ජනතාව නිවිලා – මහින්ද දේශප්‍රිය

ජනතාව නිවිලා – මහින්ද දේශප්‍රිය

නවවන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය සමබිම කලාපයෙන් පාර්ලිමේන්තුව විසුරවූ මාර්තු 03 වනදා සිට අගෝස්තු 05 මහමැතිවරණය පැවැත්වීමට තීරණය කරන තෙක්ම මහමැතිවරණය සම්බන්දයෙන් සිදුවූ විශේෂ සිදුවීම් ගැන සාරාංශයක් ඔබ වෙත ගෙන ආවා. සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණයක් කියන්නෙම අභියෝගයක්, මෙවර කොවිඞ් 19ත් එක්ක මේ අභියෝගය තවත් සංකීර්ණ වුණා. ඒ අභියෝගය හමුවේ කොමිසම ගත් තීන්දු තීරණ කෙරෙහි විවිධ ප්‍රතිචාරයන් ඇති වුණා. හැබැයි ස්වාධීන කොමිෂන් සභා හදලා තියෙන්නේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතිව තමන්ගේ කාර්යය කරන්න. ඒත් මේ කොමිෂන් සභා කියන්නේ හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් නොවෙයි. කොමිෂන් සභාවල සාමාජිකයන් කියන්නේ සජීවි මිනිස්සු. මේ සජීවී බව හොඳින්ම දැනෙන කොමිෂන් සභාව තමයි මැතිවරණ කොමිසම. ඒක දැනෙන්නේ මැතිවරණ කාල වලදී විතරක් නොවෙයි. මේ සජීවී බවට එක් හේතුවක් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ක්‍රියාකාරීත්වය. වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබද ඔහු සහ සමබිම අතර වසර ගණනාවක සිට පවත්වාගෙන එන සංවාදයක් තිබෙනවා. මැතිවරණය ආසන්යේදීම සමබිම වෙනුවෙන් රුවිනි බියගම ඔහු හමුවන්නේ ඒ නිමා නොවන සංවාදයේ තවත් පියවරක් තබන්න. ඒ අතර, පසුගිය දිනවල මැතිවරණ කොමිසමට එල්ල වන චෝදනා ගැන කතා කරන්නත් අපි ඉඩක් වෙන් කර ගත්තා.

 

අපි පසුගිය අවුරුද්දේ අද වගේ දවසක ඔබත් සමඟ කල කතාබහේදි ‘ජනතාව ගින්දර වගේ ඉන්න ඕනි’ කියලා ඔබ කිව්වා. ඉතින් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ වෙලාවේ ජනතාව ගින්දර වගේ ඉන්නවා කියල ඔබ හිතනවද?

ජනතාව මේ වෙලාවේ කොවිඩ් 19 වසංගතය නිසා නිවිල ගිහිනුයි ඉන්නේ. ඒ වගේම ජනතාවගේ ගින්දර වගේ තිබිය යුතු දේශපාලනමය කරුණු විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව මුද්‍රිත අකුරු හරහා අන්තර්ජාලය හරහා උදේ හවස වරින්වර නිවෙස් වලට කඩන් වදින තරංග හරහා නිවලා දාලා තියෙනවා. උදාහරණයක් විදියට අපේ තාත්තලා තරුණ කාලේ දේශපාලන මතිමතාන්තර සාකච්ඡා වලින් දිනා ගන්න නොහැකි වුනාම කඩු, කිරිච්චි, වැලි බෝතල්, පොලු, බයිසිකල් චේන් වගේ දේවල් පාවිච්චි කළා. අපි තරුණ කාලෙදි ඒක ගිනි තැබීම්, බිය ගැන්වීම්, පිස්තෝල, රිවෝල්වර, ටී 56, තුවක්කු දක්වා වර්ධනය වුනා. නමුත් අද වෙද්දි තමන්ගේ මතිමතාන්තර වෙනුවෙන් ඒ කිසිවක් පාවිච්චි වෙන්නේ නැහැ. මතිමතාන්තර වෙනස් කිරීමේ බලාධිකාරය තියෙන්නේ සංවිධානාත්මකව ලෙස එළියට දාන මුද්‍රිත අකුරු, සමාජ ජාලා සහ තරංග වලටයි. නිළධාරීන්ගේ හෝ දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බොහෝ අය මේ වෙද්දි උනන්දුව දක්වන්නේ පක්ෂපාතීත්වයකින් යුතුවයි. ඔවුන් තමන් දාලා තියෙන කණ්නාඩිය දිහා බලාගෙන මිසක් ඒකෙන් පිට ප්‍රශ්නය විමර්ශනය කරන්නේ නැහැ. ඒ නිසාම ‘අපේ කණ්ඩායම හරි, අපේ පක්ෂය හරි, අපේ අය හරි – අනෙක් සේරම වැරදියි’ කියන මතයෙ බොහෝ අය ඉන්නවා. ක්‍රියාකාරී දේශපාලන කණ්ඩායම් කොහොමත් ඒ විදියයි. නමුත් දැන් මේ වෙද්දි පොදු ජනතාවත් ඒ මතයට බලහත්කාරයෙන් හරවගෙන තියෙනවා. ඒ නිසාම අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන ‘වරද දුටු තැන නැගී සිටිවු’ යන සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ‘අපේ මිනිස්සු කලා නම් ඒක වැරදි නැහැ’ කියල වැරදි වෙනුවෙන් හැම විදියටම පෙනී සිටින තත්ත්වයට ජනතාව පත්වෙලා. ඒක තමයි මේ ගින්දර වගේ සිටිය යුතු ජනතාව නිවිලා යන්න හේතුව.

