English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පසුගිය අවුරුදු තුන තුල මානව හිමිකම් කේෂ්ත‍්‍රයේ ඇගට දැනෙන වෙනසක් වෙලා නැහැ - පිලිප් දිසානායක
(2018-07-05)

<< Go Back
Share |   


2015 සිට 2018 දක්වා වූ පසුගිය අවුරුදු තුන පිළිබදව ආපසු හැරී බැලූවොත් විශේෂයෙන්ම මානව හිමිකම් කේෂ්ත‍්‍රය තුළ ඇගට දැනෙන, ඇහැට පෙනෙන වෙනසක් වුණේ නෑ. වෙනදා වගේම මේ රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩවීම සිද්ධ වෙනවා. එහි බරපතල වෙනසක් වෙලා නෑ. අඩු වීමක් වෙලා නෑ. මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරපු සංඛ්‍යා ලේඛන අනුව ගත්තත් විශේෂයෙන් පොලිස් වධහිංසා පිලිබද පැමිණිලි 2013, 2014 ට සාපේක්ෂව 2015 හා 2016 ලොකු වෙනසක් නෑ. ඒවගේම නීති විරෝධී ඝාතන සිදුවීම් හිත් ලොකු වෙනසක් වෙලා නෑ. අපට මේ වන විට ලැබී ඇති තොරතුරු මත පහුගිය අවුරුදු 3ට නීති විරෝධී ඝාතන 17ක් වාර්තා වෙලා තියනවා. මින් 11ක් වාර්තා වී තිබෙන්නෙ 2017 අවුරුද්දේ. මේ ප‍්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. ඒකෙන් පේන දෙයක් තමයි ලංකාවේ කොච්චර මේ ගැන කතා කළත්, නීති රිති සම්පාදනය කළත්, ජාත්‍යන්තර සම්මුති වලට එළඹුනත්, ප‍්‍රායෝගික භාවිතයේ බරපතල වෙනසක් තවමත් වෙලා නෑ කියන එක.

නමුත්, මේ රටේ ප‍්‍රගතිශීලීන් හා සිවිල් සමාජ නියෝජිතයින් කාලයක සිට ඉල්ලා සිටි ඉතා වැදගත් නීතිමය ප‍්‍රතිසංස්කරණ කිහිපයක් පසුගිය අවුරුදු 3න තුළ සිදු වීම ඉතා වැදගත් මෙන්ම එය සුබවාදී පියවරක්, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත, තොරතුරු දැන ගැනීමේ පනත, තොරතුරු අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගැනීම, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි වෛකල්පිත ප්‍රොටෝකෝලයට අත්සන් තැබීම හා අතුරුදහන්වුවන්ගේ කාර්යාල ස්ථාපිත කිරීමත්, 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා  ස්වාධීන කොමිිෂන් සභාවන්් ස්ථාපිත කර එය ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීමත් නව රජය ගන්නා ලැබූ ඉතා වැදගත් පියවරයන්. 

එමෙන්ම, රජය විසින්  2017-2021 වසර සදහා ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සදහා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සකස් කිරීමත් සුභවාදී කටයුත්තක්, මෙම පස්අවුරුදු සැලැස්ම තුළින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික, සාමජ හා සංස්කෘතික අයිතිවාසිකම්, කාන්තා, ළමා, කම්කරු, සංක‍්‍රමණික සේවක, විශේෂ අව්‍යශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, පරිසර අයිතිවාසිකම් ඇතුලූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 10 ක් පිළිබදව කි‍්‍රයාකාරී සැලැසුම් ඉදිරිපත් කර තිබෙනවා. මින් එක් පරිඡේදයක් වදහිංසාව වැලැක්වීම සම්බන්ධයෙන් ඉතා වැදගත් සැලැසුම් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙම සැලැස්ම පසුගිය රජය ඉදිරිපත් කළ සැලැස්ම මෙන් කුණු කූඩයට වැටෙන්නට නොදී සත්‍ය ලෙසම කි‍්‍රයාවට නැන්වීම සදහා කටයුතු කළ යුතුයි. මම හිතන්නේ මේ සදහා මානව හිමිකම් කොමිෂන් සභාවටත් වගකීමක් තිබෙනවා. සිවිල් සමාජය මෙම කටයුත්තට සහාය දී මෙය කි‍්‍රයාත්මක කිරීමට බලපෑම් කීරීමත්, අධීක්ෂණය කිරීමත් සිදු කළ යුතුයි. 

රජය නව නීති ගෙන එන අතරේ මීට අවුරුදු 24කට පෙර වදහිංසාව අපරාධ වරදක් කිරීම සදහා ගෙන එනු ලැබූ 1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි පනත කි‍්‍රයාත්මක වීම මේ වන විට සම්පුර්ණයෙන් අකී‍්‍රය වී ඇති බවයි පෙන්නෙ. පසුගිය අවුරුදු 24 තුළ මෙම පනත යටතේ කොපමණ නඩු ප‍්‍රමාණයක් ගොනුකර තිබේ ද යන්න පවා රහසක්, ඒ පිළිබදව මානව හිමිකම් කොමිසමත් විස්තර ඉල්ලා ඇති බව ඔවුන් 2016 කැට් කමිටුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන් වී තිබුනා. දන්න තරමින් තවමත් ඒ තොරතුරු ලැබී නැහැ. සිවිල් සංවිධාන කිහිපයක් මේ ගැන නීතිපති දෙපර්තමේන්තුව විමසා ඇතත් එම තොරතුරු මෙතෙක් ලබා දී නැහැ. රයිට් ටු ලයිෆ් සංවිධානයත් තොරතුරු පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබදව නැවත විමසීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ පණත යටතේ නඩු පැවරීම් සම්බන්ධව දැනට ඇති එකම තොරතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අයිතිය වෙබ් අඩවියට පැවසු තොරතුරු පමණයි. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිල ප‍්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ. අජිත් රෝහන මහතාගේ ප‍්‍රකාශය අනුව මෙම පනත යටතේ පසුගිය අවුරුදු 24 තුළ නඩු 102 ක් පවරා පොලිස් නිලධාරීන් 32 දෙදෙනෙකුට දඩුවම් ලබා දී ඇති බවත් තවත් නිලධාරීන් 16ක් නිදහස් කර ඇති බවත් තවත් නඩු 54ක් මේ වන විට විභාග වෙමින් පවතින බවත් ප‍්‍රකාශ කර තිබුනි.

කොපමණ නීති සැකසුවත් අපරාධ පරීක්ෂණය සදහා පොලීසියට නවීන පුහුණුව හා තාක්ෂණය ඒ සදහා සුදුසුකම් සහිත නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයන් ස්ථාපිත නොකරනතාක් පොලිසිය සැකකරුවන්ගෙන් ප‍්‍රශ්ණ කිරීම සදහා සුදුපුරුදු පරිදි කටයුතු කිරීම නොවැලැක්විය හැකියි. 84,000 ක් වන පොලිස් නිලධාරීන්ගෙන් පසුගිය රජය සමයේ අවම සුදුසුකම් වත් සපුරා නැති 24,000 පමණ නිලධාරීන් ප‍්‍රමාණයක් බදවාගෙන ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත්කල වාර්තාවක සදහන් ව ඇති බවයි.  

වධහිංසාව පවත්වාගෙන යාම නිල නොවන අයුරින් රජයත්, රටේ බහුතරයක් වන ජනතාවගෙත් ආශිර්වාදයෙන් සිදු වන කටයුත්තක් නිසා මීට එරෙහිව ප‍්‍රබල මැදිහත්වීමක් අවශ්‍යයි. වදහිංසාව කෲර හා අමානුෂික කි‍්‍රයාවක් බවට මතයක් සමාජගත කළ යුතුයි. ඒ සදහා සිවිල් සමාජය මීට වඩා මැදිහත් විය යුතුයි.

එමෙන්ම, අපේ රටේ පවතින බරපතල නඩු ප‍්‍රමාදය නීතියේ ආධිපත්‍ය ගොඩනැගීමටත්, යුක්තිය පසිදලීම සදහාත් විශාල බාදවක්, මීට පිලියම් ලෙස අධිකරණ අලූතින් පිහිටුවීම, නඩු අහන කාලය දීර්ඝ කිරීම, එක දිගට නඩු ඇසීමට උපදෙස් ලබා දීම හා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබූ  නව නිලධාරීන් බදවා ගැනීම් සිදු කිරීමත්, අධිකරණ සංවිධාන සංශෝධන පණත වැනි නව නීති ස්ථාපිත කිරීමත් මෙම ගැටලූව විසදීම සදහා රජය ගෙන ඇති වැදගත් පියවරයන් ලෙස සැලකිය හැකියි.

අපේ රට් සුලභව තිබෙන කුණු කදු වගේ අද සෑම අධිකරණයකම නඩු කදු ගොඩනැගිලා. අවුරුදු 10-20 පරණ නඩු දහස් ගනනින් මේ අධිකරණයන් හි ගොඩ ගැසී ගැහිලා. 2017-9-30 වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නඩු 3783 ක් ගොඩගැහිලා. අභියාචනාධිකරණයේ 4880 ක්. වාණිජ මහාධිකරණයේ 6126 ක්. පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ 5974 ක්. මහාධිකරණ තුළ අපරාධ නඩු 17183 ක් දිසා අධිකරණයේ  181917 ක්. මහේස්ත‍්‍රාත් අධිකරණයේ 399591 ක්. 6020297 ක් උසාවි වල නඩු ගොඩගැහිලා. මහේස්ත‍්‍රාත් අධිකරණවල තියෙන නඩු වලින් වැඩිය තියෙන්නෙ බොරු නඩු. පොලීසිය කරන්නේ මොකක්හරි කාරණාවකට පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන විවිධාකාරයෙන් හිංසාවල් කරනවා. ඊට පස්සෙ නඩු දානවා.

අපි ගාව තියෙන නඩු වලින් වැඩි හරියක් බොරු නඩු. මානව හිමිකම් ගිය ගමන් බොරු නඩු දානව. ඊට පස්සේ කේවල් කරනවා. අරක අස් කරොත් මේකත් අස් කරනව. ඒක තමයි ක‍්‍රමය. කොච්චර නීති ගෙනාවත් වැඩක් නැහැ බොරු නඩු දාන එක වළක්වා ගන්න බැරි නම්. මේව නඩු දාන්නෙ ඇති හැකි අයට නෙමෙයි. යමක් කමක් කරගන්න බැරි සමාජයේ පල්ලෙහා තීරු වලට. විශේෂයෙන් වධහිංසා සිද්ධිවල දී බොරු නඩුව දාපු ගමන්ම ඒ වින්දිතයා කවදාවත් තමුන්ට කරපු වධහිංසාව සම්බන්ධව ක‍්‍රියාමාර්ග ගන්න උනන්දු වෙන්නේ නෑ. කොච්චර ගැහුවත් තුවාල වෙන්න ගැහුවත් දවස් ගණන් අත් අඩංගුවේ තියන් හිටියත් බොරු නඩු කීපයක් දාලා රිමාන්ඞ් කරහම කොහොමටවත් කොච්චර සාර්ථකව මොන නීති තිබුණත් අධිකරණ ක‍්‍රියාමාර්ගවලට යොමු වෙන්නේ නැහැ. විශාල බියක් තියෙනව තව තවත් බොරු නඩු වැටෙයි කියල. පහුගිය කාලේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අයට බොරු නඩු දැමීම විතරක් නොවෙයි කලේ ඔවුන්ගේ ජීවිතත් අවසන් කරා. අපේ වින්දිතයෝ දෙන්නෙක් එහෙම වෙඩි තියල මරල දැම්මා. මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්න ගිහිල්ලා.

ඒ සිද්ධිවලින් පස්සෙ අපි කිව්වා කරුණාකරල නඩු කියන්න එපා. වෙන විදියක් බලමු නඩු කියන්න එපා මරුම් කන්න වෙනවා. අපිටත් මැරුම් කන්න වෙනවා. ඒ වගේ අත්දැකීම් වලට අපිත් මුහුණ දුන්නා. අපේ කාර්යාල වහල හැංගිලා ඉන්න වුණා ටික කාලයක්. වින්දිතයින්ට සහාය දක්වන්නෙ අපි කියල ඔවුන් දන්න නිසා ඔවුන් මරල විතරක් නෙමෙයි අපිට කියනව ඊට පස්සෙ ලෑස්ති වෙලා හිටපන් උඹලටත් ඊළඟට උඹලට කියල. අද එහෙම තත්ත්වයක් නැහැ. එහෙම අභියෝගයක් නැහැ.

මෙම නඩු වලින් බොහෝ නඩු විශේෂයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයන් හි ඇති නඩු පොලිසිය විසින් පැවරූ බොරු, ආසියානු මානව හිමිකම් කොමිසම, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඇතුලූ ලංකාවේ තවත් සිවිල් සංවිධාන කිහිපයක් සමග පොලිස් වදහිංසා සිද්ධි 400 ක් සම්බන්ධව කළ සොයා බැලීමක දී පෙනී ගියේ පවරා ඇති නඩු වලින් 50%කට වඩා වැඩි ප‍්‍රමාණයක් වදහිංසා කිරීමෙන් පසුව බොරු නඩු පවරා ඇති බවයි. මෙසේ පැවරූ බොහෝ නඩු නීති විරෝධී අවි, මත්දව්‍ය, සොරකම්, රාජකාරියට බදා කිරීම්, වැනි විවිධාකාරයේ චෝදනා ගොනුකර පැවරූ බොරු නඩුයි. අද බොරු නඩු පැවරීම සාමන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ හේතුවෙන් තම අයිතිවාසිකම් කඩවන වින්දිතයින් බිය වද්දා තමන්ට සිදු වූ අයුක්තිය හා අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව නීතිමය පියවර ගැනීම වැලැක්වීම සිදු කරනු ලබනවා.  

මේ උසාවි අතරින් රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ කි‍්‍රයාකාරීත්වය බරපතල ගැටලූවක් බවට පත්  වෙලා. අද මූලික අයිතිවාසිකම් නඩුවක දැමීම කිසියම් කෙනෙකුගේ සහායක් නොමැතිව විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධානයක සහාය නොලබා දැමීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා. මූලික අයිතිවාසිකම් නඩුවක් මාස 2කින් අවසන් කළ යුතු බවට ව්‍යවස්ථාවේ සදහන් වුවත් අද සාමන්‍යයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් අවසන් කරන්න යන අවුරුදු ගනන හරියට කියන්න බැහැ. අපි ගාව අවුරුදු 10ට වැඩි පරණ නඩු තිබෙනවා. ව්‍යවස්ථාවේ සදහන් වුනත් මාස 2කෙන් තියා අවුරුදු දෙකකින් වත් අවසන් කරන්න බැරි වී තිබෙනවා. මේ තත්තවය වෙනස් කරන්නෙ නැතිව මූලික අයිතිවාසිකම් පරිජේදයක් තියාගෙන හිටියට එකෙන් සතපහක වැඩක් නැහැ.

මෙම නඩු ප‍්‍රමාදයට එරෙහි විශාල ජනමතයක් රට තුළ ගොඩනැගිය යුතුයි. ඒ සදහා සිවිල් සංවිධාන මූලිකත්වය ගෙන විශේෂ වැඩසටහනක් පැවැත් විය යුතුයි. මෙම වදහිංසාවට එරෙහි සිවිල් සංවිධාන එකතුව ඊට මුලිකත්වය ගැත හැකියි. ලබන ජුනි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වදහිංසාවන්ට එරෙහි දිනය දා මෙම කටයුත්ත අපට ආරම්භ කල හැකියි.

පීලිප් දිසානයක
2018.06.22



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.