දකුණේ මෙන් උතුරේත් දේශපාලඥයින්ට වැන්දඹුවන් සිහිවන්නේ ඡන්ද කාලෙට පමණයි!

යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර වැන්දඹුවන් බවට පත් වු  අනු දහසකට ආසන්න කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් මේ දක්වා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති වීමෙන් එම කාන්තාවන් දැඩි අසරණතාවයට පත්ව ඇති බව  නව සම සමාජ පක්ෂයට අනුබද්ධ  අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුව පවසයි.

මේ වන විටත් උතුරු නැගෙනහිර අසු පන්දහසක් ඉක්මවු වැන්දඹු කාන්තාවන්ට නිසි ආර්ථික වැඩ පිළිවෙලක් නොමැති වීමෙන් අධික පොලියට ණය ගන්නා ඔවුන් ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් සිය දිවි හානි කරගන්නා තත්වයකට ඇද වැටී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

දකුණේ මෙන් උතුරේත් දේශපාලඥයින්ට වැන්දඹුවන් සිහිවන්නේ ඡන්ද කාලෙට පමණයි!

සුන්දරම් මහේන්ද්‍රන්

අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් මානව හිමිකම් ක්‍රියාධර  සුන්දරම් මහේන්ද්‍රන් ඒ බව සදහන් කළේ ජුනි මස 23  දිනට යෙදී තිබු  “ජාත්‍යන්තර  වැන්දඹුවන්ගේ දිනය”  වෙනුවෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඔහු පවසන පරිදි උතුරේ  ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයන් වෙතින් අධික පොලිය යටතේ ණය ලබා ගන්නා අය  අතරින් බහුතරය යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත්වු කාන්තාවෝ වෙති.

දකුණේ වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් සුභසාධන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළද උතුරේ වැන්දඹු කාන්තාවන් සදහා එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරන සුන්දරම් මහේන්ද්‍රන් පෙන්වා දෙන්නේ මැතිවරණ සමයේදී පමණක් දේශපාලනඥයන්ට වැන්දඹු කාන්තාවන්  මුහුණ දෙන ගැටළු සිහිපත් වන බවයි.

“දකුනේ සිංහල දේශපාලනඥයෝ විතරක් නෙමෙයි උතුරේ දෙමළ දේශපාලඥයන්ටත් වැන්දඹුවන්ගේ ප්‍රශ්න මතක් වෙන්නේ මැතිවරණ කාලයට විතරයි. ඒ කාලෙට ඔවුන්ගේ හිත දිනාගෙන ඡන්ද ලබා ගන්න ඔවුන්ගේ අසරණ කම ගැන කතා කරනවා.”

අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් මානව හිමිකම් ක්‍රියාධර  සුන්දරම් මහේන්ද්‍රන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරු නැගෙනහිර  වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා නිසි වැඩ පිළිවෙලක් දියත් කර සමාජයේ  ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත් වීමේ අවස්ථාව ඔවුනට හිමිකර දෙන ලෙසයි.

Social Sharing
නවතම