මානව හිමිකම් ආරක්ෂා කරන්න සිවිල් සංවිධාන සහාය අවශ්‍යයි! – රජය එක්සත් ජාතීන්ට කියයි.

වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම කියා සිටියි.

“සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම්” පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත විවාදය  ජූලි 7 වැනි දින පැවති අතර ලිඛිත ප්‍රකාශයක් කරමින් ඔවුන් මේ බව කියා ඇත.

මෙවර මෙහි ජූලි මාසය සඳහා ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ජර්මනිය වේ.

රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ස්වාභාවික විපත්, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මගින් එල්ලවන සිවිල් ගැටුම්, අන්තර් රාජ්‍ය ඝට්ටන, අසමමිතික තර්ජන සහ වෙනත් විවිධාකාර වූ  අභියෝගයන්ගෙන් මානව වර්ගයාට තර්ජනයක් පවතින යුගයක, “සාම මෙහෙයුම් සහ මානව හිමිකම්” යන කාලෝචිත විෂය පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට ජර්මනිය දරන ප්‍රයත්න ශ්‍රී ලංකාව මෙහිදි අගය කර ඇත..

වැඩි දුරටත් ඒම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

විවිධ අවස්ථාවන්හිදී එක්රැස් වූ අත්දැකීම් සම්භාරයකින් හා විශේෂඥ දැනුමෙන් පිරිපුන් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් (UNPO) ගැටුම් අවස්ථාවන්හිදී මානව ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය, විශ්වසනීය, විශ්වාසය තැබිය හැකි හා නිපුණ ගෝලීය මෙවලමක් බවට පත්ව ඇත. වර්තමාන සාම මෙහෙයුම්වල වැදගත්කම වන්නේ,  ප්‍රචණ්ඩත්වයේ විශාලත්වය සහ ප්‍රචණ්ඩත්ව පෙන්නුම් කරන වාර ගණන සැලකිල්ලට ගැනීමේදී , එක්සත් ජාතීන්ගේ සහාය නොමැති විට සමහර ගැටුම් කලාපවල මිනිස් ජීවිතවල ඉරණම මිනිස් ජීවිතවල ඉරණම දෘශ්‍යමාන කිරීම දුෂ්කර වනු ඇත.

මානව හිමිකම්, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල (UNPO) වැදගත් අංගයක් ලෙස පවතී. MONUSCO, MINUSCA, MINUSMA, UNAMID, UNMISS වැනි සාම සාධක මෙහෙයුම් කිහිපයක් සහ UNAMI, UNSMIL, UNSOM, UNAMA සහ BINUH වැනි විශේෂ දේශපාලන මෙහෙයුම් මානව හිමිකම් සංරචක සමෝධානිකරණය කර ඇත. මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් සඳහා මෙය වැදගත් වන අතර මෙමගින්, මෙහෙයුමේ විශ්වසනීයත්වය ශක්තිමත් කරයි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පූර්ණ වශයෙන් කැපවී සිටින අතර, මෙම සන්දර්භය තුළ සියලුම ශ්‍රී ලාංකික සාම සාධක භටයින් සුදුසු පුහුණුවක් ලබා ඇති බවත්, න්‍යායාත්මක දැනුමෙන් හා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ සුරක්ෂාකිරීම ඇතුළුව සාමසාධනය සඳහා අවශ්‍යවන කටයුතු ප්‍රායෝගිකව අදාළ කරගැනීමෙන් පූර්ණ ලෙස සන්නද්ධව සිටින බවත්, තහවුරු කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබේ. මේ සඳහා, සාමසාධක කටයුතුවල නිරත වීමට ලබාදෙන පුහුණු පාඨමාලාවලට අදාළ විෂයයන් පිළිබඳ පුළුල් අධ්‍යාපන හා පුහුණු පැකේජයක් ඇතුළත් කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ බලධාරීන් සමඟ සාකච්ඡා කර පවත්වනු ලබන මෙහෙයුම් පුහුණු පැවැත්වීම මගින්  මෙහෙයුම්වල යෙදවීමේදී අඛණ්ඩතාව පවත්වාගෙන යනු ලැබේ. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට සහ පොලීසියට ලබාදෙන පුහුණුවල එක් කොටසක් ලෙස මානව හිමිකම් ඇතුළත් කර ඇත. බොහෝ හමුදා ශිෂ්‍ය භටයින් උපාධි පාඨමාලා හදාරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි හමුදා නිලධාරීන් සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කරන තෘතීයික ආයතනයක දී අධ්‍යයන වැඩසටහනේ වැදගත් අංගයක් ලෙස මානව හිමිකම් උගන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සහ අන්තර්ජාතික රතුකුරුස සංවිධානය විසින් හමුදාව හා පොලීසිය සඳහා මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ පුහුණු වැඩසටහන් ගණනාවක් ද පවත්වනු ලැබේ.

ගැටුම් වලට හේතුවන සෘජු හා වක්‍ර පාර්ශ්වවල ක්‍රියාකාරකම් හේතුවෙන්,  සිවිල් වැසියන්ට වැඩි බලපෑමක් ඇති කරමින් පැනනගින විවිධ සමාජ-දේශපාලන අභියෝගයන් සමඟ සාම මෙහෙයුම් ක්‍රමයෙන් සංකීර්ණ වෙමින් පවතින බව නිරීක්ෂණය කෙරේ. සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳ කිගාලි මූලධර්ම ශ්‍රී ලංකාව විසින් අනුමත කර ඇත.

ගැටුම්වලින් පීඩාවට පත් බොහෝ  ප්‍රජාවන්හි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කාන්තාවන්ට හා ළමයින්ට සමානුපාතික නොවන ලෙස බලපායි. ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටසක් ලෙස ප්‍රචණ්ඩත්වය සහ අනාරක්ෂිත භාවය ඉහළ යන අවස්ථාවලදී, සමාජයේ පවත්නා වෙනස් කොට සැළ කිරීම්වලට අමතරව, පවුල තුළින්ම එවැනි උල්ලංඝනයන් ඔවුන් අත්විඳිය හැකිය. එනිසා, මානව හිමිකම් දෙස බැලීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටලු කෙරෙහි සංවේදී වීම අත්‍යවශ්‍ය වේ.

මෙහෙයුම් ගණනාවකම, ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසනය (CRSV) අධීක්ෂණය, විශ්ලේෂණය සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කාන්තා ආරක්ෂණ උපදේශකයින් වගකිව යුතුය. සාම සාධක මෙහෙයුම් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම සහතික කරන අතරම, මෙම ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස අර්ථවත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගැනීම සඳහා, කාන්තාවන්ගේ අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සැලකිය යුතු බව අවධාරණය කෙරේ.

විශේෂයෙන් ගැටුම්වලින් පීඩාවට පත් වූ ප්‍රදේශවල දී, කොවිඩ්-19 වසංගතය මානව හිමිකම් තත්ත්වය කෙරෙහි සැලකිය යුතු අන්දමින් බලපා ඇත. සංචාරයෙහි යෙදීම ආශ්‍රිත සීමාවන් සහ මානව අන්තර්ක්‍රියා සඳහා පනවා ඇති සීමාවන් මඟින්, මානුෂීය ආධාර ලබා දීමේ දුෂ්කරතාවල සිට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ආරක්ෂාව සැපයීම දක්වා වූ පරාසය පුරාම ඍණාත්මක බලපෑම් ඇති කර තිබේ. මානුෂීය ආධාර පිණිස එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අරමුදල්වලින්, වසංගත අවම කිරීමේ ප්‍රයත්නය සඳහා සම්පත් හරවා යැවීම තුළින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා වූ සාම සාධක මෙහෙයුම්වල හැකියාවන් දුර්වල කරනු ඇත.

අයුතු ලෙස දේශපාලනීකරණය වූ විට, මානව හිමිකම් පිළිපැදීම හා ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කරන ආයතනවල විශ්වසනීයත්වය සැලකිය යුතු ලෙස අඩපණ කළ හැකි බව සඳහන් කිරීම උචිත වේ. අයුතු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ඔප්පු නොකළ චෝදනා රජයන් විසින් සාමය පවත්වා ගැනීම සඳහා වන දායකත්වය කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම හා හැසිරවීම සඳහා මෙවලම් ලෙස භාවිතා කළ අවස්ථා තිබේ. සෑම මනුෂ්‍යයෙකුගේම අයිතිවාසිකම් සහතික කිරීම සඳහා කැපවී සිටින විශාලතම ගෝලීය ආයතනය ලෙස එක්සත් ජාතීන් සැමවිටම අපක්ෂපාතීව සිටිය යුතු අතර, සාමාජික රටවල් සමඟ පවතින සියලුම අන්තර්ක්‍රියාවල දී ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට පූර්ණ ලෙස ගරු කළ යුතු බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි.

වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතී. මෙම සන්දර්භය තුළ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයක් ලෙස පැවතිය යුතු වන අතර, ඒ සඳහා සිවිල් සමාජය සහ පුළුල් ජනගහනය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ මැදිහත්වීම හා අන්තර් ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රදේශවල ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැගීම පිණිස ද මෙය අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල සාර්ථකත්වය සඳහා සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර, එය කිසියම් ජනගහනයක් විසින් සාම සාධක භටයින් සිහිපත් කරන්නේ කෙසේද යන්න හැඩගස්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ඇගයීම සිදුකෙරෙන ආකාරය පිළිබිඹු කරයි.

Social Sharing
නවතම