දේශපාලනඥයන් මැතිවරණ ප්‍රචාරණයේදි ජාතිවාදය සහ ආගම්වාදය වෙනදාටත් වඩා යොදා ගන්නවා නේද?

‘මේ පක්ෂය මේ ආගමට සම්බන්ධයි, ඒ නිසා ඒ පක්ෂයට ඡන්ද දෙන්න එපා’ කියන එක මෙවැනි කාලෙක අහන්න ලැබෙන දෙයක්. මේ ජාතිවාදයට සහ ආගම්වාදයට එරෙහිවීම පොඩිකාලේ ඉදන් දරුවන්ට සමාජයෙන් ලැබිය යුතු දෙයක්. ‘මේ අය අපේ ඉස්කෝලෙ නෙවෙයි, ආගමේ නෙවෙයි, ජාතියේ නෙවෙයි – ඒ නිසා ඡන්දය දෙන්න එපා’ කියන එක වැරදියි කියලා අවබෝධ කර ගන්න නම් මම කලිනුත් කිව්වා වගේ ජනතාව ගින්දර වගේ සිටිය යුතුයි. විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ තරුණ තරුණියෝ දේශපාලනයෙන් මිදිලා තම තමන්ව වෙනම ගොඩ නගා ගනිමින් ඉන්නවා. නමුත් ඔවුන් ‘ගංවතුරක් වැනි ස්වභාවික ව්‍යසනයකදි’ සක්‍රීය වෙලා ආධාර කරනවා. ඔවුන් ඕන මඩක බැහැලා ඒ වෙනුවෙන් වැඩ කරයි. නමුත් දේශපාලන වැඬේදි ‘225 එපා – මේක පිළිකුල්, මේක ඉතාම නරකම බෝවෙන රෝගයක්, මේක හැදුනොත් කුණු වෙනවා, මේක කුණු ගොඩක්, ඒ නිසා යන්න එපා’ කියන අදහසෙනුයි ඉන්නේ. ඒකෙන් වෙන්නේ යමක් කළ යුතුම වෙලාවක නරක හෙවත් යක්ෂයා විතරක් පේන්න ගැනීමයි. පැන්ඩෝරා බොක්ස් එකේ හිටපු නපුරු මැසි මදුරුවෝ විතරක් අපි දකිනවා. නමුත් බලාපොරොත්තුව සහ යහපතත් පෙට්ටිය ඇතුළෙ තියෙනවා. ඒක පිළිගන්න සූදානම් නැති එක තමයි ප්‍රශ්නය. ආගම්වාදය ගැන අපට එන පැමිණිලි පවා එන්නෙත් ජාතිවාදි ස්වරූපයෙන්. එක කට්ටියක් ජාතිවාදය කියන කොට අනෙක් පිරිස කියනවා මේක වැරදියි කියලා. ‘අපේ මිනිහා’ කියන හැගීම තියෙන තාක් කල් මැතිවරණ කොමිසමට මේක රටේ තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් නිශ්චිතව මැදිහත් වෙන්න නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ යුතු වෙනවා. ඒ වගේ දෙයක් වුනොත් අපිට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හැර අපිට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න යාන්ත්‍රණයක් නැහැ. අපිට තියෙන්නේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය මූලික කටයුතු ටික සිදු කිරීමට තරම් යාන්ත්‍රණයක් විතරයි. නමුත් අපිට පැමිණිලි ආවොත් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ කාර්යාංශය මගින් අපි ඒවා ගැන බලනවා.

