පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!

පොදු ස්ථාන වල ඊයේ (28) දින මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1217 කු සති දෙකක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට අද (29) දින මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබුණි.

නමුත් එලෙස මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බවට පොලිස් මුලස්ථානයේ මාධ්‍ය කොට්ඨාශය මෙතෙක් දැනුවත් වී නොමැත. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන පරිදි පොදු ස්ථාන වල මුහුණු ආවරණ නොමැතිව සිටින පුද්ගලයින්ට පළමුව අවවාද කර මුදා හැරීමට පමණක් වැඩ බල පොලිස්පතිවරයා නියෝග කර ඇත. එසේ නොමැතිව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබා දීමක් කර නොමැති බවද පැවසේ.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් මුඛ ආවරණ නොමැති පුද්ගලයින් තම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවය.

නමුත් මෙම පුද්ගලයින් මෙලෙස ස්වයං නිරෝධායනයකට යොමු කිරිමට පියවර ගෙන ඇත්තේ මොන නීතියක් යටතේදැයි පැහැදිලිව සඳහන් කර නොමැත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය යනු මුලු ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේම පුවත් ලබා ගත හැකි ස්ථානය වේ. එමෙන්ම එයින් පුවත් මාධ්‍ය වෙත නිකුත් කෙරෙන්නේ වගකීම් සහිතවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කර ඇත්තේද ඒ නිසාය.

නමුත් දැන් දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙනුවට කොළඹ හෝ බස්නාහිර පළාතේ පුවත් මාධ්‍ය වෙත ලබා දීමට ඇතැම් නිලධාරීන් කිහිප දෙනෙකු අතර පවතින්නේ දැඩි තරඟයකි. මේ නිලධාරීන්ට මාධ්‍යවේදියෙක් පෙනීමට බැරිය. මයික්‍රෆෝනයක් දැකීමට බැරිය. කුමක් හෝ මවා මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේය. ඇතැම් විට ඔවුන් තම ඉහළ නිලධාරීන්ද අභිබවා යමින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන්නේය. ඒ ඔවුන්ට ඇති දේශපාලන බලය භාවිතා කරමිනි.

නමුත් මේ වන විට මෙම තත්ත්වය ආරක්ෂක අමාත්‍යාංශය අවබෝධ කර ගනිමින් සිටියි. ඒ නිසා ආරක්ෂක ලේකම්වරයා පහුගිය දිනෙක පොලිස් මුලස්ථානය වෙත ලිපියක් මඟින් දන්වා ඇත්තේ මින් ඉදිරියට මාධ්‍ය වෙත අදහස් දැක්විය යුතු පුද්ගලයින් තිදෙනෙකු නම් කරමිනි. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට අමතරව වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න යන නිලධාරීන්ය.

මෙම නිලධාරීන්ට පිටින් පොලිසියේ කිසිම නිලධාරියෙකුට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමෙන් වැළකි සිටින ලෙසද දන්වා ඇතැයි පැවසේ.

එහෙත් එම නියෝගද නොතකන තවත් මාධ්‍ය ප්‍රකාශකලා පොලිසියේ තවමත් සිටිම කෙරෙහි ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු විය යුතුව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම