“පොලිස් හිංසනයට නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ලේකම්ද? අපිට සැකයි..”

“පොලිස් හිංසනයට නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ලේකම්ද? අපිට සැකයි..”

 

නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පළාත් සභා මන්ත්‍රී)

කොවිඩ් දෙවෙනි රැල්ලක් ඇවිත් තිබෙනවා, රට විශාල ආර්ථික අර්බූදයක ගිලෙමින් තිබෙනවා කියන දේ තමයි ආ‍ර්ථික විශේෂඥ මතය…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ කළමනාකරුවෙක් හොඳින් රට පාලනය කරන්න පුලුවන්, ආර්ථිකය හොඳින් පාලනය කරන්න පුලුවන් කියලා තමයි  බලයට ආවේ. විශේෂයෙන් එතුමා එක්ක හිටිය උගතුන් වියතුන් ආර්ථික විශේෂඥයන් කිව්වේ සල්ලි මවලා හරි ආර්ථිකය ගොඩදාන්න පුලුවන් කියලා. නමුත් අපිට පේනවා ආණ්ඩුව ආරම්භයේදීම වැඩේ අනාගත්ත බව. ආණ්ඩුව ආපු ගමන් මොකද කළේ? බදු කපා හැරියා, භාණ්ඩාගාරයට එන විශාල මුදලක් එමගින් ආණ්ඩුවට අහිමිවුණා. මේ හරහා විශාල වශයෙන් රජයේ ආදායම අඩුවුණා. කියන්න කනගාටුයි මේ වෙනකොට පත්ලක් නැති අගාධයකට රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙනවා.

මේ තත්ත්වය තුළ ආර්ථිකය ගොඩගන්න වර්තමාන ජනාධිපතිවරයා මොකවත්ම කරලා නැද්ද?

අද ජනාධිපතිවරයාගේ තනි අභිමතය පරිදි තමයි ආර්ථිකය හසුරවන්නේ. ඒ වගේම විශාල වශයෙන් මුදල් අච්චු ගහනවා. ඒ මුදල් අච්චු ගැසීම නිසා ඩොලරය ඉහළ යමින් තිබෙනවා. රුපියල බාල්දු වෙමින් තිබෙනවා. මේ හරහා භාණ්ඩ මිල සහ ජීවන වියදම ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම කොරෝනා නිසා මේ වෙනකොට විශාල වශයෙන් ආනයන තහනම් කරලා තිබෙනවා, අත්‍යාවශ්‍ය බඩු 32ක පමණ බදු වැඩි කරලා තිබෙනවා, මේ සියළු දේවල් හරහා රටේ ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ලකරමින් තිබෙනවා. ඒ නිසා කොරෝනා වසංගතය හේතු කරගෙන බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග අහිමිවෙලා තිබෙනවා. මේ ආදායම් අහිමිවීම මිනිසුන්ට කොච්චර බලපාලා තියෙනවද කියන දේ අපිට සෑම ක්ෂේත්‍රයකම කඩාගෙන වැටීම තුළින් පේනවා. හෝටල් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ප්‍රවාහන ක්ෂේත්‍රය, ආපනශාලා කර්මාන්තය, වගේ හැම ක්ෂේත්‍රයක්ම කඩාගෙන වැටීම තුළින් එහි රැකියාව කරන පුද්ගලයින්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා තිබෙනවා. ඒ හරහා ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය නැතිවෙලා තිබෙනවා. මේ තත්ත්වය අපිට හොඳට බලාගන්න පුලුවන් උකස්බඩු කඩයක් ළඟට ගියා නම්. ජනතාව තමන් ඉතුරු කරගත්ත රත්තරං බඩු උකසට තබමින් තමයි ජීවත් වෙන්නේ. බැංකුවක යම් මුදලක් තැම්පත් කරලා තිබෙනවා නම්, ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්න බැරි වෙලා තිබෙනවා. අතිකාල දීමනා කපලා දාලා තිබෙනවා. උත්සව දීමනා නතර කරලා තිබෙනවා. කිසිම දැනුන් දීමකින් තොරව යම් යම් හේතු සඳහන් කරමින් වැටුප් කප්පාදු කරමින් ඉන්නවා. එක් දිනක වැටුප් කැපීමක් සමහර රාජ්‍ය අංශවල සිද්ධවෙලා තිබෙනවා. හමුදා සාමාජිකයින්ට ලබාදෙන යම් යම් පහසුකම් අඩුකරලා තිබෙනවා. මේ නිසා අපිට පේනවා මේ ආර්ථික අර්බූදය සෑම ක්ෂේත්‍රයක් පුරාම මීදුමක්වගේ පැතිරිලා ගිහිං තිබෙනවා කියන දේ. මේ ආර්ථික අර්බුදය කොපමණ ප්‍රමානයකින් ජන ජීවිතයට බලපාලා තිබෙනවාද කියන දේ ගණනය කිරීමේ හැකියාවක් තාම නෑ. ඒකත් විශාල ගැටලුවක්.

ඔබ ගණනය කරලා නෑ කිව්වට මිනිස්සු අතරට ගියාම අපිට දැනගන්න ලැබෙනවා විශාල පිරිසකගේ රැකියා මේ වෙනකොට නැතිවෙලා බව..

පුද්ගලික අංශයේ 30%කට පමණ රැකියා අහිමි වෙයි කියලා පුරෝකථනයක් කරනවා. එසේ රැකියා අහිමි වීම ලක්ෂ 15කගේ පමණ ජීවිතවලට කෙළින්ම බලපාන්න පුලුවන්. ඒ සමගම ඔවුන්ගෙන් යැපෙන්නන් ආදිය ගත්තාම ලක්ෂ 40කගේ ජීවිත් වීම පිළිබඳ ප්‍රශ්නයක්  බවට මේ ආර්ථික අර්බූදය උඩු දුවන්න පුලුවන්. ඉතිං මේ තත්ත්වය තුළ මේ අය තමන්ට ආර්ථිකය ගැන හොඳ දැනුමක් කළමනාකරණ හැකියාවක් තිබෙනවා කියලා කිව්වට දැනටනම් අපිට පේන්නේ පරණ සුපුරුදු පාරෙම යන බව. ජනප්‍රියවාදී විදිහට රටේ ආර්ථිකය හසුරවන්න යෑම තුළ රටේ ආර්ථික ස්ථාවරභාවය නැත්තටම නැතිවෙන්න පුලුවන්. ද ෆිනෑන්ස් සමාගම මේ රටේ තිබුණ පැරණිම මූල්‍ය සමාගමක්, අපි දැන් දන්නවා ඒකට මොකද වෙලා තිබෙන්නේ කියලා. මේ වෙනකොට එම මූල්‍ය සමාගම වහලා දාලා තිබෙනවා. 146000 පමණ තැම්පත්කරුවන්ට තම මුදල් අහිමිවී යෑමේ අවධානමක් තිබෙනවා.

ඔබ මෙවැනි චෝදනා කළාට ණය පොලී වාරික කපාහැරීම, ණය ගෙවීම මාස තුනකට අත්හිටුවීම වගේ දේවල් ජනාධිපතිවරයා කළා නේද?

රජය, බැංකුවලින් ලීසින් සමාගම්වලින් ඉල්ලීමක් කළා මාස 6ක සහනයක් දෙන්න කියලා. නමුත් ලීසිං සමාගම් මේක තුට්ටුවකටවත් මායිම් කළේ නෑ. අනික් පැත්තෙන් මයික්‍රෝ ෆිනෑන්ස් ආයතන රජයේ නියෝග පැත්තකට විසි කරලා ණය වාරික ඉල්ලගෙන ගෙවල් ගානේ යන තත්ත්වයක් අද තියෙන්නේ. මේ කොවිඩ් වසංගතය හමුවේ වාරිකය ගෙවාගන්න බැරි ත්‍රීවීලර් රථ රියදුරෙක් වෙනුවෙන් කතාකරන්න ගිහිං එම සංගමයේ සභාපතිවරයාට මැරුණ් කන්න වුණා. මේක තමයි ආණ්ඩුව ජනතාවට දෙනවා කියපු සහනවල තත්ත්වය. අනික් පැත්තෙන් බැංකුවල පොලී අනුපාත අඩු කරනවා කිව්වා. 14% පොලිය 9%ට 7%ට අඩු කරනවා කිව්වා. නමුත් අපිට පේනවා ඒ නියෝග පිළිගන්න මූල්‍ය සමාගම් සූදානම් නැහැ කියන එක. ජනාධිපතිවරයා මහ බැංකුවේ නිළධාරීන් ගෙන්නල්ලා ඔවුන්ට බැන්න පමණින් තර්ජනය කරපු පමණින් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නෑ.

ඔබ කියනවා ජනාධිපතිවරයාගේ නියෝග පිළිගන්න මූල්‍ය සමාගම් සූදානම් නෑ කියලා. ඒ නිසාද විශාල වශයෙන් හමුදා නිළධාරීන්, වඟකිව යුතු ආයත ප්‍රධානීන් විදිහට පත් කරන්නේ..

අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ විශාල වශයෙන් හමුදා නිළධාරීන් හිටියා. අපිට දැන් පේනවා එම හමුදා නිළධාරීන් රාජ්‍ය අංශයේ  තනතුර සඳහා පත්වීම් ලබනවා. ආරක්ෂක ලේකම් ධුරයට විශ්‍රාමික හමුදා ජනරල්වරයෙක් වන කමල් ගුණරතන පත් කළා. කෙනෙකුට ඒ පත්වීම යුක්තිසහගත කරන්න පුලුවන් රටේ ජාතික ආරක්ෂාව සඳහා මෙහෙම දෙයක් කළා කියලා. ප්‍රශ්නය තියෙන්නේ මේ පත් කිරීම් එතනින් නතර වුණේ නෑ. වරාය හිටපු හමුදාපතිවරයෙක් වන දයා රත්නායක මහතා යටතට පත් කළා. ගුවන් තොටුපළ විශ්‍රාමික හමුදා ජනරල්වරයෙක් වන චන්ද්‍රසිරි යටතට පත් කළා. ඔහු යාපනයේ අඥාපති විදිහට වගේම ආණ්ඩුකාරවයා විදිහටත් කටයුතු කළා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට දීලා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විශ්‍රාමික හමුදා ජනරල්වරයෙක් වන ශාන්ත දිසානායක මහතාට ලබා දීලා තිබෙනවා. අද විදේශ කටයුතු අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ රියල් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා. නාගරික සංවර්ධන අධිකාරිය තුළ ජනරල් සොයිසා තමයි සියල්ල කරන්නේ. මීට අමතරව පරිපාලන සේවයේ ඉහළ නිළධාරීන්ගෙන් පිරවිය යුතු අමාත්‍යාංශය ලේකම් තනතුරු සඳහා ද හමුදා නිළධාරීන් පත් කරනවා. සෞඛ්‍ය  අමාත්‍යාංශය, මහවැලි හා කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම වී අලවි මණ්ඩලය, මේ විදිහට සෑම ක්ෂේත්‍රයකටම හමුදාව සිය අඩු විහිදුවමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිලිටරි මනස නිසා ඔහු හිතනවා හැමදේකටම විසඳුම තියෙන්නේ හමුදාව ළඟ කියලා. මාළු මිලදී ගන්න, එළවළු මිලදී ගන්න, පුරන් කුඹුරු කොටන්න, වී මිලදී ගන්න, මේ හැමදේකටම හමුදාව කැඳවන බව අපිට පේනවා. ජනාධිපති කාර්‍යසාධක බලකාවල තත්ත්වයත් මේකම තමයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පසු පොලීසියත් සෑහෙන්න වෙනස් බව පේනවා නේද?

ඔව් අද පොලීසිය සම්පූර්ණයෙන්ම ආරක්ෂක ලේකම්වරයා ගේ අණසකට යටවූ ආයතනයක් බවට පත්වෙමින් යනවා. පසුගිය දා අපි දැක්කා පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට විරුද්ධව පොලිසිය හිංසනය භාවිතා කරනවා. එතනදී ආරක්ෂක ලේකම්වරයා කියා හිටියේ මෙවැනි උද්ඝෝෂකයින් ඉස්සරහා භාවනා කරලා පිරිත් කියලා වැඩක් නැහැ කියලා. එතනින් යම් ඇඟවුමක් ලැබෙනවා, මේ උද්ඝෝකයින්ට විරුද්ධව කොල්ලුපිටිය පොලිස් හැසිරීම ආරක්ෂක ලේකම්වරයාගේ අනු දැනුම මත සිද්ධවෙන්න ඇති කියන එක ගැන. දැන් අඟුලාන සිද්ධිය. නැවත වතාවක් 2015 ට කළින් තිබුණා වගේ බියකරු අඳුරු කාලයකටද මේ අරගෙන යන්නේ? මේ සමාජය බිය වද්දන්නද හදන්නේ? බිය වැටුණු හිරි වැටුණු සමාජයක් නිර්මානය කරලා තමන්ට වාසිදායක පරිසරයක් හදාගන්නද මේ හදන්නේ කියන සැකය අපිට එනවා.

මේ වෙනකොට තැනින් තැන අසාමාන්‍ය මිනිස් ඝාතනයන් වෙන්න පටන් අරං තිබෙනවා. අපි දැක්කා පසුගිය දවසක නිදහස් චතුරශ්‍රයේ  පුද්ගලයෙක් මරණයට පත්වෙලා හිටියා. ඔහු ග්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය අක්‍රමිකතා ගැන ලියපු මාධ්‍යවේදියෙක්. ඔහුගේ මරණය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන යම් යම් ප්‍රකාශ අපි දැක්කා. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වුණ වෙලාවෙත් එවක නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාධ්‍ය ඉස්සරහට ඇවිත් මෙවැනි ප්‍රකාශ තමයි නිකුත් කළේ. ඔහු ඒ වෙලාවේ කීවේ ‘මේක රිය අනතුරක්’ කියලා. මේ හැමදෙයක් පිළිබඳවම අපිට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. අනෙක් පැත්තෙන් පාතාල මර්දනය ගන්නකෝ, පාතාල මර්දනය කරනවා කිව්වට අපි දැක්කා පාතාල කල්ලි වාහන වලින් ඇවිත් චිකාගෝ ක්‍රමයට වෙඩි තියනවා. පොලිස් නිළධාරීන් නිහඬව බලාගෙන  හිටියා. ඊළඟට පාතාලය කියලා අල්ලන පුද්ගලයින්, ආයිත් ආයුධ පෙන්නන්න අරගෙන යනවා. ගිහිං වෙඩි තියලා මරලා දානවා. මේකත් 2015ට කළින් තිබුණ පාතල මර්දන ක්‍රමයම තමයි. මේවා අනීතික ඝාතන. පාතාලය නෙවෙයි මොන තරාතිරමක මනුස්සයෙකුට උනත් නීතියට අනුව තමයි දඩුවම් දෙන්න ඕනෑ. මිනිහෙක් වැරැද්දක් කළා කියලා වෙඩි තියලා මරලා දාන්න බෑ.

කේ. සංජීව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment