විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම

මේ සටහන විජේවීර විසින් ලාංකීය දේශපාලනය ට හදුන්වාදුන් නව මානය හෙවත් සන්නද්ධ ප්‍රවේශය පිලිබදව කරන කෙටි විශ්ලේෂණයක් වෙයි.

මා මුලින්ම විජේවීර දැක ගත්තේ සහ හමුවුයේ 1963 දී ඔහු අපේ ගමේ ප්‍රජා මණ්ඩලයකට පැමිණි අවස්ථාවකදී පැවැත් වූ කුඩා දේශපාලන රැස්වීමකදීය.ඔහු එකල ලංකා කොමිනිස්ට් පක්ෂයේ (චීන පිලේ) සාමාජිකයෙකු විය. විජේවීර එහි කැඳවා ගෙන ආවේ පසුව තමන්ගේම සන්නද්ධ කල්ලියක් ගොඩ නැගු කල්‍යානන්ද තිරාණගම විසිනි. 1960ගණන්වල මැද භාගයේදී පසුව ජවිපෙ නමින් හැදින්වූ සන්නද්ධ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වූ විජේවීර වයස 46 දී ලංකාවේ හමුදා කණ්ඩයක් විසින් ජවිපෙ දෙවැනි කැරැල්ලේදී 1989 නොවෙම්බර් මස 13 ද අතිශය කුරිරුලෙස කොළඹ කනත්තේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබිය.

මා කල්පනා කරන ආකාරයට විජේවීර දෙයාකාරයකින් චරිතායනය කල හැකිය . ඉන් මා අදහස් කරන්නේ විප්ලවාදී දේශපාලනය පිළිබද දෘඩතර උනන්දුවකින් කැප කල දේශපාලන විජේවීර සහ සිය ළමයින්ට සහ බිරිඳට තදින්ම බැදී සිටි එතරම්ම දේශපාලනික නොවූ මානවවාදී විජේවීරය.

දේශපාලනික විජේවීර අද ජවිපෙ සහ පෙරටුගමින්ගේ පක්ෂ දෙක සමග න්‍යායිකව සහ දේශපාලනිකව ජිවත් වන බව ප්‍රකාශ කිරීම සධාරණය.

දේශපාලනික නොවන මානවවාදී විජේවීර ඔහුගේ බිරිද සහ දරුවන් සමග සදහටම ජිවත් වනු ඇත. ‘ගින්නෙන් උපන් සීතල‘ චිත්‍ර පටියේ ඉතාම තීරණාත්මක අවස්ථාවක ළමයින් හැර යාමට නොහැකිව තැවුණු විජේවීර දේශපලනික නොවන පවුලේ විජේවීර‘ වෙයි.

1971 තරුණ කැරල්ල සහ 1987-89 තරුණ නැගිටීම විජේවීර ගේ ජැකොබියානු මොහොතයි.ඔහුගේ විප්ලවීය යෝජනා ක්‍රමය ලෙනින්වාදී ය.සෑම බෝල්ෂෙවිකයෙකුම ජැකොබියන් වාදියෙකු විය යුතුයයි ලෙනින් විශ්වාස කළේය.විජේවීර 1971 කැරැල්ල පරාජයන් පසුව හිරගෙදරදී බෝල්ෂෙවික් පක්ෂයක් පවා නිර්මාණය කලේ ඉතාමත් කැපවීමකින් යුක්ත සහෝදර වරුන් ඒකරාශී කොට තබා ගැනීමට වුවද පසුව එය අත හැර දැමීමට සිදුවිය.

1971 කැරැල්ල මෙන්ම සහ 1989 සන්නද්ධ නැගිටිමද පරාජයෙන් කෙලවර විය. මේ අවස්ථා දෙකෙහිම ජවිපෙ සහ විජේවීර ඉගෙන ගත් පාඩම් මොනවාද? හෙගල් Phenomenology of Spirit හි පවසන අයුරු ‘ප්‍රඥාව නමැති බස්සා උගේ තටු සළන්නේ සැන්දෑ කාලයේ බැවින් ප්‍රඥාව ලැබෙන්නේ දවස අවසානයේය.එම නිසා දවස ආරම්භයේ සිට එය වර්ධනය වූ ආකාරය ගැන ස්වයං සම්ප්‍රජනානයක් ඇතිකර ගත හැක්කේ දවස අවසානයේය‘. දර්ශනයේ වර්ධනය අරභයා හෙගල් කරන මේ යෙදුම ජවිපෙට ප්‍රඥාව ලැබුන ආකාරය පිලිබදවද යෙදිය හැකිය. සන්නද්ධ ප්‍රවේශය පරාජයෙන් කෙලවර වීමෙන් පසුව ජවිපෙ අද නිර්ප්‍රචණ්ඩ මාවතට පිවිස ඇති බව පෙනේ. විජේවීර ජිවත්ව සිටියානම් ඔහුගේ ප්‍රවේශය එයම වේදැයි අප ට ප්‍රශ්නයක් නැගිය හැකිය. හෙගල් ගේ මේ උපදේශයෙන් ජවිපෙට විවේචනයන් සැපයු මා ඇතුළු බොහෝ දෙනෙක් ජවිපෙ වෙනස් වීම ගැන සලක බැලිය යුතු ප්‍රඥාව දශක හතරතරකටත් වැඩි කාලයකින් පසුව ලබා ගත යුතුව ඇත්තේ අපට සමහර දේශපාලන නිමේෂයන් මගට මග හැරිය නොහැකි බැවිනි. එසේ වන්නේ අප මුහුණ දී සිටින මේ දේශපාලන නිමේෂදී ජවිපෙ සහ පෙරටු ගාමින්ට සුවිශේෂ වූ කාර්ය භාරයක් පැවරී ඇති බැවිනි.

ලංකා ඉතිහාසයේ සාමාන්‍ය ගමන වෙනුවට සමාජ විප්ලවයක් මගින් නැත්නම් වේගවත් පිම්මකින් ඉදිරියට යාමට පක්ෂයක් නිර්මාණය කිරීමට විජේවීර ගත් උත්සාහය සහ ඔහුගේ ජැකෝබියන් මොහොත අඩපන වීම තුල ජැකොබියානු ආකාරයේ තේරුමක් නැති මිනීමැරීම් මෙන්ම සතුරුන් සහ මිතුරන් අතර ඉතාමත් අකටයුතු ලෙස බෙදාවෙන්කිරීමේ වැරදි ද සිදු විය.එමනේම මේ රටේ විවිධ පිඩිත ජන සමුහයන් හිත මතාම බැහැර කිරීමද සිදු විය.මෙහිදී තවමත් ජවිපෙට ප්‍රඥාව ලැබී නැත.මෙය විජේවීර ලංකාවට මාක්ස්වාදය ගලපන ලද ආකාරයයි.ලංකාවේ ධනපති ක්‍රමයට එරෙහිව වමට එතෙක් මෙතෙක් පහලවූ තීක්ෂණ වාග් ප්‍රහාරයක් එල්ල කල විජේවීර මාක්ස්වාදය මෙරට ගැලපු ආකාරයේ දෝෂයන් මග හැරියේනම් සාර්ථක වීමට ඉඩ තිබුණි.

අද ලංකාව පසු කරන දේශපාලන නිමේෂය අතිශය තීරණාත්මකය.වර්තමාන පාලන තන්ත්‍රය අධිකාරවාදී පාලනයක් දෙසට ගමන් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා අපේ රට මුහුණ පාන බරපතල සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසදුම එය බව ඔවුන් විශ්වාස කරන බැවිනි.නමුත් ඔවුන් එය ඉටුකිරීම පිණිස බලවත් මර්ධනයක් දියත් කරනු ඇත.මේ අපේ රට දශක ගණනක් ආපස්සට ගෙන යාමක් වනු ඇත.මේ මහා මැතිවරණයේදී අප ගන්නා ස්ථාවරය අතිශයින්ම තීරණාත්මකය.පාර්ලිමේන්තුවෙන් තුල සහ පිටත අධිකරවාදයට සහ ආඥා දායක නැඹුරුවට එරෙහිව විශ්වාසය තැබිය හැක්කේ වමේ පක්ෂ වල අපේක්ෂකයන් පාරිලිමෙන්තුවට යැවීමෙන් පමණි.එම නිසා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන්ට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂයනට ජන්දය දීම අධිකරිවාදයට එරෙහි ජනතා කොටස් ශක්තිමත් කිරීම පිණිස අත්‍යවශ්‍ය කාරණයක් ලෙස පැන නගී.අනික් අතට මෙය වම ගොඩ නැගීම සදහා කරන පියවරක් ලෙස ද සැලකිය යුතුවන්නේය.

මේ නිමේෂයේදී ජාතික ජන බලවේගය සහ පෙරටුගාමින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය හැකිවන්නේ නම් මෙයට අඩ සියවසකටත් පෙර විජේවීර විසින් රෝපණය කල රුක්ෂය වඩා සරු පොළවක මුලික ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් ආරක්ෂා කළහැකි සාරවත් බිමක මහා රුක්ෂයක් සේ වැඩෙනු ඇත. ඔහුට දිය හැකි හොදම ජන්ම දින ත්‍යාගය එය වනු ඇත.

උපුටා ගැනීම – Sri Lanka Brief

Social Sharing
විශේෂාංග