English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පිළිසරණ සොයා යන දෙවොළත් ඔවුන්ගේ හිස මත කඩා වැටීම
(2018-07-06)

<< Go Back

අතුරුදහන්කරවීම්, නීතිවිරෝධී ඝාතන හා වධහිංසාව ඇතුලූ අනෙකුත කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකීම සම්බන්ධව ශ්‍රී ලංකාව වාර්තා පිහිටුවා ඇති රටකි. 2015 සිට 2018 දක්වා වසර කිහිපය තුළ පමණක් අතුරුදහන්කරවීම් පිලිබදව වාර්තා නොවුවත් නීති විරෝධී ඝාතන හා වදහිංසා පිළිබදව ඇති වාර්තාවන් හි බරපතල වෙනසක් පසුගිය අවුරුදු තුන තුළ නොපෙන්වයි.

ශ්‍රී ලංකා රජය තුළ වදහිංසාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 11වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අතර, 1994 අංක 22 දරණ පනත මගින් වධහිංසාව අපරාධ වරදක් බවටත් ද පත් කර තිබේ. එමෙන්ම රජය වදහිංසාවට කිසිසේත් ඉඩ නොතබන බවත්, වධහිංසාව මුලූමනින්ම තුරන් කිරීමට කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය වී ඇති බවත් ප‍්‍රකාශ කරයි.

නමුත් මේ සියලූම තත්ත්වයන් යටතෙත් පෙර පරිදිම වදහිංසාව සිදු වේ. විශේෂයෙන් පොලිසිය සැකකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම සදහා තවමත් පාවිච්චි කරනු ලබන්නේ වධහිංසාවයි. එය පොලිසි තුළ පමණක් නොව බන්ධනාගාරය ඇතුලූ සමහර රාජ්‍ය ආයතන තුලත් පාසැල් පද්ධතිය තුලත් සුලභව පාවිච්චි කරනු ලබයි.

වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යයන්තර දිනය ජුනි 26 දිනට යෙදී තිබේ. ඊට සමගාමීව වධහිංසාව වැලැක්වීම සදහා කටයුතු කරනු ලබන ප‍්‍රධාන පෙලේ සිවිල් සංවිධානයක් වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ජුනි 23 සිට ජුනි 30 දක්වා දින වධහිංසාවට එරෙහි සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ලංකාවේ වදහිංසාව හා මානව හිමිකම් තත්වය පිළිබදව විද්වත් මත විමසුමක් ආරම්භ කර ඇත. ඒ අනුව රයිට් ටු ලයිෆ් සංවිධානයේ සුදේශ් ද සිල්වා ප‍්‍රවීන චිත‍්‍රපට අධ්යක්ෂක ප‍්‍රසන්න විතානගේ මහතා සමග පැවැත් වූ සාකච්ඡුාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.  

ඔබ අපට විශේෂ නිර්මාණ කරුවෙක්ල කවුරුත් අත නොගසන ඉතා සියුම් හා සංකීරණ තැන් ඔබ ඔබගේ නිර්මාණ හරහා සාකච්ඡාවට ගන්නවා. “උසාවිය නිහඩයි” එවැනි නිර්මාණයක්. ඇයි එහෙම නිර්මාණයක් කරන්න පෙලඹුණේ...?

 “උසාවිය නිහඩයි” චිත‍්‍රපටයට පදනම් වෙච්ච කතාව 1997 දී තමයි මම රාවය පුවත්පතේ දැක්කේ. නමුත් ඇත්තටම කියනවනම් ඒක මගේ අවධානයෙන් ගිළිහුනා. නමුත් වික්ටර් අයිවන් මහතාගේ අධිකරණයේ ස්වාධීනත්වය කරා පොත නිකුත් වෙලා ඒක කියවද්දී තමයි මට හිතුනේ මොන තරම් බිහිසුණු තත්ත්වයකද අපි ඉන්නේ කියන එක. බිහිසුණු කියන වචනය මම පැහැදිලි කළේ නැහැ. පැහැදිලි කිරීම මගේ යුතුකමක්. ඒක තමයි චිත‍්‍රපටය හදන්න හේතුව. නිදහස ලැබුවට පස්සේ ඇත්තටම ගම්වල තත්ත්වය ග‍්‍රාමීය මට්ටමින් පීඩිතයා තමන්ට ඉහළ බලධාරීන්ගෙන් පෙළෙනෙවා. කව්ද මේ බලධාරීන්.දේශපාලන බලධාරීන්.ඒ වගේම ආගමික බලාධිකාරය. මේ හැම පැත්තකින්ම පීඩිතයා පෙළෙනවා. චිත‍්‍රපටයට පසුබිම් වෙච්ච කතාවේ තියෙන්නේ අවසානයේ පිළිසරණ සොයා යන දෙවොළත් ඔවුන්ගේ හිස මත කඩා වැටීම. මීට වඩා දෙයක් නෑ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ඉරණම ගැන කියන්න. එක පැත්තකින් ඔවුන් යැපුණු කෘෂි ආර්ථිකය බිඳ වැටෙනවා. ඒ නිසාම ඔවුන්ට සිද්ධවෙලා තියෙනවා නිදහස් වෙළඳ කලාපයේ හෝ ආරක්ෂක නිලධාරී තනතුරකට යන්න. මේ එක්ක ජීවිතේ වටිනාකම් වෙනස් වෙලා තියෙනවා. මේවත් එක්ක ඔවුන් පත්වෙන තත්ත්වය සහ මේ සමාජයේ යුක්ති ධර්මය ඉෂ්ඨ නොවීම පිළිබඳ හොඳම අත්දැකීමක් මම හිතන්නේ මේ පසුබිම් වෙච්ච කතාවේ තිබුනා. මම දකින දෙයක් තමයි මගේ ජීවිත කාලේ පුරා රාජ්‍ය වැරදිකරුවන්ව ආරක්ෂා කරනවා. නැත්නම් රාජ්‍ය වරදකාරීත්වයේ කොටස් බවට පත්වෙනවා. ඒකටත් මේ කතාව හොඳම උදාහරණයක්.

පසුගිය කාලය තුළ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොවීම හා උසාවියේ නිහඩතාවය ගැන විශාල සංවාදයක් ගොඩනැගුණා. ඊට ඔබේ නිර්මාණයත් දායක වුනාද...?

 “උසාවිය නිහඩයි” චිත‍්‍රපටය ඊට පසුව ඇති වූ අධිකරණය පිළිබඳ සංවාදයට දායක වුනා. නමුත් ඒ සංවාදය තුළ මට තිබෙනවා පසුතැවිලක්. මේ පිළිබඳව හඩක් නැගුනා. සිතන පතන පුද්ගලයන් ඊට දායක වුනා. නමුත් අවසානයේ මේ කතාවත් චිත‍්‍රපටය හදලා සංවාදයත් අවසානයේදී යුක්ති ධර්මය ඉෂ්ඨ නොවීමේම කොටසක් බවට පත් වුනා.මේ චිත‍්‍රපටය නිර්මාණය කිරීම නිසා ඒ ඇති වෙච්ච සංවාදය අවම වශයෙන් මේ විපතට පත් වෙච්ච අගතියට පත් වෙච්ච කාන්තාවන් දෙදෙනාටවත් සාධාරණයක් ඉෂ්ඨ කරන්නට සමත් වුනේ නෑ. අපිට සතුටු වෙන්න තිබුනා අවම වශයෙන් චිත‍්‍රපටය නිසා අගතියට පත් කාන්තාවන්ටවත් යුක්තිය ඉටු වුනා නම්. දැන් අපිට තියෙන්නේ උසාවියේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබුනා නෛතික ක්‍රියාමාර්ග තුලින්. ඒ පිළිබඳව සංවාදයක් ඇති වුනා. ඒ සංවාදයේදී මේ රටේ ඉහළම පුද්ගලයා රටේ ජනාධිපතිවරයා පවා වික්ටර් අයිවන් මහතාට ”මොකක් නොකරත් මම මේ ගැන බලන්නම්” කියලා පොරොන්දුවක් දීලා තිබුනා රාවයේ 30 වෙනි සංවත්සරයේදි. නමුත් ඒ කිසිම දෙයක් වෙලා නෑ.”

