හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස  – කේ. සංජීව

හැම පොලීසියම අඟුලාන වගේද ?

හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ කෙනෙක් අපරාදක් කර හසුව පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ගමේ මිනිසුන් කයි ගැහුවේ ඕකා අද නම් මිරිස් ගෝනියේ බස්සයි, ඕකගේ අරක ලාච්චුවේ දායි, වැනි කතා කියමින් ය. මෙයින් පෙනෙන්නේ දුරාතීතයේ සිටම පොලිසියට අප බයවූ තරමය. අනෙක් පැත්තෙන් ඔවුන් නීතිය ආරක්ෂා කරන්නට, මිනිසුන් වධහිංසාවට ලක්කළ ආකාරය ගැනය. මේ වනවිට ලෝකයේ දියුනු රටවල් සැකකරුවන්ගෙන් අපරාදකරුවන්ගෙන් මිරිස් ගෝනියේ බස්සා, කකුලේ ඇගිලිවලින් එල්ලා පහර දෙමින් ප්‍රශ්න කරන්නේ නැත. නමුත් යුක්තිය පසිඳිලීම සඳහා සහ නීතියේ සාධාරණත්වය වෙනුවෙන් නවීන ක්‍රම භාවිතා කරමින් අවශ්‍ය සාක්ෂි සොයාගනී. පොලිසියට මිනිසෙක් මොනම හෝ හේතුවකට කායිකව හෝ මානසිකව වධයට පමුණවන්නට හිංසාවට පාත්‍ර කරන්නට මරා දමන්නට අයිතියක් නැත. එහෙත් 2015ට ප්‍රථම පොලිසිය අඩු වැඩි වශයෙන් මේ අමන ක්‍රියාවල නිරත විය. එහෙත් පොලිස් කොමිසම ස්ථාපනය කිරීම, වධහිංසාවලට විරුද්ධව ජන මතයක් නිර්මානය වීම වැනි කාරණා හරහා මෙම ස්ථාපිත පොලිස් ප්‍රචණ්ඩත්වය, 2015න් පසු  සෑහෙන්න අඩු විය. එහෙත් වර්තමානයේ අපට නැවත මෙම ලයිසන් චණ්ඩීන්ගේ කෙරුවාවන් ගැන නිතර අසන්නට ලැබෙයි.

අඟුලාන සිදුවීම

මොරටුව අඟුලාන ප්‍රදේශය එකිනෙකට යාව ඇලුන වතු නිවාස පිහිටි ධීවර ප්‍රජාව ජීවත් වෙන සුවිශේෂී භූමි කලාපයක් ය. මෙම භූමියෙන් පසුගිය දා ඇසුනේ කඳුළු කතාවක් ය. එයින් කියවුණේ බීමත් පොලිස් නිළධාරියෙක් කළ අමන වෙඩි තැබීමක් නිසා ජීවිතය අහිමිවූ ධීවරයෙක් ගැනය. දිනය පසුගිය ජූලි 10 වනදාය. රාත්‍රී 12.25 ට පමණ අඟුලාන පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් 3 දෙනෙකු හදිසි මාර්ග බාධයක් යොදවා මොරටුව ලූනාව පාලම අසළදී ත්‍රිරෝද රථ දෙකක් නවතා පරීක්ෂා  කර ඇත.  එහිදී එම ත්‍රීරෝද රථ දෙකෙහි සිටි පුද්ගලයන් 5 දෙනෙකු අතරින් එක් අයෙක් පොලිස් රාජකාරියට බාධාකරමින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණ බවද, එය පාලනය කිරීම සඳහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් අඟුලාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි   මෙම  පුද්ගලයා ජිවිතක්ෂයට පත්වුණ බවද, අඟුලාන පොලිසියෙන් ඇසෙන කතාවය.

එහෙත් ඒ වෙලාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් ගේ කතාවට අනුව මෙම පරීක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් තිදෙනා බීමතින් සිට ඇත. එම වෙඩි තැබීම, බීමත්කම නිසා සිදුවූවක් බව, මෙම අනීතික ඝාතනය පිළිබඳව ගමෙන් එන බරපතළ චෝදනාව ය. මේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ උසස් පොලිස් නිළධාරියෙක් කීවේ, මෙවැනි චෝදනාවක් ගමේ මිනිසුන් කරද්දී අදාළ නිළධාරීන් බීමත්ව සිටියා දැයි දැනගැනීම සඳහා එදින රාත්‍රීයේ හෝ පසුදා උදේ හෝ වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට අඟුලාන පොලිස් ලොක්කා කටයුතු කළ යුතුව තිබුණ බවය. එහෙත් එය සිදුවී නැත..!. ඒ වෙනුවට සිදුවුණේ ගල් ගොඩවල් පෙන්නමින් පොලීසිය මාධ්‍ය සංදර්ශන සඳහා වේදිකා තැනීමය. ඒ ගල් ගොඩ දැක්ක ඕනෑම කෙනෙකුට එය පොලිසිය විසින්ම ගෙනවිත් දමන්නට ඇතැයි සැක සිතෙන බව, මෙම ලියුම්කරු සමග අදහස් දැක්වූ උසස් පොලිස් නිළධාරියා පැවසීය.

අඟුලානේ සිටින්නේ දුප්පතුන් ය. අඟුලානේ සිටින්නේ පීඩිතයන් ය. එනිසා එමිනිසුන් බල්ලන් බළලුන් ලෙස මරා දැමිය යුතුය. ඔවුන්ට පොලීසිය ප්‍රශ්න කරන්නට බැරිය. පොලීසිය මේ වෙඩි තැබීමෙන් සහ ඊටපසු එම තත්ත්වය කළමනාකරණය කරපු ආකාරයෙන් කියන්නේ එයද? ප්‍රශ්නාර්ථයක් ය.

මෙම ඝාතනයට අදාළ නඩුව විභාගයට ගැනුන පසුගිය ජූලි 16 වෙනිදා උදෙන්ම අඟුලාන පොලීසිය  කරන්නේ මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනෙක් රැගෙන යාමය. එහිදී එම සාක්ෂිකරුවන් දෙදෙනා ගල්කිස්ස සහ මොරටුමුල්ල යන පොලිස් ස්ථානවලට රැගෙන ගොස් පසුව අඟුලාන පොලිස් ස්ථාන වලට ගෙනවිත් ඇති බව වාර්තා වේ. උදෑසන 5ට පමණ පොලීසිය පැමිණ මෙලෙස සාක්ෂිකරුවන් රැගෙන යාම මෙම ඝාතනයට සම්බන්ධ පොලිස් නිළධාරීන් සුද්ද කිරීම සඳහා අඟුලාන පොලීසිය ගැසූ ගැටයක් බව කල්පනා කරන, මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සමීපතයින්, පොලීසිය ඉදිරියට පැමිණ උද්ඝෝෂණය කරන්නේ සාක්ෂිකරුවන් එළියට දාන්න යැයි කියමින් ය. මෙම උද්ඝෝෂණය පසුව ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වෙන අතර, උද්ඝෝෂකයන්ගේ ගල්මුල් ප්‍රහාරය නිසා පොලිස් ස්ථානයට දැඩි හානි සිදුවිය. මෙම ඝාතනයට මෙන්ම ඊට පසු සිදුවූ මේ සිදුවීම් මාලාවටද පොලීසිය වඟකිව යුතුය. මාර්ග බාධකයකදී පුද්ගලයෙක් කලහාකාරී ලෙස හැසිරුණා කියා පොලීසියට මැරෙන්නම වෙඩි තියන්න බැරිය. එම ඝාතනයට පසුව පොලීසිය හැසිරී ඇත්තේ තම නිළධාරීන් නිවැරදිකරුවන් යන මූලික ස්ථාවරයේ සිට ය. එයත් වැරදිය.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අනුව මේ කලාපයේ ජීවත් වන්නේ කුඩ්ඩන් ය. අපිරිසිදු මිනිසුන් ය. ඔහුට අනුව පොලීසියට එල්ලවූ මේ ප්‍රහාරයත් කුඩ්ඩන්ගේ වැඩක් ය. අප ඔහුට මතක් කරන්නේ මෙවැනි වොයිස් කට්ස් දෙන්නට කළින්, මාධ්‍ය ඉදිරියේ බන්දු සමරසිංහ වෙස් ගන්නට කළින්, නාකොටික් පොලීසිය ඇතුලේ සිටි මහා කුඩ්ඩන් ගැන හිතන ලෙසය. සමාජයට පිළිලයක් වූ මහා කුඩ්ඩන් සිට ඇත්තේ පොලීසිය ඇතුලතමය. එනිසා දේශබන්දු මහතා වීදුරු ගෙවල්වල සිට තවදුරටත් ගල් නොගැසිය යුතුය. මෙම උද්ඝෝෂණයට සහ පොලිස් ස්ථානයට පහර දීමට අදාළව 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන් සරීර ඇප මත මුදාහැර ඇත. ‘සර් මමත් ගැහුවා’ කියමින් පොලීසියට ගල් ගැසූ කාන්තාවන් නිර්භීතව පොලීසියට භාරවීම පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්විය. ඒ හරහා පොලිසිය තව තවත් මහජන අප්‍රසාදයටම ලක්විය. මෙම පොලිස් වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ මේවනවිට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කර ඇත. අශ්වයා පැන ගිය පසු ස්ථාලය වැසීම අප රටේ සාම්ප්‍රදාය ය.

පො.කො. බුද්ධික ගේ කතාව

දැන් අපි කතාකරන්න යන්නේ පොලීසිය තම නිළධාරියෙක්ට කරනු ලැබූ හිංසනයක් ගැනය. මෙම කතාව නාකොටික් රංගනයන් ගැන සිහි තබාගෙන කියවමු. පොලීසිය ඇතුලතින්ම කුණුවී ඇති ප්‍රමානය තේරුම් ගැනීමට එය හේතුවක් වනු ඇත. එහි නිලධාරිවාදය ඉහවහා ගොස් ඇත. පහළ නිලධාරීන් ඉහළ නිලධාරීන් යටතේ රාජකාරි කරන්නේ හිංසනයට ලක්වෙමින් ය.

හැම පොලීසියම අඟුලාන වගේද ? ‘මම එස් බුද්ධික මධුෂාන්. මම පොලිසියට බැඳුනේ 2016/12/15 . මම මුලින්ම රාජකාරියට ගියේ, ගාල්ලේ අහංගම පොලීසියට. ඊට පස්සේ ගිය අවුරුද්දේ ස්ථිර මාරුවීමක් ආවා මරදාන පොලීසියට . අප්‍රේල් මාසේ 26 උණ හැදුනා. ඉස්පිරිතාලෙ හිටියා, ඊට පස්සේ මම මෙඩිකල් අරං විවේක ගත්තා ගෙදර. ඒ ඉන්න අතරේ තමයි කොවිඩ් නිසා ඇඳිරිනීතිය වැටුණේ, ඊට පස්සේ ළඟම තියෙන පොලීසිය පයාගල නිසා මම අප්‍රේල් 01 ඉදලා පයාගල පොලිසියට රාජකාරි වාර්තා කළා.

මෙහෙම ඉන්නකොට මට අප්‍රේල් 15 කොළඹ යන්න වුණා. ඒ ඩිවිෂන් මහත්තයාගේ වැඩකට. එදා ඒ වැඩේට ගිහිං ආපහු පොලීසියට  එනකොට පොලීසිය අස්සේ කට්ටිය අඬ අඬා හිටියා. ඊට පස්සේ මම ඇහුවා ඇයි කියලා. ඒ වෙලාවේ තමයි මම පොලිසියේ තිබුණ පිස්තෝලයක් නැති වෙලා කියලා දැනගත්තේ. අප්‍රේල් 13 වෙනිදා තමයි එක නැතිවෙලා තියෙන්නේ. එස් අයි මහත්තයෙක් තමයි අන්තිමට අරගෙන ගිහිං තිබුණේ. ඊට පස්සේ අපි හැමතැනම මේ පිස්තෝලේ හෙව්වා. මෙහෙම ඉන්නකොට අප්‍රේල් 18 වෙනිදා හවස තුනට මට පොලීසිය කතා කළා. එදා මට ඩියුටි තිබුනේ රෑ 10ට. ස්පෙෂල් ඩියුටියකට යන්න තියෙනවා, සිවිල් එන්න කියලා තමයි කිව්වේ. ඉතිං මම ඒ ගමන් පොලීසියට ගියා. ඊට පස්සේ මාව එක්කරගෙන ගියා කටුකුරුන්ද කොඨ්ඨාශ අපරාද අංශයට. ඊට පස්සේ එතනින් ඇතුලට යනකොටම ‘දීපං පකයා වෙපන් එක’ කියලා ඔලුවටයි පිටටයි දෙක තුනක් ගැහුවා. මගේ පෝන් එක ගත්තා. ඊට පස්සේ ඇතුලේ කාමරයකට මාව අරගෙන ගියා. හතර දෙනෙක් හිටියා. වීරසිරි කියලා අයිපී මහත්තයෙක් හිටියා. තව එතන අපරාද කොට්ඨාශයේ ඕයිසී මහත්තයා හිටියා. ඉතුරු දෙන්නා කවුද කියලා නම් දන්නේ නෑ. දැක්කොත් අඳුරන්න පුලුවන්. කාමරයට අරගෙන ගිහිං  හෑන්ඩ් කප් දැම්මා. ඊට පස්සේ පොල්ලකින් ගගහා ප්‍රශ්න කළා. වෙපන් එක දීපං නැත්තං ගන්නවා කියලා තමයි වධහිංසා කළේ. මම කිව්වා මම දන්න වෙපන් එකක් නෑ. මම ගත්තේ නෑ කියලා. ඒත් පිළිගත්තේ නෑ. හවස හය විතර වෙනකම් කාමරේ තියාගෙන හොඳටම ගැහුවා. ඊට පස්සේ රෑ 10ට විතර පයාගල පොලීසියට අරගෙන ගියා. අරං ගිහිං අත්අඩංගුවට ගත්තා. වතුරවත් දුන්නේ නෑ.

අප්‍රේල්  19 වෙනිදා උතුරු කළුතර මහේස්ත්‍රාත් නිළ නිවාසෙට අරගෙන ගියා.  තුවක්කු පනත, පොදු දේපල පනත, හොරකම, දලා තමයි මාව මහේස්ත්‍රාත්තුමියට  දැම්මේ. මම කිව්වා මට ලෝයර් කෙනෙක් ඕනී නේද කියලා. එතකොට කිව්වා ලෝයර් කෙනෙක් ඕනෑ නෑ උබව පැය 24ක් රඳවලා තියාගෙන ප්‍රශ්න කරන්න අවසර ගන්න තමයි මහේස්ත්‍රාත් ළඟට අරං යන්නේ කියලා.

මගේ තාත්තාත් පොලිසියේ, මම කිව්වා මට ගෙදරට කතා කරන්න ඕනෑ කියලා, ගෙදරට කතා කරන්න දුන්නේ නෑ. කොහොම හරි මසේත්‍රාත්තුමිය අප්‍රේල් 28 වෙනකන් බන්ධනාගාර ගත කරන්න කියලා කිව්වා. නියෝගය නිකුත් කරනකොට මහේස්ත්‍රාත්තුමිය කිව්වා ඩොක්ටර් ළඟට දාන්න කියලා. මාව නාගොඩ රෝහලේ පොලිස් මුරපොළ ළඟට අරගෙන ගිහිං එතන ඉන්න නිළධාරියෙක් එක්ක එයා අඳුරන නාගොඩ රෝහලේ ඩොක්ටර් කෙනෙක් ළඟට දැම්මා. මම කිව්වා මට හොඳටම ගැහුවා කියලා. ඒත් ගණන් ගත්තේ නෑ.

අප්‍රේල් 28 මට ඇප දුන්නට බූස්සට බස්සෙක ආවේ නෑ, මාව එක්කරගෙන යන්න. 30 හවස තමයි එක්කරගෙන යන්න ආවේ. ඒ ඇවිත් කළුතර බන්ධනාගාරයට අරං ගියා. එතනට යනකොට රෑ වුණ නිසා මැයි 01 දා තමයි මට ගෙදර යන්න දුන්නේ.

මම වෙපන් එකක් ගත්තේ නෑ. උසස් නිළධාරීන් එයාලට බේරෙන්න තමයි මාව නිකරුණේ මේකට අහුකළේ. දැන් මට සමාජයට මුහුන දෙන්න බෑ. මට රස්සාවත් නෑ. මට ගහපු ඒවා නිතරම මතක් වෙනවා. රෑට බය වෙලා ඇහැරෙනවා. නින්ද යන්නේ නෑ. ඇයි මට මෙහෙම කලේ? එයාලා ආරක්ෂා වෙන්න තමයි මට මෙහෙම කළේ. මම ඉල්ලන්නේ සාධාරණය. මට මෙහෙම කරපු ඒ නිළධාරීන්ට නීතියෙන් දඩුවම් දෙන්න ඕනෑ. මම හොරෙක් නෙවෙයි කියලා ඔප්පු වෙන්න ඕනෑ. එහෙම වෙලා මට ආයි පොලීසියට යන්න ඕනෑ. ඒත් මට තාම බයයි මේ නිළධාරීන් ආයි මාව අත්අඩංගුවට අරං පිස්ටල් එකක් දාලා රිමාන්ඩ් කරයි කියලා’

මේ පොලීසිය ඇතුළත පොලිස් හිංසනය  සහ ප්‍රචණ්ඩත්වය ගැන කතාවය. පොලීසිය සාමාන්‍ය ජනතාවට සලකන ආකාරය ගැන දැන් ඔබට හිතා ගැනීමට අමාරු නැත.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment