තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගන්න පුලුවන්ද?

පසුගිය දිනෙක ඇල්පිටිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලීසිය විසින් අදාළ පුද්ගලයා නිවසේ නොසිටීම නිසා ඔහුගේ පුතාව අත්අඩංගුවට ගනු ලබන්නේය. නිවසේ CCTV කැමරා වල පටිගත වූ එම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග මේ ආකාරයට පියා වෙනුවට පුතාව හෝ යම්පුද්ගලයෙකු වෙනුවට වෙනත් අයෙක්ව අත්අඩංගුවට ගැනීමට හැකිද යන්න පිළිබදව සමාජයේ කතිකාවක් ඇති වුනි.

පොලීසියේ මෙවැනි අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ කටයුතු වල නෛතිකභාවය ගැන සාමාන්‍ය ජනතාව දැනුම්වත් වී සිටීම ඉතාම වැදගත්ය. පහත සටහන මෙවැනි දෙයක් තමන්ට හෝ වෙනත් අයෙකුට සිදු වූ විට නීතිය පිළිබඳව දැනුවත්ව මැදිහත්වීමක් සිදුකිරීම උදෙසා ඔබව දැනුම්වත් කිරීම උදෙසාය.

පොලීසියට යම් කෙනෙක් අත් අඩංගුවට ගන්න පුළුවන් මොන අවස්ථාවලදීද?

  • යම් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ඇති විටෙකදී.

  • යම් අයෙකු අපරාධමය වරදක් සිදු කරන විට හෝ සිදු කර ඇති විටෙකදී.

  • යම් අපරාධමය වරදකට සැක කරන අයකු සැඟවී පලා යනු ඇතැයි සාධාරණව සැක කළ හැකි විටෙකදී.

  • යම් අපරාධයක් පිළිබඳව සාක්ෂි විනාශ වීම වැලැක්වීමට අවශ්‍ය විටෙකදී.

  • යම් අපරාධයක් සම්බන්ධව සාක්ෂි දෙන සාක්ෂිකරුවකුට බලපෑම් කිරීම වැළැක්වීමට අවශ්‍ය විටෙකදී.

  • පොලිස් විමර්ශනයකින් පසුව යම් පුද්ගලයකු අපරාධයක් කළ බවට සැක කල හැකි විටෙකදී.

අත්අඩංගුවට ගැනීමේ නීතිමය තත්වය මොකක්ද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 13 (1) ව්‍යවස්ථාවට අනුව අනුව යම් අයකු අත්අඩංගුවට ගත යුත්තේ නීතියෙන් නියම කර ඇති ආකාරයට පමණි.

13(1) ව්‍යවස්ථාව – නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිර භාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිර භාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.

අත්තනෝමතික හා අනීතික අත්අඩංගුවට ගැනීමකින් ඒ අනුව පුද්ගලයාගේ මූලික අයිතීන් උල්ලංඝනය වේ.

යම් අයෙකු අත්අඩංගුවට හෙවත් සිර භාරයට ගත යුතු ආකාරය පිළිබඳව නෛතික ප්‍රතිපාදන දක්වා ඇත්තේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහිය. එහි 23 වගන්තිය මගින් මේ සම්බන්ධව දක්වා ඇත.

23(1) වගන්තිය – යම් තැනැත්තකු සිර භාරයට ගැනීමේදී ඒ් සිරභාරයට ගනු ලබන තැනැත්තා තමා අත්අඩංගුවට ගනු ලැබීමට වචනයෙන් හෝ ක්‍රියාවෙන් අවනත වුවහොත් මිස, ඔහු සිර භාරයට ගැනීම කරන තැනැත්තා විසින් සිර භාරයට ගනු ලබන තැනැත්තාගේ ශරීරය සැබවින්ම ස්පර්ශ කොට හෝ රඳවා තබා ඔහුව සිර භාරයට ගත යුතුය; තව ද සිර භාරයට ගනු ලබන තැනැත්තා සිර භාරයට ගනු ලබන්නේ යම් චෝදනාවක් හෝ දෝෂාරෝපණයක් මත ද ඒ් චෝදනාවේ හෝ දෝෂාරෝපණයේ ස්වභාවය ඔහුට දැනුම් දිය යුතුය.

 අත්අඩංගුවට පත්වන අවස්ථාවේ හිමි අයිතිවාසිකම් මොනවාද?

  • තමාව අත්අඩංගුවට ගැනීමට හේතුව හෝ හේතු දැන ගැනීම

  • ස්ත්‍රියක්ව සෝදිසි කිරීමේදී එය කාන්තා නිළධාරිණියක් හෝ වෙනත් සුදුසු කාන්තාවක් විසින් සිදු කිරීම

සැකකරු වෙනුවට වෙනත් අයෙක් අත්අඩංගුවට ගත හැකිද?

එසේ සිදුකිරීමට නොහැකිය. අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරු වෙනුවට නිවසේ සිටින කලත්‍රයා, දෙමව්පියන්, දරුවන් හෝ වෙනත් ඥාතීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිය. එසේ අත්අඩංගුවට ගැනීම සඳහා වන නීතියක් කිසිම නෛතික ලේඛණයක නොමැති අතර, එවැනි අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වේ.

එතකොට පොලීසිය එහෙම කරන්නේ කොහොමද?

පොලීසිය විසින් යම් අයෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි විටෙකදී නිවසේ සිටින අනෙකුත් අය එයට බාධා කරයි නම් හෝ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වන ආකාරයට හැසිරෙයි නම්, එහිදී රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ එම නිවසේ අනෙකුත් අයව අත්අඩංගුවට ගැනීමට නෛතික හැකියාවක් ඇත.

පොලීසිය විසින් යම් පුද්ගලය‍ෙකු අත්අඩංගුවට ගැනීමට ගියවිට, එවැනි බාධා කරනු ලැබීමකින් ‌තොරව වුවද, අදාළ පුද්ගලයා වෙනුවට නිවසේ සිටින වෙනත් අයකු අත්අඩංගුවට ගනු ලැබූ විට, අවශ්‍ය වුවහොත් එම අත්අඩංගුවට ගත් අයව අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හෝ අපරාධකරුවකු සැඟවීම යන චෝදනා යටතේය.

නිවසේ ඉන්න දරුවන්ව බොහෝ විට අත්අඩංගුවට ගන්නේ ඇයි?

සාමාන්‍යයෙන් රාජකාරියට බාධා කිරීම, අපරාධකරුවකු සැඟවීම ව‌ගේ චෝදනා ඉදිරිපත් කරමින් සැකකරු වෙනුවට නිවසේ සිටින දරුවෙකු අත්අඩංගුවට ගැනීම සිදු වුවද, බොහෝ අවස්ථාවලදී ඒ දරුවන් එවැනි බාධා කිරීම සිදු කරලා නැහැ. ඔවුන් එලෙස දරුවෙකු අත්අඩංගුවට ගනු ලබන්නේ පියා ඉක්මනින් පොලීසිය වෙත ඉදිරිපත් වේවි යන අපේක්ෂාවෙනුයි. නමුත් එලෙස සිදු කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාට හිමි අයිතීන් මොනවාද?

  • අත්අඩංගුවට පත් පුද්ගලයාගේ සම්පූර්ණ ආරක්ෂාව පොලීසිය විසින් සැපයිය යුතුය.

  • අත්අඩංගුවට ගැනීම සම්බන්ධ කුවිතාන්සිය හැකි ඉක්මනින් සැකකරුට දිය යුතුය.

  • කාන්තාවක් අත්අඩංගුවට ගත් විටෙකදී කාන්තා නිලධාරිනියක් යටතේ රඳවා තැබිය යුතුය.

  • ළමයකු රඳවා තබා ගැනීම වැඩිහිටියකුගේ රැකවරණය යට‌තේ විය යුතුය.

  • සැකකරුට තම පවුගේ ඥාතීන් හා නීතිඥවරයකු හමුවීමට දිය යුතුය.

  • සැකකරුගේ සෞඛ්‍ය හා මානසික තත්වය පිළිබඳව සොයා බලා ලේඛණගත කල යුතුය.

  • සැකකරු අත්අඩංගුවේ සිටින කාලය තුල අවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය ලබා දිය යුතුය.

  • සැකකරුගෙන් කට උත්තරයත් ගන්නේ නම් එය ඔහුගේ මව් බසින් ලබාගත යුතුය.

  • සැකකරුගෙන් බලහත්කාරයෙන් තොරතුරු ලබා ගත නොහැක.

  • අත්අඩංගුවට ගෙන පැය 24 ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කිරීම හෝ නිදහස් කිරීම කළ යුතුය.

නීත්‍යානුකූල නොවන ලෙස ඔබේ ඥාතියකු අත්අඩංගුවට ගත්තොත් මොකද කරන්නේ?

  • නීතිඥ මහතකු සමග පොලීසියට යන්න.

  • “පොලිස්පතිට කියන්න” වෙබ් අඩවිය හරහා පැමිණිලි කරන්න.

  • ප්‍රදේශයේ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිලි කරන්න.

  • මානව හිමිකම් කොමිසමේ දුරකතන අංකයට අමතා පැමිණිලි කරන්න.

 නීත්‍යානුකූල නොවන එවැනි අත්අඩංගුවකින් නිදහස් වූ පසු කළ යුත්තේ කුමක්ද?

  • පහරදීමක් සිදුවූයේ නම් රජයේ රෝහලකට ඇතුළු වී වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම.

  • මාසයක් ඇතුලත අගවිනිසුරුවරයා වෙත හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙක් වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීම.

  • මාසයක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම.

  • අවුරුද්දක් තුල මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීම.

  • මූලික අයිතිවාසිකම් කඩවීම සිදු වී මාසයක් ඇතුලත දී අගවිනිසුරුවරයා වෙත හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වෙත හෝ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමක් සිදු වී ඇත්නම්, මාසයක කාලය ඉක්ම ගිය ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කළ හැකි වේ.

මූලික අයිතිවාසිකම් පෙත්සමකින් මොකද වෙන්නේ?

  • මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ඔප්පු වුවහොත් සහනයක් වශයෙන් වන්දි ලබා ගැනීම

  • අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූළව කටයුතු කළ හැකි වීම.

අනීතික අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව පැමිණිලි කළ යුතු ආයතන මොනවාද?

  • පොලිස් මූලස්ථානය – 011 2327711-13, 011 2421111 ෆැක්ස් – 011 2329040

  • පොලිස් සහන මැදිරිය – 011 2430913 ෆැක්ස් – 011 2430914

  • පොලිස් තොරතුරු මැදිරිය – 011 2444444

  • පොලිස් හදිසි ඇමතුම් – 119

  • පොලිස් වෙබ් අඩවිය – www.police.lk

  • මානව හිමිකම් කොමිෂන් සභාව – 011 2505580 – 83 ෆැක්ස් – 011 2505574, 011 2505523

  • මානව හිමිකම් කොමිෂන් සභාව හදිසි ඇමතුම් – 1996, 011 2505575

  • මානව හිමිකම් කොමිෂන් සභා වෙබ් අඩවිය – www.hrcsl.lk

  • පොලිස්පතිතුමා, නව ලේකම් කාර්යාලය, කොළඹ 01 ([email protected])

  • නීතිපතිතුමා, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12 ([email protected])

  • ලේකම්, ජාතික පොලිස් කොමිසම, අංක 9 ගොඩනැගිල්ල, BMICH, බෞද්ධාලෝද මාවත, කොළඹ 07 (info@[email protected])

  • ලේකම්, මානව හිමිකම් කොමිසම, නො. 14, R.A. ද මෙල් මාවත, කොළඹ 04 ([email protected])

නීතිය ගැන දැනුම්වත් වන්න. ඔබට හෝ අන් අයකුට සිදුවන අනීතික ක්‍රියාවන්ට එරෙහිවන්න.

 

අංජුල බණ්ඩාර – උපුටා ගැනීම සමබිම

Social Sharing
විශේෂාංග