාවක් කියලා විතරයි. තමන්ගේ සැබෑ තත්ත්වය විශේෂයෙන්ම හෙළිකරන්න රෝහිනීත් උනන්දු වෙලා නැහැ.

උතුරු පළාතේ ඉන්න සංක්‍රාන්තික කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ගේ සැබෑ තත්ත්වය පිටතට නොපෙන්වා ඉන්න උත්සාහ ගන්නා බව රෝහිනී කියනවා. පෞද්ගලිකත්වය තහවුරු කෙරෙන සුහද හමු වගේ දේවල්වල දී විතරයි ඔවුන් නිදහසේ තමන් සංක්‍රාන්තික කාන්තාවන් විදිහට පෙනී සිටින්නේ.

“සංක්‍රාන්තිකයෙක් කියන එක තේරුම් කරලා දුන්නත් අපේ සමාජයේ බොහෝ දෙනෙකුට ඒක වටහා ගන්න බැහැ. ඔවුන් ස්ත්‍රී-පුරුෂ භාවය කියන්නේ උපතෙන් ලැබුණු ශාරීරික දෙයක් මිසක් මානසික නැඹුරුව නිසා තීරණය වෙන දෙයක් නෙවෙයි කියලයි සළකන්නේ. උපතෙන් ලැබෙන ශාරීරික අවයවත් එක්ක අපේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වෙලා අවසන් කියන එකයි එයාලගේ අදහස”, රෝහිනී කියා සිටියා. තමන් දරුවෙක් ලබාගන්න උත්සාහ ගන්න ප්‍රධාන හේතුවත් මේ තියෙන සමාජ මතය කියන එකත් ඇය විශේෂයෙන් කියා සිටියා. දරුවෙක් ඉන්නවා නම් වැඩි දෙනෙක් ඇය “සැබෑ ගැහැනියක්” බව පිළිගනීවි කියන එකයි රෝහිනීගේ අදහස.

රිතිකා ප්‍රනාන්දු තමන්ගේ ගම් ප්‍රදේශය වන කෑගල්ලට යාමෙන් වැළකිලා ඉන්නේ සංක්‍රාන්තික කාන්තාවන්ට සිදු වන අඩන්තේට්ටම් නිසායි. අවුරුදු 10 කට ආසන්න කාලයක් පුරාවට ඇය තමන්ගේ දෙමව්පියන් හෝ පවුලේ අයව මුණ ගැසිලාවත් නැහැ. (Roar/Aisha Nazim)

කොළඹ නගරය තුළ සංක්‍රාන්තිකයන්ට පවතින ප්‍රතිරෝධය අඩුයි කියන එක රෝහිනී වගේම 38 හැවිරිදි රිතිකා ප්‍රනාන්දුත් තහවුරු කළා.

රිතිකා මීට අවුරුදු 10කට පමණ පෙර කොළඹට සංක්‍රමණය වීමෙන් පස්සේ කවදාවත් තමන්ගේ උපන් ප්‍රදේශය වන කෑගල්ලට ගිහින් නැහැ. නේවාසිකාගාරයක හැදී වැදුණු රිතිකා කාන්තාවක් වගේ හැසිරීම නිසා නොයෙක් අවස්ථාවල අඩන්තේට්ටම්වලට සහ තාඩන පීඩනවලට ලක් වී තිබෙනවා.

“හොස්ටල් එකේදී සිදුවුණු අඩන්තේට්ටම් නිසා මම හිටියේ ලොකු ආතතියකින්. නිතරම මම ජීවත් වුණේ අසතුටෙන්, කළකිරීමෙන් පිස්සු හැදිලා වගේ. මම පිරිමි ළමයෙක් වගේ හැසිරෙන්න දීර්ඝ කාලයක් පුරා ලොකු උත්සාහයක් ගත්තා. මේ දෙබිඩි ජීවිතය නිසා මම හිටියේ ලොකු පීඩාවකින්. එක සැරේ දෙවිදිහකට ජීවත් වෙන්න මට සිදු වෙලා තිබුණා.” රිතිකා කියා සිටියා.

රිතිකා කොළඹ පදිංචියට පැමිණීමෙන් පස්සේ ඇයගේ පවුලේ අය සමග තිබුණු සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. දැන් ඇය තමන්ගේ පවුලේ අයව හිතාමතාම මඟහැර සිටින්නේ ඇගේ සොයුරියගේ විවාහයට අනවශ්‍ය බලපෑමක් සිදු වේවි කියන බිය නිසායි.

ඇගේ උපන් ගම වූ කෑගල්ල ප්‍රදේශය තුළ සංක්‍රාන්තික කාන්තාවන්ට බරපතල ප්‍රතිරෝධයක් තියෙන බවයි රිතිකාගේ අදහස. මෙය උතුරු පළාත තුළ එතරම් තදින් දකින්නට නැහැ කියලත් ඇය කියා සිටියා.

“උතුරු පළාතේ සිටින දෙමළ ජනතාව කලා නිර්මාණවලට තියෙන නැඹුරුව ඉහළයි. ඔවුන් නරඹන චිත්‍රපට වගේ දේවල්වල කාන්තා චරිත සඳහා පිරිමි අය කාන්තා ඇඳුම් ඇඳගෙන සහභාගී වීම බොහෝ විට දකින්න ලැබෙනවා. මේ නිසා පිරිමි කෙනෙක් කාන්තාවක් විදිහට හැසිරීම ඔවුන්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක සංකල්පයක් නෙවෙයි”, රිතිකා කියා සිටියා. නමුත් අනෙක් ප්‍රදේශවල ස්ත්‍රී-පුරුෂ බව, ඔවුන් ජීවත් විය යුතු විදිහ වගේ දේවල් දැඩිව මුල් බැස තිබෙන නිසා එවැනි වෙනස්කම් පිළිගන්න තිබෙන්නේ ලොකු ප්‍රතිවිරෝධයක්.

කොළඹ ප්‍රදේශයේදී “පිටතට පැමිණීම”

වර්තමානයේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ බව අර්ථ දක්වනකොට සාමාන්‍යයෙන් අපි දන්නා ස්ත්‍රී පුරුෂ බව සහ විරුද්ධ ලිංගික ආකර්ෂණය හඳුන්වන්නේ straight, නැතිනම් ඍජු ලිංගිකත්වය කියලයි. මේ දේවල් පිළිබඳව වෙනස් නැඹුරු වීම් සහිත පිරිස LGBTIQ ප්‍රජාව විදිහට පොදුවේ හඳුන්වනු ලබනවා. මෙය පිළිවෙලින් කාන්තා සහ පුරුෂ සමලිංගිකත්වය, ද්විත්ව ලිංගිකත්වය, සංක්‍රාන්තික ලිංගිකත්වය, අන්තර් ලිංගිකත්වය සහ නිර්සම ලිංගිකත්වය කියන විකල්ප ලිංගික නැඹුරු වීම්වල එකතුවක් (Lesbian, Gay, Bisexual, Transgender, Intersex, Queer).

සමාජයෙන් පවතින ප්‍රතිරෝධය නිසාම බොහෝ විට මෙවැනි පිරිස් මුල් කාලයේ තමාගේ සැබෑ තත්වය සඟවා වෙනත් ප්‍රතිරූපයකින් පෙනී සිටිනවා. බොහෝ දුරට එය රහස් කුටීරයක සැඟවී සිටීමට සමාන නිසා මේ අවධිය හඳුන්වන්නේ “closeted” (කුටීරයකට වැදුණු) කාල වකවානුව කියලයි. සමාජය ප්‍රතිරෝධය අවම වීම, තමන්ගේ එඩිය වගේ කරුණු මත පදනම්ව මොවුන්ගෙන් සමහරක් දෙනා පසුකාලීනව සැබෑ තත්වයෙන් පෙනී සිටින්න උත්සාහ ගන්නවා. මෙය කුටියකින් පිටතට පැමිණීමට සමාන නිසා එම අවස්ථාව “coming out” (පිටතට පැමිණීම) කියා හඳුන්වනවා.

තමන්ගේ සැබෑ තත්ත්වය නොසඟවා විවෘතව පෙනී සිටින එක කොළඹ ප්‍රදේශයේදී වඩාත් පහසු බව තරුණ වයසේ සිටින ක්‍රියාකාරී LGBTIQ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ අදහසයි. කොළඹ ආශ්‍රිත ජන සංඛ්‍යාව සහ විවිධත්වය ඉහළ නිසාම තමන්ට වඩා වෙනස් කෙනෙකුට දක්වන සමාජ ප්‍රතිරෝධය කොළඹ ප්‍රදේශයේ ස්වාභාවිකවම අඩුවීම මෙයට තවත් හේතුවක්.

විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන රශ්මිනී* මේ අවුරුද්දේ ජනවාරි මාසයේ කාන්තාවක් ලෙස පෙනී සිටින්න, එහෙමත් නැතිනම් “පිටතට පැමිණෙන්න” තීරණය කළා. ඇයගේ පන්තියේ අනෙකුත් සාමාජිකයන් සහ ඇගේ ගුරුවරුන් ඇයව ඇගේ නව තත්ත්වයෙන් පිළිගන්නත්, ඇයට අවශ්‍ය පිටිවහල ලබා දෙන්නටත් මැලි වුණේ නැහැ. මේ නිසාම ඇයගේ සංක්‍රාන්තිය ඇයට බොහොම ධනාත්මක එකක් වුණා. පිටතදී සහ මගතොටේ දී රශ්මිනීගේ හැඩරුව ගැන වැරදියට වටහාගත් කාන්තාවන්ගෙන් යම් යම් පීඩාවන් සිදුවීම පමණයි මේ වන තුරු ඇයට ඍණාත්මක අත්දැකීමක් වී තිබෙන්නේ.

ඇයට පුරුෂයෙකුගේ සිට කාන්තාවක් බවට පත් වීමේ ක්‍රියාවලියේ දී ලොකු බාධාවන් නැති බොහොම සුමට බවක් තමයි අත්විඳින්න ලැබී තිබෙන්නේ. ඇය ගුවන් ගමන් බලපත්‍රය අලුත් කරගන්න ගිය විට එහි සිටි නිලධාරීන් පවා නිසි අවබෝධයෙන් යුතුව, ආචාරශීලීව කටයුතු කළ බව රශ්මිනී විශේෂයෙන් මතක් කළා.

“ඔවුන් ඇත්තටම බොහොම ආචාරශීලීව, අවබෝධයෙන් යුතුව කටයුතු කළා. මගේ පාස්පෝට් එකේ තිබුණේ මම පුරුෂයෙක් කියලා වුණත් මම කාන්තාවක් ලෙස පෙනී සිටි නිසා ඔවුන් මට මිස් කියා ඇමතුවා. මම එයින් තරමක් වික්ෂිප්ත වුණා, මොකද මම කාන්තාවක් ලෙස පෙනී සිටියත් පාස්පෝට් එකේ මම පුරුෂයෙක් බව සඳහන් නිසා. ඔවුන් මම කාන්තාවක් ලෙස පෙනී සිටින නිසා පාස්පෝට් එක දෙන එක ප්‍රතික්ෂේප කළා නම් කරන්නේ මොකක්ද කියලා මම දෙගිඩියාවෙන් හිටියේ. නමුත් ඔවුන් බොහොම ආචාරශීලීව එය තේරුම් ගෙන මගේ හිත හදන්න කටයුතු කළා.” රශ්මිනී කියා සිටියා.

සංක්‍රාන්තිකයන්ගේ තත්ත්වය ගැන කොළඹ ප්‍රදේශයේ පිරිසගේ පවතින අවබෝධාත්මක බව කාලයක් තිස්සේ ඉහළ යමින් පවතින බවත්, බොහෝ දෙනෙක් අද වන විට පෙර මෙන් තමන් ගැන පටු මනසකින් නොබලන බවත් සංක්‍රාන්තික ජනසමාජයේ ක්‍රියාකාරිනියක් වන දිල්ශානි* අවධාරණයෙන් කියා සිටියා. ඇයටත් තමන්ගේ සංක්‍රාන්තියේ දී විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙලා නැහැ. නමුත් මිනිසුන් හිතන පතන විදිහ, ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්න යම් උත්සාහයක් ගත යුතු බව දිල්ශානිත් පිළිගන්නවා.

