“නීතිඥ – සේවාදායක” හමුවට බන්ධනාගාර තුල බාධා

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින තම සේවාදායකයන් හමුවීමට යන නීතිඥවරුන්ට පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් මෑතක සිට අවහිර කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් අනාවරණය කර තිබේ.

“බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නා තම සේවාදායකයන් හමුවීමට යන නීතිඥවරුන්ට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ දැඩි සෝදිසි කිරීම් වලට ලක්වීමට සිදුවී තිබේ. බන්ධනාගාර නිලධාරීන් හමුවේ ඔවුන්ට ඇසෙන පරිදි  තම සේවාදායකයන් හමුවීමට ඔවුන්ට බල කෙරී ඇත. සේවාදායකයන් හා නීතිඥයන් අතර රහස්‍ය භාවය රැකෙන්නේ කොහොමද?”

“නීතිඥ - සේවාදායක” හමුවට බන්ධනාගාර තුල බාධා

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එම ප්‍රශ්නය නගා ඇත්තේ සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි.

ඔහු වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ තම සේවාදායකයන් හමුවීමට යන නීතිඥවරුන්ට   පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදුකරන දැඩි සෝදිසි කිරීම් මෙන්ම බන්ධනාගාර බුද්ධි නිලධාරීන් සාකච්ඡා ඇසෙන දුරින් සිටීම  සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකුම ඔහු දැනුවත් කර ඇති බවයි.

එම තත්වය මෑතකාලීනව වර්ධනය වුවක් බව ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් පවසා තිබේ.

බුස්සේ වර්ජනයක්

මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධවලට සම්බන්ධ රැඳවියන් 15 දෙනෙකු ජුලි 25 බ්‍රහස්පතින්දා  රාත්‍රියේ සිට ආහාර ප්‍රතික්ෂේප කරමින් වර්ජනයක් ආරම්භ කර ඇත.

තනි තනිව රඳවා සිටින මෙම රැඳවියන්ට පිටත රැඳී සිටීමට ලබාදෙන කාලය වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එච්.ටී. උපුල්දෙණිය මාධ්‍ය වේදීන් හා කියා තිබේ.

මෙම සිරකරුවන්ට පිටත රැඳී මේ වන විට ව්‍යායාම කිරීම සඳහා පැය දෙකක කාලයක් ලබාදෙන අතර අනිකුත් රැඳවියන් මුණ නොගැසෙන ආකාරයට එම කටයුතු සිදු කරන බව  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කරයි.

ආහාර වර්ජනයේ නිරත රැදවියන්ගේ  ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය නොහැකි බව  ඔහු වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම