මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය අවුලෙන් අවුලට!

මතභේදයට තුඩුදී තිබෙන මුහුදු මහා විහාරය අවට ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පෑ පාරම්පරික පදිංචිකරුවන් ගෙන් කරුණු විමසා ප්‍රශ්නය විසඳා ගැනීමට පොරොන්දු වූ දිනයේ බලධාරීන් සාකච්ඡාව මගහැරීම  නිසා පොතුවිල්හි නොසන්සුන්කාරී තත්වය තවදුරටත් වියවුල් අතට හැරී තිබේ.

පුරාවිද්‍යාත්මක වශයෙන් මෙන්ම සංචාරක ආකර්ෂණය අතින්ද වැදගත් කමක් උසුලන අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් වෙරළාසන්නයේ පිහිටි මුහුදු මහා විහාරය අවට ඉඩම් මැනීමට මිනින්දෝරු  දෙපාර්තමේන්තුව ගත් උත්සාහයට  ජුනි 18 බ්‍රහස්පතින්දාත් 19 සිකුරාදාත් ප්‍රදේශයේ  ජනතාව දැක්වු  විරෝධය හමුවේ ඉඩම් මැනීම  නවතා දමා තිබේ.

රජය විසින් අලුතින් ඉඩම් මැනීම ආරම්භ කර ඇත්තේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමග මුහුදු මහා විහාරය දැක බලා ගැනීමට ගිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පුරාවස්තු රැකගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවීමත් සමගය.

මුහුදු මහා විහාරයට අයත් බව පවසමින් එම විහාරාධිපති හිමියන් ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ද පදිංචිව සිටින අක්කර 72 ක භුමි භාගයක් ඉල්ලා සිටීම නිසා පරම්පරා ගණනාවක් තිස්සේ එම භුමියේ  පදිංචිව සිටින තමන් මහත්  අපහසුතාවයකට පත්ව සිටින බවට මුස්ලිම් ජනතාව මැසිවිලි නගති.

භික්ෂුන් වහන්සේ ඉල්ලා සිටින මුස්ලිම්වරුන් පදිංචි ඉඩම් මැනිමේ කටයුතු සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජුනි 18 බ්‍රහස්පතින්දා එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී ඔවුන් ප්‍රදේශවාසී ජනතාවට පවසා ඇත්තේ මුහුදු මහා විහාරය දැනට භුක්ති විඳින අක්කර 30 ක භුමියට අමතරව ඉන් පෙර අයත්වු තිබූ බව පැවසෙන අක්කර 72 ක භුමියත් මැනීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බවයි.

එම මානක කටයුතු සදහා විරෝධය දක්වා ඇති ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ මුහුදු මහා විහාරයට අයත් බව පවසමින් ඉල්ලන අක්කර 30 ක භුමි ප්‍රමාණයේ අක්කර හය හමාරක් පුරා  වසර ගණනාවක පදිංචිව සිටින මුස්ලිම් පවුල් සදහා  රජය විසින් ලබා දුන් ජයභුමි ඔප්පු තමන් සතුව පවතින බැවින් නැවත ඉඩම් මැනීමේ කටයුතු සදහා අවස්ථාව ලබා දිය නොහැකි බවයි.

එහිදී ඉඩම් මැනීමේ කටයුතු සදහා ඉඩ ලබා නොදෙමින් ජනතාව විරෝධතා දක්වා තිබෙන අතර තත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන්ද කැදවා තිබේ.

එහිදී උද්ඝෝෂණයේ නිරත ජනතාව  පොලීසියට හා මිනින්දෝරු  බලධාරීන්ට පැහැදිලි කර දී ඇත්තේ එම භුමියේ තමන් පදිංචි ඉඩම් අයිතිය තහවුරු කරමින් රජය විසින් ලබා දුන් ඔප්පු තමන් සතුව ඇති බවයි.

පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති බවට තක්සේරු කරමින්  පොතුවිල් වෙරළාසන්නයේ පිහිටි අක්කර 72 ක භුමියක් 1951 වර්ෂයේදී නිසි ලෙස මායිම් සලකුනු කිරීමකින් තොරව ගැසට් පත්‍රයක් මගින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දී ඇති අතර වසර 14 ක් තිස්සේ සිදු කළ කැනීම් මගින් පුරා විද්‍යා සාධක හමු නොවුණු හෙයින් 1965 වර්ෂයේදී අක්කර 30 යි රුට් 3 යි පර්චස් 2 ක භුමි ප්‍රමාණයක්  සීමා මායිම් සහිතව ගැසට් පත්‍රයක් මගින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට රජය විසින් පවරා දී තිබෙන බව උද්ඝෝෂකයන් විසින් රජයේ බලධාරීන්ට කරුණු දක්වා තිබේ.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ 1965 වර්සයේදී අක්කර 30 යි රුට් 3 යි පර්චස් 2 ක භුමිය නිසි ලෙස සීමා මායිම් සහිතව ලකුණු කරන විටදීත් එම භුමිය තුළ මුස්ලිම් පවුල් 40 ට වැඩි ප්‍රමාණයක් පදිංචිව සිට ඇති අතර ඔවුන් එම භුමියෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර නොමැති බවයි.

එමෙන්ම එම ජනතාවට එකල ඉඩම් සඳහා බලපත්‍ර තිබී ඇත.

මුහුදු මහා විහාරයට අයත් බව පවසන අක්කර 30 සීමාව තුළ අක්කර හය හමාරක භුමියක  පදිංචි මුස්ලිම් පවුල් 42 කට 1997 වසරේ රජය විසින් ජයභුමි  ඔප්පු පිරිනමා ඇති බව උද්ඝෝෂකයෝ පවසති.

විරෝධය පල කරන මුස්ලිම්වරුන් ගෙනහැර දක්වන කරුණු වලට අභියෝග නොකරන මුහුදු මහා විහාරාධිපති හිමියන් තරයේම කියා සිටින්නේ 1951 පුරාවිද්‍යා කොමසාරිස් විසින් වෙන්කළ අක්කර 72 ක්ම තමන්ට අවශ්‍ය බවයි.

“1951 ජනවාරි 26 සෙනරත් පරණවිතාන මහත්තයා මුහුදු මහා විහාරයට අක්කර 72යි රූඩ් තුනයි පර්චස් 13ක් වෙන් කරනවා. 1965 මැයි 28 මේක අක්කර 30ට සීමා කළා. අක්කර 30 ඇතුළෙත් ජය භූමි ඔප්පු 41ක් තියෙනවා. ඊට අමතරව පන්සලේ ඉඩම් ටික බලෙන් අල්ලාගෙන. මේක වෙනස් කරන්න අම්මා, අප්පාගේ බූදලය නෙමෙයි නෙමෙයි. ඒ නිසා අපි අක්කර 72යි රූඩ් තුනයි පර්චස් 13ම ඉල්ලනවා,” යනුවෙන් නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නා හිමියෝ පවසති.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසන පරිදි පුරාවස්තු හමුවී ඇත්තේ අක්කර තිහක භුමිය තුල පමණි.

එසේ වෙතත්, නටබුන් සහිත භූමියේ කොටසක් සහ අලුතෙන් ඇතුළත් කරන ප්‍රදේශයක් සහිත නව පුරාවිද්‍යා කලාපයක් මායිම් කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.

මතුවී තිබෙන අර්බුදය සමනය කිරීම සදහා උසස් පොලිස් නිලධාරීන් ජනතාවට පොරොන්දු ලබා දී ඇත්තේ ජූනි 19 සිකුරාදා උදේ 9.30 ට  පොතුවිල් ප්‍රදේශිය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දී ගැටලුව විසදීමට කටයුතු කරන බවයි.

ඉඩම් ගැටලුව සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සදහා 19 සිකුරාදා උදේ 9.30 ට  පොතුවිල්  ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ගියත් එහි පොතුවිල් ප්‍රදේශිය ලේකම්වරයා හෝ ඔහු වෙනුවෙන් වැඩ බලන නියෝජිතයකු එහි නොසිටීම නිසා නොසන්සුන් වූ ජනතාව කාර්යාලය තුලම විරෝධතාවක් පවත්වා තිබේ.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අමතමින් බලකායේ ප්‍රධානි ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා තිබුනේ  ආගමික වෙනස්කම් නොතකමින් නැගෙනහිර පළාතේ සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ කාර්ය එම බලකාය වෙත  පැවරී ඇති බවයි.

Social Sharing
නවතම