“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස

“අපි අද බිම් පණුවෝ වගේ” - චින්තන ධර්මදාස

මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි නේද කියලා. මොකද ලංකාවේ ෆිල්ම් එකක් කරනවට වඩා ඒක පෙන්නලා, අඩුම ෆිල්ම් එක හදන්න ගිය ගානවත් කවර් කරගන්න එක හරිම අමාරු වැඩක්. කොහොම හරි අන්තිමට කොරෝනා නිසා ඇවිලෙන සුලුයි නිවිලා ගියා. ඔන්න දැන් ආයිත් ඇවිලෙන්න පටන් අරගෙන. ඉතිං මේ ඇවිලීමට පෙට්‍රල් චුට්ටක් විසිකරන්න හිතුවා.

චින්තන ඔයාගේ ෆිල්ම් එකට, අද ලංකාවේ සමාජයේ තිබෙන ත්‍රාසය එක්ක හැප්පෙන්න තියා ළඟටවත් යන්න බැහැ කියලා කිව්වොත්..

“මගේ ෆිල්ම් එක, ෆිල්ම් එකක් විදිහට ගත්තාම ත්‍රිලර් සාම්ප්‍රදායට වැටෙන ෆිල්ම්  එකක් කියලා කියන්න පුලුවන්. නමුත් ලංකාවේ සමාජයේ එළියේ තියෙන, මිනිස් ජීවිතවල තිබෙන ත්‍රිලර් එක දනවන්න මේ ෆිල්ම් එකට බැහැ කොහෙත්ම. සමාජය ඊට වඩා ත්‍රිලින්. අපි කවුරුත් දන්නේ නැහැ අද නිදහස් චතුරශ්‍රයේ කවුරු හරි එල්ලිලා මැරිලා ඉදියි ද? එහෙම නැත්තං ෆිනෑස් කොම්පැනියක් ඉස්සරහා කවුරු ගහලා මරලා තියෙයිද කියලා. පාරේ මිනිස්සු යනකොට මහ දවල් මිනිස්සුන්ට ගහලා මරලා දානවා. කවුරුත් කිසිම විරෝධයක් දක්වන්නේ නැහැ. එවැනි ත්‍රිලර් සමාජයක මගේ ෆිල්ම් එක දනවන්නේ ඉතාමත් සුළු ත්‍රිල් එකක්. ඒකට මම එකඟයි. ඇත්තටම සිනමාව ගත්තත් එන්ටර්ටේනින් පැත්තේ තියෙන සියලු කලාවන් අද අසමත්. ඒකට හේතුව තමයි එළියේ සමාජය කලාවට වඩා එන්ටර්ටේනින්. දේශපාලකයෝ සපයන විහිළු කලාවට දෙන්න බැහැ. ඔවුන් ජනතාවගේ හිත්වල මවන හීන කලාවට මවන්න පුලුවන් ද? බැහැ. ඒනිසා අපිට හැමවෙලාවෙම අපේ නිර්මාන පවතින සමාජයට වඩා පොඩ්ඩක් පහළින් තියාගන්න වෙලා තියෙනවා, මොකද ඒක මැච් කරන්නම බැහැ”.

මේ සමාජයේ හැටියට ෆිල්ම්ස් උනත් සහාසික වෙන්න ඕනෑ නැද්ද කියලා මට වෙලාවකට හිතෙනවා. අපේ සිනමාව අද පන්සලක බෝමළුවක් වගේ. 

“මට හිතෙන්නේ සමාජය සහාසික වෙන්න වෙන්න අපේ ෆිල්ම්ස් වුණත් ඒ පැත්තට ගියා කියලා මට හිතෙනවා, එතනදී ඒ ෆිල්ම්ස්වල තියෙන රූපරාමු කොතරම් සහාසිකද කියලා කියන්න බැහැ. හැබැයි පණ්ඩුකාභය, දුටුගැමුණු ආරේ රජ ෆිල්ම්ස් ආවානේ, ඒවායේ තිබෙන්නේ අපේ සහාසික ඉතිහාසය තමයි. ඒ කතාව තමයි, ඒ චිත්‍රපටවල තිබෙන්නේ. කඩු උස්සගෙන ලේ හලාගෙන ජාතිය ගොඩනැඟුවා කියන එක තමයි ඒ ෆිල්ම්ස් වලින් කියන්නේ. ඉතිං ඒකම තමයි අද සමාජයෙත් තිබෙන්නේ. ඒක නිසා අපි අද හිතන්නේ යකඩ පොල්ලක් අරගෙන ඒකෙන් තම්බියෙක්ගේ ඔලුව පලලා ජාතිය ගොඩනගන්න ඕනෑ කියලා. නමුත් ඒ සහාසිකත්වය දෛනික ජීවිතයේ නිරූපනය වෙන්නේ කොහොමද කියන එක ගැන ෆිල්ම්ස් කළේ නැහැ කියන එකයි මගේ අදහස. දැන් මගේ ෆිල්ම් එක ගත්තත් ඒක එදිනෙදා සිදුවෙන සිදුවීමක් විදිහට ගත්තත්, ඒක රූපකාර්ථයක් දනවන ෆිල්ම් එකක් විතරයි.  මේ නිසා මට හිතෙන්නේ මේ තියෙන වයලන්ස් එක පෙන්නන්න පුලුවන් මට්ටමකට අපි අපේ සිනමාව වර්ධනය කරගෙන නැහැ. එලියේ තියෙන ප්‍රචණ්ඩත්වය මැච් කරන්න කලාකාරයෙකුට හරි අමාරුයි. ඒ නිසා මට හිතෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අන්තය තෝරාගැනීමේ යම් වාසියකුත් තිබෙනවා. මොකද ඒක අපිට හිතාගන්නවත් බැරි ප්‍රචණ්ඩත්වයක්. අනික් පැත්තෙන් මොකක් හරි පෙන්නුවාම පරිකල්පනය මාර්ගයෙන් එහි අනෙක් අන්තයට යන්න තමයි මිනිස්සු කැමති, එනිසා ද දන්නේ නැහැ මෛත්‍රිය කරුණාව වඩවන නිර්මාන අපේ රටේ වැඩිපුර ජනප්‍රිය වෙන්නේ.

අපිට දැන් ඉන්නවා උබ්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති ජනාධිපතිවරයෙක්, සුපිරිසිදු සිංහල ආණ්ඩුවක් බිහිවෙන්න නියමිතයි. මේ කාලාවකාශයේ අනාගත කලාවත් වෙජිටේරියන් කෑම වේලක් වගේ වෙන්න පුලුවන් නේද?

මම හැම වෙලාවෙම සමාජය දෙස හෝ පුද්ගලයෙක් දෙස හෝ සිදුවීමක් දෙස නිශේධනාතමකව බලන කෙනෙක් නෙවෙයි. මට හිතෙන්නේ හැම තත්ත්වයක් තුළම අපිට මොකක් හෝ ස්වර්ණමය අවශ්තාවක් තියෙනවා කියලා. මම එහෙම තමයි දේවල් දිහා බලන්නේ. හැමවෙලාවෙම ප්‍රොබ්ලම් එකක් තියෙනකොට ඒ එක්කම මොකක් හරි ඔපර්චුනර්ටි එකකුත් තිබෙනවා, එතකොට අපි භාරගන්නේ ප්‍රොබ්ලම් එකද ඔපර්චුනර්ටි එකද කියන එක අපේ ප්‍රශ්නයක්.  ඉතිං මම මෙතනදී ඒ අවස්තාව නැතිනම් ඔපර්චුනර්ටි එක භාරගන්න කැමතියි. මම විශ්වාස කරනවා, මිනිස්සු තමන්ට එරෙහිව එන පීඩනය වැඩි වෙනකොට, ඔවුන් ඔවුන්ගේ නිර්මාන අවකාශයන්, නිර්මාන භාවිතාවන් පුලුල් කරගන්නවා කියන දේ. ඒකෙන් සල්ලි හොයන්න පුලුවන්ද, ඒක වෘත්තීමය තත්ත්වයකට යනවද, කියන එක වෙන ප්‍රශ්නයක්. අපි හිරවෙන්න හිරවෙන්න තමයි අපි අස්සෙන් හොඳ නිර්මාන බිහි වෙන්නේ. ඒනිසා මට හිතෙනවා මේ තත්ත්ව යටතේ ඉතාමත් හොඳ නිර්මාන ඉදිරියේදී බිහිවෙයි. ඒවා ප්‍රදර්ශනය වෙයිද නැත්තං යූටියුබ් වගේ වෙනත් විකල්ප අවකාශවල ප්‍රදර්ශනය වෙයිද කියන එක දැන්ම කියන්න බැහැ.

විපක්ෂ මතවාදය කියන එක හැකිලෙමින් යනවා. අපි හැංගෙන්න කවච නිර්මානය කරගනිමින් ඉන්නවා, මේක අස්සේ මොනවද නොවෙන්න පුලුවන්..

දැන් අපි මේ දේ තේරුම් ගන්න ඕනෑ. ඒ මොකද්ද දැන් මුලු රටම එකම කොඩියක් යටට ආපු වෙලාවක් මේක. දැන් අපි හැවෝම ඉන්නේ එකම මතවාදයක. දැන් විපක්ෂයත් කියන්නේ අපි සිංහල බෞද්ධ කියලා. ආණ්ඩුවත් කියන්නේ එහෙම. ඕනෑම මනුස්සයෙක් ගත්තොත් එයා බලාගෙන ඉන්නේ රාවනා නැගිටලා ඇවිත් ජාතිය බේරගන්නකම්. එකම මිත්‍යාවක් අදහන, එකම දේශපාලනයක් විශ්වාස කරන, අතීතකාමයකින් ඔදවැඩුන සමාජයක තමයි අපි අද ජීවත් වෙන්නේ, එතකොට වෙන්න පුලුවන් නරකම දේ තමයි, අපිට සිනමාව වගේ නවීන කලාවන් ගැන හිතන්න බැරිවෙන්න පුලුවන්. අපිට නාඩගම් ටීටර් රූකඩ වගේ දේවල් තමයි ඉස්සරහට කරන්න වෙන්නේ. මොකද රජ කාලේ වගේ සංස්කෘතික පසුබිමකට, අවකාශයකට ගැළපෙන දේවල් තමයි, කරන්න වෙන්නේ. ඒවට තමයි ඉල්ලුම එන්නේ. චිත්‍රපට ගත්තත්, යූටියුබ් වගේ අලුත් ඩිජිටල් අවකාශයන් උනත් භාවිතා කරන්න, ඒ පිළිබඳව විවෘත දැක්මක් උවමනාවක් තියෙන මිනිස්සු අවශ්‍යයි. ඒත් බිම් පණුවෝ වගේ අපි අතීතයම හොයාගෙන හාරගෙන යන්න උනාම අපිට මේවගේ නවීන සමාජ අවකාසයන් ඕනෑ නෑ. ඒ වෙනුවට පොඩි කවි කොලයක් කියවලා නාඩගමක් නටනවා බලන්න තිබුණාම ඇති. චිත්‍රපටියක් වෙනුවට අපිට පුලුවන් මැතිවරණයක් දිහා බලා ඉන්න. ඒක රියැලිටි ෂෝ එකකට වඩා මහා පරිමාන ආශ්වාදයක්. වෙන්න පුලුවන් නරකම දේ තමයි අපි ඒ පැත්තට ගමන් කිරීම, මොකද අපිට මේ වෙලාවේ විකල්ප මතවාදයක් නෑ. අපි දහ දොළොස් දෙනෙක් එකතුවුණාට ඒක විකල්ප මතවාදයක් වෙන්නේ නෑ. ඒක පොඩි අදහස් රාමුවක් විතරයි. ඉතිං ඒක නිසා සංස්කෘතිය අවකාශයන් පැත්තෙන් අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ එන්න එන්නම හැකිලීම තමයි.

“අපි අද බිම් පණුවෝ වගේ” - චින්තන ධර්මදාස

– කේ. සංජීව –

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment