English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දැන් අපිට අඩු හිට්ලර් විතරයි...? පිලිප් දිසානායක
(2018-07-06)

<< Go Back
Share |   


දැන් අපිට අඩු හිට්ලර් විතරයි...?

(ඡායා රෑපය උපුටා ගැනීම අන්තර් ජාලයෙනි)
නැවතත් මේ රටට දැඩි පාලකයෙකු අවශ්‍ය බවත්, රාජ්‍ය පාලනය පිරිහී ඇති නිසා හැම ක්ෂේත‍්‍රයකම අර්බුද මතුවී ඇති බවත්, ඒ නිසා දැඩි විනයක් සහිත පාලනය ක‍්‍රමයක් රටට අවශ්‍ය බවත්, ඒ සදහා උතුරේ යුද්ධය අවසන් කළ ආකාරයට රට සංවර්ධනය කිරීමේ යුද්ධයක් ආරම්භ කළ යුතු බවත්, බුද්ධිමතුන් ලෙස තමන්ම හදුන්වා ගන්නා පසුගිය ආණ්ඩුව තුරුලේ ගැවසනු කීකරු කුක්කන් කිහිප දෙනෙකු පසුගිය දා තැන තැන ප‍්‍රකාශ කරමින් තිබුණි.

මේ අතර, ඉහත අදහස් තවත් පෝෂණය කරමින් එවැනි දැඩි විනයක් සහිත පාලන ක‍්‍රමයක් නොව තම විරුද්ධවාදීන් ඉතා මේලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබූ මුලූ ලෝකයම සලිත කළ හිට්ලර් පන්නයේ පැසිස්ට්වාදී ඒකාධිපති පාලන ක‍්‍රමයක් මේ රටට අවශ්‍ය බව ද ප‍්‍රකාශ විය. එම අදහස් ප‍්‍රකාශකර සිටියේ අල්කයිඩා වැනි මූලධර්මවාදී පක්ෂයක සාමාජිකයෙකු නොව සිත, කය, වචනයෙන් ශික්ෂනය වූ සියලූම සත්වයන්ට කරුණාව, දයාව, මෛති‍්‍රය පාන්න අපට කියා දුන් ජාතියේ මුර දේවතාවුන් ලෙස හඳුන්වා දෙනු ලබන අපේ නායක සංඝයා වහන්සේ නමකගේ ශී‍්‍ර මුඛයෙන් ය .

මුලූ ලෝකයම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයන් අනුගමනය කරමින් පැමිණීම නිසා අපට වඩා ගව් ගනනාවක් ඉදිරියට ඒ බොහෝ රටවල් පැමිණ තිබේ. අපේ තරුණ තරුණියන් බෝට්ටු, තෙප්පම්, කැඩිච්ච ට්‍රෝලර් වල නැගී දිවි පරදුවට තබා ඒ රටවල් වෙත සරණාගතයන් ලෙස පිටව යන්නේ මෙහි සිටීමෙන් අනාගතයක් නොමැති බව දන්නා නිසාය.

නිදහසින් පසුව දශක අටකට ආසන්න කාලයක් ගෙවා දමා ඇතත් තවම අපට අපේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන් පවා සිදු කර ගැනීමට නොහැකිව සිටී. නිදහසින් පසු කුමන්ත‍්‍රණ, කැරලි, කෝළහල ගණනාවකට අපි මුහුණ දුන් අතර රටේ සිටින ප‍්‍රධාන ජාතීන් තුනටවත් එකට සාමයෙන් සිටිය නොහැකි තත්ත්වයක් අප විසින් නිර්මාණය කර ගනු ලැබීය. එහි ප‍්‍රථිපලයක් ලෙස දශක තුනක සිවිල් යුද්ධයක පැටලී ලක්ෂ ගණනාවකගේ ජීවිතත්, කෝටි ගණනාවක දේපලත් විනාශ කර ගනු ලැබීය. මේ හේතුවෙන් සංවර්ධිත රටක් ගොඩනැගීම යන්න අපට තවදුරටත් සිහිනයක්ම වූ අතර, දුෂණ හා අපරාධයන්ගෙන් පිරුණු හා එකම රටේ ජීවත් වන අනෙකුත් ජාතීන්ට කෲර ලෙස සලකන ම්ලේච්ඡයන් වැනි පිරිසක් වසන රටක් ලෙස අප ඉතිහාස ගත විය. ඒ අතරසංවර්ධනය යන බෝඞ් ලෑල්ල යටතේ කළ සමහර මෝඩ ව්‍යාපෘති නිසා රට විශාල ණය උගුලක පැටලී අද වන විට සෑම පුරවැසියෙකුම රුපියල් ලක්ෂ පහකට වැඩි ණයකරුවෙකු බවට ද පත්කර ඇත.

මේ නරා වලෙන් ගොඩ ඒම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් වෙනුවෙන් සිහින මැවූ බොහෝ පිරිසක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය, සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, අලූත් පරපුර වැනි විවිධ නාමයන් යටතේ දශකයකට ආසන්න කාලයක් පුරා කළ කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රථිපලයක් ලෙස 2015 ජනවාරි 08 හිටපු නාරා වලෙන් ගොඩ ඒමට කුඩා විවරයක් පාදා ගන්නා ලදී. ඒ තුලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම මේ වන විට ස්ථාපිත කිරීමට හැකි වීමම නිදහසින් පසු ලබා ගත් තවත් ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැක.

මේ අතර, 2015 ඇති කරගත් ඒ වෙනස හරහා දශක හතක සිට අතපසු වූ සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන් එකවර කර ගැනීමට හැකි යැයි එදා 2015 වෙනස සඳහා දායක වූ සමහරු කල්පනා කළහ. ඒ සම්බන්ධව  ඕනවටත් වඩා වැඩි බලාපොරොත්තුවකින් පසු වූහ. එහි දී 2015 දී ගොඩනැගූ ආකෘතිය තුල ඇති දේශපාලන හා පරිපාලනමය ගැටලූ පිළිබඳව හෝ අප විසින් පත්කල තැනැත්තන්ට ඒ ස`දහා ඇති සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳවත්, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍රයන් කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව හෝ නිවැරදි තක්සේරුවක් අප වෙත නොතිබීය. පත්වූ ආණ්ඩුව අපේ සිතුවිලි අනුවම කටයුතු කරවියැයි මේ අය කල්පනා කළහ.  

ඒ අතර, එතරම් ආයාසයකින් තොරව යහපාලන රජයට කළ හැකිව තිබූ සමහර ප‍්‍රතිසංස්කරණයන් ඉටු කිරීම ප‍්‍රමාද කිරීම හෝ පැහැර හැරීමත්, අල්ලස හා දුෂණයන්ට සම්බන්ධ අයට දඩුවම් කිරීමට නොහැකි වීමත්, සමහර සිවිල් සමාජ නායකයන් හා රජයේ නායකයන් අතර පැවති සම්බන්ධතා දුර්වල කිරීමත් නිසා කළකිරීමට හා අධෛර්යට පත් වූ එම සිවිල් සමාජ කි‍්‍රයාධරයන්ගේ දැඩි විවේචනයන්ට යහපාලන රජය ගොදුරු විය.

එම විවේචනයන්ගේ හොඳ මෙන්ම නරක ප‍්‍රතිඵලයන්ද විය. එම නරක ප‍්‍රථිපල අතරට තමන් විසින් කළ සමහර විවේචනයන් 2015 පරාජිත බලවේගයන් ප‍්‍රතිසංවිධානය වීමට ද විශාල ආශීර්වාදයක් වූ අතරම, 2015 වෙනස වෙනුවෙන් කැප වූ බලවේගයන් කලකිරීමට පත්කර අකී‍්‍රය කර තබා ගැනීමටද හේතු විය. මේ හේතුවෙන් 2015 පරාජිත බලවේග වේගයෙන් නැවත කි‍්‍රයාත්මක වුයේ අප විසින් කරනු ලබන විවේචනයන්ම ඉදිරියට දැමීමෙනි. 2015 ජයග‍්‍රාහී බලවේග දැන් අපේ වැඬේ ඉවරයි, ඉතිරි සියල්ල ආණ්ඩුව බලාගනීවි යැයි සිතමින් විවේක සුවයෙන් පසු විය. මේ අතර අමාරුවෙන් දිනාගත් සමහර දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් පිළිබ`දව නිවැරදි ඇගයීමක් හෝ ඒවා සමාජ ගත කිරීමට අවශ්‍ය දේශපාලන කි‍්‍රයාකාරීත්වයක් නිර්මාණය කිරීම සිවිල් සමාජයට ම`ගහැරුනි. මේ හේතුවෙන් සිදු කළ වෙනස්කම් වැඩකට නැති දේවල් බවටත්, මෙම ප‍්‍රතිසංස්කරණයන් හේතුවෙන් කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවට මතයක් අප පත්කළ ආණ්ඩුවේ මැති ඇමතිවරුනුත්, එම පක්ෂවල පාක්ෂික සාමාජිකයිනුත් ඉදිරිපත් වී මෙය සම්පූර්ණ අසාර්ථක ආණ්ඩුවක් බවට දෙස් දෙවොල් තබනු පෙනුණි.

පක්ෂ දේශාපලන කි‍්‍රයාකාරීත්වයට වඩා ඉදිරියෙන් සිටි සිවිල් සමාජ කි‍්‍රයාකාරීත්වය පසුගිය අවුරුදු තුන තුළ කඩා වැටීමේ සම්පුර්ණ වාසිය 2015 පරාජිත බලවේගයන් විසින් මේ වන විට සම්පුර්ණයෙන් ලබා ගෙන තිබේ. මේ හේතුව නිසා එම බලවේග විසින් 2015ට පෙර තිබුනු ආණ්ඩුවටත් වඩා කෲර හා අමානුෂික හිට්ලර් පන්නයේ ආණ්ඩුවක් ඉල්ලා සිටින තත්ත්වයට පත්කර තිබේ.

මෙම තත්ත්වය වහා තේරුම් ගැනීමත්, ඊට පිළියම් යෙදීමත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වහා සිදු කළ යුතුව ඇති අතර, අප විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගූ අත්තිවාරම උදුරා දැමීමට පක්ෂ විපක්ෂ බලවේග විසින් ගන්නා සියලූ උත්සාහයන් පරාජය කළ යුතුය. දෙස් දොවොල් තියමින්, හූල්ලමින්, අඩමින්, එකිනෙකාට විවේචනය කරගනිමින් නොසිට පවතින යථාර්තය තේරුම්ගෙන 2015 ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට තැබූ පියවර තව දුරටත් ඉදිරියට තබමින්, ඊට එරෙහිව මතුවන බලවේගයන් කොන්දේසි විරහිතව පරාජය කිරීමට නැවත අප පෙරමුණ ගත යුතුව ඇත.  

පිලිප් දිසානායක
2018.06.22

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.