ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? – විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්

ගොඩනැගෙන මිලිටරි කරණයට ජනතාව කැමති ඇයි? - විදර්ශන ගෙන් පැහැදිලි කිරීමක්

ජනතාව හමුදා මිලිටරි පාලනයකට හෝ පොලිස්වාදී පාලනයකය කැමති ඇයි කියා විමසා බැලීම වැදගත් බවත් මිනිස්සු ඒ තැනට තල්ලු වුයේ ඔවුන්ගේ ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ ඉල්ලීම් නැතහොත් ප්‍රජාත්‍රන්තවාදය කියන දේ මෑත දශක දෙකක තුනක කාලයක සිට නාය යෑමට ලක් වීම නිසා බවත් විදර්ශන කන්නන්ගර මහතා පවසා සිටියි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අයිතිය වෙත අදහස් දැක් වු ඔහු වැඩිදුරටත් මෙසේද කරුණු විග්‍රහ කර සිටියේය.

“පහුගිය ජනාධිපතිවරණය එද්දි එදා අපි පැහැදිලිවම කියා සිටියේ මේ එන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ජයග්‍රහණය විසින් සංකේතවත් කිරීමට නියමිත වන්නේ අධිකාරිවාදී, ඒකාධිපති, දැඩි මර්දනකාරී පාලනයක් දෙසට ලංකාව තල්ලු කරන බවයි. කොරෝනා වසංගත තත්ත්වය තුල සහ ඊට පසුවත් සිදු වෙන ඝාතන සහ පහර දීම් වලින් පැහැදිලි වන්නේ අප එදා ඡන්දයත් සමඟ මතු කළ පුරෝකථනය වඩාත් ඉක්මනින්ම නිවැරදි වෙමින් යන බවය.

මේ දඩයම දැන් පටන් ගත්තා පමණය. මෙය ඉදිරියේදි වඩාත් සංකීර්ණ විය හැකිය. මේ ජනාධිපතිවරයා වටා සිටින මිලිටරි නිලධරය සහ සදාචාරවත් රටක් ගොඩනගන්න කියා ඔහු ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා ඇතුලු ඔහු වටා සිටින කණ්ඩායම ලංකාවේ පාලනය හමුදා පාලනයක් කරා ජනතාවට නොදැනී ගෙන යමින් සිටියි. එයට  මේ වන විට පිඹුරුපත් එළමින් තිබෙනවා. තවමත් මෙයට ජනමතය තිබේ. මෙයට ජනතාව අකමැති යැයි වටහා ගන්න අප ඉක්මන් විය යුතු නැති බව මගේ හැඟිමයි. මා මෙතනදී ජනතාව කියා අදහස් කරන්නේ සිංහල බෞද්ධ දකුණේ ජනතාවය. එහි සැලකිය යුතු පිරිසක් හමුදා පාලනයක් ඉල්ලා සිටියි. මේ හමුදා පාලනය ඉල්ලන පිරිසට මම කියන්න කැමතියි හමුදා පාලනයක් කියලා කියන්නේ මොකද්ද කියා අධ්‍යයනය කරන්න කියා.

90 දශකයෙන් පසු නව ලිබරල්, ධනේශ්වර පාලනයකට අපි කියපු ප්‍රගතිශිලීන් පවා හැරුනේ ඒ නිසාය. උදාහරණයක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යම් මට්ටකට නව ලිබරල්වාදි අදහස් සහිත නායිකාවකි. නමුත් ඔවුන් 90 දශකයේ මේ කණ්ඩායම් ඔවුන්ගේ නිදහස් පක්ෂයට උරුම වී තිබු ජාතිවාදය වෙනුවට සමාජ සුබසාධනය පැත්තට එසේත් නැතිනම් රාජ්‍ය දේපල පුද්ගලීකරණය නොකිරිම වැනි යම් යම් සමාජ ප්‍රජාත්‍රන්තවාදි ප්‍රතිපත්ති වල සිටියහ.  නමුත් 90 දශකයෙන් පසු අපි ඇතුල් වූ අලුත් ලෝකයකටය. එනම් ධනවාදය තමා එකම ඉතිහාසය කියන වෙනත් විකල්පයක් නැහැ කියා සිතපු  කාලයකටය. එහිදී පෙර සඳහන් කළ ආකාරයෙන් චන්ද්‍රිකා ඇතුලු ඒ ලිබරල් වටිනාකම් සහිත නමුත් යම් ආකාරයකට ලිබරල් ධනේශ්වරයේ අලුත් ප්‍රතිපත්ති ලංකාව සමඟ ගණුදෙණු කිරීමට සුදානම් විය. නිදහස් පක්ෂයත් ඒ සම්මුතියට ලක් කළ ඒ ආර්ථික දේශපාලන වල ප්‍රතිඵල මේවාය. මෙහිදී ධනවාදය මානුෂිකවාදයක් කියා නම් කර රජයේ ධනය, මහජන අයිතිවාසිකම් මේ සියල්ල පෞද්ගලිකරණයකට, වෙළඳකරණයකට ලක් කරමින් ලංකාවේ ලිබරල්වාදය පිලිබඳ අදහසක් ගොඩනැගෙමින් පැවතිණි.  නමුත් එය හානිකර විය. එනම් ප්‍රජාත්‍රන්තවාදය කියන මූලික අදහසම ඉන් නාය යාමය. පහළ පංතියේ ජනයාට මෙයින් ආර්ථික සාධාරණයක් ඉටු වන්නේ නැත. පෞද්ගලිකරණය විසින් වඩාත් වාසි සහගත කර ඇත්තේ ප්‍රභූ, ධනේශ්වර ඉතා සුලුතරයකට අවශ්‍ය වෙන  ආර්ථික බලයක් ගොඩනැගීම සඳහාය. ඉන් ලංකාවේ සිටින අතිබහුතර ජනතාවට තමන්ගේ ආර්ථිකය පිලිබඳ තිබු අයිතිවාසිකම් අහිමි වී ගියහ. ආර්ථික ප්‍රජාත්‍රන්තවාදි අයිතීන් වෙනුවෙන් හඬක් නැගිමට නොහැකි වීමය.  අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවට බිස්නස්කාරයින් යන්නේය. එහිදි ඔවුන් ජනතා නියෝජනයක් ඇති කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ව්‍යාපාර සඳහා ඊනියා දේශපාලනයක් භාවිතා කිරීමටය. ලංකාවට ධනේශ්වර ක්‍රමයේ අලුත් නැම්මක් පැමිණි පසු දේශපාලනය කියන ප්‍රජාත්‍රන්තවාදි අදහස නාය යන්නට විය.

මේ හිස්තැනට ජාතිවාදී, වර්ගවාදී, අධිකාරිවාදී, රාජපක්ෂවාදී  පාලනයන් ඇතුලත් විය. ඔවුන් ජනතාවගේ අහිමි වූ ප්‍රජාත්‍රන්තවාදය වෙනත් ක්‍රමයකින් ලබා දෙන බවට වු ඊනියා දේශපාලන පොරොන්දු මත බලයට එන්නේය.  මේ නස්පැත්තිය අප තාමත් විඳින්නේය. ඒ නිසා අප වටහා ගත යුතු වන්නේ ජනතාව මිලිටරි පාලනයක් ඉල්ලා සිටින්නේ ඔවුන්ගෙන් වියැකි ගිය ප්‍රජාත්‍රන්තවාදයේ අවශ්‍යතා ටික සපුරා ගැනිමට වෙනත් මඟක් නොමැති නිසා බවය. මෙහිදී ජනතා නියෝජනය වෙනුවට ජාතික ආරක්ෂාව එන්නේය.

අපි මේ ගමන් කරමින් සිටින්නේ ඒ පටන් ගත් දේශපාලන ඒකාධිපතිවාදයේ ඉදිරි සහ ජවසම්පන්න අවධියකටය. අද දවසේ ලිබරල් ධනේශ්වරයකට තවදුරටත් ප්‍රජාත්‍රන්තවාදය අවශ්‍ය නැත. ඒ නිසා මේ අධිකාරිවාදයත් සමඟ ඉදිරියට එන භීෂණය වළක්වා ගන්න නම් අපට ධනේශ්වරය පිලිබඳ විවේචනාත්මක අදහසක් අවශ්‍යය.

දැන් ඝාතන සිදු වෙමින් ඇත. සාමකාමී විරෝධතා වලට පහර දෙනු දැකිය හැකිය. අපට මේ සිදුවීම් වලින් යමින් ඇති ගමන පෙනෙන්නට ඇත. සිදුවීම් එක දෙකකකින් මේ අධිකාරිත්වය සෙලවුයේ නැත. එය මායාවකි. ඒ නිසා මේ ඇති වෙමින් තිබෙන්නා වූ තත්ත්වය වටහා ගත යුතුය. අද කොරෝනා වලට පැමිණි නීති සිවිල් නීතිය බවට පත් කර ඇත. මේ අලුත් භීෂණය එන විදිහයය. ජනතාව ප්‍රගතිශිලී, වාමාංශික යන ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ කටයුතු කරන අය මේ පිලිබඳ විවේචනාත්මකව, විචක්ෂණශිලීව කටයුතු කළ යුතුව ඇත.  භාෂණයේ ප්‍රකාශනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුගමනය කර ඇති ඒ මුලික දේවල් වෙනුවෙන් නැතහොත් මිනිසුන්ගේ අයීතීන් වෙනුවෙන් අප කෙසේද ඉදිරියට පැමිණිය යුත්තේ යන්න උපාය මාර්ගයක් සිතිය යුතුය. මන්ද? ඉදිරියේදි එන තත්ත්වය නම් අතිභයානක වන නිසාය.”

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment