පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

2020 ජූලි පළමු වෙනි දින. ස්ථානය. කොටුව දුම්රිය ස්ථානය.

අද ප්‍රසන්න අයියා කෝල් එකක් දුන්නා දවල්. මට ඒක මිස් වුනා. මම නැවත ප්‍රසන්න අයියට කෝල් කරනකොට මම හිටියේ කොටුව ස්ටේෂන් එකේ. නුවර යන්න කෝච්චිය ගන්න. ඔහු දැනුම් දුන්නේ දුක්මුසු ආරංචියක්. ඒ ප්‍රසන්න අයියාගේ අම්මා ගැන. මා දන්නා මව්වරුන් අතර ප්‍රසන්න අයියාගේ අම්මා නිහඩවම අපේ ජීවිතවලට බලපෑම් කළ කෙනෙක්. අපේ අම්මා ඇරුණම ඇයගේ ස්වරූපයත් කාරුණිකව කනට පමණක් ඇසෙන ලෙස කතා කරන වදනත් ඇයට අප ආකර්ශනය කළා. ඒ වගේම ඇයගේ මතකය අවසාන කාලය වනතුරුත් හරිම ශක්තිමත්. ඒ නිසාම ඇය සමුගැනීම වේදනාවක්. ඇය අසනීප වූ අවස්ථාවන් කිහිපයකදීම මට ඇය බලන්න හැකියාව ලැබුණා.

මට නුවර ඒම කල්දැමීම රැකියාවේ වගකීම් නිසා අපහසු වූ නිසා මම නැවත නුවර ආවා. දෙලොවක් අතර හිටියා ගොඩක් වෙලා. නුවර යනවද? පානදුරේ යනවද යන්න ගැන. ඒ වෙලාවේ මට සිහි වුනේ ඇය ගැන පළවූ ලිපියක්. හැමෝම මරණෙට යන වෙලාවේ මට කරන්න පුළුවන් දෙයක් තියෙන නිසා නුවර ආවා. ඒ මා සතුව ඇති ප්‍රසන්න අයියා විසින් සිළුමිණ පුවත්පතට අම්මා ගැන දී ඇති දීර්ඝ ලිපිය නිසයි.

වසන්ත ඔබේසේකරයන් ජීවත්ව සිටියදී ප්‍රසන්න විතානගේ නැමති සිනමාකරුවා බිහිකිරීමට ඔහුගේ මව විසින් කරන ලද කැපවීම ගැන බොහෝ දේ කිව්වා. ඒ හා සමාන තොරතුරු රැසක් 2011 සැප්තැම්බර් 18 වෙනි දා සිළුමිණ පුවත්පතට උපාලි සමරසිංහ විසින් “මගේ අම්මා” විශේෂාංශයට ලියන ලද්දේ ප්‍රසන්න විතානගේ ගේ අම්මා සම්බන්ධවයි. සිළුමිණ සම්පූර්ණ පිටුවක් පිරෙන්න ලියන ලද එම ලිපිය මෙහි සම්පූර්ණයෙන් පළ කිරීමට නොහැකි වුනත් කොටස් කිහිපයක් පමණක් පළ කරන්න කැමතියි. බොහෝ දෙනෙක් මේ ලිපිය කියවා නැති බව මගේ අදහසයි.

“ඉඳුරුවගේ ඉන්ද්‍රානි ඩයස්”මාතාවට ගෞරවයක් පිණිස මෙසේ එහි කොටස් කිහිපයක් හෝ පළ කරමි.

“මේ සමාජ හා ලෝකය වෙනුවෙන් මා යම්බඳු දෙයක් කර ඇත්නම් ඒ සියල්ලේ ගෞරවය හිමිවන්නේ මගේ අම්මාට. ඇය මා වෙනුවෙන් මේ හැමදේම ඉටු කළා. ඒ අම්මාගේ යෝධ හෙවනැල්ල මගේ ජීවිතය හරහා වැටී නැත්නම් අද ප්‍රසන්න විතානගේ කියලා කෙනෙක් නෑ.”

“මගේ අම්මා පානදුරේ මධ්‍යම පංතික පවුලක උපන් කෙනෙක්. 1936 අප්‍රේල් 28 ඇගෙ උපන් දිනය. විවාහයට පෙර ඇගේ නම ඉඳුරුවගේ ඉන්ද්‍රානි ඩයස්. අම්මගේ අම්මා කැතරින් කුසුමාවතී. කෑගල්ල පළාතේ. මගේ සීයා, අම්මාගේ තාත්තා පානදුරේ. විල්මන් ඩයස්…….”

“අම්මා පස්සේ කාලෙක ගුරු වෘත්තියට එනවා. ඇය බොහෝ විට ඉගැන්වුවේ වානිජ විෂයය. පානදුර බාලිකාවේ අම්මා උගන්වපු කාලය මතකයි. මේ කියන කාලේ තාත්තා වැඩ කළේ මහනුවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ. ඒ නිසා පාසැල් යන්න පෙර ඉඳන් අම්මට මාව රකින්න බොහෝ පියවර තියන්න සිදුවුණා. මට කවන්න, පොවන්න, නාවන්න කිහිප දෙනෙක්ම හිටියා මතකයි. බොහෝ විට මෙහෙම හිටියෙ අම්මගේ සහෝදර, සහෝදරයින්.

මට පාසැල් යන්න පෙර සිටම අම්මාගෙන් ලැබෙන්නේ පොත්. මේ පොත්. මේ පොත් මගේ වයසටත් වැඩියි. ඒ වායේ සමහර බරපතල දේ මට වැටහුණේ නැ. ඒත් ඒවයේ පින්තුර මගේ සිත් ගත්තා. අම්මා නොයෙක් පින්තූර සහිත පොත්, පාට කළ හැකි පින්තූර පොත්, පාට පැන්සල්, පැස්ටල් පාටකූරු 10-15 ක් මා ළග තියලයි වැඩටට යන්නේ. මං ඒවයින් පින්තූර ඇන්දා. නොයෙක් සිතුවම් රසවින්ඳා. අම්මාගේ ඇසේ දෙක වුනේ මම. නිදාගන්නකොට ඇගේ ඇස් පියවුණත් එක් ඇසක් නිරන්තයෙන් මා වෙනුවෙන් විවර ව තිබුණා. මගේ පුංචි තිගැස්මටත් ඒ ඇස් ඇරුණා. ඒ තමයි සෙනෙහසේ ඇස.

මං නොයෙක් වස්තූන්, රූප හඳුනාගත්තා. ගිනි නිවන හමුදා භටයෝ ගිනි නිවන්න වීර ක්‍රියා කරන පොතකුත් තිබුණා. පුංචි වුනාට මට මුල්වරට ජීවිතයේ ඉලක්කයක් ආවා. කවරදා හෝ මාත් ගිනි නිවන භටයෙක් වෙනවා කියලා. මිනිසුන් විපතින් බේරාගන්නවා කියලා. ලෝකයේ තියෙන නරක දෙයින් තෝරා බේරාගෙන ලෝකයේ තිබෙන හොඳම දේවල් අම්මා මට ලබා දුන්නා කියලා හිතෙනවා. ඒත් කවරදාවත් මාව ඉල්ලක්කයකට මෙහෙයුවේ නෑ. අරයා වගේ වෙන්න. මෙයා වගේ වෙන්න එහෙම අම්මා කිව්වේ නැහැ. ඇය පූර්ණ ලිබරල්වාදී කාන්තාවක්. මේ නිදහස මට උපරිමව තිබුණා. උපරිමව හිතන්න මට ඉඩ දුන්නා.

අම්මාගේ රූප පොත්වලින් මගේ රූපය පිළිබඳ කුහුල බස වැඩෙන්නට ගත්තා. මා හිතන්නෙ මා තුළ රූප ඥානයක් පිහිටියානම් එහි මුල් ගුරුවරී අම්මා. අනෙක නිර්මාණාත්මක නිදහස. ඒක ලබාදුන්නේ අම්මාගේ ලිබරල්වාදී මඟ පෙන්වීම. අම්මාගේ මුල්ම බලාපොරොත්තුව වුණේ රූප ඇසුරින් මට ලෝකය හා ජීවිතය පෙන්වීමටයි.”

“මගේ මිත්තණියත් හරිම පිළිවෙළයි. අම්මත් එහෙමයි. සෙනසුරාදා හැන්දෑවට අඹරැල්ලා අච්චාරු එහෙම හදාගෙන ආච්චියි, මමයි, අම්මයි සමහරදාට උදව්වට හිටි පිරිමි කෙනෙකුයි පානදුරේ වැල්ලට යනවා. ඒකත් හරිම සුන්දර තැනක්. වැල්ලට එක්කරගෙන ගිහින් රැල්ල පාගනකම් අම්මා මාව තදින් අල්ලාගෙන ඉන්නවා. පානදුර නගරයේ සීසෝ පැදීමට මම හරිම ආසයි. මං පවුලේ තනි දරුවා. සීසෝ පදින්න දෙන්නෙක් ඕනා. අම්මා එක පැත්තක වාඩි වුනොත් අනෙක් පැත්තේ ඉන්නේ පුංචි මං නිසා ඒ පැත්ත සමබර වෙන්නේ නැ. ඒ නිසා අම්මා මා සමග සෙල්ලම් කරන්න සල්ලි දීලා එතැන ඉන්න සමවයසේ දරුවෙක් ගන්නවා. ඒ විදියටයි මගේ අම්මා විනෝදය ලබා දුන්නෙ.

මගේ වයස ඉක්මවූ පොත පත මට ලැබුණත් එහි සමහර දේ හා රූප මට වින්දනයක් ඇති කළා. මගේ අම්මා හරිම කරුණාබරයි. කවරදාකවත් පුංචි දවසේ ඉඳන් මගේ තරුණ කාලය දක්වා මට බැන වැදිලාවත් දඬුවම් කරලාවත් නෑ. එහෙම මතකයක් මට ඇත්තේම නැති තරම්. අම්මා අකුරු කියවන්න පොත් මට අරන් දුන්නේ ටික ටික ලොකු වෙද්දි මට මතකයි බුද්ධාගම පොතක් තිබුණා අපට. කර්තෘ ජයසේකර අබේරුවන්. මං පොත කියවන ගමන් අම්මේ කර්තෘ කියන්නේ මොන විදියේ කෙනෙක් ද කියලා ඇහැව්වා. අම්මා එක එක විදියට විග්‍රහ කළා. මට තේරුණේ නෑ. මං කීවා මට කර්තෘ කියන කෙනාව බලන්න ඕනා කියලා. අම්මා බැරිම තැන මේ කර්තෘ මට පෙන්වන්න නොයෙක් උත්සාහ ගත්තා. අම්මා පින්තූරයක් පෙන්නුවා. සිහින් උඩු රැවුලක් තියෙන, කෝට් එකක් දාගත්ත මහත්තයෙක්. ඊට පස්සේ මට තවත් ඡායාවක් හිතේ ඇඳුණා මං කර්තෘ කෙනෙක් වුනානම් කියලා.

මං හැම තිස්සෙම අම්මා සමඟ හෙවනැල්ල වගේ හිටි නිසා මට බොහෝ විට මුණ ගැසුණේ වැඩිහිටි ප්‍රශ්න. අම්මලා කතා කළේ විභාග, ආර්ථිකය, සමාජ ප්‍රශ්න වගේ දේවල්. මා ඒවා සමගත් කේන්ද්‍රීය වුණා. 1976 පානදුර බාලිකාවේ විදුහල්පතිනිය සෝමා මුණින්ද්‍රදාස මහත්මිය හදිසියේම ඉහළින් මාරු කරලා තිබුණා. මේකට ගුරුවරු විරෝධතාවයක් එල්ල කළා. මාපියන්ගෙන්, ප්‍රදේශවාසීන්ගෙන් අත්සන් ගත්තේ විදුහල්පතිනියව මාරු නොකරන ලෙස ගත්තේ අම්මා. මාත් අම්මාගේ සාරි පොටේ එල්ලිලා යන ගමන් යන නිසා මේවා සියල්ල මාත් දැන් දන්නවා. මැලේ වීදියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් ගිහින් මේවා බාර දීලා එන ගමන් එලිෆන්ට් හවුස් එක ළග තිබුණු දැනට නැති “ෆවුන්ටන් කැෆේ” එකටත් ගිහින් තේ බීලයි අපි ගෙදර යන්නේ.

අනුන්ගේ යහපත වෙනුවෙන් වුණත් අම්මගේ කැප කිරීම් හරිම ඉහළයි. තමන්ගෙ දරුවා සමාජයේ යහපත් පුරවැසියෙක් කරන්න උත්සාහ ගන්නවා වගේම, අම්මා සමාජයටත්, යහපත් තැනක් කරන්න උත්සාහ කළ ගැහැණියක්. ඒත් ඇය කවරදාවත් පුතා හොඳට ඉගෙනගන්න ඕනා, මේ දේ කළ යුතුමයි කියලා කිව්වේ නැහැ. ඒවා ඒ විදියට කරන විදියට ආදරය හා කරුණාව පෙරදැරිව ක්‍රියා කළා. ඒ කාලෙදිත් අම්මා මට කරන ආදරය ඇයට පෙරළා ප්‍රදානය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මට ලොකු ප්‍රශ්නයක්ව තිබුණා.

සංගීතය, ගීත මාධ්‍ය මේවා අම්මා මා ඇසුරු කරනවාට බොහෝම කැමති බව පෙන්නුවත් ඒවා කරන්නැයි බල කළේ නැහැ. ඇය ඉතාම වටිනා වයලීනයක් මට ගෙනැවිත් දුන්නා. හොඳ චිත්‍රපටයක් ආවොත් කැටුව ගිහින් පෙන්වුවා. මා රූපයට කැමති බව දන්නා නිසාම “වෙසතුරු සිරිත” අම්මා මා එක්කාසු කරගෙන බලපු පළමුවෙනි චිත්‍රපටය.

සේකර ලියපු නන්දා මාලනී ගයන එම චිත්‍රපටයට ඇතුළත් “රුවන් වලා දුහුන් කඩින්” ගීය ඇය මටත් ඇහෙන්න කීප වරක් මිමිණුවෙ ඒ අදහස් සිතට ගන්න කියන්නාක් මෙන් වාගෙයි. “ලෙස්ටර් ජේම්ස් පීරිස්” මහතාගේ “ගොළු හදවත” මං බැලුවේ අවුරුදු පහක පුංචි දරුවෙකු වශයෙන්. ඒකත් අම්මා කැටුව ගිහින් පෙන්නුවේ පානදුරේ සිනමාහලකදී. සාමාන්‍යයෙන් ගුරුවරුන්ට වැටුප් ලැබෙන්නේ මාසේ 20 වෙනි දින. මුලින් අම්මා කැමති පොත පත මට ලබා දුන්නත්, අම්මා හරහා මට අවශ්‍ය පොත පත ලබාගන්නත් මම පසුව පුරුදු වුනා. පානදුරේ ගුණසේන පොත් සාප්පුවට තමයි ඇය යන්නේ. 1972 දී පමණ මා සෝමවීර සේනානායකගේ “මවකගේ ගීතය” මේ විදියට ගෙන්වා ගත්තා.

ශාන්ත ජෝන් බාලිකාවේ වාර්ෂික ප්‍රසංගයට හැම වසරෙම නාට්‍යයක් කරනවා. එවර තිබුණේ “සිරිසඟබෝ” නාට්‍යය. මං ගෝඨාභයට රඟපෑවා. එදා අම්මා මගේ කලා කටයුත්තට අම්මගේ පරණ සාරියක් දුන්නා. එදා ඉඳන් අද දක්වාම නාට්‍ය වලටත්, චිත්‍රපට වලටත්, බොහෝ විට රෙදි එන්නේ ගෙදරින්. අම්මා ප්‍රේක්ෂාගාරයේ ඉන්නවාද? – නැද්ද කියන එක මට වැදගත් නෑ, මට එදා ඕනෑ නළුවෙක් වෙන්න. ඒත් මගේ මුහුණ පෙනුණ ගමන්, නැත්නම් මං වේදිකාවට ආ ගමන් අම්මා ප්‍රේක්ෂාගාරයේ ඉන්නා තැන සිට සෙනඟ අතර සිටගන්නවා මට හොඳට පේන්න. ඒක අම්මගෙ පුරුද්ද. නාට්‍ය ඉවර වුණු ගමන් අම්මා ආයෙත් දුවගෙන එනවා, “හරි ෂෝක් පුතා. පුතාගේ රඟපෑම.” අම්මා එහෙම කියනවා. අපෙ අම්මා චිත්‍රපටයක් බලන්න හරි, මට පෙන්වන්න හරි හිතුවොත් කොළඹ ගිහින් හරි ඒක පෙන්වනවා. එක් වතාවක්        “ීදමබා ධf ඵමිසජ්” පෙන්වන්න කොම්පඤ්ඤ වීදියේ රියෝ එකටත් ආවා. ලිබර්ටි සිනමාහලට ගියා ඵහ ත්‍්සර ඛ්ාහ බලන්න. චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ටුවිස්ට් චිත්‍රපටය රීගල් එකේ දී බැලුවා. අම්මා මේවා කළේ ඇයි? තාත්තත් චිත්‍රපට රුසියෙක්. හින්දි, දෙමළ, චිත්‍රපට බැලුවේ තාත්තත් එක්ක. මා හිතන්නේ මගේ රූප ඥානය මුල්වරට වැඩුණේ ඔවුන් ඇසුරෙන්. මං පහේ පන්තියේ ඉඳන් හතේ පන්තිය දක්වා යන්නේ පානදුර සිරිල් ජෑන්ස් විදුහලට. මේ වෙනකොට අම්මට මාරුවක් ලැබෙනවා රත්නපුර ලෙල්ලොපිටිය පාසැලකට. මගේ වාසනාවට තාත්තා ඒ වෙද්දි මහනුවර ඉඳන් අයිත් කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එනවා. අම්මා අපිව දාලා දුෂ්කර පාසැලක යනකොට මගේ ජීවිතයට පාවී ආ හිස්කම වචනයෙන් විස්තර කරන්න බෑ. ඊට පස්සේ මං අම්මව දකින්නේ සති අන්තයේ විතරයි. සති අන්තයේ අම්මා එන දවස් ගැන තාත්තයි මායි ඇගිළි ගනිමින් ඉන්නේ. බස් එක රත්නපුරේ ඉඳන් ඇවිත් පානදුර බස් නැවතුමට යන්න කලින් හන්දියේ ඉන්නා අපිට අම්මා බසයේ ඉන්නවා පේනවා. ඉතින් මට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ.

1972 දී අම්මා දුෂ්කර සේවයට ගියාට 1973 දී ඇය කොළඹට නැවතත් එනවා. 1974 දී අම්මා මාවත් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට යවනවා. කිසිම ප්‍රතිලාභයක් නැවත බලාපොරොත්තු නොවී දරුවන්ට සියලු දේ කරන්නේ අම්මා විතරයි. මං දැන් ඉස්කෝලේ වැඩ කර ගමන් ලෙස්ටර් සර්ගේ ගෙවල් පැත්තේ ගිහින් චිත්‍රපටි නළුවෙක් වෙන්න ඉල්ලීම් කරනවා. ඒ කාලේ පන්තියේ කොල්ලෝ ටිකක් හිටියා සමහර අධ්‍යක්ෂකවරුන්ගේ ගෙවල්වල තෑගි බෝග එළවළු මලු අරගෙන යන. මං එහෙම නොගියත් ලෙස්ටර් මහත්තයා හමුවෙන්න ගියා. එතුමා නළුවෙක් විදියට මාව බාරගත්තේම නැහැ. ඒකට සුදුසු මුහුණ ඇගපත මට තිබුණෙත් නෑ කියලා හිතෙන්න ඇති. අම්මයි, මායි කොහේ ගියත් මිනිස්සු කිව්වේ දෙන්නම එක වගේ කියලා. අර නළු පෙනුමට වඩා අර වටිනා කියුම මට වටිනවා. ලෙස්ටර් සර්ට, මං තිරනාටක ඉගෙනගත් වසන්ත ඔබේසේකරයන්ගේ උපන් දිනවලට අම්මා නොවරදවාම අරින්න පටන් ගත්තේ මං ඔවුන් ඇසුරෙහි යම් යම් දේ උගන්නා බව දැනගත් විටයි. අද අවුරුදු 76ක් වෙලත් අම්මා මේ ටික කරනවා.

ඩී.එස්. එකේ මා ඉගෙනගන්න කාලේ අම්මා යන්නේ කොළඹ ගුණසේන ප්‍රධාන සාප්පුවට. ගෆූර් බිල්ඩිමේ තිබුණු කේව් පොත් සාප්පුවට, සමන් පොත් ප්‍රකාශයන් ළගට ඊළගට අම්මා මට අවශ්‍ය පොත් පත් සොයාගෙන යනවා. වැල්ලවත්ත පාලම ළග තමයි එදා සමන් හා රෝහණ පොත් සාප්පු තිබුණේ. දවසක් සිල්පර කොට අස්සෙන් තිබුණු සිදුරු අස්සෙන් අම්මා වැටෙන්න ගිහින් තියෙනවා, මට පොත් හොයන්න ගිහින්. අම්මා ඒ වුනත් මට කීවේ මැසිවිල්ලක් විදියට නෙමෙයි. යාළුවොත් එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරන්නත්, පොත්පත් කියවන්නත් මං එක වගේම ආසයි.

මගේ රූප ඥානය වැඩුණා. කෙටි චිත්‍රපටයක් කරන්න හිතුනා. මගේ පලමුවෙනි කෙටි චිත්‍රපටය කරන්න අම්මා සංගීතය ඉගෙනගන්න ගෙනැවිත් දී තිබුණු වටිනා ජර්මන් වයිලිනය විකුණුවා. මේ කෙටි චිත්‍රපටයේ දර්ශන රූපගත කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ කැන්ටිම හා ඒ අවට තැන්වල සෙනසුරාදා දිනවලයි. මුරකරුව කළුු කරගෙන තමයි මේ දර්ශන කළේ. මං “පියසේන හා කුමාරිකාව” කෙටි කතා පොතේ එන “චාරුලතා” ආශ්‍රයෙන් සුපර් එයිට් ප්‍රමාණයෙන් නිර්මාණය කළා. “මිනිත්තු” නමින්. එක දවසකින් මේකේ ෂූටින් කරන්න හිතුවත් එදා වැසි දවසක් නිසා ඔක්කෝම කර ගන්න බැරිවුනා. ඒ නිසා අනෙක් සෙනසුරාදාට ඉතිරි කොටස කල්ගියා. ඒ අතර මුරකාරයා අපේ ඉස්කොලෙට ඇවිත් මගේ පංතියට ආවා. “අනේ සර් මගේ රස්සාව බේරලා දෙන්න.” අපි අවසර ගත්තේ නැහැනේ. ලේඛකාධිකාරිතුමාට ඉව වැටිලා. ජයලත් මනෝරත්න, දේවිකා මිහිරානි මෙහි ප්‍රධාන චරිත කළේ. අන්තිම්් අනවසරයෙන් මේක රූපගත කිරීම් කළාට මට සිද්ධවුනා ලේඛකාධිකාරිගෙන් සමාව ඉල්ලන්න. අවුරුදු 17 දී මේ සියල්ලම කරන්නේ අම්මා නොමසුරුව ප්‍රදානය කරන සල්ලිත් එක්ක.

1979 දී මං වසන්ත ඔබේසේකර මහත්මයා යටතේ සිනමා තිරනාටක ගැන හදාරනවා. ඊළගට ටයි මහත්තයා ළගට යන්නේ.”

“  මට හිතුණු හිතුණු දේ කරන්න අම්මා සල්ලි දුන්නා. ඇය ඒවා කොහොම කළාදැයි දන්නේ නෑ. හිටි ගමන් අම්මාගේ මාලයක්, මුද්දක්, නැතිවුනාමයි මම දන්නේ මගේ වැඩ වලට උගස් කළා කියලා. මං ඊට පස්සේ “ඬේලිමිරර්” හිටපු කර්තෘ රෙජී මයිකල් යටතේ “ජනමාධ්‍යකරණය” පාඨමාලාවකුත් හදාරනවා. ඊටත් පස්සේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාවක් ද හදාරනවා.

ඉන්පසුව මා බොහෝ කියවන්නකු බවට පත්වෙනවා. ඒ හරහා තමයි මං මනෝට “දවස තවමත් තරුණයි” ලියන්නේ. 1980 ගණන්වල අම්මයි තාත්තයි ඒ අයට වෙනම ගෙයක් හදනවා. අම්මගේ තාත්තගේ දහදිය කඳුළු එහි තිබුණත් මං ඒ ගෙදර වෙනුවෙන් එක ගඩොල් කැටයක් උස්සලා නෑ. ඒත් ඒ ගෙයි හිමිකරු අද මමයි. අපි කොයිතරම් ආත්මාර්ථකාමී ද කියලා වෙලාවකට හිතෙනවා. ඒත් මං අම්මා පෙන්නපු පාරේ ගියා. “පුත්‍ර සමාගම” කරලා සාකච්ඡා සම්මන්ත්‍රණ වලට අසන්නකු ලෙස සහභාගි වෙන කාලෙ විශේෂයෙන් 89 කාලේ මං ගෙදර එනකොට බත්පත තියාගෙන අම්මා බයෙන් ඉන්නවා. අම්මා ඉන්නෙත් ජනේලය ළග මේසයක් තියාගෙන බීරළු අස්සෙන් ගේට්ටුව දිහා බලාගෙනයි.

“සිසිල ගිනි ගනී” හේතු කිහිපයක් මත මං ගෙදරින් යනවා. චමරියක ජීවත්වෙනවා නාවින්නේ. මගේ අම්මා දවසක් උදේම කෑම හදාගෙන ඒ චමරිය පිහිටි ගෙදර මිදුලෙ. මා කෙනෙකුගේ වරද දුටුවත් අම්මා එහෙම දකින්නේ නැහැ. ඇය ඔහුගේ පුතා හෝ ඇයගේ හොඳ තමයි මතු කරන්නේ. සුගත් වටගෙදර “ඉසුර” සඟරාවේ කර්තෘ කාලේ මට එහි උප කර්තෘ ධූරයක් ලැබෙනවා. අම්මා රැකියාවක් කරන්නට මට කෙළින්ම නොකීවත් ඒ පසුපස අම්මා තමයි ඉඳලා තියෙන්නේ.

මගේ චිත්‍රපට ගැන අම්මා කවරදාවත් විවේචනය කළේ නෑ. ඒ ඇය බුද්ධිමත් නොවන නිසා නොවේ. ඇය කතා කළේ හැම විටම මගේ චිත්‍රපට අරබයා සම්මාන හෝ අවමාන ලැබුණු මොහොතක. “පුරහඳ කළුවර තහනම්” කළ වෙලාවෙත් අමුතු දෙයක් නොකී අම්මා ඒකට ජෝ අබේවික්‍රමට ලෝක සම්මාන ලැබුණු වෙලාවෙ වගේම, “ආසාක කුසුම්” වලට මාලනීට ලෝක සම්මාන ලැබුණාම කතා කළා. ඒ කතා කළෙත් මෙහෙමයි.

“අනේ පුතේ, ඒ අයට මගේ පුතාගේ චිත්‍රපටියෙන් ලෝක පූජිත වන්නට ලැබීම ඒ පුතා වැදූ මටත් මහා පිනක්” කියලා. අපේ අම්මා කල්පනා කළේ ඒ විදියට විතරයි. “අනන්ත රාත්‍රිය” චිත්‍රපටයේ වීණා ජයකොඩි හා ප්‍රියා රණසිංහ කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ “පියානෝව”වාදනය කරන අවස්ථාව බලලා ඇය කීවේ අපේ ආච්චි ( අම්මාගෙ අම්මා) ඒ වලව්වේ පියානෝව වාදනය කර ඇති බවයි. එහි වැඩිහිටි දර්ශන ගැන ඇය කතා කළේම නෑ.

දමයන්ති හා විවාහ විමට පෙර මා ඇය සමග බම්බලපිටියේ චිත්‍රපටියක් බලන්න යද්දි බසයකින් ගියා. ඒ බස් එකෙන් අප සමඟම අම්මත් බැස්සා. අම්මා අපිව දැක්කත් අප අම්මව දැක්කේ නෑ. දෙන්නා බසයෙන් බහිද්දි නම් අම්මට හරියටම හසුවුණා. ඒත් අම්මා කතා කළේ නෑ. සාමාන්‍ය පුරුදු විදියට මා දිහා බලලා ගියා. ගෙදර ගියාමත් ඒ ගැන කතා කළේ නෑ. මගේ අම්මා විවාහය සම්බන්ධයෙන් වුණත් අම්මා අනුගමනය කළේ අම්මාගෙ ලිබරල් ප්‍රතිපත්තියමයි.

අම්මා 1976 දී ලේක්හවුස් පොත් සාප්පුවෙන් ගෙනා චාලි චැප්ලින්ගේ ආත්ම කථනය රැගත් ග්‍රන්ථය මගේ ජීවිතය සසළ කළ පොතක්. චාලි චැප්ලින් හදන්න ඒ අම්මා දරුවා කුඩා වියේදීම මොන තරම් කැපවීම් කරනවාද? ඒ අසීමිත කැප කිරීම් හරිම සංවේදී විදියට චැප්ලින් විස්තර කරනවා. එක්තරා නෘත්‍ය ශාලාවක ඇය නළගනක් ලෙස නටද්දි කලන්තේ අල්ලලා වැටුණාම එහි ඉතිරි කොටස කරන්නේ චැප්ලින්. ඒක තමයි චැප්ලින්ගේ ප්‍රථම රංගනය.

ඒ අසීමිත කැපකිරීම් කරන අම්මා අවසානයේ මානසිකව නරක තත්ත්වයට පත්වෙනවා. ඒ වන විට චැප්ලින් ධන කුවේරයෙක්. තමා දහදුක් විඳ හදපු අම්මා වෙනුවෙන් පෙරළා එසේම ආදරය කරන්නට බැරිවීම ගැන චැප්ලින්ට ඇත්තේ පශ්චාත්තාපයක්. මොන විදියේ මන්දිරයක් හදලා සුවපහසුව අම්මාව තිබ්බත් අම්මාට ඒක විඳගන්න බෑ. මානසික තත්ත්වය වෙනස් නිසා. මේ ටික මගේ අම්මා සම්බන්ධයෙන් හිතුවොත් ඒක යම් තරමක් මගේ ජීවිතයටත් අම්මා මගේ ජීවිතයටත් ගැළපෙනවා.”

“…………….මගේ පශ්චාත්තාපය මේකයි. අම්මා මගේ ලෝකය ලොකු කරන්න අම්මා අසීමිතව ශ්‍රමය දහදිය කඳුළ වැගිරුවා. අද මට ලෝකය විවර වෙලා. ලෝකය හරහා මගේ රූප සෞන්දර්යය ගමන් කරනවා. ඒත් මගේ අම්මාගේ ලෝකය නිරන්තරයෙන් පුංචි වෙනවා. ඇය වියපත් වෙනවා. ලෙඩ රෝග හැදෙන අවදානමත් වැඩි වෙනවා.

මා ලෝකයේ ඉහළටම ඔසවා තැබූ ගැහැණිය ටිකින් ටික ඇගේ ලෝකයෙන් පුංචිවීම මට මහා පශ්චාත්තාපයක්. ඇත්තටම ඇයත් සමග ලෝකය එතෙර කරන්නට හැකි නම්.”

පසුසටහන

අසීරු තත්ත්වයන් පසු කළ ඇය 2020 ජූනි 30 වෙනි දින රාත්‍රියේ අපෙන් සමුගත්තාය. කාටත් පුතා කියා අමතන ඇය පසුගිය කාලයේ විවිධ අසනීප තත්ත්වයන් මැද කාලය ගත කළාය. මීට වසරකට ප්‍රථම දැඩි අසනීප තත්ත්වයන්ට ලක්වුද ප්‍රසන්න විතානගේ විසින් ඇය වෙනුවෙන් කළ හැකි උපරිම ශක්තිය යොදා කළ ප්‍රතිකාරයන් නිසා ඇය නැවතත් සාමාන්‍ය තත්ත්වයකට පැමිණියාය. තමන්ගේ කාර්යබහුල තත්ත්වය මැද වුවද ඇයගේ ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය සියළු පසුබිම සකස් කළේය. වෘත්තිය අවබෝධයක් ඇති හෙදියන්ගේ සහය ලබාගත්තේය. විදේශ රටක සිටියත් ඔහුගේ දුරකතනය රෝමින් සකස් කර තිබුණේය. විදෙස් රටකට යෑමට ප්‍රථම, විශේෂ වැඩ කටයුත්තකට යාමට ප්‍රථම මව දැක යෑම ඔහුගේ පුරුද්දක් වී තිබිණි. මවට ලබා දිය යුතු මානසික විවේකය නිසා පානදුර නිවස ඔහුගේ වෘත්තීය කටයුතු සඳහා යොදා ගත්තේම නැති තරම්.

පැය 24 ක් ඇතුළත ඇයගේ අවසන් කටයුතු කිරීමට ලබා දුන් උපදෙස් අනුව ඇය අද එනම් 2020 ජූලි 02 දින අවසන් ගමන් යනු ඇත. ඇය අවසන් ගමන් ගියද ඇය බිහි කළ ඒ නිර්මාණශිලී මිනිසා තුළින් ඇගේ හදවතත්, ඇයගේ ජීවිත විනිවිද ගිය ඒ දයාව කරුණාවත් සැමදා සිනමා තිරය මත පතිත වනු ඇත.

අම්මේ සුබ ගමන්!

(2011 සැප්තැම්බර් 18 වෙනි දා සිළුමිණ පුවත්පතට උපාලි සමරසිංහ විසින් ප්‍රසන්න විතානගේ සමග කරන සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද “මගේ අම්මා” ලිපිය සංස්කරණය කර ඉදිරිපත් කළේ සුදේශ් ද සිල්වා )

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment