වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා  හදුනා ගැනීම  – කථිකාචාර්ය චන්දිමා ජයසේන

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා හදුනා ගැනීම - කථිකාචාර්ය චන්දිමා ජයසේන

2020 ජුනි 26 වන දින වධහිංසා වලට ලක්වූවන් ස්මරණය කිරීමේ දිනය ලෝක වාසී ජනතාව විසින් වාර්ෂිකව  සමරනු ලබයි .  වාර්ෂීකව සමරන විවිධ දින කොරතම් අපිට ඇති නමුත්  එම දින කොතරම් අපේ ජීවිතය හා බද්ධ වී  ඇති ද එම  දින කෙතරම්  අනෙකා තේරුම් ගැනීමට යොදාගත හැකි ද යන්න  සමාජ වැඩ වෘත්තිකයින් වන අප සිතිය යුතු වෙයි.  සමාජ වැඩ වෘත්තීය භාවිතය තුල පුද්ගල, කණ්ඩායම් සහ ප්‍රජා මතකයන් සමාජයක් ප්‍රගතිශීලි දිශානතියකට යොමු කිරීමේ දී අතිශය වැදගත් සංකල්පයක් වේ.  මෙම අදහස තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය හෙයින්, මතකයන් පිළිබද සංස්කෘතිය සහ සමාජ වැඩ භාවිතයට කෙතරම් බද්ධ ව පවතීද යන්න සාකච්ඡාවේ වැදත්කම මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

මතකයන් පිළිබද ශාස්ත්‍රීය සාකච්ජාව ආරම්භ වන්නේම ෆ්‍රොයිඩ් විසින් සැබෑ මතකය ආවරණය කිරීමට සහ නිරූපණය කිරීමට කතා කිරීමේ ප්‍රතිකාරය භාවිතා කරනු ලැබීමෛන් බව  දැක්විය හැකිය.  මුල් කාලීන  මනෝ විශ්ලේෂණය තුල මතකයන්  ඒසේ නැත්නම් පාපොච්චාරණයෙන් අපේක්ෂා කළේ  සංස්කෘතික සහ දේශපාලන තත්වයන් තුල මර්දනය කරන ලද මතකයන් අනාවරණය කර ගැනීමට යොදා ගත හැකි උපක්‍රම ලෙසයි. ඒය මනෝවිද්‍යාවේ සහ සමාජ වැඩ  භාවිතයන් අතර ඇති  සම්බන්ධතාවයෙන් ද තවදුරටත්  පැහැදිලි වේ.

දාර්යා ෂර්විෂෙක් තවදුරටත්  දක්වන්නේ, “මිනිසුන් විසින් මතක තබා ගැනීමේ සංස්කෘතිය එදිනෙදා ජීවිතයේ ප්‍රජාතන්ත්‍රීයකරණයේ වැදගත් අංගයක් වී ඇති බවයි”. මතකයන් පිළිබද සංස්කෘතියේ වැදගත්කම පිළිබදව ඇය මතු කරන තර්කය නම්, පුද්ගලික කථා සමාජ වැඩ වලදී පමණක් නොව පොදු කතිකාව තුළ දී ද ප්‍රබල ලෙස හදුනාගත යුත්තක් බවයි. වධහිංසා පැමිණවීමේ අපරාධයට එරෙහිව කථා කිරීම සහ ලොව පුරා වින්දිතයින්ට සහ දිවි ගලවා ගත් අයට ගෞරව කිරීම සහ සහයෝගය දැක්වීම සඳහා වාර්ෂිකව ජුනි 26 වන දින පවත්වනු ලබන ජාත්‍යන්තර සැමරුමකි. මෙය සිතාගත නොහැකි ලෙස විඳදරාගත් අයට අපගේ ගෞරවය පුද කරන දිනයකි. මෙය ලෝකයට කිව නොහැකි අයට එරෙහිව කථා කිරීමට අවස්ථාවකි. ලොව පුරා වධහිංසාවලට ගොදුරු වූවන් සහ දිවි ගලවා ගත් බොහෝ දෙනා සිහිපත් කිරීම හා ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා මෙම  දිනය වෙන් කර ඇති  ඒ සදහා සමාජ වැඩ වෘත්තිකයින් වන  අපට කළ හැකි මැදිහත් වීම  කුමක් ද?. සියලු වධ හිංසාවන්ට ගොදුරු වූවන්ට ඵලදායී හා කඩිනම් සහන, වන්දි සහ සුදුසු සමාජ, මානසික, වෛද්‍ය සහ වෙනත් ආකාරයේ පුනරුත්ථාපන ලබා දීම ද රාජ්‍යයන්ගේ යුතුකම බවත් ඒ් සදහා සමාජ වැඩ වෘත්තිකයින්ගේ මැදිහත්වීම අවශ්‍ය අනිවාර්ය ක්ෂ්ත්‍රයකි. නමුත් ඊට වඩා ඔබ්බට ගියහොත් සමාජ වැඩ භාවිතය තුල මතකයන් පුද්ගලයින් කණ්ඩායම් ප්‍රජාවක් ගොඩනැගීමට  කේන්ද්‍රීය කාර්යභාරයක් සිදු කරන බව දාර්යා ෂර්විෂෙක් 2008 හි ප්‍රකාශයට පත් වූ  Social Work as Memory Work in Times of Political Conflict යන ලිපියෙහි දක්වයි.

