English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මානව හිමිකම් කොමිසම වෙනස් වෙලාද - පුබුදු රන්දිම
(2018-07-05)

<< Go Back
Share |   


2015 වර්ෂයේ දී යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග මෙරට සමස්ථ පද්ධතියම යම් වෙනස්කමකට ලක් විය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට තුළ නැවතත් ස්වාධීන කොමිෂන් සභාවන් බලාත්මක වූ අතර, වර්තමානය වනවිට එම ස්වාධීන කොමිෂන් සභාවන් හි කාර්යයභාරය ජනතාවගේ යම් පැසසුමකට ලක්ව තිබේ. අප මෙය වටහාගත යුත්තේ 2015 ට පෙර පැවති තත්ත්වය සමගය. පැරණි රෙජිමය පැවති කාලසීමාවේදී කොමිෂන් සභාවන් පැවතියේ නාමික වශයෙනි. ජනතාවගේ දුක්ගැනවිලි පිළිබඳව යම් සහනයක් සැලසීමට පිහිටුවා තිබූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව ආදී ආයතනයන් ක‍්‍රියාත්මක වූයේ ජනතා අවශ්‍යතා සහ උවමනාවන් අනුව නොවේ.  

1996 දී පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටු වූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි කාර්යයභාරය මෙහිදී වැදගත් ස්ථානයක් උසුලනු ලබයි. 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ම`ගින් ස්වාධීනව තම කාර්යය ඉටු කිරීමට ශක්තිය ලද ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි පියාපත්, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ම`ගින් සිඳ බිඳ දමන ලදී. පසුව, 2015 දී බලයට පත් වූ නව ආණ්ඩුවෙහි ප‍්‍රධාන පොරොන්දුවක් වූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින් නැවතත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභාවන් නවයකට ස්වාධීන තත්ත්වයෙන් තම කාර්යයභාරය ඉටු කිරීමට අවකාශ හිමි විය. ඒ අනුව, එලෙස යළි ස්වාධීන වූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි වර්තමාන කාර්යයපටිපාටිය පිළිබඳව වූ නිරීක්ෂණයන් මෙම ලිපිය මගින් ගෙන හැර දැක්වීමට බලාපොරොත්තු වේ. 
 
2015 න් පසුව ඊට පෙර පැවති තත්ත්වයට වඩා, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙහි ක‍්‍රියාකාරිත්වය වෙනස්කමකට ලක්ව ඇති බවට අවිවාදයකින් තොරව පිළිගත යුතු කරුණකි. මානව හිමිකම් කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිතුමිය සහ කොමසාරිස්වරුන් විසින් කොමිසමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට උත්සහ දරමින් සිටී. කොමිසමෙහි නිලධාරීන්ද ඒ සඳහා දැඩි කැපවීමක් යොදමින් සිටී. නමුත්, සමහර නිලධාරීන් තවමත් මෙම වෙනසට හැඩගැසී ඇති බවක් නොපෙනේ. විමර්ශනයන් අතරම`ග නැවතී ඇති, මානව හිමිකම් කොමිෂන් සභාව ලද පැරණි පැමිණිලි පිළිබඳව කොමිෂන් සභාව විසින් සිය අවධානය යොමු කරමින් සිටී. වර්තමානය වනවිට විමර්ශනයන්ගේ වුවද යම් සාධාරණ සහ අපක්ෂපාතී බවක් දක්නට හැකිය. නමුත්, සෑම අවස්ථාවකම එය එසේ නොවන බව වටහාගත යුතුය. යම් නිලධාරීන් කිහිපදෙනෙකු දේශපාලනික මතය අනුව ක‍්‍රියාත්මක වන බවට පැවසිය හැකිය. ස්වාධීන ආයතනයකින් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකි වේ. තවද, ඔවුන් තම විමර්ශනයන් සඳහා භාවිතා කරනු ලබන්නේ පැරණි ක‍්‍රමවේදයන්ය. මේ සඳහා ආයතනික සහ පුද්ගල වශයෙන් කොමිෂන් සභාව තුළ යම් වෙනස්කමක් ඇති කළ යුතුය.

කොමිසමේ කාර්යයභාරය කාර්යක්ෂම ඉටු කිරීමට නොහැකි වීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, කොමිසම සතු සම්පත් ප‍්‍රමාණයේ හි`ගතාවයයි. මෙම ගැටළුව ප‍්‍රධාන වශයෙන් මූල්‍යමය සහ මිනිස් ශ‍්‍රමය හි`ගවීම යනුවෙන් දැක්විය හැකිය. තවද, යම් විමර්ශන නිලධාරීන් සතු වූ ආකල්පයන් සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවයන් වර්තමානයට සාපේක්ෂව දියුණු වී නැත. ඔවුන් වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ පැරණි ක‍්‍රමවේදයන් හරහාය.   

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අදාළ පැමිණිලි සඳහා පැමිණිලි සහ වගඋත්තරකාර පාර්ශවය විමර්ශනයන්ට කැඳවනු ලබන ප‍්‍රථම අවස්ථාවේදීම වගඋත්තරකාර පාර්ශවය කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීමේ යහපත් ප‍්‍රවණතාවයක් වර්තමානය වනවිට දැකිය හැකිවේ. ඊට පෙර පැවති තත්ත්වය අනුව වගඋත්තරකාර පාර්ශවය කොමිෂන් සභාවේ විමර්ශනයන් සඳහා සහභාගී වූයේ ඔවුන් කැඳවන ලද තුන්වන හෝ සිව්වන අවස්ථාවන් වලදීය. ස්වාධීන ආයතනයක් වීම තුළ කොමිෂන් සභාවට හිමිව ඇති ගෞරවය මීට හේතු වී ඇති බවට සඳහන් කළ හැකිය.

වඩා වැදගත් වන්නේ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින්  වධහිංසාවන් වැළැක්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමය. ඉතිහාසයේ ප‍්‍රථම වරට එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ශ‍්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් යැවීමට හැකි වීම මානව හිමිකම් කොමිසම ලද ජයග‍්‍රහණයකි. තවද, කොමිෂන් සභාව විසින් ප‍්‍රථම වරට ‘වධහිංසාවට තිත’ යන තේමාව යටතේ වධහිංසාවන්ට ලක් වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සමරන ලදී.

මීට අමතරව, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාදායකය නීති පනවනු ලබන හෝ සංශෝධනය කරනු ලබන අවස්ථාවන් හි එම යෝජිත නීතීන් පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශයන් ආණ්ඩුව වෙත යොමු කරනු ලබයි. තවද, එම නිර්දේශයන් සඳහා ආණ්ඩුව විසින් වැඩි අවධානයක් යොමු කිරීම දැකිය හැකි වේ. උදාහරණ වශයෙන් 2013 අංක 02 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ විශේෂ විධිවිධාන පනත සංශෝධන කිරීමේ යෝජිත පනත් කෙටුම්පත වෙනුවෙන් කොමිෂන් සභාව විසින් තම නිර්දේශයන් ලබා දෙන ලදී. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු වෙනුවෙන් නීතිඥවරයෙකුට පෙනී සිටීමේ අයිතිවාසිකම තහවුරු කිරීමට කොමිසම තම නිර්දේශයන් ලබා දෙන ලදී. දේශීය නීතිය තුළ මරණ දඬුවම අහෝසි කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් තම නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී. තවද, යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහාද කොමිසම විසින් තම නිර්දේශයන් ලබා දෙන ලදී. මීට මතරව, මානව හිමිකම් පිළිබඳව ආණ්ඩුව විසින් ප‍්‍රතිපත්ති සැකසීමේදී ඒ සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඵලදායී දායකත්වයක් සපයනු ලබයි. මෙහිදී මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුව සම`ග විවේචනාත්මක වූ සම්බන්ධතාවක් පවත්වා ගෙන යනු ලබයි.

සමස්ථයක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රාදේශීය කාර්යාලයන් පිළිබඳව ජනතාව තුළ ඇත්තේ ඉතා අසතුටුදායක ආකල්පයකි. බොහෝ ප‍්‍රාදේශීය කාර්යාලයන් තුළ දෛනික සාමාන්‍ය රාජකාරි පවා ඉටු නොවන බවට ජනතාව විසින් මැසිවිලි නගනු ලබයි. නමුත්, ඉතා කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරනු ලබන නිලධාරීන් බොහෝමයක් මානව හිමිකම් කොමිෂන් සභාවෙහි සිටින බවට සඳහන් කළ යුතුය. 

මානව හිමිකම් කොමිසමෙහි සේවය කරනු ලබන යම් නිලධාරීන් කිහිපදෙනෙකු මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් සහ උවමනාවන් හඳුනා නොගනිමින් කටයුතු කරනු ලබයි. එම තත්ත්වය කොමිසමෙන් ඉටු වන්නා වූ සේවය උපරිම ලෙස යොදා ගැනීමට බාධා වී ඇත.

අවසාන වශයෙන්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ අනෙක් ස්වාධීන කොමිෂන් සභාවන් ආරක්ෂා කර ගැනීමේ සහ ඒවායෙහි ස්වාධීනත්වය තහවුරු කිරීමට දේශපාලනික වශයෙන් වූ අවශ්‍යතාවයක් සහ උවමනාවක් ආණ්ඩුව සතුව පැවතිය යුතු බව සඳහන් කළ හැකිය.

පුබුදු රන්දිම                                                                                      
නීති උපදේශක, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.