මහමැතිවරණය පවත්වන දිනය ලෙස පාර්ලිමේන්තුව විසුරුවලා මාස තුනක් ඉක්මවූ දිනයක් දීමෙන් මැතිවරණ කොමිසම තමන්ගේ බලතල ඉක්මවලා කටයුතු කළාද?

සාමාන්‍ය තත්ත්වය යටතේ නාමයෝජනා අවසන් වී නාමයෝජනා දැන්වීම නිකුත් කරන දින සිට මැතිවරණ දිනය නියම කරන්නේ අවම දින 35 ක හෝ උපරිම දින 49 ක කාලයක් අතරතුරයි. කොවිඞ් 19 වසංගතය නිසා ඇඳිරි නීතිය රට පුරා ක්‍රියාත්මක වීම නිසා මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන්න හැකියාවක් ලැබුන් නැහැ. අපි අප්‍රේල් 20 වන දින රැස්වෙලා අපිට මැතිවරණය පවත්වන්න පුළුවන් කවදද කියන එක ගැන සාකච්ඡා කළා. ඒ රැස්වීම තියෙන දවස වෙද්දිවත් රටේ ඇඳිරිනීතිය අයින් කරලා තිබුනෙ නැහැ. අපි සාකච්ඡා කළාම ගැසට් එක දාන්න පුලුවන් දවස විදියට ආවේ මැයි 04 වෙනිදායි. අපිට ඡන්දය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ වැඩ ටික කරන්නට රට යථා තත්ත්වයට පත් වෙලා දවස් 35 ක්වත් ඕන කරනවා. නමුත් තිබ්බ තත්ත්වයත් එක්ක උපරිම දින 49 කියන එකට අපිට යන්න වෙනවා. මැයි 04 ගැසට් පත්‍රය පිට කළත් මැයි 30 ට දවස් 25 යි තිබුනේ. දවස් 30 කට අඩු ප්‍රමාණයකින් අපිට මැතිවරණයක් සඳහා සූදානම් වෙන්න බැහැ.

අප්‍රේල් 27 කාර්යාල ඇරියත් අපිට මැයි 30 ඡන්දය තියන්න බැරි බව පෙනී ගියා. මැයි 04 ගැසට් එක ආවොත් එදා ඉදලා දවස් 49 ක් යද්දි ජුනි 20 තමයි ඡන්දය තියන්න පුළුවන් දිනයක් එන්නේ. අපි ඒ විදියට අපිට දාන්න පුලුවන් ඈතම දවසයි දැම්මේ. අපිට ඈතම දවස දාන්න ඕනි වුනේ මේ කොරෝනා වසංගතය නිසයි. නමුත් මැයි 04 වනවිටත් අපිට ගැසට් එක දා ගන්න බැරි වුන නිසා අපි දැනගත්තා ජුනි 20 ත් මැතිවරණය පවත්වන්න බෑ කියලා. ඒ අතරෙ මහමැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු වෙලා තිබුනා.

අප්‍රේල් 20 වෙනි දින තිබුණ හමුවේදි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලනු ලැබුවා. නමුත් අපිට ඒ මාර්ගෝපදේශ ලැබුනේ ජුනි 03. ඒවා ලැබුනට පස්සේ ඒ ගැනත් සාකච්ඡා කරලා ජුනි 09 තමයි අපි තීරණය කලේ අගෝස්තු 05 වනදා මහමැතිවරණය පවත්වන බව.

සෞඛ්‍යාරක්ෂිතව මහමැතිවරණයක් පැවැත්වීමේ අභියෝගයට මැතිවරණ කොමිසම මුහුණ දීලා තියෙනවා. ඒ අභියෝගයට කොමිසම සූදානම්ද?

සෞඛ්‍යාරක්ෂිතව මහමැතිවරණය පවත්වාගෙන යාම වෙනුවෙන් අපි මාර්ග සිතියමක් හැදුවා. ඒ වගේම පෙරහුරු මැතිවරණයක් සහ පෙරහුරු ගණන් කිරීමක් පැවැත්වුවා. අපි දැනටම පැමිණිලි විමර්ශන ඒකක පිහිටුවලා තියෙනවා. ඒ වගේම නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් පන්ති පවත්වනවා. රාජ්‍ය දේපල අයුතු පරිහරණය නවත්වනවා. අපි උත්සාහ කරන්නේ සාධාරණව, නිදහස්ව, විශ්වසනීයව මහමැතිවරණය පවත්වන්නයි. අපි මේ ඡන්ද විමසීම කලින් තිබ්බ නම් ජනතාව ඡන්දෙ දාන්න එන්නේ නැහැ, ඒ වගේම කාර්ය මණ්ඩලයෙ වුනත් තුන් හතර දෙනෙක් විතරයි එන්නේ. එතකොට ඒ මැතිවරණයේ විශ්වසනීයභාවයක් නැහැ. විශ්වසනීය මහ මැතිවරණයක් පවත්වන්න නම් සියයට අසූවක්වත් එහෙමත් නැත්නම් තුනෙන් දෙකක ප්‍රමාණයක්වත් ඡන්දය පාවිච්චි කළ යුතු වෙනවා. ඒ ප්‍රමාණය සියයට හැත්ත පහකට වඩා අඩු වුනොත් මිනිස්සුම කියයි මේක වැඩක් නෑ, මිනිස්සු ඡන්දය දාන්න ආවෙ නැහැ කියලා. ඒ නිසා අපි උපරිම උත්සාහ ගන්නේ පුලුවන් තරම් ඡන්දය දැමීමට මිනිස්සු ගෙන්වා ගැනීමටයි.

ජනතාව රැස් කරමින් අපේක්ෂකයින් සිදුකරන රැස්වීම් රටේ විවිධ තැන්වල දිගින් දිගටම පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඇතැම් රැස්වීම් මීටරේ පරතරයවත් නැතිව නේද සිදු කරන්නේ?

අපිත් එවැනි දේ දකිනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි නම් ඇවිත් නැහැ. ලංකාවේ අපි නිරාගමිකයින් කියන අය සියයට පහකටත් වඩා අඩුයි. ඉතිරි සියයට අනූපහම වගේ යම් ආගමක් අදහනවා. ඒ අතුරිනුත් සියයට හැත්තෑවක් විතර බෞද්ධ අයයි. ඒ හැමදෙනාම පන්සිල් ආරක්ෂා කරනවද? ඒ අය පන්සිල් ආරක්ෂා නොකළා කියලා පන්සිල් වල වැරැද්දක් තියේ කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා මාර්ගෝපදේශ අනුගමනය නොකරන අයයි වැරදිකාරයෝ. හාමුදුරුවන්ගෙන් උදේට බණ අහලා පන්සිල් අරගෙන හවසට හොදටම කණ පැලෙන්න බීලා කුණුහරුපෙන් පාරේ බැණ බැණ යනවා නම් ඒක එයාගේ වරදක්. ඒ නිසා මේ කරන වැඬේ සම්බන්ධයෙනුත් වරද තියෙන්නේ දේශපාලනඥයන්ගෙමයි. ඔය මීටරේ දුර නොතියා රැස්වීම් තියන දේශපාලනඥයෝ හිතනවා ‘ලංකාව කොරෝනා පාලනය කලා, දැන් මේකෙ අවදානමක් නැහැ’ කියලා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න බලයක් මැතිවරණ කොමිසමට නැහැ. මාර්ගෝපදේශ රෙගුලාසි ගැසට් කළොත් ඒ බලය තියෙන්නේ සෞඛ්‍ය නිළධාරීන්ට සහ පොලිසියටයි. මැතිවරණ කොමිසමට මේ වෙද්දි තියෙන වැඩ හොදටම ඇති. Facemask නොදාන අය ගැන මීටරේ දුර තියාගන් නැති අය ගැන එයාලා බලාගනීවි.

දේශපාලන පළිගැනීම් පිලිබඳ සෙවීමට පත්කල ජනාධිපති කොමිසම නෛතික පරීක්ෂණ මණ්ඩලයක් නෙවෙයි. විරුද්ධ පාර්ශ්වයේ දේශපාලනඥයින් ගෙන්වා ගෙන මේ දිනවල ඔවුන්ව ප්‍රශ්න කිරීමත් ඒවා මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීමත් තුළින් මැතිවරණ නීති කඩ වෙනව නේද?

අපිට ඒ ගැන දැන් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ පැමිණිලි වලට විරුද්ධ පැමිණිලිත් ලැබිලා තියෙනවා. ප්‍රකාශනය සඳහා ඇති අයිතිය අනුව ඒවා එළියට දිය යුතුයි කියලා ඒ විරුද්ධව පැමිණිලි යොමු කළ අය කියනවා. ඒ සාක්ෂි දෙන අය සාක්ෂි දෙන්න පෙරත් මාධ්‍යයට ඒ ගැන කියනවා, සාක්ෂි දීලා ඇවිත් ආපහු ඒකත් කියනවා, ඒකෙදි අගතියට පත්වෙන පාර්ශ්වයට උත්තර දෙන්න අවස්ථාවක් හැදෙන්නෙ නැහැ. ඒ නිසා ජනමාධ්‍ය විසින් කළ යුත්තේ ඒ විදියට දුන්නු සාක්ෂි නැවත නැවත ප්‍රකාශයට පත් කරන විට අගතියට පත්වෙන අයට අවස්ථාවක් දීමයි. දැනට මැතිවරණ කොමිසමේ අදහස වෙන්නේ ඒකයි.

මේ වෙලාවේ ජනාධිපති කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වයට සෘජුවම මැදිහත් වෙන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමකදි අපිට මේ ගැන පැමිණිලි ලබා දුන්නා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න හිටියත් තවම අපට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ජුනි 30 තමයි ඒ රැස්වීම පවත්වන්න හිටියේ. මහාචාර්ය හූල්ට ඒ රැස්වීමට පැමිණෙන්න නොහැකි වීම නිසා තවම ඒ ගැන තවම අපිට සාකච්ඡා කරන්න බැරි වෙලා තියෙනවා. කොමිෂන් සභාවේ කරුණු සාකච්ඡා කරන්න තුන් දෙනාම සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ වගේ බරපතල කරුණු ගැන තනිවම තීරණ ගන්න බැහැ.

මාධ්‍ය උපමාන කඩ කිරීම සම්බන්ධයෙන් කොමිසමේ මැදිහත්වීම ප්‍රමාණවත් නැති බවට චෝදනාවක් තියෙනවා.

මාධ්‍ය උපමාන නීතියක් නෙවෙයිනේ. මාධ්‍ය උපමාන නීතියක් වෙන්නේ රජයේ මාධ්‍ය වලට පමණයි. ඒක හරියට භික්ෂූන් වහන්සේලාට තියෙන විනය නීති වගේ. අනෙක් මාධ්‍ය ආයතන වලට මාධ්‍ය උපමාන කියන්නේ එකඟතා විතරයි. ඒක හරියට පන්සිල් රකිනවා වගේ. නමුත් එහෙම කියලා පෞද්ගලික මාධ්‍ය වලට ඒ වගකීමෙන් බැහැර වෙන්න බැහැ. එහෙම නීතියක් නැති වුනත් ඒ මාධ්‍ය විසින් රටේ ජනතාවගේ යහපත උදෙසා මාධ්‍ය උපමාන රැකිය යුතු වෙනවා. ඒකට හේතුව තමයි මේ තරංග වල අයිතිය තියෙන්නේ ජනතාවට වීම.