දේශපාලන ප්‍රචණ්ඩ භූමියක අත්දැකීම් දාර්යා විස්තර කරන්නේ, වින්දිතයින්ට පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ඇහුම්කන් දීමටද අවශ්‍ය වන හෙයින් වින්දිතයින් බොහෝ දෙනෙක් පවසන්නේනම්  “අන් අයට ඒම අත්දැකීම්   දැන්වීමට  අවශ්‍ය නිසා ,  ඔවුන්ගේ  අදුරු මතකයන් ප්‍රකාශ කරන බව” ඇගේ පර්යේෂණ අත්දැකීම් මගින් දක්වනු ලබේ. දේශපාලන ප්‍රචණ්ඩත්වයක් පවතින හෝ පැවති  භූමියක සමාජ වැඩ වෘත්කයින් විසින්  පවුල, කන්ඩායම් සහ ප්‍රජාවට ඔවුන්ගේ ජීවිත්වීමට  සහ  ආරක්ෂාවකට  සෘජුව මැදිහත් වේ. විශේෂයෙන් යුද්ධයේ ප්‍රචණ්ඩත්වය, රුධිරු බව, අහිමිවීම්, ඝාතන, දුක් සුසුම්  මූලික සමාජයක් වෙලා ගන්නා විට  අසංවිධානය වන මානව සමාජයේ පුද්ගල සහ සාමූහික ජීවත ගොඩනැගීමේ ප්‍රබල භූමිකාවකට උර දීමට සමාජ වැඩ වෘත්තිකයන් වන අපහට ඇති බව සමාජ වැඩ වෘතියේ ඉතිහාසය,  විකාශණය සහ වර්තමාන තත්වය දෙස අවධානය යොමු කරන විට සනාථ  වෙයි.

දාර්ය ෂර්වෂෙක්  දක්වන ආකාරයට “ ස්මරණයන් යනු අතීතයේ කොටසක් අවසන් කර ඇති බවයි. අප සොයා බැලිය යුත්තේ එය අදහස් කරන්නේ කා සඳහාද යන්නත් එය නියෝජනය කරන්නේ කවුද? ” ජන සංහාරයෙන් හා යුද්ධයෙන් දිවි ගලවා ගත් අය සමඟ වැඩ කරන සමාජ වැඩ වෘත්තිකයින්ට වටිනාකමක් සහිත කතන්දර වෘත්තීය මැදිහත් වීමේ දී ප්‍රබල ජීවි ගුණයක් සපයනු ලබයි. සමාජ වැඩ යනු කතන්දර (Story telling) , කථා වල තේරුම සහ සාක්ෂි වල වැදගත්කමට ප්‍රබල වටිනකාමක් ලබා දෙන විෂය පථයක් නිසා මතකයන් සහ ඒ්වාට සමාජ වැඩ භාවිතය අතර ඇති සම්බන්ධයේ ගැඹුර මෙමගින් පැහැදිලි වේ.

එල්. ටී. ටී. ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිණිවිමර්ශ ජෙයකුමාර  විසින් කොටි සංවිධානය හා සම්බන්ධ තම ක්‍රියාකාරකම් හා බිහිසුණු අත්දැකීම් විවරණය කරමින් දෙමළ බසින් ලියු කෘතිය සිංහල බසින් ‘තියුණු අසිපතක සෙවණ යට’ නමින් පළ වූ සාමිනාදන් විමල් විසින් පරිවර්තනය කරනු ලැබූ කාතිය මගින් ප්‍රචණ්ඩත්වය පිළිබද  මතකයන් සහ සමාජ වැඩ වෘත්තීය භාවිතය පිලීබද සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට අත්වැල් සපයනු ලබයි.

පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ මතකයන් පිළිබදව ඉතිහාසය පිළිබද විමර්ශනයේ  දී ප්‍රචණ්ඩ සමාජ අරගල තුනක පුද්ගලික සහ පොදු අනුභූතීන් හදුනාගත හැකිය.මෙම අමිහිරි  මතකයන්  තුලීන් ගොඩනැගුණු  ජීවිත සහ ඉදිරි ගමනක් නැති ආපස්සට හැරවූ ජීවිත  ඉතිහාසයක සාක්ෂිකරුවෝ ශ්‍රී ලංකාවෙහි තවත් ජීවත් වෙති.  ඒම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූයේ  ඔවුන්ගේ සමීපතමයෝ විය හැකිය. ඔවුන්ගේ කණ්ඩායමේ හෝ ප්‍රජාවේ සාමාජිකයන්  විය හැකිය. ඒදිනෙදා ජීවිත සමග කෑකෑරෙන මෙම ජීවිත සහ රට ගොඩනැගීමේ ප්‍රබල විපර්යාකරක භූමිකාවක් සමාජ වැඩ කරුවන් විසින් සිදු කළ හැකිය. ඒය ශ්‍රී ලංකාවේ අල්ප කේෂ්ත්‍ර තුල සමාජ වැඩ වෘත්තිය හදුනා ගෙන ඇති නමුත් පුළුල් දේශපාලන මැදිහත් වීමක දී සමාජ වැඩ වෘත්තිකයන්ගේ කාර්යභාරය සහ  දායකත්වය  පිළිබදව පුළුල්ව හදුනාගෙන නැත.

ශ්‍රී  ලංකාව වැනි රටක යුධ ඉතිහාසයකට උරුමකම් කියන රටක මතකයන් ස්මරණය කළ යුත්තේ ඇයි? මළවුන් ගැන පමණක් නොව දිවි ගලවා ගත් අය ගැන පිළිබදව. ඒය කිලින් සදහන් කල ආකාරයට මතකයේ සංස්කෘතිය යන්න එදිනෙදා ජීවිතයේ ප්‍රජාතන්ත්‍රීයකරණයේ කොටසකි.පුද්ගලික කථා මගින් ප්‍රජාවන් නිර්මාණය වන අතර එය සමාජ වැඩ වලදී පමණක් නොව පොදු කතිකාව තුළ ද සමාජීය වේ.

දේශපාලන ප්‍රචණ්ඩත්වයේ පුද්ගලයන්ට සිදුවන වධහිංසා පැමිණවීම, ළමා අපයෝජනය  සම්බන්ධයෙන් පවතින ගැටළු වලට යුක්තිය ඉටුකිරීමට, ළමා අපයෝජනයට ගොදුරුවූවන්ගේ නිහඩතාවය බිදීමට, වාර්ගික සුළුතරයන්ට සිදුවන  වෙනස් කොට සැලකීම, යුද්ධයේ දී දෙමාපියන් අහිමිවන දරුවන් සහ හිංසනයට ගොදුරුවන  දරුවන්ට පුද්ගලික මට්ටමින් සහ සාමුහික මට්ටමින් මැදිහත්වීමේ දී  සවිබල ගැන්වීමේ දී මතකයන් පිළිබද සමාජ වැඩ අත්‍යවශ්‍ය  භාවිතයකි. තවදුරටත් මතකයන් පිළිබදව පැහැදිලි කරන්නේ  නම්, සමාජ වැඩවලට ඉතිහාසයේ ඇති  වැදගත්කමට  මෙමගින් අර්ථ සපයනු ලැබේ.

රටක සාමාන්‍ය  පුරවැසියන් මෙන්ම රජය ද මතකයන් ප්‍රතික්ෂේප කිරීම මිනිසුන් අතර වඩා පුළුල් බෙදීම් ඇති කරනු ලබයි . එය  පුද්ගල ජීවිත තීරණය කිරීමට  සහ අන්තර්ක්‍රියා කෙරෙහි ද සෘජුවම  බලපානු ලබයි. අත්දැකීම් නොසලකා හැර ලබන ජයග්‍රහණ සැබෑ ජයග්‍රහණ නෙවන බව දරුණු යුධ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව 2009 සිට අද දක්වා සපථ කර ඇති පාඩම් වෙයි.   ඒකම මවක සහෝදරයන් දෙදෙනෙකේ සමග ඇති වූ දරුණු යුද්ධයේ  කායික  මානසික තුවාල පිළිබද  තමිලීනි සදහන් කරන්නේ,

රටේ තවත් වතාවක් ලේ ගංගාවක් ගලා නොයා යුතු ය. කිසිම මාතාවක තම දරුවා වැදූ කුසටද දරුවා හොවා ඇති මිනීපෙට්ටියට ද ගසමින් අඬා වැළපීම නොකළ යුතු ය. අපේ අනාගත පරම්පරාව අපේ බුද්ධිමය ශක්තියෙන් පමණක් ලෝකය දිනාගැනීමට අනවරත උත්සාහයක නිරත විය යුතු ය.”

දශක තුනක් තිස්සේ  අප තුල ඇති කල කම්පන සහගත හිරිවැටන්න මතකයන් තුලින් අප ඉගෙන ගත  යුතු පාඩම කුමක් ද? ඒ් සදහා තමිලීනි විසින් ලබාදෙන ගැඹුරු පණිවිඩය කුමක් ද? ගැඹුරු දේශපාලන පාපොච්චාරණයක නිරත වන තමිලීනිගෙන්  සංකේතවත් වන්නේ යුද්ධයට සෘජුවම සහ වක්‍රව ගොදුරු වූවන් මෙන්ම අනාගත පරම්පරාවට ද ජාතිවාදය නැමැති මානසික ව්‍යාධීයෙන් ‌ගොඩඒ්මට අවශ්‍ය පසුබිම කෘතිය තුලින් ගෙනහැර දැක්වීමෙනි.  අදීන  ජාතියක් ගොඩනැගීමට නිරන්තර  උත්සාහයක නිරත විය යුතු වේ. ඒ් සදහා  මතක ව්‍යාපෘතිය තුල වැඩ කරීමේ දැනුම පද්ධතිය පුළුල් කරගැනීමත් දරුණු දේශපාලන ප්‍රචණ්ඩ භූමියක මතකයන් සමග  වැඩකරන තරුණ සමාජ වැඩ වෘතිකයින්ට තමිලිණිගේ හෘද සාක්ෂිය දකුණේ සමාජය ආමන්ත්‍රණය කිරීමේ දී ප්‍රබල මෙවලමක් ලෙස යොදා ගතහැකි බව තවදුරටත් දැක්විය හැකිය. තමිලිණීට විප්ලවයට තිබූ ගෞරවය, සංවිධානයට තිබු ආත්ම බැඳීම, භාෂාත්මක මෙන්ම දේශපාලනික අවකාශයක දිග හැරීමෙන් සමාජ වැඩ වෘත්තීය භාවිතය තුළ පුද්ගලික මතකයන් සමාජ වැඩ භාවිතයේ සාක්ෂීකරුවන් ලෙස යොදා ගත හැකිය. ඒ් සදහා ස්වයං චරිතාපදාන ප්‍රබල පිටුවහලක්  සපයනු ලබයි.

මේ හා සමානව ඉෆාත් ෆාතිමා විසින් 2005 දී අධ්‍යක්ෂණය කරන ලද,  යුද්ධයේ හා සාමයේ අනෙක් පැත්ත  (Lanka – The Other Side of War and Peace by Iffath  Fatima)  යන ලේඛන ගත චිත්‍රපටිය තුලින් ශ්‍රී ලංකාවේ මෑත ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ  ඉතිහාසයට කදිම සාක්ෂියක් සපයනු ලබයි. ශ්‍රී ලංකා රජය සහ දෙමළ ඊලම් විමුක්ති කොටි අතර සන්නද්ධ ගැටුම්, ජනතා විමුක්ති පෙරමුණේ  සන්නද්ධ රාජ්‍ය විරෝධී නැගිටීම් සහ රජය විසින් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සහ වාර්ගික කැරලි කෝලාහල  මෙම ලේඛන ගත චිත්‍රපටියේ  ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ උතුරු හා දකුණු භූ දර්ශනයන් ජාතිවදී ගිණි ඇවිලෙන ආකාරයත්  ප්‍රචණ්ඩත්වය හා ගැටුම් ඉතිහාසය ගැඹුරු අවලෝකනයක් මෙම චිත්‍රපට මගින් අපිට  සිහිපත් කිරනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වය පිළිබද මතකයන් පුද්ගල සහ සාමුහික ප්‍රතික්ෂේප කිරීම, මිනිස් ජීවිත වලට අදාළ වන සංසිද්ධීන් බලය හිමි පාර්ශවයන් විසින් තේරුම් නොගැනීම, දරුණු මතකයන් පුද්ගලයන් නිහඩ කරවීම පිළිබද සංස්කෘතියක් ගොඩනැගීමට බලපාන බව මෙම ලේඛන ගත චිත්‍රපටිය පරිශීලනය කරන සමාජ වැඩ වෘත්තිකයෙකුට අවබෝධ වේ.

නැවතත් තමිලීනි දෙස අවධානය යොමු කරන විට, ඇගේ ස්වයං චරිතාප්‍රදානයෙන් මෙන්ම ඉෆාත්  ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳි අය යුද්ධය හා සාමය පිළිබඳ ඔවුන්ට ඇති විශාල ආඛ්‍යානයට ප්‍රකාශයක් ලබා දෙනු ලැබේ. විශේෂයෙන්, ඔවුන්ට සිදු වූ  අලාභය, අවතැන්වීම සහ පැවැත්ම පිළිබඳ කථාන්දර විස්තර කරමින් දේශපාලන ප්‍රචණ්ඩ භූමියක වැඩ කරන සමාජ වැඩ වෘත්තිකයින්ට අතීත මතකයන් තුලින් ඉගෙන ගැනීමට ඇති වපසරිය පෙන්වා දේ. අදාළ පාර්ශවයන්ට සෘජුව මැදිහත්වීමට  අවශ්‍ය පාලම මතකය ව්‍යාපෘති පිළිබද වැඩ කරන සමාජ වැඩ වෘත්තිකයින්ට .

තමිලිනී ඇගේ මතකයන් ඇය ඉදිරිපත් කරනු ලැබූයේ පුද්ගලික මතකයන් මුද්‍රීතව ප්‍රකාශයට පත්කිරීම මගිනි. ඒමගින් සමාජ වැඩ වෘත්තිකයාට පොදු ක්ෂේත්‍රයට ප්‍රවේශ විය හැකි මාර්ගයක් පෙන්වනු ලබයි.  ජේ. හාට්මන් (1994) දක්වන්නේ  “සමහර  සංස්කෘතීන් එහි මතක ඉවසීමේ මට්ටමට වඩා වෙනස් වන බවයි.” අමිහිරි මතක ඉවසීමේ සංස්කෘතියත් මතකයන් වලට ප්‍රතිචාර දැක්වීමේ සංස්කෘතියත්   නිසා පුද්ගලයාට, කණ්ඩායම්වලට සහ ප්‍රජාවට  ඇතිවන අහිතකර තත්වය  පුදගලයාගේ ජීවිතයේ ගුණාත්මකභාවයට  මෙන්ම රටක ඇතිවිය යුතු නිරෝගීභාවයට ප්‍රබල ලෙස බලපෑම් කරනු ලැබේ. සමාජ වැඩ වෘත්තිකයාගේ වගකීම ඒ් බව හදුනා ගැනීම  වේ. ඒ් නිසා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට, ඔවුන්ගේ කතාවට ගැඹුරින්  සවන් දීම අත්‍යවශ්‍ය වේ.

ජීවිත කතා වලට සවන් දීම සහ පටිගත කිරීම පුද්ගල හා සමාන ප්‍රජාතන්ත්‍රීයකරණයට හේතු වන අතර මෙමගින් සමාජය වෙනස් කළ හැකිය.

“මතකය ගොඩනඟා ඇත්තේ අතීත කණ්ඩායම් මතකයන් වල මතක කොටස් තනි පුද්ගලයාගේ පෞද්ගලික මතකයක් තුළට ගෙන යන මතක මැදිහත්කරුවන් හරහා ය. පුද්ගලයා මෙම මතක කොටස් ඔහුගේ / ඇයගේ පෞද්ගලික මතකයට ඇතුළත් කරනු ලබයි යන ”හැල්බවාච් (1950) අදහස උපුටා ගත්තේ දාර්යා ෂාර්විෂෙක්ගෙනි .මෙම ප්‍රකාශයේ ගැඹුර නැවතත් තමීලිනිගේ කෘතිය මගින් ඔප්පු කර පෙන්වනු ලබයි. යුද්ධය  යුක්ති සහගත වූවක් නොවේ. යුද්ධය තුළ දහස් ගණන් අදුරු මතකයන් තුලින්  ප්‍රකාශවන මනුෂ්‍යත්වයේ මරණයන් පිළිබද අදුරු මතකයන්,  කිසි විටෙකත් යුක්ති සහගත කළ හැක්කක් නොවේ යන්නට නිදර්ශනවලින් ඇගේ කෘතිය පුරා පිරී ඇත. ප්‍රචණ්ඩත්වය පැවති භූමියක, සහජීවනය, සංහිදියාව ගොඩනැගීමේ නියෝජීතයන් වන සමාජ වැඩ වෘත්තිකයින් වන අප හට මනුෂ්‍යත්වයෙහි පොදු භාෂාව වූ ප්‍රේමය විවිධත්වයට  ආමන්ත්‍රණය කිරීමේ පාලම ලෙස යොදා ගැනීමේ ඉගි කෘතිය පුරාවට සපයනු ලබේ.

