වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි.

වදහිංසාවට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරිමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ අද (26) දිනටය. වදහිංසාවන්ට ගොදුරුවන වින්දිතයින් රැසක් අදටත් සිටිති. මේ වදහිංසා අතරින් ලංකාවේ කැපී පෙනෙන්නට ඇත්තේ පොලිස් වදහිංසාවය. ඇතැම් විට මේ වදහිංසාව අවසන් වන්නේ වින්දිතයා මරණයට පත් වීමෙනි.

කැටවල පිටිගේ සම්පත් නොහොත් රන්කොත් පේඩිගේ සංජීව සම්පත් විසි පස් හැවිරිදිය. ඔහු එල්ලක්කල, මීවිටිය පදිංචිව සිටි අයෙකි. 2018-08-07 වෙනි දින මොහු කඩවත, රන්මුතුගල ප්‍රදේශයේදි 34 හැවිරිදි චමිලා නැමැති දෙදරු මවක් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවෙකි. මහර අධිකරණය වෙත ගොස් නිවෙස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඇය වෙඩි වැදිමෙන් මිය ගියාය. ඇගේ ඝාතනයට හේතු වී තිබුණේ ඇගේ සැමියා වු බූරු මෙන්ඩි යන අයව කොන්ත්‍රාත් ඝාතකයින් දෙදෙනෙකු ලවා 2017- 12-31 වෙනි දින ඝාතනය කිරිමය. ඔහුගේ ඝාතනයෙන් කෝපයට පත් වු ගණේමුල්ල සංජීව විසින් මෙම කාන්තාව ඝාතනය කිරිම සඳහා කැටවල පිටිගේ සම්පත් යොදවාගෙන තිබුණි.

මොහු දක්ෂ වෙඩික්කරුවෙකු වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද වේ. මොහු  අද උදෑසන මල්වතුහිරිපිටිය, රබර්වත්ත පාර, පුවක්පිටිය ප්‍රදේශයේ සැරිසරන බවට ගම්පහ, මල්වතුහිරිපිටිය පොලිසියට ලද තොරතුරක් මත ක්ෂණික මාර්ග බාධක යොදා මොහු ගමන් කළ යතුරුපැදිය නැවැත්වීමට උත්සහ කළද ඔහු අධික වේගයෙන් පලා ගිය බව පොලිසිය පවසයි. එහිදි ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන්ට මොහු වෙඩි තබා ඇති බවද එහිදි පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කිරිමෙන් බරපතල තුවාල ලැබු මෙම සැකකරු මල්වතුහිරිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත. මෙහිදී විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මොන තරම් අපරාධකරුවෙකු වුවද පොලිසියකට ඔහුගේ ජිවිතය උදුරා ගැනීමේ අයිතියක් නැත. නමුත් පොලිසිය සිදු කරන්නේද එයමය. පහුගිය කාලයේ මෙම තත්ත්වය මැඩපැවැත්වී තිබුණද දැන් දැන් යළි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදි වෙඩි වැදීමෙන් මිය යන සංඛ්‍යාව වැඩි වෙමින් පවතියි.

පහුගියදා මිනුවන්ගොඩදි ගොනාකෝවිලේ රාජා යන සැකකරුද පොලිස් අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත් විය. එමෙන්ම මොණරාගලදීද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිස් වෙඩි පහරින් මිය ගියේය. මේවා මේ මෑතක සිදු වු ඝාතනය. මේ ඝාතන වලට ඝාතකයින් වන්නේ නීතිය හා සාමය සුරැකීමට සිටින නිලධාරීන්ය.

මේ වන විට රටේ සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුමක් රජය විසින් අරඹා ඇති බව මුලු රටම දන්නා දෙයකි. නමුත් ඒ මර්දනය සිදු වන්නේ ඔවුන් ඝාතනය කිරිමේන්ද යන ගැටලුව රටේ ජනතාව ඉදිරියේ ඇත.

Social Sharing
නවතම