පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!

නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට  පෞද්ගලික මුදලින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක් හා පොලිස් භාණ්ඩාගාර අරමුදලෙන් රුපියල් ලක්ෂයක්ද බැගින් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් හිටපු හමුදා සෙබලාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ ඉකුත් 16 වෙනිදාය.

හෙට්ටිපොල, පටපිලිගම පදිංචිව කේ.ඩී. සමන්ත පෙරේරා නම් හිටපු යුද හමුදා සෙබලාට මෙසේ වන්දි මුදල් ගෙවන ලෙස පොලීසියට නියම වී ඇත.

පොලිසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය

 කේ.ඩී. සමන්ත පෙරේරා

1996 වසරේදි පමණ ශ්‍රි ලංකා යුද හමුදාවට එක් වී ඇති සමන්ත 2002 වසරේ සිට සේවයට ගොස් නොමැත. පසුව ඔහු ඉන් නීත්‍යානුකූලව ඉවත් වී හෙට්ටිපොල, ගල්කන්ද කැඬුම් බිඳුම් වෙද සාප්පුවක සේවය කරමින් සිට ඇත.

සමන්ත පොලීසියේ වධහිංසාවට ලක් වන්නේ එසේ වැඩ කරමින් සිටියදීය. ඒ 2013 වසරේදියි. 2013 දෙසැම්බර් 07 වෙනි දින ඔහු සුපුරුදු ලෙස වෙද සාප්පුවේ සේවය කර සවස 4.30 ට පමණ ඉන් පිටත්ව ගොස් ඇත. එසේ යන විට ඔහු සොහොන් කනත්ත ළඟ බෝක්කුව මත තිබි සිම් කාඩ් පතක් අහුලාගෙන තිබේ. සමන්ත සිතා ඇත්තේ බෙහෙත් බඳින්න ආ කාගේ හරි කෙනෙකුගෙන් මෙම සිම්පත වැටෙන්නට ඇති බවය. ඒ නිසා ඔහු සිය ජංගම දුරකථනයට එම සිම් කාඩ් පත යොදා එහි ඇති අංක වලට ඇමතුම් ගෙන මෙම සිම්පත තමන් ඇහිලු බවත් බෙහෙත් බැඳිමට පැමිණි අයෙක්දැයි විමසා ඇත.

මෙහිදි පඬුවස්නුවර වීරේ මුදලාලි කියා කෙනෙකු කථා කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔහුගේ වෙලඳසැල හොරු කඩා දුරකථන රැගෙන ගොස් තිබු බවය. එහිදී සමන්ත පවසා ඇත්තේ සිම්පත තමන් බිම තිබි ඇහිලු බවත් අවශ්‍ය නම් එය රැගෙන යන ලෙසත්ය. එම දුරකථන ඇමතුම නිමා වී සතියක් පමණ ගෙවුණු තැන එනම් 2013 දෙසැම්බර් 13 වෙනි දින සමන්ත සිය සහෝදරයා සමඟ යතුරුපැදියෙන් දාම්පේ ගොස් ආපසු එන විට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදිය හරස් කර නවත්වා සමන්තව බිමට ඇද දමා ඇත. ඒ පුද්ගලයින් දෙදෙනා හෙට්ටිපොල පොලීසියේ නිලධාරීන් බව හඳුනාගත් සමන්ත ඇයි සර් මේ කියා විමසද්දී “වරෙන් යන්න පොලිසියට, තෝ දන්නේම නෑ නේද” කියා ඔහුව මඳ දුරක් බිම ඇඳගෙන ගොස් පසුව ඔවුන්ගේ යතුරුපැදියේ මැදින් වාඩිකරවාගෙන පොලිස් ස්ථානයට ගෙන ගොස් තිබේ.

එවකට හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා වුයේ අතුල කරුණාපාලය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වුයේ උප පොලිස් පරික්ෂක සුමනවීරය. සාජන් සමන්ද එම අංශයේ සිටි අයෙකි. උප පොලිස් පරික්ෂක සුමනවීර හා සාජන් සමන් සමන්තව පොලිසියට ගෙන යාමෙන් පසු ඔහුගේ අතේ විලංගු පිටින්ම මේසයක් යටට තල්ලු කර ඔහුව පාගා ඇත. පසුව පොලිසියේ පිටුපස කාමරයක් වෙත ගෙන ගොස් ඔහුට ඇඳුම් ගලවන්න යැයි කියා පවසා ඇත. සමන්ත එය ප්‍රතික්ෂේප කළ විට ඔහුව බංකුවක් මත නංවා දෑත් පිටුපසට කර ගැට ගසා ඔහුගේ මහපට ඇඟිලි දෙක කඹයකින් ගැට ගසා එම කඹය බාල්කයක් උඩින් දමා එක් කොනක් පොලිස් නිලධාරියෙකු අල්ලාගෙන සිටියදි සමන්ත නැඟ සිටි බංකුවට උප පොලිස් පරික්ෂකවරයා පයින් ගසා තිබේ. එහිදී සමන්තගේ දෑත් බැඳ තිබු කඹය පොලිස් නිලධාරියා විසින් ඇඳීමකට ලක් කර ඇත ඔහු එසේ කරන විට සමන්ත ඉහළට එසැවී යන අතර එහිදි සාජන් සමන් විසින් තමන්ට බටයකින් පහර දුන් බවද සමන්ත පවසයි. මේ ආකාරයෙන් දිනකට හය පාරක් පමණ එල්ලා කෲර ආකාරයෙන් පහර දී ඇති අතර පොලිසිය එසේ පහර දෙමින් විමසා ඇත්තේ වීරේ මුදලාලිගේ කඩේ කැඩීමට ගියේ වෙන කවුරුන්ද යන්නය. තමන් එවැනි සොරකමක් නොදන්නා බව දිව්ර දිව්රා පැවසුවද සමන්තගේ ප්‍රකාශය ඔවුන් පිලිගෙන නැත. මෙහිදී පහර කෑමෙන් සමන්තගේ හිස පුපුරා ගියද ඊට ප්‍රතිකාර ලබා දෙනවා වෙනුවට ඔහුගේ හිසට වතුර වක් කර ඇත.

මේ ආකාරයෙන් දින තුනකට වඩා කාලයක් අත්තනෝමතිකව පොලීසියේ රඳවා ගනිමින් පහර දුන් සමන්තව 2013 දෙසැම්බර් 16 වෙනි දින වැඩ  බලන මහේස්ත්‍රාත්වරයෙක් ළඟට ඉදිරිපත් කර ඇත. ඒ ගෙනියන අවස්ථාවේදි පවා සාජන් සමන් තමන්ගේ පසුපසට අත තිබු ගිණි අවියෙන් පහර දෙමින් කියා ඇත්තේ අපි උඹට ගැහුවා කියලා කිව්වොත් උඹව මරනවා යැයි බව සමන්ත පවසයි. ඔහු බය නිසාම මහේස්ත්‍රාත්වරයා වෙත කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර එහිදී ඔහුව 2013-12-24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

24 වෙනි දින අධිකරණයේදී පොලිසිය කියා ඇත්තේ මොහු හමුදාවෙන් පලා ආ අයෙකු බවය. ඒ නිසා අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මොහුව බෝයගනේ හමුදා පොලීසිය වෙත භාර දෙන ලෙසය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු විසින් සමන්තව 2013-12-28 වෙනි දින මඟී බස් රථයකින් බෝයගනේ වෙත කැඳවා ගෙන ගොස් ඇත. සමන්තව ඒ රැගෙන ගිය බස් රථයේ කොන්දොස්තරවරයා හඳුනන අයෙක් වු බැවින් සමන්ත ඔහුට කියා ඇත්තේ මාව දැන් බෝයගනේ ගෙනියනවා, අපේ අම්මට මගේ අස්වීමේ ලියුම අරන් එහාට එන්න කියන්න කියාය.

ඔහුගේ ඇමතුම අනුව සමන්තගේ මව වහාම එකී ලිපියත් රැගෙන බෝයගනේ හමුදා කඳවුර වෙත ගොස් එය ඉදිරිපත් කර ඇත. සමන්ත ඉන් නීත්‍යානුකූලව ඉවත් වී ඇති බව වටහා ගත් එම නිලධාරීන් පසුව සමන්තව හා ඔහුගේ මවව කැබ්රියකින් කුරුනෑගල ටවුමට ගෙනවිත් ඇරලවා තිබේ.

තමන්ට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් සමන්ත කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කර සිටියද ඉන් ප්‍රතිඵලයක් නොලද තැන ඔහු නැවත කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුව මේ පිලිබඳ පැමිණිලි කර ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ තම වැහැර පිහිටා ඇති කාර්යාලයට යන ලෙසය. සමන්ත එහි ගිය විට පැමිණිල්ල සටහන් කරගෙන පසුව ඔහුට කුරුණෑගල රෝහලේ නැවති ප්‍රතිකාර ලබා ගන්නා ලෙස එම කාර්යාලයෙන් දන්වා තිබේ. ඒ අනුව ඔහු රෝහලේ දින 4 ක් නේවාසිකව සිටිමෙන් පසු නැවත නිවසට ගිය විට යළි අසනීප වී ඇත. එහිදි හලාවත රෝහලට ඇතුලත්ව ඇති අතර එහිදි රෝහල අසල සිටි ලොතරැයිපත් විකුණන පුද්ගලයෙකු සමන්ත හා මිත්‍ර වී ඔහුගේ කථාව අසා ඔහුට පවසා ඇත්තේ වහාම පත්තර වාර්තාකරු ඔගස්ටින් ප්‍රනාන්දු මහතාව හමුවෙන ලෙසය. ඔහුගේ උපදෙස් මත සමන්ත ඔගස්ටින් මහතාව හමු වී මේ පිලිබඳ කියා සිටිමෙන් පසු ඔගස්ටින් මහතා මේ සම්බන්ධයෙන් පුවතක් පළ කර දි ඇත. එමෙන්ම සමන්තව ජා ඇල මානව හිමිකම් සුරක්ෂිත නිවහනේ හා ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරිනිය වු කුසුම් සිල්වා මහත්මියව හා යු.එල්.ඒ. ජෝශප් මහතා වෙත යොමු කර ඇත.

ඔවුන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නේ ඒ අනුවය. ඒ හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා වු අතුල කරුණාපාල, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වූ උප පොලිස් පරික්ෂක සුමනවීර හා  සාජන් සමන්ට එරෙහිවය. මෙම නඩුව රැගෙන ගියේ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසිනි. මේ වන විට සමන්තගේ උරහිස් නිතරම පැනීමකට ලක්ව තිබෙමින් තිබු අතර ඔහු මානසික ලෙස කඩා වැටීමකට ලක්ව සිටියේය. ඒ නිසා මොහුට පළමුව මානසික වෛද්‍ය උපදෙස් ලබා දිමට සිදුව තිබේ.

මේ අතර 2017 දි පමණ හෙට්ටිපොල පොලීසිය විසින් සමන්තට එරෙහිව ගෙන ගිය නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වන්නේ පොලිසිය අදාල චෝදනාව සම්බන්ධයෙන් කරුණු ඔප්පු කිරීමට නොහැකි වු නිසාය. එදින හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති, උප පොලිස් පරික්ෂක සුමනවීර හා සාජන් සමන් සමන්ත ළඟට පැමිණ පවසා ඇත්තේ මේවා දුර දිග ගෙන යා යුතු දේවල් නොවන බවත් සමන්තට රුපියල් ලක්ෂ 03 ක් ලබා දිය හැකි බවත් ඉන් කොටසක් ලෙස අද රුපියල් 30000 ක් ලබා දිය හැකි බවත්ය. මොවුන්ගේ කූඨ උපායට රැවටුණු සමන්ත තමන්ගේ නීතිඥවරයා ඉදිරියේ ඔවුන්ගෙන් රුපියල් තිස්දහස ලබා ගෙන ඇත.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවේදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ පොලීසිය සමන්තට රුපියල් ලක්ෂ 03 ක් දි මෙම ගැටලුව සමතයකට පත් කර ගෙන ඇති බවය. නමුත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කල වාද විවාද වලින් අනතුරුව සමන්ත ගෙන්වා ඒ ගැන ප්‍රකාශයක්ද ලබා ගැනිමෙන් අනතුරුව එය ලක්ෂ තුනක් නොව රුපියල් තිස් දහසක් බවට තහවුරු කර ගැණුනි.

මේ ආකාරයෙන් වසර කිහිපයක් පුරා පැවති නඩුව ඉකුත් 16 දා අවසන් වූයේ සමන්තට යුක්තිය ඉටු වීමෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඇතුලුව ඔහුට සහාය දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වන බව කියා සිටින්නේය.

-ශානිකා-

Social Sharing
නවතම විශේෂාංග