අතුරුදහන්කරවීම් නීති විරෝධී ඝාතන හා වධහිංසාවන් අපේ රටේ සුලභයි. ඒ සම්බන්ධව වාර්තා තබා ඇති රටක් ශ්‍රී ලංකාව. ඇයි දිගින් දිගමට මෙහෙම තත්ත්වයක් රටේ පවතින්නෙ...?

“බලන්න අපි මොන විදියේ ජාතියක්ද ? අපි ගත්තොත් පුළුල් වශයෙන් මේ රටේ 1971 ඉඳලා අදවන තුරු දකුණේ තරුණ නැගිටීම් දෙකක් සිද්ධ වුනා. මේ නැගිටීම් දෙකම කෙළවර වුනේ ලේ ගැලීම්වලින්. ප‍්‍රචණ්ඩත්වයෙන් උපන් අරගල ඊටත් එහා ගිය ප‍්‍රචණ්ඩත්වයක් එය මැඩපැවැත්වීමට රජය මුදාහැරියා. ඒ මුදා හැරීම කළේ අරගල කළ පිරිසට විතරක් නෙමෙයි. සමස්ත ජනතාවටම. ප‍්‍රචණ්ඩත්වය මුදා හැරියා මුළු රටම. ප‍්‍රචණ්ඩ බවට පත්වුනා. ඒ ප‍්‍රචණ්ත්වය ජීවිතයේ  සාමාන්‍ය දෙයක් බවට පිළිගැනීමට ජනතාව පෙළඹුවා. සාමාන්‍ය ජනතාවත් එයට ආරෝපණය වුනා...

අපි දන්නවා 88/89 කාලයේ මහ මග මිනී දැකීම සාමාන්‍ය දෙයක් වුනා. මිනිසුන් කතා කරන්න පටන් ගත්තා. මෙච්චර මිනි දැක්කයි කියන එක. උතුරේ ඉඳලා රත්මලානට සොල්දාදුවෝ ගුවන් යානාවලින් ගෙනල්ලා, තුවාලකරුවන් රෝහල් කරා ගෙන යාමේදී යන ගිලන් රථ ගණන් කර කර කියන සම්ප‍්‍රදායක් තිබුනා. ඒ වගේම රූපවාහිනියේ ප‍්‍රවෘත්ති මුදා හැරියේ මිය ගිය සොල්දාදුවන්ගේ සහ ත‍්‍රස්තවාදීන්ගේ ගණන් කියමින්. හැම විටම මිය ගිය සොල්දාදුවන් අඩු සංඛ්‍යාවක් කිව්වා. හරියට ක්‍රිකට් තරගයක ලකුණු දෙනවා වගේ. මේ හැම දෙයක්ම සාමාන්‍යකරණයට පත් වුනා. අපිට එය සාමාන්‍ය දෙයක් බවට පත් වුනා. ඒ පිළිගැනීම ඊළගට අනික් සමාජ සංස්ථාවන්ට බලපානවා.

මේ රටේ පොලිසිය හිතන් ඉන්නේ සැකකරුවන්ගෙන් කටඋත්තර ගැනීමට තියෙන එකම ක‍්‍රමය ඔවුන්ව වධහිංසාවට පැමිණවීම කියලා. ඒ වගේම මේ රටේ අතුරුදහන් කරවූ අය සම්බන්ධයෙන් ගත්තොත් අපිට අතුරුදහන් කරවීම ගැන ඉතිහාසයක් තියෙනවා. නමුත් අතුරුදහන් කරවූ අයට දඩුවම් දුන් ඉතිහාසයක් නෑ. අතුරුදහන්කරවීම වැරදි අමානුෂික ක්‍රියාවක් කියලා මේ රටේ සහතික කර නැහැ. ඊට යුක්තිය ඉටු කරන්නට කිසිම රජයක් සමත් වෙලා නැහැ. ඒ හැමෝම ප‍්‍රචණ්ත්වයට මුහුණ දෙන්න කියලා ගෙනාපු ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු සියළුම පනත් සිවිල් වැසියන්ටත් බලපානවා. ඔවුන්ගේ සිවිල් කටයුතුවලට බලපානවා. මෙන්න මේ තත්ත්වයේදී අපි ගත්තෝත් ප‍්‍රධාන සිදුවීම් දෙක මගහැරලා අපිට මේ ගැන කතා කරන්න බෑ. ප‍්‍රචණ්ත්වය සාමාන්‍ය කිරීම, වධහිංසාව සාමාන්‍යකරණය කිරීම නොසලකා කතා කරන්න බෑ.

ඒ වගේම මේ සම්බන්ධයෙන් ගත්තොත් අපි හැමදාම මම හිතන්නේ පැන නැගිච්ච ප‍්‍රශ්ණ? ඇයි 88/89 කාලයේ,දී මේ ප‍්‍රශ්නය පැන නැගුණේ ? ඇයි 71 පැන නැගුණේ ? ගැන පසු විපරමක් කරන්න සමාජයවත්, දේශපාලන බල අධිකාරියවත් සමත් වුනේ නෑ. දේශපාලන බලධිකාරියට වුවමනාවක් තිබුනේ නෑ.සාමාන්‍ය සිවිල් ජනතාවට කරන්න දෙයක් නෑ. තමන්ගේ මියැදුනු අය, අතුරුදහන් වුනු අය, වධහිංසාවට ලක් වෙච්ච අය, සම්බන්ධයෙන් තමන්ව ඒ වේදනාව ගිලගෙන ජීවත්වෙනවා ඇරෙන්න, වෙන කිසිම දෙයක් සිදුවුනේ නෑ. අපි සේරම ජාතියක් හැටියට ගත්තම, පාපිස්ස යටට කුණු ටික තල්ලූ කරලා එන ජාතියක් වගේ ජීවත් වෙනවා.

අපි රාජ්‍යය ස්වභාවය හැටියට ගත්තොත් කරුණු දෙකක් තියෙනවා. රාජ්‍යම වරදකාරිත්වයේ කොටසක් (Complicity). 83 බන්ධනාගාර රැඳවියන් ඝාතනය සහ පසුගිය කාලයේ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය මීට හොඳ නිදසුන්. රජය මෙහිදී වරදකාරිත්වයේම කොටසක්. දෙවැන්න ( Impunity) වරදකරපු කිසිම කෙනෙකුට ඒ වරදට දඩුවම් ලැබෙන්නේ නැහැ. ඔවුන් නිවැරදිකරුවන් බවට පත් වෙනවා. මේ නිසා  ඕනම කෙනෙක්ව අතුරුදහන් කරලා,  ඕනම දෙයක් කරලා, කෙනෙක්ව වධහිංසාවට පත් කරලා, කෙනෙකුට යහතින් ඉන්න පුළුවන් කියලා පෙනෙනවා. රාජ්‍යය ඊට රුකුල් දීලා තියෙනවා. රාජ්‍යය එහිම කොටසක් බවට පත් වෙලා තියෙනවා. 

අතුරුදහන්කරවීම්, නීති විරෝධී ඝාතන හා වධහිංසාවන් සම්බන්ධව අපි වාර්තා තබපු රටක්. පසුගිය අවුරුදු තුනේ අතුරුදහන්වීම් වාර්තා නොවුනත්, අනෙක් සිදුවීම් වල වෙනසක් නැහැ. නමුත් 2015 ජනවාරි 08 න් පසුව පැවති තත්ත්වයේ බරපතල වෙනසක් බලාපොරොත්තු වුනා නේද...?

මම පෞද්ගලිකව විස්වාස කරනවා 2015 ජනවාරි වෙනස ඇති කරන්න මුල් වුනු මූනත්තහඩු වලට වඩා එයට අනුබල සැපයූ, අනුග‍්‍රහය සැපයූ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අභිලාෂයන් ඊට වඩා වෙනස්. ඔවුන්ගේ අභිලාෂයන් වුයේ ස්වභාවික යුක්ති ධර්මයට ඉඩදෙනවා කියන එක. අතුරුදහන් වීම කියන වචනය ශබ්දකෝෂයෙන් ඉවත් කරනවා කියන එක. ඒ වගේම අතුරුදහන් වූ අයට, වින්දිතයන්ට, ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ කරනවා කියන එක. එවැනි තත්ත්වයක් නැවත නිර්මාණය නොකරනවාය කියන එක. මේ පිළිබඳව සංවාදයක් ඇති වුනා. මානව හිමිකම් ව්‍යාපාරවල ඉන්න පිරිස් ඊට මුල් වුනා. ඔවුන් නියෝජනය කරේ ජනතාවගේ අභිලාෂයන්.

අපි අර කලින් කියපු ඉතිහාසයෙන් ගැලවීමේ වුවමනාවක් තිබුනා. නමුත් අපිට අහන්න වෙලා තියෙනවා ඒ දේ සිද්ධ වෙලා තියෙනවද කියලා. සංවාදය පමණයි. ජයග‍්‍රහණය වුනේ එයයි. මෙහිදී ඉඩ ප‍්‍රස්ථාවක් ඇති වුනා අතුරුදහන් කිරීම අමානුෂීක දෙයක් කියන දෙය. ඒක මම හිතන්නේ වැදගත් දෙයක්. මිනිසාගේ මූලික අයිතීන් වැදගත් දෙයක්. මිනිසාගේ මූලික අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කලා. එය උල්ලංඝනය කළ නොහැකි අනුලංගනීය දෙයක් කියන එක ගැන සංවාදයක් ඇති වුනා. එය බොරුවක් නෙමෙයි. එයට පැවැත්මක් ලබා දීමට නම් එය සමාජයේ ස්ථාවර කිරීමට නම් නෛතික පද්ධතීන් බිහි විය යුතුයි. අපි එය කිරීමට සමර්ථවෙලා තියෙනවද ? එය එසේ කිරීමට ප‍්‍රමාණවත් අයුරින් සමර්ථවී නැති බව මගේ හැගීමයි. එසේ වූවා නම් නඩු නැතිව රැඳවියන් සිටිය නොහැකියි. ලසන්ත ඝාතනය හා ප‍්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම දෙස බැලීමේදී අප කොපමණ දුර මේවා වල ඉදිරියට ගොස් සිටිනවද?

කිසියම් තැනකින් මේ සියල්ල සිරවෙනවා. තමන්ගේ දේශපාලන බල අවශ්‍යතා අනුව බල පදනමේ ඉහළම සිටින පුද්ගලයන් මේ දේවල් හෙළිදරව් කර, වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම ප‍්‍රමාද කරමින්, ඊට බලපෑම් කරමින්, මේ ක්‍රියාවලිය ඔද්දල් කරමින් සිටිනවා. ඒ නිසා මේ රටේ ජනතාවට නැවතත් විශ්වාසය නැතිවෙමින් යනවා,අපි බලාපොරොත්තුවූ වෙනස සම්බන්ධයෙන්. ඒක භයානක තත්ත්වයක්. නමුත් මම විශ්වාස කරන්නේ කුමන තත්ත්වයක් යටතේ වුවත්, අපට කළ හැක්කේ මේ මානුෂීය අයිතීන්, මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමයි. මෙතනදී කළකිරීමක් ඇති කරගෙන ”නෑ නෑ මේක වැඩක් නෑ” කියන එක නෙමෙයි. රාජ්‍යය මේ සඳහා ඔවුන්ට නියම වුවමනාවක් නැති බව ඔප්පු කර සිටිනවා. ඒ තත්ත්වයන් ඇති වන්නේ තමන්ගේ බල අවශ්‍යයතා වෙනුවෙන්. එය අපි මේ රටේ ජනතාවට පැහැදිලි කළ යුතුයි. එය ඉදිරියට ගෙන යන කි‍්‍රයාමාර්ගයක් මිස නවතන හෝ එය ආපස්සට ගන්න ක්‍රියාමාර්ගයක් නොවිය යුතුයි.

අධිකරණ නොවන ක්‍රියා මාර්ගයන් හරහා හෝ දඩුවම් ලබා දිය යුතු බවට මතයක් සමාජ ගත වී තිබෙනවා නේද?

බොහෝ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුවෙන්නේ නැහැ. ඔවුන් ඉන් මීදී යනවා. සමහර සැකකරුවන් නීතියේ රැහැනට ගෙන යනවා වෙනුවට ඔහුව පොලිසියෙන් අල්ලන්න යන අවස්ථාවේ දී ඇති වූවා යැයි කියන ගැටුමකදී විවිධ අයුරින් මිය යනවා. පොලිස් වෙඩි පහරින් හෝ සැකකරු විසින් වෙඩි තබාගත්තා කියන දේ අපට නිතර අහන්න ලැබෙනවා. මේ පිළිබදව කිසිදු ප‍්‍රශ්ණ කිරීමක් නැහැ. සියලූම දෙනා එය පිළිගන්නවා. සමාජය එතනට පත්වෙලා තියෙන්නේ ඇයි? අපරාධකරුවන්ට නීතියෙන් බේරී සිටීමට හැකි බව දන්න නිසා සමාජයේ සමහර කොටස්  විශ්වාස කරනවා, මොන විදියට හරි, මරලා දාල හරි මේ ප‍්‍රශ්ණ විසදිය යුතුය කියලා. මම අර කලින් කිව්ව අවුරුදු ගානක් තිස්සෙ දැකපු දේවල් එක්ක මේ විදියට හිතන් පුරුදු වෙලා. නීතියේ ආධිපත්‍යය ගිලිහීමේ ප‍්‍රකාශනයක් හා ප‍්‍රචණ්ත්වයේම ප‍්‍රකාශනයක් හැටියට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. මනුෂ්‍ය ඝාතනය, වධදීම සාධාරණීකරණය කරන්න හදන්නේ ඒ නිසයි. නමුත් එය කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකියි.

වත්තල ජෙරාඩ් පෙරේරාගේ සිද්ධිය ගන්න. වත්තල පොලීසිය විසින් ඔහුව වරදවා හඳුනා ගැනීම නිසා අත්අඩංගුවට ගෙන සිහිසුන් වෙනතුරු පහර දුන්නා. එහෙම පහර දෙන්න අයිතියක් තියෙනවද? ඔහු නෙමෙයි එම අපරාධය කළේ. මේ පහර දීම කරන්න පොලිසියට තියෙන අයිතිය කුමක්ද? පොලිසියටත් ඉහළින් තිබෙන පීඩනය නිසා ඉක්මනින් වරදකාරයෙක්ව පෙන්වීමේ වුවමනාවක් තිබෙනවා. අහිංසකයෙක්ව වරදකාරයෙක් හැටියට ඉදිරිපත් කරනවා. මේක ඉඩ දිය යුතු දෙයක් නෙමෙයි. කොහෙත්ම අනුමත කළ දෙයකුත් නෙමෙයි. පොලිසිය එසේ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.

පොලිසියට මේ සම්බන්ධව අවශ්‍යය අධ්‍යාපනය හා පුහුණුව දීලා නෑ. පහල පොලිස් නිලධාරියාට ඉහලින් පීඩනයක් ගෙනල්ලා තියෙනවා කොහෙන් හරි වරදකාරයෙක්ව ඉක්මනින් ඉදිරිපත් කරන්න. මේ තත්ත්වය වලක්වාලීමට අප නීතිය ඉහල ඔසවා තැබිය යුතුයි. නීතිය සාමාන කෙනෙකුට අතට ගැනීමට නොහැකි සේම නීතිය අභිබවා යාමට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියටත් නොහැකි විය යුතුයි. ඒ ගැන සමාජය දැනුවත් කළ යුතුයි. 

 

සාකච්ඡා කොට සකස් කළේ

සුදේශ් ද සිල්වා

Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.