ඉස්සර මිනිස්සු තුවක්කු, කඩු, වැලි බෝතල් අරන් ආපු අයට ඡන්දය ලබා දුන්නෙ නැහැනේ. ඒ වගේම මේ තරංග හරහා එන බලහත්කාරයටත් ජනතාව කවදාහරි විරුද්ධ වෙයි. අන්න එදාට තමයි අපිට ජනතාව ගින්දර වගේ ඉන්නවා කියලා කියන්න පුලුවන් වෙන්නේ. දැන් ජනතාව නිවිලයි ඉන්නේ. කිසිම දේශපාලන පක්ෂයක් ජනතාව නිවැරදි අයුරින් දැනුම්වත් කිරීමට ක්‍රියා කරන්නේ නැහැ. ‘අපට ඡන්දය දෙන්න – අපි කරන්නම්’ කියලා විතරයි හැම දේශපාලන පක්ෂයක්ම ජනතාවට කියන්නේ. අපේ රටේ නම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය. මේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය ගැන අපේ දේශපාලන පක්ෂ උගන්නනවද? ඒ දෙකේ තියෙන වැදගත්කම ගැනවත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් Social Democracy ගැනවත්, සමාජ යුක්තිය, සමාජ සාධාරණත්වය ගැනවත් කවුරුවත් කතා කරන්නේ නැහැ. සමාජ යුක්තිය සහ සමාජ සාධාරණත්වය අත්‍යවශ්‍යයි කියලා මිනිස්සු හරියට තේරුම් ගත්ත දවසට තරංග වලට මිනිස්සු මුලා කරන්න බැරි වෙයි.

පක්ෂ අංකය සහ රූපය මැතිවරණ කාර්යාල වල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම ගැන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හරහා මැතිවරණ කොමිසමට චෝදනා කිහිපයක් කරනවා. එක් පක්ෂයකට වාසි සහගත ලෙස මෙය සිදුකර ඇති බවත්, ඡන්දය පාවිච්චි කරවීම අවම කිරීමේ යුරෝපා කොමිසමේ කොන්ත්‍රාත්තුවක් අනුව එය සිදු කර ඇති බවත්, මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසම වැටලිය යුතු බවටත් එහිදී ඔහු ප්‍රකාශ කරනවා.

මේ තීරණය දැනුම් දුන් රැස්වීමට සියලුම දේශපාලන පක්ෂ සහභාගි වුනා. ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ අංක සහ රූපය ප්‍රදර්ශනයට අවසර ඉල්ලුවා. රැස්වීම් භූමියෙදි හැර ඡායාරූප හා අංක ප්‍රදර්ශනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ තියෙන බව එහිදී මැතිවරණ කොමිසම සඳහන් කලා. හැම ගමකම තියෙන මැතිවරණ කාර්යාලයේ පක්ෂයේ නම සහ සංකේතය ප්‍රදර්ශනය කරන්න පුලුවන් කම තියෙනවා. ඊට අමතරව ගමේ කුඩා රැස්වීම් සතියකට දෙකක් විතර පවත්වන්න පුලුවන් නිසා ඒ තැන් වල පක්ෂය සහ අංක ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ගෙයින් ගෙට ගිහින් අංක ප්‍රදර්ශනය කිරීමේ හැකියාවත්, නිදහස් තැපෑල මගින් ඡන්ද දායකයින්ට තමන්ගේ අංකය ගැන දැනුවත් කිරීමේ හැකියාවත් තියෙනවා. ඒ නිසා මේ නීතිය ක්‍රියාත්මක කලා කියලා කිසිම දේශපාලන පක්ෂයකට කිසිම අවාසියක් නැහැ. අනෙත් එක ඔය නීති අපි හදපු නීති නෙවෙයි, පාර්ලිමේන්තුවෙන් හදපු නීතිමයි.

ඡන්දය දවසට විසිලක්ෂයක් ජනතාව පාරට එනවා. ඒ අයට කොරෝනා නොවැළඳෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල අපි සංවිධානය කරලා තියෙනවා. අපේ මූලික ඉලක්කය වුනේ සෞඛ්‍යාරක්ෂිතව වැඩි ජනතා ප්‍රමාණයක් ඡන්ද පොළට ගෙන්වන එකයි. නැවතත් කොරෝනා පොකුරක් ඇති වුනොත් සහ ඔවුන් සමාජයේ ගැවසුනොත් අපිට මේ වසංගතය වළක්වගන්න බැහැ. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා තමයි අපි දේශපාලනඥයන්ගෙන් ඉල්ලන්නේ කරුණාකරලා අපි දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. අපි මේ ගමින් ගමට ගිහින් පෙරහුරු මැතිවරණ තියන්නේ, පැය දෙකට 200 ක ජනතාවක් ඡන්දපොළට ගෙන්නන්න පුලුවන්ද කියලා පරීක්ෂා කරන්නේ, මේ හැමදේම කරන්නේ පුලුවන් තරම් ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට ගෙන්න ගන්නයි. අපේ කමිෂන් සභාවේ කිසිම සාමාජිකයෙකුට කිසිම රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට ඕන විදියට වැඩ කරන්න කිසිම ඕන කමක් නැහැ.

අන්තිමට කියන්න තියෙන්නේ එන්න ඇවිත් මැතිවරණ කොමිසම වටලන්න කියල තමයි. වටලන්න එන අයගෙන් කරුණු අහලා වැටලීමට හේතු අහලා අපි ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා දෙනවා. දේශපාලනඥයන්ට උත්තර දෙන එක අපේ සම්ප්‍රදායේ නැහැ. ඒ නිසා ඒ කර්කශ විවේචන ඒ තරම් ගණන් ගන්නෙ නැහැ.

මම මේ මැතිවරණය වෙනුවෙන් නිතරම ජනතාවට කියන දෙයක් තමයි ‘කෝවිඞ් 19 පරාජය – ප්‍රජාතන්ත්‍රවාදයට ජය’ කියන එක. ඒ නිසා මම ඔය චෝදනා වලට පෞද්ගලිකව උත්තර නොදුන්නත් මට කියන්න තියෙන්නේ මේ ඡන්දය විශ්වසනීය ඡන්දයක් ලෙස තැබීමට සහ වෙනදා ඡන්දය භාවිතා කල 80% අඩුම වශයෙන් 75% තත්ත්වයකවත් තියා ගන්න අපි උපරිම උත්සාහයක් දරමින් ඉන්නවා කියන එකයි.

නමුත් මේ සම්බන්ධ නීතිය බලාත්මක කිරීමේදි නිශ්චිත ආකාරයෙන් කොමිසම කටයුතු නොකළ බව පසුගිය සතියේ අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකය වෙනුවෙන් කළ සාකච්ඡාවකදි පැෆ්රල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරනවා.

මැතිවරණ කාර්යාල වලට භාවිතා කරන කටවුට් වලට අවසර දෙන්න පුලුවන් කියන අදහසින් අපි මාර්තු මාසේ එය නිකුත් කර තිබුනත් එම කටවුට් වලට අවසර දෙන්න බැහැ කියලා තීරණය වුණේ ජුනි මාසේ තිබුණ රැස්වීමෙන් පසුවයි. ඒ නිසා අපි කලින් අන්තර්ජාලයට එකතු කරපු නිවේදනය ඉවත් කළා.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූල් විසින් මාධ්‍ය හමුවේ සිදු කර ඇති විවිධ ප්‍රකාශ මගින් කොමිසමේ විශ්වසනීයත්වය අභියෝගයට ලක්වෙලාද?

මහාචාර්ය හූල් විසින් ඇතැම් මාධ්‍ය වලට ලබා දී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතුමා කියල තියෙන ප්‍රකාශ සනාථ කරන්න බැරි කරුණු වීම ගැන මම කමිෂන් සභාවට පිළිතුරු දීලා තියෙන නිසා මම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න යන්නේ නැහැ. ඒ කාලයේම ඒවා සම්බන්ධයෙන් සිදුකළ කමිෂන් සභා රැස්වීම් වාර්තා වල මේ ගැන සඳහන් කරලා තියෙනවා.

මෙවැනි ප්‍රකාශ නිසා කමිෂන් සභාවේ විශ්වසනීයත්වය ගැන ගැටලුවක් ඇති වෙලා තියෙන බව පිළිගන්නවා. නමුත් ඒක මහාචාර්ය හූල්ගේ හැසිරීම් රටාවෙ විදියයි. ‘එකට වැඩ කලා නම් ඒක එළියට ගිහින් විවේචනය කරන එක වැරදියි’ කියලා හැමෝම කියනවා. නමුත් මහාචාර්ය හූල් කියනවා නම් ඔහු ඔහුගේ හෘදසාක්ෂිය අනුව වැඩ කලා කියලා, මගේ ස්වභාවය තමයි ‘තමන් කැමති දේ තමන් කරන එකේ වරදක් නෑ’ කියන එක. නමුත් තල වවන කෙනා තල කපා ගන්නවා, මෙනේරි වවන කෙනා මෙනේරි කපා ගන්නවා. අපි ඒක අමතක නොකළ යුතුයි.

ඒ වගේම මහාචාර්ය හූල් නරක කෙනෙක් කියලා මම කොයි වෙලාවකවත් විවේචනය කරන්නේ නැහැ. එයා බලන කෝණයෙන් හැමදේම දිහා බලලා ඒක හරියි කියන්න ඔහුට ලොකු උවමනාවක් තියෙනවා. නමුත් මම බලන ක්‍රමය එයා බලන ක්‍රමයට වඩා වෙනස්. ඒ නිසා මා එක්ක එකට ඉන්න අයෙකුගේ වරද මම කොයිම වෙලාවකවත් කියන්න යන්නේ නැහැ. ඔහුට එකට කණ්ඩායමක් විදියට ඉදල ක්‍රියා නොකරන එක හරිම වැරදියි කියලා මම කියන්න යන්නේ නැහැ, ඒ වගේම ඒක හරියි කියලා මම කියන්නෙත් නැහැ. මම නම් ඒක කරන්නේ නැහැ කියල විතරයි මට කියන්න පුලුවන්.

ඒ වගේම මේ වෙද්දි සමහර මාධ්‍ය විසින් ඔහු ත්‍රස්ත්‍රවාදයට සම්බන්ධයි කියලා ඔහුට විරුද්ධව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් යනවා. ඔහු ද්විත්ව පුරවැසියෙක් කියලත් ඔහුට එරෙහිව චෝදනාවක් තියෙනවා. නමුත් ද්විත්ව පුරවැසිභාවය කොමිෂන් සභාවකට පත් කරන්න නුසුදුසුකමක් කියලා ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ සඳහන් කරලා නැහැ. එනිසා එවැනි චෝදනා වලට මම විරුද්ධයි.

ඇතැම් මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමේ හැකියාව ලංකාවේ මැතිවරණ කොමිසමට නැහැ. නමුත් ඉන්දියාවේ මැතිවරණ කොමිසම ඉතාම ශක්තිවන්තයි.

මේ කමිෂන් සභාවයි හිටපු මැතිවරණ කොමසාරිසුයි අතර තියෙන එකම වෙනස මේකෙ සාමාජිකයෝ තුන්දෙනෙක් ඉන්න එක විතරයි. මේ කරන බොහෝ දේවල් 17 වන සංශෝධනය යටතේ මැතිවරණ කොමසාරිස් වෙලා ඉන්න කාලෙත් කලා. දැන් තියෙන වෙනස තනි කෙනෙකුට තීරණ ගන්න බැරි එක විතරයි. නමුත් මම කමිෂන් සභාවත් තියෙනවට පක්ෂ කෙනෙක්. එහෙම වුනාම තනි කෙනෙකුට තමන්ට ඕන විදියට වැඩ කරන්න බැරුව යනවා. තනි මතයට දුවන එකෙන් ඒකාධිපතිත්වය කරා ගමන් කරනවා. තනි පුද්ගලයෙක් ක්‍රියා කරගෙන කරගෙන යද්දි බලය තිබුණොත් එයා ඒකාධිපතියෙක් වෙන්න ඉඩ තියෙනවා. තව කට්ටිය ඉන්නවා නම් ඒ ගැන සාකච්ඡා කරලා වෙනස් කරන්න පුලුවන්. ඒ වගේම ඉන්දියාවේ මැතිවරණ කොමිසමට අනුනීති සැදීමේ බලය තිබෙනවා. මගේ අදහස නම් කොමිෂන් සභාවක් නම් ඉන්දියන් මැතිවරණ කොමිෂන් සභාව වගේ විය යුතුයි කියලයි.

රුවිනි අයේෂා බියගම – සමබිම

උපුටා ගැනීම – www.samabima.com

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment