පසිඳුට එල්ලවූ කළුතර පොලීසියේ පිස්තෝලය : හැම පොලීසියම අඟුලාන වගේද? 2 කොටස

පසිඳුට එල්ලවූ කළුතර පොලීසියේ පිස්තෝලය - හැම පොලීසියම අඟුලාන වගේද? 2 කොටස

අප ගියවර ලිපියෙන් අඟුලාන පොලිස් නිළධාරියෙක්ගේ වෙඩිපහරට ලක්ව අහිංසකයෙක් මියයෑම සහ ඉන්පසුව අඟුලාන ප්‍රදේශයේ ඇතිවූ තත්තවය පිළිබඳව කතා කළෙමු. මේ වනවිට අඟුලාන ඝාතනය පිළිබඳව රහස් පොලිස් විමර්ශන සිදුවන බව දැනගන්නට ඇත. ඊට අමතරව වින්දිතයන්ගේ පාර්ශවයෙන් යුක්තිය සඳහා වූ අධිකරණ ක්‍රියාවලියක් ඇරඹී ඇති බව දැනගන්නට ලැබේ.

ඊට අමතරව අප එම ලිපිය තුළම කළුතර අපරාද කොට්ඨාශය පයාගල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්ට, පිස්තෝලයක් ගත්තා යැයි අභූත චෝදනාවක් එල්ල කරමින්, එම පොලිස් පොඩ්ඩාට විරුද්ධව කළුතර පොලීසියේ ලොක්කන් මුදාහල පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද කතා කළෙමු. අද අප නැවත කතා කරන්නට හදන්නේ එම සිද්ධියටම සම්බන්ධ යැයි සිතිය හැකි තවත් සිදුවීමක් පිළිබඳව ය. මෙම සිදුවීමද කළුතර දිසා අපරාධ කොට්ඨාශයට අදාළ ය. එම සිදුවීමට අදාළ කතාව ද ගොඩනැඟී තිබෙන්නේ පිස්තෝලයක් වටාය. එම පිස්තෝලය මුල් ලිපියේ සඳහන් පිස්තෝලයම දැයි දන්නේ කළුතර පොලීසියම පමණි. නමුත් මේ සිදුවීම් දෙකම එකම කාල අවකාශයක සිදුවී ඇත.

මේ පිස්තෝල දෙකම එකම පිස්තෝලය වීම හෝ නොවීම අප ලියන්න යන කරුණට අදාළ නැත. අප ලියන්නට යන්නේ ගොරකා දඩමස් කිරීමේ පොලීසියේ සමාර්ථතාවය ගැනය. එහෙත් මේ සිදුවීම කියන්නේ ද අඟුලානේ පොලීසිය සේම කළුතර පොලීසියද තවමත් ජනතාවට ළඟ නැති බවය.

දොඩංගොඩ පසිඳුගේ කතාව

නැතිවූ පිස්තෝලයක් මෙවර එල්ල වන්නේ දොඩංගොඩ පසිඳු ලසන්තට ය. එම පිස්තෝලය එල්ලකරමින් කළුතර අපරාධ කොට්ඨාසය පසිඳුට හොඳටම පහර දී ඇත. හිංසනයට ලක්කර ඇත. තවදුරටත් එම පොලීසිය පසිඳුට තර්ජනය කරමින් සිටින්නේ, පිස්තෝලයක් දමා ඇතුලේ යවනවා කියා ය. අප මෙම කතාව දැනගැනීමට පසිඳුගේ පියාවන මංජුල පෙරේරාට කතා කළෙමු.

“මම ලියනගේ මංජුල පෙරේරා, අපි ජීවත් වෙන්නේ අලවත්තේගෙදර, වඩුගම, දොඩංගොඩ කියන ලිපිනයේ.

2020/5/18 දින මගේ පුතා පසිඳු යසන්ත පෙරේරා කළුතර අපරාද විමර්ශන ඒකකය අත්අඩංගුවට අරගෙන තිබුණා, අපිට කිසිම දැනුම් දීමක් නැතුව. 18 වෙනිදා උදේ 11ට විතර තමයි අරගෙන ගිහිං තිබුණේ. අපි උදේ 11/30 ඉදලා හැම පොලීසියකම බැලුවා. අපිට දරුවා ගැන හෝඩුවාවක් ලැබුණේ නෑ. පස්සේ අපේ ගමේම ඉන්න දයාසේන රාළාමි කියන පොලිස් නිළධාරියා, අපේ ළමයා අරගෙන ගිහිං කියලා අපි දැනගත්තා. අපි දරුවා හොයනකොට පෝන් එකට දන්නේ නැති නම්බර් එකකින් මිස් කෝල් එකක් තිබුණා. ඒකට අරගෙන බලනකොට කිව්වා ‘මම දයාසේන රළාමි, දරුවා ඉන්නවා, ගෙදරට එන්න’ කියලා. මම, වයිෆ් අපි දෙන්නා ඒ ගෙදරට ගියා. මුන් ගාව ආයුධයක් තියෙනවා ඒක අරං දෙන්න, රුපියල් 50000ක හරි දඩයක් ගහන්නේ, නැත්තං ඔය ආයුදේ වෙනකාට හරි දාමු. ගමේ නිසා මම ඒ උදව්ව කරන්නම් කියලා මිනිහා කිව්වා. මම කිව්වා ආයුධයක් ගැන මම දන්නේ නෑ,  මට මගේ දරුවා බලන්න අවස්ථාවක් අරගෙන දෙන්න කියලා. ඉන්පස්සේ දයාසේන රාළහාමි වීරසිංහ කියලා තවත් රාළහාමි කෙනෙකුට කතා කළා. අර ළමයාගේ දෙමාපියෝ අපේ ගෙදර ඇවිත් ඉන්නවා දැන් බලන්න එයි පොඩ්ඩක් බලන්න දෙන්න කියලා.

අපේ දරුවා එක්ක තව දරුවෝ දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ළමයි දෙන්නා නිදහස් කරලා මගේ දරුවා විතරක් තියාගෙන. ඒ දෙන්නා දයාසේන රාළහාමිගේ අක්කගේ අයියගේ පුත්තු දෙන්නා.

පස්සේ රාළහාමි අපිට කළුතර අපරාද කොට්ඨාශයට යන්න කියලා තුන්ඩුවක් ලියලා දුන්නා. වීරසිංහ රාළහාමි ඒ වෙලාවේ එතන හිටපු නැති නිසා අපිට ටිකක් වෙලා ඉන්න උනා. එහෙම ඉන්නකොටත් එතන හිටපු පොලීසියේ මහත්වරු කීවේ, තුවක්කුව දෙන්න කියපං එතකොට ඕක ඉවරයි කියලා. මම ඉතිං කිව්වා අපි මේ මොකවත් දන්නේ නෑ, අපේ ගෙදර එහෙම ආයුධයක් ඇත්තෙත් නෑ කියලා. අපිට එහෙම ආයුධයක් ගන්න අවශ්‍යතාවයකුත් නෑ කියලා. ඒත් පොලීසිය ඉල්ලන්නේ ආයුධය මයි. වීරසිංහ රාළහාමි ආවට පස්සේ පුතා පෙන්නුවා. පුතා අමාරුවෙන් තමයි අපි ළඟට ආවේ. පුතාගෙන් මම ඒ වෙලාවෙම මේ ඉල්ලන ආයුධය ගැන ඇහුවා. පුතා දන්නෙත් නෑ. දරුවා දුබුරුපාට කලිසමක් ඇඳලා හිටියේ ඒක හොඳටම තෙමිලා තිබුණා. මට හිතුනා ගහලා කියලා. ටිකක් වෙලා ගිහිං මම දරුවට කෑම එහෙම දීලා බලා හිටියා හවස් වෙනකම්ම. හවස 5. 30ට විතර දයාසේන රාළහාමි කතා කළා. මම කිව්වා මම තාම පොලීසියේ ඉන්නේ කියලා. ඊට පස්සේ මිනිහා කිව්වා උබලා ඔතන ඉදලා වඩක් නෑ ගෙදර පලයල්ලා. මම ඇවිත් කෝල් කරන්නම් කියලා. මොකද මිනිහා එදා ඩියුටි නෑ’

මේ පොලිස් හිංසනයේ කතාව ගොඩනැඟෙන්නේ මෙහෙමය. පසිඳුගේ පියා මංජුල ප්‍රකාශ කරන විදිහට කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිළධාරීන් පසිඳුට හොඳය පහරදී ඇත. මෙය එක්තරා ආකාරයෙන් පැහැර ගැනීමක් ය. මංජුල ප්‍රකාශ කරන ලෙස මෙම තුවක්කු සෙල්ලමට මුල් වී ඇත්තේ දයාසේන රාළහාමි ලෙස ගමේ හඳුන්වන ගමේම පොලිස්කාරයෙක් ය.

‘ පුතා අත්අඩංගුවට අරගෙන මුලින්ම අරගෙන ඇවිත් තියෙන්නේ අපේ ගෙදරට කිට්ටු තුඩුගල හයිවේ එක යටට. එතනදි තමයි ගහන්න පටන් අරං තියෙන්නේ. දයාසේන රාළහාමි තමයි ගහන්න පටන් අරං තියෙන්නේ. මිනිහා එදා ඩියුටිත් නෑ. ඊට පස්සේ ඇල්ලපාර හන්දියට අරගෙන ගිහිං තියෙනවා. ඇල්ල පාර බෝ ගහා ළඟ තියාගෙනත් ගහලා තියෙනවා. එතනදිත් වැඩිපුර ගහලා තියෙන්නේ දයාසේන රාළහාමි. ඊටපස්සේ පොලීසියට අරගෙන ඇවිත් පොලීසියේදිත් ගහලා තියෙන්නේ මිනිහම තමයි. අපිට හිතාගන්න බෑ ළඟකදි උසස්වීමක් ගත්ත ඔය මනුස්සයා අපිට මේ මොකද කරන්නේ ඒ ඇයි කියලා.

අපි එදා හවස පොලීසියේ ඉදලා එනකොට මම දැක්කා මැස්ඩා වෑන් එකේ දයාසේන රාළහාමි  එනවා. වෑන් එකේ පුතා එක්ක අල්ලගත්තා කියන අනෙක් ළමයි දෙන්නගෙන් එක ළමෙක් හිටියා. අනික් ළමයා වෑන් එකේ පිටිපස්සෙන් බයික් එකේ ආවා. ඒ ළමයාගේ නම පිතුම්. මම අතදැම්මා. නතර කළේ නෑ. ඊට පස්සේ මම මගේ වාහනය හරෝගෙන එලවගෙන ගියා.  අපිට මෙයාලා හමුවුණේ ග්‍රීන් රෙස්ට් තුඩුවල  කියන තැනදී, දොඩංගොඩ ෂෙඩ් එකට ටිකක් පහළ. කොහොමහරි ගල් අස් හේනට එනකම් එළවගෙන ඇවිත් යාන්තම් අල්ලගත්තා. මම ඇහුවා පුතේ මොකද්ද දැන් වෙන්නේ කියලා. එතකොට අර කොල්ලා කුනුහරුපයක් කියලා කිව්වා මේ දයාසේන ලොක්කා තමයි සේරම කරන්නේ කියලා. ‘මූ ගහන ගේමක් මේක’ එහෙම තමයි ඒ ළමයා කිව්වේ. ඒ වෙලාවේ ඒ ළමයා කිව්වා මම නම් දවස් 14ක් යන්න බලාගෙන යන්නේ කියලා.

මේ දවස්ල රෑ 8ට කර්ෆිව් දානවා. ඒත් මට පොලීසියට එන්න කිව්ව නිසා අපි දෙන්නම පොලීසියට ගියා. එහෙම පොලීසියට එන්න කියලා, කෝල් කරලා කියපු දයාසේන රාළහාමි කිව්වා පොලීසිය ළඟට කිට්ටුකරලා කෝල් කරන්න කියලා. මම හරියටම නාගොඩ හන්දියේදි කෝල් එක ගැහුවා. නාගොඩ හන්දියයි කටුකුරුන්දයි අතර කිලෝමීටර් දෙක හමාරයි තියෙන්නේ. පෝන් එක ඉස්සුවේ නෑ. ඊටපස්සේ කටුකුරුන්ද පොලිසියෙන් කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා පුතාව එක්කරගෙන යන්න එන්නේ නැද්ද කියලා. මම කිව්වා මම ළග ඉන්නේ කියලා. යනකොට කළුබෝවිල මහත්තයා කියන පොලිස් නිළධාරියා හිටියා. මිනිහා දෙතුන් වතාවක් අපේ ගෙදර ඇවිත් තියෙන නිසා මම මිනිහව දන්නවා. ඒ මනුස්සයා කිව්වා චුට්ටක් වාඩිවෙන්න කියලා. පුතා ඊට චුට්ටක් එහාඉන් වාඩිවෙලා හිටියා. විනාඩි 10කට විතර පස්සේ දයාසේන රාළහාමි ආවා. ඇවිත් වාඩිවෙලා කිව්වා උබ නිසා දෙන්නේ නැත්තං අපි ඕනෑ තරම් මිනිස්‍සුන්ගෙන් ආයුධ අරගෙන තියෙනවා කියලා. උබේ මූන බලාගෙන මට මේක කරන්න බෑ ගෙදර ගිහිං අහපං ආයුධය තියෙන තැන කියලා. ළමයා දුන්නා. කිසිම අත්සනක් ලියවිල්ලක් මොකවත් නෑ. ළමයා ආපහු දුන්නා.

ළමයට ගෙදරට එක්කරගෙන ආවට පස්සේ අමාරු වුණා. දරුවා කියපු දේවල්වල හැටියට මට ආපු කේන්තියට, හරිනම් මම මරාගෙන මැරෙන්න ඕනෑ. ඒත් මම ඉවසුවා. ඔහොම ඉන්නකොට ළමයා පපුව රිදෙනවා කියලා කිව්වා. ඊට පස්සේ වමනේ දැම්මා. මම හිතුවා ගෑස් කියලා. ඒත් ආයි වමනේ දැම්මා. ඒ එක්කම මම දරුවා ඉස්පිරිතාලෙ අරගෙන ගියා. ඇඩ්මිට් කළා. ඉස්පිරිතාලේට සේරම විස්තර කිව්වා. ඊට පස්සේ දරුවා ඇඩ්මිට් කරලා අපි ගෙදර ආවා. පහුවදා අපිට ආරංචි වුණා දයාසේන රාළහාමි දරුවා හොස්පිටල් ඇඩ්මිට් කළාද කියලා හොයලා කියලා. අපි කිසි දෙයක් කාටවත් කිව්වේ නෑ. හවස මම යාලුවන්ට කිව්වා දරුවා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියලා. ඒ එක්කම පිතුන් කියන ළමයගේ අම්මා ගමේ කියලා තිබුණ මාවයි පුතාවයි ආයුධ දෙකක් දාලා අත්අඩංගුවට ගන්න යන්නේ කියලා. මට ඒ කතාව හරි ගියේ නෑ.

මටත් ගැළවීමක් ඕනෑ. මගේ යාලුවෙක් ඉන්නවා මාධ්‍යයේ. මම මනුස්සයාට කතා කරලා මේ කතාව කිව්වා. ඊට පස්සේ  පොලිස් කොමිසමට ලිව්වා. පැමිණිලි දැම්මා. තාමත් ඔය දයාසේන කියන මනුස්සයා මාව අත්අඩංගුවට ගන්න අරාදිනවා. අපිට දැන් ගමේ ජීවත් වෙන්නත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අපිට මේ සිද්ධිය නිසා අවසානයේ අපහාසය විතරයි ඉතුරු වුණේ. අපිට දැන් ඕනෑ නීතියේ සාධාරණය විතරයි. දැන් පොලීසිය නිතරම ගෙදරට ඇවිත් සාමදාන වෙමු දරුවට ගානක් දෙන්නම් කියලා කියනවා. මේකත් අපිට ලොකු හිරිහැරයක්. අනික පොලීසිය අපිට පාතාල සාමාජිකයෝ අතේ පණිවිඩ එවනවා, මේ සිද්ධිය අහවර කරමු කියලා. ඉතිං අපිට දැන් ගමේ ජීවිතේ හරිම අමාරුයි. අපි බයේ ඉන්නේ’.

මිනිස්සුන්ට පොලීසිය අවශ්‍ය වන්නේ ඇයි? ඒ සුරක්ෂිත ජීවිතයක් සඳහා ය. තමන් සුරක්ෂිතව මේ සමාජයේ ජීවත් වෙනබව දැනීම සඳහා පොලීසිය සතු කාර්‍යභාරය ඉතා විශාලය. එහෙත් මේ පොලිස් හැසිරීම් කියන්නේ කුමක්ද? නරියාට කුකුලන් භාරදුන්නා වැනි කතාවකි මෙය. මේ කතාවේ හැටියට කළුතර පොලීසියෙන් පිස්තෝල නැතිවන්නේ ඕසෙට ය. ඒ අනුව යකඩවලට ගුල්ලන් ගසා ඇත. යකඩ පෙට්ටියට ගුල්ලන් ගැසූ කල එහි ඇතුලත තිබෙන සහල් සුරක්ෂිත දැයි සේවීම එක අතකට වැඩක් නැත. එනිසා කළුතර පොලීසිය මුලින්ම තමන්ගේ ආයුධ ගබඩාව හොරුන්ගෙන් සුරක්ෂිත කරගත යුතුය. මේ ආයුධ හොරුන්, කුඩු බිස්නස්කාරයින් වාගේම පොලීසිය ඇතුලතම සිටින පිරිසක් විය හැකිය. ඔවුන් ආයුධ බිස්නස් කරනවාද දන්නේ නැත. එනිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේගැනත් සොයා බැලිය යුතුය.

  • කේ. සංජීව
Print Friendly, PDF & Email

Related posts

Leave a Comment