උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ.

තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ විරෝධතාවය  අඛණ්ඩව නම වැනි දිනටත් ක්‍රියාත්මක බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

ගමට විදුලි බලය ලබාගැනීම සදහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉල්ලා සිටිමින් මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ  වව්නියාව උතුර මරුතෝඩෙයි  ග්‍රාම සේවා වසමට අයත් කාංචනමොටෙයි  ගම්වැසියන් පිරිසකි. යුද්ධයෙන් ජීවිත බේරා ගැනීම සඳහා ගම්බිම් හැර පලා ගොස් සිටියදී වන සංරක්ෂණ බලධාරීන් තමන් සතු ඉඩම් ද අයුතු ලෙස පවරාගෙන ඇති බව ඔවුහු කියා සිටිති.

උතුරේ දියත් වු යුද්ධය හේතුවෙන් සිය මුල් ගම් බිම් අතහැර යෑමට බලකෙරුන එම ජනතාව පවසන්නේ  රජය විසින් 2018 වසරේදී  නැවතත් තමන් එම ගමේ පදිංචි කළත් සිය ඉඩම් නිරවුල් කර දී මුලික අවශ්‍යතා සම්පූර්ණ කර දීමට බලධාරීන් මේ වනතෙක් අසමත්ව ඇති හෙයින් තමන් නැවත වතාවක් උපන් බිමේම අනාථයන් වී සිටින බවයි.

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

තම ගම්මානයට විදුලිය ලබා දීමට මුල පුරා තිබුනත් ගමට රැහැන් ඇදීමට සිදුව ඇති මාර්ගයේ ඇති ගස් කිහිපයක් ඉවත් කිරීමට වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව ඉඩ ලබා නොදීමෙන් පදිංචි වී දෙවසරකට ආසන්න කාලයක් ගතවීත් විදුලිය ලැබී නැති බවට උද්ඝෝෂකයෝ මැසිවිලි නගති.

ගමට යන වැලිපාර දෙපස කම්බි කණු ගොඩ ගසා තිබෙනු දැකගත හැකිය. බොහෝ ඉඩම් කට්ටි වල බාගෙට තැනූ ගෙවල්ය.

නෙඩුන්කේනි අඩවිවන නිලධාරියා විසින් 2020 මාර්තු මස 17 වන දින වව්නියාව විදුලි ඉංජිනේරු වෙත යොමු කරන ලද මාධ්‍ය ආයතන වෙතද පිටපත් ලැබී ඇති ලිපියක සදහන්ව ඇත්තේ විදුලිබල මණ්ඩලය විසින්  ඉවත් කිරීමට යෝජිතව සලකුණු කර ඇති ගස් පිළිබඳව ඉදිරි කටයුතු කිරීම කාංචනමොටේ ඉඩම් ගැටළුව නිරාකරණය වන තෙක් තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇති බවයි.

එහෙත් එම ප්‍රදේශයට විදුලිබලය ලබා දීම හදිසි අත්‍යාවශ්‍ය කටයුත්තක් බව අනෙකුත් වගකිවයුතු ආයතන සමග සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී වව්නියාව උතුර ප්‍රදේශිය ලේකම් විසින් දැඩි අවධානයට ලක් කර ඇති බවද එහි සඳහන්ය.

නෙඩුන්කේනි අඩවිවන නිලධාරියා විසින් වැඩි දුරටත් වව්නියාව විදුලි ඉංජිනේරු වෙත දැනුම් දී ඇත්තේ කාංචනමොටේ ඉඩම් කොටස පෙරියකට්ටිකුලම් රක්ෂිතයට අයත් වන බැවින් එම ගස් ඉවත් කිරීම සදහා වන සංරක්ෂණ ජෙනරාල්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවයි.

ගම්වාසීන් පවසන පරිදි තමන්ගේ පාරම්පරික ගම්බිම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 දී ගැසට් නිවේදනයක් මගින් පවරාගෙන ඇත්තේ භූමියට පැමිණ ඉඩම් මැනීමකින් තොරව ගූගල් චන්ද්‍රිකා සිතියම යොදාගත් කොළඹ නිලධාරීන් විසිනි.

විවිධ වර්ගවලට අයත් ගස් වර්ග 102 ක් ඉවත් කරමින් විදුලි බල මණ්ඩලය විසින් සලකුනු කර මාර්ගයේ ගමට විදුලි රැහැන් අදිනු වෙනුවට බිම හෙලන්නට සිදුවන ගස් ප්‍රමාණය අඩුකර විදුලි රැහැන් ඇදීමේ විකල්ප මාර්ගයක් පෙන්වා දීමට සහාය දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව දැනගන්නට නැත.

“එබැවින් ගස් ප්‍රමාණය අඩු කරමින් විකල්ප මාර්ගයක් ඔස්සේ මෙම විදුලි රැහැන් ඇදීම සදහා කටයුතු කිරීම පිනිස අදාල ක්ෂේත්‍ර පරීක්ෂාවක් මාගේ නිලධාරියෙකුද සමගින් සිදු කර අදාල ගස් සලකුණු කර ඊට හසුවන සංශෝධිත ගස් ලැයිස්තුවක් මා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි,” යි නෙඩුන්කේනි අඩවි වන නිලධාරියා වව්නියාව විදුලි බල මණ්ඩලයේ  විදුලි ඉංජිනේරු වෙත මාර්තු 17 දින යොමු කර තිබෙන ලිපියේ වැඩි දුරටත් සදහන්ව තිබේ.

උතුරේ වාර්තාකරුවන් පවසන්නේ කාංචනචනමොටෙයි ග්‍රාමයේ පවුල් 38 කට අයත් ජනතාව ජීවත් වන බවයි.

උද්ඝෝෂණයේ යෙදෙන ගම්වාසීන්  චෝදනා කරන්නේ  යුද්ධය හේතුවෙන් ගම් බිම් අතහැර යාමෙන් පසු තම ඉඩම් පෙරියකට්ටිකුලම් වන  රක්ෂිතයට පවරා ගෙන ඇති බවයි. තමන්ගේ පාරම්පරික භුමිය හෙළි පෙහෙළි කරන්නන්ටත් විරුද්ධව බලධාරීන් නඩු පැවරීම ගැන ඔවුහු කම්පාවට පත්ව සිටිති.

වව්නියාව උතුර  ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් තමන් යළි මුල් භුමියේ පදිංචි කරන මොහොතේ එයට විරෝධයක් නොදැක්වු වන සංරක්ෂණ නිලධාරීන් ගමට විදුලි බලය ලබා ගැනීමට යාමේදී   විරෝධතාවයක් මතු කරන්නේ ඇයි දැයි උද්ඝෝෂකයෝ ප්‍රශ්න කරති.

රජය විසින් පවරාගෙන ඇති තමන්ට අයිති ඉඩම් අක්කර දෙකින් එකක් හෝ මුදා දෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

නෙඩුන්කේනි අඩවිවන නිලධාරියා විසින් 2020 පෙබරවාරි  මස 27  වන දින වව්නියාව උතුර ප්‍රාදේශිය ලේකම් වෙත යොමු කර තිබෙන මාධ්‍ය ආයතන  වෙතද පිටපත් ලැබී ඇති  ලිපියක සදහන්ව ඇත්තේ කාංචනමොටේයි ඉඩම් ගැටළුව කඩිනමින් විසදීමට අවශ්‍ය පියවර ගත යුතු බවට වව්නියාව දිසා වන නිලධාරියා විසින් තමන් වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව කාංචනමොටේයි පැරණි ගම්මානය පැහැදිලිව හදුනාගෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේද සහාය ලබාගෙන මායිම් විවෘත කර පෙන්වා දීමට කටයුතු කරන ලෙස එහි වැඩි දුරටත් සදහන්ව තිබේ.

මෙය මහජනතාව හා අවතැන්වුවන් සම්බන්ධයෙන් වූ කටයුත්තක් වන බැවින් එය කාර්යක්ෂමව ඉටු කර ගැනීම සදහා නෙඩුන්කේනි අඩවිවන නිලධාරියා වව්නියාව උතුර ප්‍රාදේශිය ලේකම්ගේ සහාය ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් ගම් වැසියන් චෝදනා කරන්නේ මාස ගණනක් ඇදෙමින් තිබෙන තම ගැටලුවට විසදුම් ලබා දීමට බලධාරීන් අසමත්ව ඇති බවයි.

දින ගණනක් තිස්සේ  උද්ඝෝෂණයේ යෙදී සිටියත් විසඳුමක් නොලද කාංචනමොටේයි ගම් වැසියන්   ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම ඉඩම් ගැටලුව කඩිනමින් විසඳා විදුලි ආලෝකය ඇතුළු මූලික පහසුකම් ලබා දීම සදහා මැදිහත් වන ලෙසයි.

Social Sharing
නවතම