ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වෙයි!

නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ.

ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි.

මේ අනුව අමෙරිකාවේ වොෂින්ටන් ඇතුළු නගර රැසක උද්ඝෝෂණ පැවැත්වෙන්නේ අඛණ්ඩව 12 වැනි දිනටය. විශාල නගරවලින් ඇරඹි උද්ඝෝෂණ කුඩා නගර කරා ද ව්‍යාප්තවීම විශේෂත්වයකි. ධවල මන්දිරය ආසන්නයට විරෝධතාකරුවන් ළඟාවීම වැළැක්වීමට පොලිස් මාර්ග බාධක යොදා තිබේ.

ලොව සෙසු රටවල පැවැත් වූ උද්ඝෝෂණවලින් බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ පැවති විරෝධතා කැපී පෙනුණි.

මධ්‍යම ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරස්‍රය වෙතට රැස්වූ ජනතාව බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයට දායකත්වය ලබාදුන්නේ කොරෝනා මර්දනයට යෙදූ සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති ද නොසළකා හරිමිනි.

ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් නගරවල වැසියන් ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් අසාධාරණයට ලක්වීම ඉලක්ක කරගනිමින් විරෝධතාවල නිරත විය.

Social Sharing
විදෙස්