English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අපරාධ විමර්ශනයේදී සිදුවන වධහිංසාව - ලක්ෂාන් ප‍්‍රනාන්දු
(2018-07-05)

<< Go Back
Share |   


පොලීසියෙන් ඇල්ලූවොත් අනිවාර්යෙන්ම කන්න වෙනවා තමයි,. මේ ප‍්‍රකාශය ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් බහුතර ජනතාවගේ පොදු අදහස නිරූපණය කරන්නකි. අපරාධ විමර්ශන ක‍්‍රියාවලියේදී ශාරීරික වධහිංසා පැමිණ වීම ලංකාවේ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වල මුල් බැස ගත් පුරුද්දක් වී හමාරය. අනෙක් අතට නිදසුනක් ගෙන බලන විට මංකොල්ලකෑමක්, මිනි මැරුමක් සම්බන්ධයෙන් වැනි බරපතල අපරාධයකට සැක පිට අත් අඩංගුවට ගත් අයෙකු නම් , ඕකුන්ට ගැහැව්වට කමක් නෑ, වැනි මතයක් සමාජය තුළින් ඉදිරිපත් වන බවක් ද නිරීක්ෂණය වේ.

කෙසේ වුවද වධහිංසාව යනු දඩුවම් පැමිණවීමේ යල් පැන ගිය එක්තරා ක‍්‍රමවේදයකි. අනෙක් අතට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමකි. අපරාධ විමර්ශනය කිරීමේදී දඩුවම් පැමිණවීමට පොලීසියට හෝ රජයේ වෙනත් ආරක්ෂක අංශයන් වෙත බලයක් ලැබී නැත. ලංකාවේ නීතිය යටතේ දඩුවම් නියම කිරීමේ බලය පවරා ඇත්තේ අධිකරණය වෙතයි. නමුත් අධිකරණය සතු දඩුවම් නියම කිරීමේ බලය රජයේ ආරක්ෂක අංශය තමන් යටතට ගනී නම් එතන පවතින්නේ අවනීතියයි. එලෙස අවනීතිය රජ කරන පරිසරයක් තුළින් යුක්තිය, සාධාරණත්වය කිසිසේත් බලාපොරොත්තුවිය නොහැක. මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට පහරදීම , වධහිංසා පැමිණවීම මිලේච්ඡ හා පිළිකුල් සහගත එමෙන්ම මනුෂ්‍ය වර්ගයාට එරෙහි ක‍්‍රියාවක් බවට ශිෂ්ඨ සමාජය විසින් පිළිගෙන එවැනි ක‍්‍රියාවන් වැළැක්වීම සඳහා නීති රීති දියුණු ලෝකය විසින් සම්පාදනය කරනු ලැබීය. ශ‍්‍රී ලංකාවත් එම නීති පිළිගෙන අපගේ දේශීය නීති රාමුවට එකතු කරනු ලැබූවත්, එවැනි ක‍්‍රියාවන් මිලේච්ඡ හා අපරාධ ගණයට වැටෙන්නේ මන්ද යන්න පිළිබඳව සංවාදයක් හෝ සාකච්ඡවක් අප සමාජය තුළ ප‍්‍රබල අයුරින් මේ වන තුරු මතුවී නොමැත.

ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතීඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරන පරිදි පොලිස් ස්ථානයක් තුළ සිදුවන  ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් වහාම වගකිව යුතු නිලධාරියා වන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාය. ස්ථානභාර නිලධාරියා විසින් පොලිස් ස්ථානයක දෛනික රාජකාරි අධීක්ෂණය කරන විට එම පොලිස් ස්ථානයේ ක‍්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යයි. සිය බල ප‍්‍රදේශය තුළ පවතින සෑම පොලිස් ස්ථානයක්ම පොලිස් දෙපාර්තමේන්තුවේ නීති සංග‍්‍රහය අනුගමනය කරන බවට ඔහු වගබලා ගත යුතුය. මෙම නීති සංග‍්‍රහය තුළ අධීක්ෂණය කිරීම සඳහා ප‍්‍රමිතිගත කාර්යපටිපාටි ගණනාවක් අඩංගු වේ. නිදසුනක් ලෙස ලිපිගොනු සමාලෝචනය, අත් අඩංගුවට ගැනීම හා රඳවාතබාගැනීම සම්බන්ධයෙන් එකී කාර්යපටිපාටීන් අනුගමනය කරන බවට සහතික වීම ස්ථානභාර නිලධාරියාගේ රාජකාරි වලට ඇතුලත් වේ. නමුත් මේවා කොතෙකුත් දුරට ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වනවාද යන්න ගැටළු සහගතය. 1998 සහ 2011 අතර කාල සීමාව තුළ ආසියානු මානව හිමිකම් කොමිසම විසින් ලංකාවේ පොලිස් වධහිංසාව පිළිබඳ සිද්ධි 1500ක වාර්තාවක් සම්පාදනය කර තිබේ. මේ සුවිශේෂී වාර්තාව මගින් ඒ අතරින් බරපතලම නීතිවිරෝධී ඝාතන සහ වධහිංසා සිද්ධි 385ක් පහත සංක්ෂිප්ත කර ඇත.

මේ වාර්තාවේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ මීට අදාළ සියළුම වින්දිතයින් පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට අහඹු ලෙස තෝරාගෙන ඉන්පසු ප‍්‍රබන්ධ කළ බොරු චෝදනා මත රැුඳවීමයි. මෙකී බොරු චෝදනා සඳහා පාපොච්චාරණ ලබා ගැනීමට වධහිංසාව අමානුෂික ලෙස යොදා ගැනීම මෙහිදී සිදු වී තිබේ. මීට අමතරව ලංකාවේ මානව හිමිකම් ක්ෂේත‍්‍රය තුළ ක‍්‍රියාකාරී සිවිල් සංවිධානයක් වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරන පරිදි 2010 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලපරිච්ෙඡ්දය තුළ රජයේ ආරක්ෂක අංශය මගින් සිදු කර ඇති නීතිවිරෝධි ඝාතන, වධහිංසා සිදුකිරීම්, අත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීම ඇතුළුව සමස්තයක් වශයෙන් පැමිණිලි 163ක ප‍්‍රමාණයක් තමන් වෙත වාර්ථා වී තිබේ. මේ අතුරින් සිද්ධීන් 29ක ප‍්‍රමාණයක් පොලිස් අත් අඩංගුවේ සිටියදී සිදු වූ නීතිවිරෝධී ඝාතන සහ සිද්ධීන් 62ක ප‍්‍රමාණයක් අමානුෂික ලෙස වධහිංසාවට ලක් කිරීම් වීම සැලකිය යුතු තත්වයකි. එක් අතකින් බැලීමේදී සාමාන්‍යයෙන් පුදගලයෙකුට තවත් පුද්ගලයෙකු වෙත වධහිංසා පැමිණවීම සාමාන්‍යය නිරෝගී මානසික තත්වයක් යටතේ කිසිසේත්ම සිදු කළ හැක්කක් නොවේ. එසේ නම් මෙවැනි දේ විකෘති මානසික තත්වයන් යටතේ සිදු කරන ක‍්‍රියා බව නිතැතින්ම ඉස්මතු වී පෙනෙන කරුණකි. ඒ අනුව බැලීමේදී මතු වන ප‍්‍රශ්නය වන්නේ ලංකාවේ පොලීසිය ඇතුළු අපරාධ විමර්ශන අංශයේ සේවය කරන්නේ විකෘති මානසික පිරිසක්ද යන්නයි.

ලංකාවේ අපරාධ විමර්ශන පද්ධතිය තුළ සැකකරුවන්ගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණ ගැනීම දිරිගන්වන ආකාරයේ සාධක කිහිපයක් පවතී. පලමුව, අපරාධ විමර්ශන ක‍්‍රියාවලිය තුළ සැකකරුවන්ගේ පාපොච්චාරණවලට විශාල තැනක් ලැබී තිබේ. පොලිස් විමර්ශනවල ප‍්‍රාථමික මෙවලම ලෙස පෙනෙන්නට තිබෙන්නේ සැකකරුවන්ගෙන් ලබාගන්නා බලහත්කාරී පාපොච්චාරණයන්ය. දෙවනුව, මූලික විමර්ශනයක් සිදුකොට සැකකරු අත්අඩංගුවට ගන්නවා වෙනුවට සැකකරු මුලින් අත්අඩංගුවට ගෙන පසුව විමර්ශන කටයුතු මෙහෙයවීමේ පුරුද්දක් ලංකාවේ පොලිසිය අනුගමනය කරයි. මෙය ද වධහිංසා පමුණුවා තොරතුරු දැනගැනීමට පොලිසිය මෙහෙයවෙන සාධකයකි. ලංකාවේ අපරාධ නීතිය අනුව සහ සාක්ෂි නීතිය අනුව එලෙස ලබාගන්නා තොරතුරු අධිකරණයේ දී සාක්ෂි ලෙස පිළි නොගැනේ. කෙසේ වූවද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගන්නා පාපොච්චාරණ අධිකරණයේ දී සාක්ෂි ලෙස පිළිගනු ලබයි. ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් කරනු ලබන විමර්ශනවලදී සැකකරුවන්ට වධ දීම බහුල ලෙස සිදු වේ.

යුද්ධය පැවැති කාලයට වඩා එවැනි සිදුවීම්වල යම් අඩුවීමක් වර්තමානයේ දී දැකගැනීමට පුළුවන් වූව ද අවාසනාවකට මෙන් ශාරීරීක හා මානසික වධදීම් තවමත් ලංකාවේ පොලිසිය විසින් යොදාගනු ලැබේ. මේ කවර අවස්ථාවක දී වුව සිදුවන්නේ සැකකරු වධයට පාත‍්‍ර වීමය. මිට මොලවා පහර දීම, කම්මුල් පහර දීම, පොළු හා ක‍්‍රිකට් පිති ආදියෙන් පහර දීම ආදිය බහුල වශයෙන් යොදාගන්නා වධහිංසා ක‍්‍රමවේදයන්ය. මෙවැනි පහරදීම් විසින් ප‍්‍රකටව පෙනෙන තුවාල ශරීරයේ ඇති නොකරයි. ඇතැම් අවස්ථාවල මීට වඩා දරුණු වධහිංසක ක‍්‍රමවේදද යොදාගනු ලැබ ඇත. පොලූ හා වයර් පාවිච්චි කොට යටිපතුලට පහර දීම, රැුඳවියන්ගේ හිස පහලට එල්ලෙන පරිදි වහලයේ එල්ලා පහර දීම, භූමිතෙල්වල පෙගවූ ප්ලාස්ටික් මලූ තුළට රැුඳවියන්ගේ හිස ඇතුළු කොට හුස්ම ගන්නා ලෙස බල කිරීම, මුහුණේ හා ඇස්වල මිරිස් කුඩු තැවරීම, ලිංගික අවයවවල මිරිස් කුඩු හා ලූණු ආදී දැවිල්ල ඇතිවෙන ද‍්‍රව්‍ය ඇතිල්ලීම හා ලිංගික අවයවවලට පහර දීම ආදිය මෙබඳු වධහිංසක ක‍්‍රමවේදවලට ඇතුළත්ය. ඇතැම් අවස්ථාවල මෙබඳු වධදීම් කෙටි කාලයක් සඳහා සිදුවූවත් තවත් ඇතැම් අවස්ථාවල දින ගණන් හා ඇතැම් විට සති ගණන් පවා මෙවැනි වධදීම්වලට මුහුණ දීමට රැුඳවියන්ට සිදු වී තිබේ. නිදසුනක් ලෙස ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (අ) වගන්තිය අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් රැුඳවියන් රක්ෂිත බන්ධනාගාරගත නොකොට ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රැුඳවුම් ස්ථානවල රඳවා තබා ගත හැක. වධහිංසාවලට බහුල වශයෙන් මෙබඳු රැුඳවියන් ගොදුරු වන්නේ එහිදීය.

වධහිංසාව, නීතිවිරෝධී ඝාතන ඇතුළු සියළු මානව හිමිකම් උල්ලංඝනය වන ක‍්‍රියා වලින් තොරව විධිමත් කාර්යක්ෂම අපරාධ විමර්ශන ක‍්‍රමවේදයක් පොලිස් සේවය ඇතුළු ආරක්ෂක අංශය තුළ ගොඩනැංවීමට නම් වර්තමාන ලෝකයේ දියුණුවත් සමගම පොලිස් සේවයේ ද දියුණුවක් අත්‍යවශ්‍යය වේ. ඒ සඳහා යාවත්කාලීන කරනු ලබන පුහුණු ක‍්‍රමවේදයන් ප‍්‍රධාන තැනක් ගනී. සමාජයේ සෑම පුද්ගලයෙක්ම තාක්ෂණික දැනුම උපරිමයෙන් භාවිත කරන බැවින් අපරාධකරුවන් ද එසේ දියුණු තාක්ෂණයක් තමන්ගේ කටයුතු සඳහා යොදා ගනී. එසේ හෙයින් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශය අපරාධ මර්ධනය සහ විමර්ශනය සඳහා දියුණු තාක්ෂණය යොදා ගත යුතුමය. එහෙත් ලංකාව තුළ එවැනි ක‍්‍රමවේදයක් දක්නට නොලැබේ. පොලිස් පරීක්ෂකවරුන්ට අපරාධ පරීක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් තිබිය යුතුය.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ සිට අපරාධ පරීක්ෂණයට අදාළ සෑම කටයුත්තක් සඳහාම දියුණු තාක්ෂණික ක‍්‍රම යොදා ගත හැකි මුත් ලංකාවේ තවදුරටත් යල් පැන ගිය ක‍්‍රමවේදයන්ම ක‍්‍රියාත්මක වීම සෝචනීය තත්වයකි. එබැවින් මේ වෙනුවෙන් ඊට අදාළ නවීන තාක්ෂණික ක‍්‍රමවේද, පුහුණුව හා යටිතල පහසුකම් ලබා දීම සිදු කළ යුතුය. රජය ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ කටයුතු පිළිබඳ නව නීති හඳුන්වාදීමට ක‍්‍රියාකරන බවට තොරතුරු ඇත. මෙලෙස හඳුන්වා දෙන නීති අවශ්‍යයෙන්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම ආදියට එරෙහි ප‍්‍රතිපාදන ඇතුළත් කරගත යුතු අතර සැකකරුවන්ට නීතිඥ සහය ලබාගැනීමට තිබෙන අයිතිය හා ආරක්ෂක අංශවල කටයුතු අධිකරණ සුපරීක්ෂණයට ලක්කිරීමට අදාළ විධිවිධාන අන්තර්ගත කරගත යුතුය. මේවාට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදනය කොට ක‍්‍රියාත්මක කිරීම රජය සතු වගකීමකි. රජය එම වගකීම් ක‍්‍රියාවට නංවන තෙක් වධහිංසාව, නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය වීම් අපරාධ විමර්ශන ක‍්‍රියාවලිය තුළ ආරක්ෂක අංශයෙන් සිදු නොවීම තවදුරටත් සිහිනයක්ම පමණි.

ලක්ෂාන් ප‍්‍රනාන්දු



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.