“[ලිංගික සහ මානසික ස්ත්‍රී පුරුෂ නැඹුරුව මත] කෙනෙක් හොඳ ද නරක ද කියලා ලේබල් ගහන්න වෙන කෙනෙකුට හැකියාවක් නැහැ, මොකද අවසාන වශයෙන් හැම කෙනෙක්ම මනුෂ්‍යයෙක්. වෙනත් ඕනෑම අවස්ථාවකදී වගේම මම මොන වගේ කෙනෙක්ද කියන එක ගැන අනෙක් අයට අවබෝධ කරලා දෙන්න මට එතැනදීත් සිදු වෙනවා. ඒ තුළින් තමයි අදාළ සමාජය තුළ මට පිළිගැනීමක් ලැබෙන්නේ. කොහොමත් සමහර පිරිස් වෙනසක් දකින්න කැමති නැහැ, ඔවුන් වෙනසක් පිළිගන්නත් කැමති නැහැ, නමුත් ඒක තමයි ලෝක ස්වභාවය. කොළඹ ප්‍රදේශය මේ වන විට ඒ අතින් දියුණු වී තිබෙන නිසා අපිට ගැටළුවක් නැහැ”, ඇය කියා සිටියා.

කොහොම නමුත් Heart to Heart Sri Lanka එකමුතුවේ වැඩබලන විධායක අධ්‍යක්ෂකවරිය වන ටානියාට අනුව දුප්පත් පවුල්වල සාමාජිකයන්ට තවමත් “පිටතට පැමිණෙන්න”, රැකියාවක් සොයාගන්න, සහ ගෞරවනීය ලෙස සමාජයේ සැලකිල්ල ලබන්න අපහසු තත්ත්වයක් පවතිනවා.

“ඇත්තටම එය සැබෑ ලෝකයේ දී ඉතාම අපහසුයි. කොළඹ හතේ ජීවත් වෙන අයට මේක ලොකු දෙයක් නෙවෙයි. වෛද්‍යවරුන්, නීතීඥවරුන් වගේ ඉහළ වෘත්තීන්වල යෙදෙන්න මෙය කිසිසේත් බාධාවක් වෙන්නේ නැහැ. නමුත් දුප්පත් පිරිසට මෙය ඉතාම අපහසු දෙයක්, සහ ඔවුන්ට නිතරම අඩන්තේට්ටම්වලට ලක් වෙන්නත් සිදු වෙනවා. සමාජයේ ආකල්ප නිසා රැකියාවක් සොයා ගන්න එක ඔවුන්ට ඉතාම අසීරු දෙයක් බවට පත් වෙනවා. සංක්‍රාන්තිකයන් බොහෝ දෙනෙකු දිහා වැරදි විදිහට බලන්න පෙළඹෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ඔවුන් ලිංගික කර්මාන්තයේ හෝ නර්තනය වැනි රැකියාවල යෙදී සිටීමයි. නමුත් ඔවුන් ඒ තත්වයට පත් වෙන්නේ ගෞරවනීය රැකියාවක් සොයා ගන්න තිබෙන අපහසුව නිසා බවත් අප තේරුම් ගත යුතුයි”, ටානියා කියා සිටියා.

කොළඹ ප්‍රදේශයේ සැළකිය යුතු තරම් විවෘත බවක් ඇත්තටම නැති නම් සංක්‍රාන්තිකයන් බොහෝ දෙනෙකු තුළ ඒ අදහස තියෙන්නේ ඇයි කියලත් අපි ටානියාගෙන් විමසා සිටියා. ඇය කියා සිටියේ එයට හේතුව ඔවුන් බොහෝ දෙනෙක් කොළඹ දී එකමුතු වීම කියලයි.

“මේ ප්‍රදේශයේ ඔවුන්ගේ ජාල වඩාත් ක්‍රියාකාරීව පවතිනවා වගේම ඔවුන්ට [අඩන්තේට්ටමට ලක් නොවී හැසිරෙන්නට හැකි] පහසුකම් ආදියත් ඉහළයි. කොළඹ ප්‍රදේශයේත් තමන්ගේ සැබෑ තත්ත්වය සඟවාගෙන සිටින බොහෝ දෙනෙක් සිටිනවා, නමුත් ඔවුන්ට යම් අත්වැළක් විය හැකි සමාජ පද්ධතියක් මෙහි දකින්න පුළුවන්. කොහොම නමුත් අපේ පිරිස් බොහෝ දෙනෙක් එක තැනකට එකතු වී ඉන්නවා දකින්න ලැබෙන අවස්ථා නම් විරල යි. අපි කුඩා ජනගහනයක් සිටින රටක ජීවත් වෙන කුඩා ප්‍රජාවක්. මෙය කිසිසේත්ම ඇමරිකාවේ හෝ ඉන්දියාවේ වගේ තත්වයක් නෙවෙයි”, ඇය අවසාන වශයෙන් කියා සිටියා.

“Trans Visibility” කියන යෙදුමේ අදහස සංක්‍රාන්තිකයන්ට සමාජයේ සාමාන්‍ය පුරුෂයන් සහ කාන්තාවන් වගේ හැසිරෙන්න තියෙන ඉඩකඩ කියන එකයි. “සංක්‍රාන්තික දෘශ්‍යභාවය” කියා මෙය හඳුන්වන්න පුළුවන්. කාන්තාවන් සහ පුරුෂයන් සිදු කරන දේවල් කරන්න සංක්‍රාන්තිකයන්ට තිබෙන බාධාවන් ඉවත් වීම හරහා ඔවුන් විවිධ රැකියාවල, සමාජයීය අවස්ථාවල දකින්න ලැබෙන අවස්ථා ප්‍රමාණය ඉහළ යාම තමයි මෙයින් කියවන්නේ.

මෙයින් කියවෙන්නේ කොළඹ ප්‍රදේශයේ ප්‍රමාණවත් තරම් සංක්‍රාන්තික දෘශ්‍යභාවයක් තියෙනවා කියන එක නෙවෙයි; ක්‍රියාකාරීන්ට අනුව සංක්‍රාන්තික පුරුෂයන්ට තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන්න වඩාත් අපහසු තත්ත්වයක් පවතිනවා.

“ඔබේ සැබෑ තත්ත්වය සඟවාගෙන සිටීම වෙනුවට ඉන් පිටතට පැමිණීමෙන් අවසාන වශයෙන් ලොකු අස්වැසිල්ලක් හිමි වෙනවා. ඒ වන තුරු ඔබට ඔබේම අනන්‍යතාව ගැන තියෙන්නේ සැකයක්, ඔබේ සමාජ සම්බන්ධතා, ඔබේ ජීවිතය ගැන අවිනිශ්චිත බවක්. එය මොන තරම් කනස්සළු සහගත, පාළු සිතිවිල්ලක් ද කියන එක වැටහෙන්නේ ඒ තත්ත්වයට මුහුණ දුන් අයෙකුටම තමයි.” බුද්ධි කියා සිටියා.

2016 දී the Human Rights Watch ආයතනය “All Five Fingers Are Not The Same” හෙවත් “අතේ ඇඟිලි පහම එක සමාන නැහැ” නමින් වාර්තාවක් පළ කළා. එහිදීත් දෘශ්‍යභාව්‍යා අවම වීම ඇතුළුව ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික සමාජය මුහුණපාන ගැටළු කතා බහට ලක් වුණා. මේ තත්ත්වය විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉන්දියාව සහ නේපාලය වගේ වෙනත් රටවල් එක්ක බැලුවාම ඉහළ මට්ටමක පවතිනවා. මේ රටවල් දෙකේම ස්ත්‍රී සහ පුරුෂ හැර තෙවන ලිංගයකුත් නිල වශයෙන් පිළිගැනීමට ලක් වී තිබෙනවා (gender යන වචනයට යෙදෙන ස්ත්‍රී පුරුෂ බව හෝ ලිංග භේදය කියන වචන සෑම තැනකටම නොගැළපීම වගේ භාෂාමය ගැටලුත් බොහොමයි).

ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්තික ලිංගිකයෙකුගේ අත්දැකීම් මොන වගේද කියන එක ගැන තවත් තොරතුරු මෙහි සඳහන්. ඉදිරියේදී ඒ ලිපියත් පරිවර්තනය කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මේ වන තුරු කියවන්න තරම් විවෘත මනසකින් යුතු වුණා නම් ඔවුන් කෙරෙහි දක්වන ආකල්පත් හැකි නම් වඩාත් මානුෂික කරගන්න කියන එකත් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි.

කවරයේ රූපය : Flickr.com/Rohan Rengadurai

*අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා නම් වෙනස් කර ඇත..

සංස්කාරකගෙන්: අප සමග කතා බහ කළ කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත ඔවුන්ගේ අනන්‍යතාව හෙළි විය හැකි ලෙස පළ කරන ලද ඡායාරූප ඉවත් කර තිබේ.

Indrajith Gamage
උපුටා ගැනීම - https://roar.media/sinhala/main/features/fitting-in-as-a-transwoman-in-srilanka


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.