එල්.ටී.ටී.ඊය දෙමළ සමාජයේ විමුක්ති සගයා නොවූ බවට ද කරුණු රැසක් තියුණු අසිපතක සෙවණ යට කෘතියේන් තමිලිනි දක්වන්නේ දෙමළ සමාජයෙන් ආ ප්‍රබල  ප්‍රතිවිරෝධතාවක් ලෙසිනි. ඒ් අතර අනිවාර්ය බදවා ගැනීම්, අත්තනෝමාතික ආකාරයෙන් සිදු වූ පාලනය, අනුගමනය කළ බදු  දෙමළ සමාජය විසින්ම දැඩි දෝෂදර්ශනයට ලක්කරමිනි. ඒයට කදිම සාක්ෂී රාජීණි තිරණාගම බිදුණු තල්රුක කෘතියෙන් ද  සපයනු ලබයි.  අවසානයේ ඇය ඝාතනයට ලක්වන්නේ ද කොටි සංවිධානය විසින් සිදුකරනු ලැබූ ප්‍රචණ්ඩත්වය මෙන්ම මනුෂ්‍ය ඝාතන ප්‍රතිකේෂේප කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙසයි.

ජීවිත කතා වලට සවන් දීම සහ පටිගත කිරීම පුද්ගල හා සමාන ප්‍රජාතන්ත්‍රීයකරණයට හේතු වන අතර මෙය සමාජය වෙනස් කළ හැකිය. දෙමළ සමාජයේ තමිලීනි, රාජිණි වැන්නන්ගේ පුද්ගලික මතකයන් මෙන්ම සාමූහික මතකයන් පිළිබදව කථිකාව ඔවුන්ගේ පුද්ගලික අනන්‍යතාවය නැවත අර්ථ දක්වයි. ඒය සමාජ වැඩ භාවිතයට ප්‍රබල පිටුවහලක් වන්නේ පුද්ගලික මතකයන්ගේ ඒකතුවට සාමූහික මතකයන් වලට ප්‍රජාවක් නිර්මාණය කිරීමේ  සාමූහික බලයක් ඇත.  එය ජනවර්ග අතර සහජීවනය ඇතිකිරීම සහ ඔවුන් තුල සුව කිරීම සදහා  මතක වැඩ ප්‍රජාවන් ශක්තිමත් කරන අතර ධනාත්මක සමාජ හා සමාජීය වෙනස්කම් වලට සහාය වේ. තමීලිනීගේ  ස්වයං චරිතාප්‍රදානයන් පෙන්වා දෙන්නේ කතන්දර   ලිවීම මගින් සාමූහික මතක තබා ගැනීම සඳහා සමාජ වැඩ වෘත්තිකයින්ට වැදගත් වන බවයි.

පුද්ගලික, සාමූහික හා පොදු මතකය අතර සම්බන්ධතාවයේ ප්‍රබල බව තමීලිනි ඇගේ අදහස් වලින් දක්වන්නේ  “ආයුධ සන්නද්ධ අරගලයක් ආරක්‍ෂා කිරීමට ප්‍රේමය පිරුණු මාර්ග කීපයක් වසා ගෙන අපි හුදකලාව සිටියෙමු”. ඒම හුදකලාව විවිධත්වයට ආමන්ත්‍රණය කිරීමේ ගුණාංගයද, සමාජ සාධරණත්වය පිළිබද මූලධර්ම ද  ප්‍රමුඛ කරගෙන ප්‍රේමය පිරුණු මාර්ග විවෘත කිරීමේ පියවර තැබීමේ  භූමිකාවට උර දීමට  සමාජ වැඩ වෘත්තිකයන් හමුවේ ඇති වගකීම වේ.

 

චන්දිමා ජයසේන

20120.06.23

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment